කීර්ති හා ‘මන­මාල හැන්දෑව’ | සිළුමිණ

කීර්ති හා ‘මන­මාල හැන්දෑව’

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නිරතුරුවම නවක ගායක ගායිකාවෝ බිහි වෙති. එසේ බිහිවන අය අතර රැයකින් ජනප්‍රිය වී එසැණින් මතකයෙන් බැහැර වන අයද කලක් රැඳි සිටිමින් සෙමෙන් සෙමෙන් රසික මතකයෙන් ගිලිහී යන අයද වෙති. තවත් පිරිසක් රසික ප්‍රසාදය අඩු වැඩිව ලබමින් ක්ෂේත්‍රයේ රැඳි සිටිති. ඇතැමෙක් තම පළමු ගීයෙන්ම ලැබූ ජනප්‍රියත්වය දිගින් දිගටම රඳවා ගනිමින් රසික ප්‍රසාදය, ආදරය මෙන්ම ගෞරවය ද ලබමින් දිගු කාලීනව සංගීත ක්ෂේත්‍රයේ රැඳෙති. කීර්ති පැස්කුවල් නම් වන අපේ කතා නායකායා ද අයත් වන්නේ ඒ කොටසටය.

කීර්ති පැස්කුවල් ගායකයකු ලෙස ගී ලොවට පිවිසෙද්දී සිටි ගායකයන් මෙන්ම ඔහුගෙන් පසු ගී ලොවට පිවිසි ගායකයෝ ද ඔහුට අභියෝගයක් නොවූහ. දශක කිහිපයකට පෙර ‘නීල අහසේ සැදෑ වලාවන්‘ ගීතය ගයමින් පැමිණිය දා සිට මේ දක්වාම ඔහුට ලැබෙන ජන ප්‍රසාදයේ කිසිදු අඩුවක් නොමැත.

කීර්ති පැස්කුවල් සිංහල ගීත ලොවට පිවිසෙන්නේ අහම්බෙන් නොව. ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සංගීතය මෙන්ම ගායනය ද ප්‍රගුණ කරමින්ය. ඔහු දක්ෂ සංගීත වේදියෙකි. දක්ෂ ගිටාර් වාදක ශිල්පියෙකි. බටහිර වාද්‍ය ශිල්පියකු ලෙස ඔහුව මෙරට රසික පිරිස හඳුනා ගත්ත ද කීර්ති ගායකයකු ලෙස පිළිගැනෙන්නේ පෙර අපරදෙදිග තුළ මැද මාවතේ ගමන් කරනා අයකු ලෙසයි.

නීල අහසේ ගීතයට අමතරව කවි කාරියේ, රන්තරු පායන, සිංහල රජ කාලේ, සඳලතා පායලා වැනි අතිශය ජනප්‍රිය ගීත ගොන්නකින් සිංහල ගීතාවලියේ කීර්ති සලකුණ සටහන් කළ ඔහු එක්තරා කලෙක දී වසර කිහිපයකට මෙරටින් බැහැර වන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ සිදු වූ හැලහැප්පීම් නිසාවෙනි.

ක්ෂේත්‍රයෙන් බැහැරව සිටි කලාකරුවකුගේ දෙවන ගමන සාර්ථක වන්නේ කලාතුරකිනි. එහෙත් කීර්තිට එය වලංගු වූයේ නැත. ඔහු යළි මෙරටට පැමිණි පසු ගැයූ ‘කඳුළ ඉතින් සමාවෙයන්‘ ගීතයෙන් කීර්ති යළිත් මෙරට අංක එකේ ගායකයෙක් විය. ‘තව දවසක් හමු වී‘, ‘සිත කොහෙදෝ ගිහින්‘ වැනි නවතම ගීත රසික පිරිස වැලඳගන්නේ කීර්ති ද මවිත කරමිනි. මේ නිසාම ක්ෂේත්‍රයට පිවිසෙන නවක ගායක ගායිකාවන්ට කීර්ති අභියෝගයක් වනවා මිස, කීර්තිට ඔවුන් කිසිදා අභියෝගයක් වූයේ නැත.

