කාන්තාවකගේ කනට යෑමෙන් ගැස්සුණු රජය පෙරළීමේ කුමන්ත්‍රණය | සිළුමිණ

කාන්තාවකගේ කනට යෑමෙන් ගැස්සුණු රජය පෙරළීමේ කුමන්ත්‍රණය

ජානක පෙරේරා

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ලංකාවේ සිදු වූ ප්‍රථම අසාර්ථක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට හෙට දිනට

(ජනවාරි 27 දාට) වසර 58කි. ඒ මෙරට නීත්‍යනුකූල රජයක් පෙරළා දැමීමට ගත් පළමු උත්සාහයයි. කුමන්ත්‍රණකරුවන් වූයේ ඉහළ නිලයන් දැරූ යුද හමුදා සහ පොලිස් නිලධාරී පිරිසකි. එවකට ලංකාවේ ත්‍රිවිධ හමුදාව අදට වඩා බෙහෙවින් කුඩා විය. හමුදාපතිවරුන්ගේ ඉහළම නිලයන් වූයේ මේජර් ජනරල් (යුද හමුදාව) රියර් අද්මිරල් (නාවික හමුදාව) සහ එයාර් වයිස් මාෂල් (ගුවන් හමුදාව) යන තනතුරුය.

වසර 1962 ජනවාරි 27දා දහවල් 12 ට පමණ එවකට රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ. දිසානායක මහතාට මහතාට කිසියම් කුමන්ත්‍රණයක් පිළිබඳ සැක සිතීමට තුඩු දෙන තොරතුරක් ලැබිණි. ඒ පිළිබඳ එවක සිටි පොලිස්පති වෝල්ටර් අබේකෝන් මහතාට සහ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියට දැන්වීමට පෙර මෙහි ඇත්ත නැත්ත කුමක්දැයි ස්ථිර වශයෙන්ම දැනගැනීමට දිසානායක මහතාට අවශ්‍ය විය.

රාත්‍රියේ කුමන්ත්‍රණයක්

එදින සවස 5.15ට පමණ කොළඹ ඔරියන්ට් සමාජ ශාලාවේ සිටි පොලිස්පති අබේකෝන් මහතාටද ඒ ගැන ඉඟියක් ලැබී තිබිණි. එය ඔහුට දැනගන්න ලැබුණේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයෙකුව සිටි මෙරට ප්‍රධාන පෙළේ අධ්‍යාපනඥයකු වූ පී. ද එස්.කුලරත්න මහතාගෙනි. කුලරත්න මහතාගේ දියණිය වූ මායා විවාහ වී සිටියේ එවකට කොළඹ නගරය භාර පොලිස් අධිකාරීව සිටි ස්ටැන්ලි සේනානායක මහතා සමඟය.

කුමන්ත්‍රණයේ ප්‍රධානියකු වූ නියෝජ්‍ය පොලිස්පති සී.සී. දිසානායක රජය පෙරළා දැමීමට ස්ටැන්ලි සේනානායක මහතාගේ සහාය ලබාගැනීමට තැත් කළ ද ඊට තමා තුළ ඇති විරුද්ධත්වය මතු පිටින් නොපෙන්වූ සේනානායක මහතා ඒ ගැන සිය බිරිඳ වූ මායාට දැන්වීය. ඒ මොහොතේ අම්බලන්ගොඩ සිටි සිය පියාට ඇය දුරකතනයෙන් වහාම ඒ බව දැන්වූවාය. කුමන්ත්‍රණය දියත් කිරීමට සැලසුම් කර තිබුණේ එදින රාත්‍රියේය (සී.සී. දිසානායක සහ එස්.ඒ. දිසානායක දෙසොහොයුරන් වූ නමුත් යම් හේතුවක් නිසා දෙදෙනා සිටියේ අමනාපයෙනි).

කුමන්ත්‍රණය ගැන සියලු තොරතුරු වහාම තහවුරු කරගෙන තමන්ට දන්වන ලෙස පොලිස්පතිවරයා එස්.ඒ. දිසානායක මහතාට උපදෙස් දුන්නේය. එදින රාත්‍රී 7.00ට පමණ එවකට මුදල් ඇමතිව සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මේ ගැන දැනගත් වහාම පොලිස්පතිවරයා සිය නි‍ෙවසට කැඳවා එස්.ඒ. දිසානායක මහතා සමග අගමැතිනිය හමුවන ලෙසට පැවසීය.

ඔවුන්ගෙන් සම්පූර්ණ විස්තර දැනගත් ඇය බම්බලපිටිය ඩිපෝ පොලිසියට (වත්මන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය) සීල් තබා එතැනින් කිසිදු අවි ආයුධ හෝ වාහන හෝ කිසිම කටයුත්තක් සඳහා පොලිස් භටයන් ගෙන යෑම තහනම් කරන ලෙසට අණ දුන්නාය. එමෙන්ම කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේ ගුවන් විදුලි පණිවුඩ සහ ටෙලි ටයිප් යන්ත්‍ර කාමරයටද සීල් තබන ලෙසටද ඇයගෙන් අණ ලැබිණි.

