චුන්ඩු­කුලි ගොඩ­නැ­ඟි­ල්ලෙන් නල්ලූර් කෝවි­ලට | සිළුමිණ

චුන්ඩු­කුලි ගොඩ­නැ­ඟි­ල්ලෙන් නල්ලූර් කෝවි­ලට

යාපනය එහෙමත් නැත්නම් යාපා පටුන කියන්නේ සංචාරය කරන්නන්ට පාරාදීසයක්. හැම තැනම, හැම දිශාවකම විතරක් නොවෙයි එහි මිනිසුන් පවා ප්‍රිය දසුනක්. ඒ සංස්කෘතිකමය වටපිටාව ඇත්තට ම සිහිගන්වන්නේ ඉන්දියාව. ඒ නිසා ම යාපනේ යනවා නම් ඔබ සතියක්වත් එහි නතර වීමට බලාගෙන යා යුතුමයි. ඒ වගේම යාපනේ යන කෙනෙකු නැවත, එහි යෑමේ ආශාවෙන් පෙළෙනවාමයි.

යාපනයේ යන ඔබට බලන්න තිබෙන දහසකුත් දෑ අතර, චුන්ඩුකුලි පැරණි කච්චේරි ගොඩනැඟිල්ල බලන්න යන්න අමතක කරන්න එපා. ඉංග්‍රීසි ජාතීන් විසින් පාලනය කරන ලද අවධියේදී ඉදිකරන ලද මේ ගොඩනැඟිල්ල පරිපාලන මධ්‍යස්ථානයක් වෙනුවෙන් තනවන ලද විශාලතම ගොඩනැඟිල්ලයි. යාපනයට පිවිසුම් මාර්ගයක් ලෙස ඉදිවී ඇති චුන්ඩුකුලි ගොඩනැඟිල්ල සිහිකරන්නේ පැරණි නටබුන් නගරවල ස්වභාවයයි. ඉතිහාසය විසින් වර්ග කරන ආකාරයට මෙය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් උතුරු පළාතේ ඉදිකරන ලද මුල්ම ඉදිකිරීමයි. ඒ අනුව 19 වැනි සියවසේ මුල්භාගයේ ඉදිවූවක් ලෙසත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් උතුරුමැද පළාතේ ඉදිකරන ලද මුල් ම ඉදිකිරීම ලෙසත් මේ ගොඩනැඟිල්ල සැලකෙනවා.

යාපනය නගරයට පැමිණෙන්නන්ට පිවිසුමක් ලෙස ඉදිව ඇති මේ ගොඩනැඟිල්ල අලංකාර ආරුක්කු හැඩතලවලින් යුතු වීම විශේෂත්වයක්. ඒවා නංවා ඇත්තේ කුලුනු මතයි. ඩෙල්ෆ්ට් වල විශේෂත්වයක් මම පසුගිය සතියේ ඔබට කිව්වා මතක ඇති. ඒ වගේ ම මේ ගොඩනැඟිල්ලේ ආරුක්කු හැඩතල සියල්ල ම ගඩොල් හා කොරල් කොටස් යොදා නිර්මාණය කර තිබෙනවා. කච්චේරියකට උචිත අන්දමින් ගොඩනැඟිල්ලේ කාමර වෙන්කර ඇති බවත් ඔබට දකින්නට ලැබේවි. ඉලිප්සාකාර ආකෘති‍යකින් නිමවා ඇති මෙහි වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා බන්ධනාගාරයක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා. තමන් කළ වැරදි නිවැරදි කරගැනීම දක්වා වන කාලයක් ඔවුන් මේ බන්ධනාගාරයේ ගත කරනවා. ඒ නිසාම මේවා තාවකාලික සිරමැදිරි බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