කීර්ති පැස්කුවල් ගායකයකු ලෙසින් සාර්ථක ඒක පුද්ගල ප්‍රසංග කිහිපයක්ම පැවැත්විය. දර්ශන දිනයට පෙරම ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර විකිණි තිබීම කීර්තිගේ ජනප්‍රියතාව පිළිබඳ වටහා ගත හැක. පසුගිය වසරේ නෙළුම් පොකුණ රඟහලේ පිරි ඉතිරී ගිය පේ‍්‍රක්ෂක පිරිසක් හමුවේ පැවැත්වූ ‘මනමාල හැන්දෑව‘ නම් ප්‍රසංගය ද කීර්ති පැස්කුවල්ට රසික ප්‍රජාවගේ ආදරය කොතරම්ද යන්න හොඳින් දැක ගත හැකි වූ මොහොතකි..

සංගීතඥයකු, ගායන ශිල්පියකුට අමතරව රංගන වේදියකු ලෙස ද ටෙලිනාට්‍ය හතරක කීර්ති ප්‍රධාන චරිත රඟපෑවේය. නමුත් රංගන කාර්යයේ දිගු ගමනක් යෑමට ඔහු තුළ කැමැත්තක් නොවීය. ඔහුගේ කාලය නිරන්තරයෙන්ම කැප වූයේ අභ්‍යාසයන්හි යෙදෙමින් ගායකයකු ලෙස කටයුතු කිරීමටය.

කීර්ති පැස්කුවල් යනු මානුෂීය හැඟුම්වලින් පිරි කලාකරුවෙකි. සමාජ සේවකයකු ලෙස කලා ක්ෂේත්‍රයේ හා ඉන් බාහිරව ද ඔහු කළ නිහඬ මෙහෙවර රැසකි. ක්ෂේත්‍රයේ තම හිතවත් කලාකරුවන්ට පමණක් නොව ඉන් බාහිරවද ඕනෑම තරාතිරමක අසරණ පිරිස් වෙත හැකි පමණින් උදව් කිරීමට ඔහු සැම විටම පෙරමුණ ගනී. අසරණ රෝගීන් වෙත ඔහු තරම් කාරුණික වූ කලාකරුවෙක් සිටී දැයි සැක සහිතය. රෝගීන් හට සෙත සැලසීම සඳහා කීර්ති මුල් වී පියවර රැසක් ගෙන තිබේ. ඉන් ප්‍රධාන තැනක් උසුලන්නේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ ඇටමිදුලූ බද්ධ කිරීමේ ඒකකයට මිලියන ගණනක් වටිනා උපකරණ ලබාදීමට කීර්ති මුල් වී ඇරඹි ‘ප්‍රාර්ථනා’ ව්‍යාපෘතියයි. කලාකරුවකු ලෙස ඔහුගේ හැකියාව කීර්ති නිර්ලෝභිව දායාද කළේය.

සාර්ථක කලාකරුවකු හා මිනිසකු ලෙස කීර්ති පැස්කුවල් අද ස්ථාවරව සිටින්නෙකි. එනමුදු ඔහුගේ ජීවන මඟ බාධක කම් කටොලූ වැටීම්, නැගිටීම්, දුක, සතුට, කඳුළ, සිනහව සියල්ල අතර දෝලනය වෙමින් පැමිණි ගමනකි. ඔහුගේ ඒ ජීවන ගමන් මග කෘතියක් ලෙසින් එළිදක්වන්නට ද දැන් කටයුතු යොදා තිබීම කීර්ති රසික රසිකාවියන්ට සුබ ආරංචියක් වනු ඇත.

‘කීර්ති - සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව‘ නමින් නම් කර ඇති මෙම කෘතියේ රචකයා නාට්‍යකරුවකු මෙන්ම ජනප්‍රිය නවකතාකරුවකු වූ උපාලි කුමාරවංශ ය. කීර්තිගේ ජීවිතයේ සියලූ දෑ පරිච්ඡේද කිහිපයකට වෙන් කර මේ කෘතියේ සටහන් කර ඇත. කීර්ති ජීවිත වියමන පරිච්ඡේදය තුළ ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ද, සංගීත වියමන සහ සමාජ මෙහෙවරෙන් කලාකරුවෙක් හා පරහිතකාමි සමාජ සේවකයකු ඒ ගමන් මග ලියැවී ඇත. කීර්ති පිළිබඳ කලා ක්ෂේත්‍රයේ මෙන්ම පිටස්තර විවිධ තරාතිරම්වල සිටින අය විසින් දක්වන කරුණු ඇතුළත් සහෘද සටහන් ද එම කෘතියට ඇතුළත්ය. කීර්තිගේ ගීතවලට ප්‍රිය කරන, ඒවා ගායනා කරන්න උනන්දුවන අයට මෙන්ම ඔහුගේ ගීත වාදනය කරන්න කැමැති අයට උපකාර වන අයුරින් කීර්තිගේ ජනප්‍රිය ගීත 30ක පද මාලා හා ස්වර රටා ද කෘතියට ඇතුළත් කර තිබේ. එම ගීත 30 මුල් පටිගත කිරීම් ඒ අයුරින්ම ඇතුළත් කළ එම්.පී.3 ගී තැටියක් කෘතිය සමඟ නොමිලේ ලබා දීමට ද කටයුතු කර ඇත. එදා මෙදා තුර කීර්ති පැස්කුවල් විසින් ගායනා කළ ගීත නාමාවලියක් හා කීර්ති පැස්කුවල්ගේ ළමා වියේ සිට අද දක්වා වූ දුර්ලභ ඡායාරූප විශාල ප්‍රමාණයක් ද කීර්ති කෘතියට ඇතුළත්ය.

මෙම කෘතිය ජනගත කිරීමට සමගාමීව කීර්ති විසින් පැවැත් වූ මනමාල හැන්දෑව ප්‍රසංගයේ ඞී.වී.ඞී. තැටියක් නිකුත් කිරීමට ද සුදානම් ව ඇත. මනමාල හැන්දෑව ප්‍රසංගයේ සජීවී පටිගත කිරීම අති නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම ඩී.වී.ඩී පටය නිර්මාණය කර ඇත.

කීර්ති පැස්කුවල් කලාකරුවාගේ සොඳුරු අවස්ථා සනිටුහන් කරමින් කීර්ති කෘතිය හා මනමාල හැන්දෑව ඩී.වී.ඩී තැටිය අද(26) සවස 3 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී එළිදැක්වීමට කටයුතු කර ඇත. කීර්ති පිළිබඳ කතා බහකින් මෙන්ම මනමාල හැන්දෑවේ සොඳුරු දසුන් ඇතුළත් විචිත්‍ර කරණයකින් ද සැරසුණු මේ සුන්දර හැන්දෑව රසික ප්‍රජාවට ද විවෘතය.

එසේම කීර්තිගේ උපන් දිනය යෙදෙන ජනවාරි 29 වන දින උදෑසන 9.30 ට මහරගම අපේක්ෂා රෝහලේ දී විශේෂ කටයුත්තක් සංවිධානය කර තිබේ. කොතලාවල ආරක්ෂක පීඨයේ ඇට මිඳුළු බද්ධ කිරීමේ ඒකකයට මිලියන 3000ක් වටිනා උපකරණ ලබා දීම සඳහා කීර්ති විසින් ප්‍රාර්ථනා නමින් අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, එම අරමුදලට මහජනයා පරිත්‍යාග කළ ලක්ෂ 75ක මුදල එදින දී අපේක්ෂා රෝහලේ බලධාරින් වෙත බාරදීම සිදුවනු ඇත. අපේක්ෂා රෝහලේ නේවාසිකව වෙසෙන රෝගීන්ගේ මානසික සුවය සඳහා ද ඔවුන් සමඟ සංගීතමය හෝරා කිහිපයක් ගත කිරීමටත්, ඔවුනට ගීත ගැයීමේ අවස්ථාව සලසා දීමටත් එදින සැලසුම් කර ඇත. 

Comments