අරලියගහ මැඳුරට ආරක්ෂාව

ඉන්පසු ඇය ත්‍රිවිධ හමුදාපතීන් අරලියගහ මන්දිරයට කැඳවූවාය. මුලින්ම පැමිණියේ වැඩබලන නාවික හමුදාපතිව සිටි කොමදෝරු රාජන් කදිරගාමර් මහතාය (ඔහුගේ බාලම සොහොයුරා වුයේ පසු කලෙක විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර්ය). අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට නාවික හමුදා භට පිරිසක් යොදවන ලෙසට රාජන් කදිරගාමර්ට අණ ලැබිණ. එවකට යුද හමුදාපතිව සිටි මේජර් ජනරල් වින්ස්ටන් විජේකෝන් මහතා, ගුවන් හමුදාපති එයා වයිස් මාෂල් ජේ.එල්. බාක මහතා සහ රාජන් කදිරගාමර් මහතා යන තිදෙනම පවසා සිටියේ තමන් කුමන්ත්‍රණය ගැන කිසිවක් නොදන්නා බවයි (බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා නිලධාරියෙකු වූ බාක මහතා රාජකීය ලංකා ගුවන් හමුදාපති ලෙස අනුයුක්ත කරනු ලැබ සිටියේය).

අගමැතිනියගේ උපදෙස් පරිදි පොලිස්පති අබේකෝන් මහතා තමාගේ අනුමැතියෙන් තොරව සාමාන්‍ය රාජකාරි පිළිවෙතින් බැහැර වූ කිසිම අණක් ක්‍රියාත්මක නොකරන ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැන්වීය. සාමාන්‍ය රාජකාරි පිළිවෙතින් බැහැරව සී. සී. දිසානායක මහතා වෙතින් අණ ලැබූ, කොළඹ කොට්ඨාසයේ සහ බස්නාහිර පළාතේ පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරු පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවනු ලදහ.

අගමැතිනිය ඇතුළු කැබිනට් ඇම­ැතිවරුන්, පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතීන් සමඟ කළ සාකච්ඡාවකින් පසු කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමට තීරණය කෙරිණි. එදිනම මැදියම් රැයෙන් සුළු වේලාවකට පසු සී. සී. දිසානායක මහතා ඔහුගේ නි‍ෙවසේදීම අත්අඩංගුවට ගන්නා ලදී. පසුදා අලුයම 4.00 ට පමණ සහකාර පොලිස් අධිකාරී (රථ වාහන) බී. ජෝන්පිල්ලේ ද ඔහුගේ නි‍ෙවසේ දී අත්අඩංගුවට ගැනිණි. දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබූහ.

අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවන් වූයේ පොලිස් අධිකාරී (බටහිර කොළඹ) එල්.සී එස්. ජිරසිංහ, කර්නල් මොරිස් ද මෙල් (ස්වේච්ඡා බළකායේ අණදෙන නිලධාරී), කර්නල් එෆ්.සී. ද සේරම් (ස්වේච්ඡා බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී) හිටපු නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා, ලුතිනන් කර්නල් බී.ආර්. ජෙසුදාසන් (ස්වේච්ඡා සංඥා බළකායේ අණදෙන නිලධාරී) ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඒබ්‍රහම් (තුන්වැනි ක්ෂේත්‍ර කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී), මේජර් බී. අයි. ලෝයලා (තුන්වැනි ක්ෂේත්‍ර කාලතුවක්කු රෙජිමේන්තු නිලධාරී) මේජර් ඩබ්ලිව්. ජී. වයිට් (තුන්වැනි ක්ෂේත්‍ර කාලතුවක්කු රෙජිමේන්තු නිලධාරී) මේජර් එල්. පී. ජෝසෆ් (සන්නද්ධ බළකාය), ලුතිනන් කර්නල් ජේ.එච්.වී.ද අල්විස් (ස්වේච්ඡා ඉංජිනේරු බළකායේ අණදෙන නිලධාරී), කපිතාන් ජේ ඒ.ආර්. ෆීලික්ස් (ස්වේච්ඡා බළකා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී), පොලිස් අධිකාරී වී. ඊ. පෙරේරා, ඩග්ලස් ලියනගේ (ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ), සහකාර පොලිස් අධිකාරී ටී.වී. විජේසිංහ, ලුතිනන් කර්නල් නොයෙල් මතායෙස්, (විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ අණදෙන නිලධාරී) කපිතාන් ඩී.ඊ. වීරසිංහ (තුන්වැනි ක්ෂේත්‍ර රෙජිමේන්තුව) කපිතාන් ඒ.ජේ. බී. අන්ගි (තුන්වැනි ක්ෂේත්‍ර රෙජිමේන්තුව), පොලිස් අධිකාරී ඩේවිඩ් තම්බයියා, සහකාර පොලිස් අධිකාරී කොලින් වැන්ඩ්රීසන් (ඩිපෝ පොලිසිය) කපිතාන් එන්.එස්. ජයකොඩි (තුන්වැනි ක්ෂේත්‍ර රෙජිමේන්තුව), අනුර සිල්වා, පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඊ.සී. ජෙබනේසන් (කොළඹ අපරාධ අංශය), උප පොලිස් පරීක්ෂක සිරි චන්ද්‍ර (පොලිස් අභ්‍යාස විද්‍යාලය). හිටපු පොලිස් අධිකාරී ආර්. ඊ. කිටෝ, හිටපු සහකාර පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක. මේජර් වී.ජී.එච්.ගුණසේකර (ස්වේච්ඡා) සහ ඔසී කොරෙයාය.

පසුව අත්අඩංගුවට පත් තවත් සැකකරුවෙකු වූයේ හිටපු නාවික හමුදාපති රොයිස් ද මෙල් මහතාය (ඔහු මොරිස් ද මෙල්ගේ සොහොයුරෙකි). කුමන්ත්‍රණය සැලසුම් කිරීමේදී ඔහු සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. රොයිස් ද මෙල් මෙරට නාවික හමුදාවට පත් වූ ප්‍රථම ලංකික සහ ප්‍රථම සිංහල නාවික හමුදාපතිවරයා විය. වසර 1955 දී කොමදෝරුවරයෙකු ලