රථ වාහන අනතුරු අවම කරමින් විනයට අනුව රිය පැදවීම පිළිබඳව කෙතෙකුත් දැනුවත් කළද එයින් ඵලක් වී නොමැති බව පැහැදිලිය. වාහන අනතුරු අවම කිරීමට නම් කුමක් කළ යුතුද?
ඇතැම් විට පසු පසින් පැමිණෙන වාහන රියැදුරන් ඉදිරි වාහනයේ වේගය කුමක් වුවත් පැමිණෙන්නේ ඔහුගේ දකුණු පස සංඥා පහන් නොකඩවා දල්වාගෙනය. ඔහුට වුවමනා කරන්නේ කොයි මොහොතේ හෝ ඉදිරි වාහනය අභිභවා යාමටය. ඉදිරියෙන් එන වාහන වල ගෑවෙන නොගෑවෙන තරමින්, ඉතා අනතුරු දායක ලෙස ඉදිරි වාහනය ඉස්සර කරගෙන යාම දැන් සාමාන්‍ය සිරිතක් බවට පත් වී තිබේ. මීට හේතුව මෙය ඉතාමත් ආත්මාර්ථකාමී ආකල්පමය හේතුවක් බව පැහැදිලිය.
පේලි කිහිපයකට වාහන ගමනා ගමනය සිදු වන අවස්ථාවන් හි, පසුපසින් පැමිණෙන බස් රියදුරන් විටින් විට ප්‍රධාන පහන් දල්වමින්, එක දිගට නළාව ශබ්ද කරමින් යන්නේ ඉදිරි වාහනයට මීට වඩා වේගයකින් යාමට කිසිසේත් නොහැකි බව හොඳටම දැනගෙනය. එසේ වේගයෙන් යාමට නොහැකි වූ විට, කිසිඳු පැකිලීමක් නැතිව පාර මැද ඇති ද්විත්ව මන්තීරුව හරහා ඉදිරියෙන් එන වාහන ගැන තැකීමක් නොමැතිව වාහන පසුකරමින් ඉස්සර කරගෙන යන බස් රියදුරන්ද ඇත.
මෙසේ වැරදි පැත්තෙන් ධාවනය කරනවා මෙන්ම ඉදිරි බස් නැවතුමේ නැවැත්වීමට සිදුවුවහොත් වාහන පේළි දෙක හෝ තුන අතරට රිංගා, අවශ්‍ය ස්ථානයේ නවත්වන්නේ වාහනයේ පසු පස කොටස පාර අවහිර වන සේ තැබීමෙනි. එමෙන්ම කිසිම විටෙක රාත්‍රීයේදී ප්‍රධාන පහන් වල දීප්තිය අඩු නොකර ධාවනය කිරීමද මොවුන්ගේ සිරිතය.
පාරක තොරතුරු විමසීමට හෝ මගියෙකු බැස්සවීමට පාරේ ඉතාම වම් අයිනට ගෙන මොහොතකට නවත්වන වාහනයක් දුටුවිට, ඈත තියාම නළාව එක දිගට ශබ්ද කරමින් එයට බාධා පමුණුවන රියදුරන් කොතෙක් සිටීද? මෙයද තවත් ආකාල්පමය හේතුවකි.
මේ නිසා ආකල්පය වශයෙන් රියැදුරන් පුහුණු කිරීමේ ක්‍රමවේදයක් රටට හඳුන්වා දෙන තුරු මේ අනතුරු අවම කළ නොහැකි වනු ඇත. ඒ බව මැනවින් පෙන්නුම් කරන්නේ වාර්ෂිකව වැඩිවන මාරාන්තික රිය අනතුරු නිසාය. සෑම දිනකම 7ක් හෝ 8 දෙනකු මේ අනතුරු නිසා මිය යාම වළක්වා ලන්නට නම් මේ ආකල්පමය පුහුණුව කළ යුතුමය.
උපාලි වීරසිංහ - කොට්ටාව.