චුන්ඩුකුලි ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාත්මක ක්‍රමයන්ට අනුකූලවයි. ඉතා ඝනකම් බිත්ති හා උස් වූ වහල නිසා වාතාශ්‍රය හොඳින් ලැබීම මෙහි විශේෂත්වයක්. යාපනය වැනි අතිශයින් උණුසුම් කාලගුණයක් පවතින ප්‍රදේශයක මේ වැනි උෂ්ණත්වයට ඔරොත්තු දෙන අන්දමින් ගොඩනැඟිලි සෑදීම අත්‍යවශ්‍ය කාරණයක්. මොසැයික් රටා නිසා මේ ගොඩනැඟිල්ලට වෙනස් ම අලංකාරයක් එක් වී තිබෙනවා. මොසැයික් බිම් ගඩොල් හා සුදු කළු බිම් ගඩොල් මේ ගොඩනැඟිල්ලට ප්‍රෞඪත්වයක් හා අලංකාරයක් එක්කර තිබෙනවා. ඉංග්‍රීසින් විසින් බහුලව යොදා ගන්නා ගොඩනැඟිලි ඉදිකිරීම් ක්‍රම මෙතනින් බහුලව දක්නට ලැබෙනවා. හුනුගල් කොටස් හා කොරල් සුමට ලෙසින් සකස් කිරීම නිසා මේ ගොඩනැඟිල්ලට වෙනස් හැඩයක් නිර්මාණය වීම විශේෂත්වයක්. ඒ වගේම ඒ අමුද්‍රව්‍ය අවට පරිසරයෙන් පහසුවෙන් සපයා ගත හැකි ඒවා. වහලය නිමවන්නට ඇත්තේ දැවවලින් බවට සාක්ෂි හමුවෙනවා. මේ වන විට චුන්ඩුකුලි ගොඩනැඟිල්ල විශාල හානියකට ලක්ව අවසන්. ඒත් එහි පෞරාණිකත්වය හා ප්‍රෞඪත්වය නම් එහෙමමයි. යාපනයට යන ඔබ ඒ අපූර්ව ගොඩනැඟිල්ල නැරඹිය යුතු යැයි මා යෝජනා කරන්නේ ඒ නිසා.

චුන්ඩුකුලි ගොඩනැඟිල්ලේ පෞරාණිකත්වයෙන් 19 වැනි සියවසේ වාස්තු විද්‍යාව ගැන පුදුම වුණු අපි එතැනින් පිටත් වුණේ සංකාවක් වැනි හැඟීමක් හිතේ තෙරපෙද්දී. අපි නල්ලූර් කෝවිල් පුද බිමේ හවස පූජාවට එක්වුණේ ඒ හැඟීම දරාගෙනමයි.

ඝණ්ටාර නාද, විවිද දුම් හා ගින්දරෙන් ආලෝකවත් වුණු නල්ලූර් පුදබිම බැතිමතුන්ගෙන් පිරී තිබුණා. ඒ මුහුණුවල ලියැවුණු අනේකවිධ හැඟීම් සියල්ල දෙවියන් වහන්සේ කියවා ගන්න ඇත්ද? හිස බිම ඔබා යාච්ඤා කරන බොහෝ දනන්ගේ වුවනේ වන ශෝකාකූල බවට යටින් දෙවියන් කෙරෙහි වන බලාපොරොත්තුවක් දැල්වෙනු පෙනුණා. ඔවුන්ගේ ඒ ශෝකාකූල මුහුණුවලට ගොම්මන් අඳුර එක් කළේ නිවුණු බවක්ද, තවත් ශෝකයක් ද යන්න මට සිතාගන්න බෑ. ඒත් දහසක් යාතිකා මැද මහා සංස්කෘතියක බරක් මට දැනෙමින් තිබුණා. ඒ සංස්කෘතික බර දකුණේ අපට එතරම් හුරු බරක් නොවෙයි. ඒ නිසා ම නිසල බව වෙනුවට සසල බව මතු කළ ඒ පුද බිමෙන් අප නික්ම ආවේ බර වූ සිතින්. අපි නික්ම එද්දී පවා බැතිමතුන් නල්ලූර් කෝවිල් පුද බිම ආයාචනා කරමින් සිටියා.

බර ඔළු බිම ගසමින්

කොඳුර කොඳුරා මුනුමුනු හඬින්

ජීවිතය සොයමින්

යදිති බෝ දන හඬා වැටෙමින්...

Comments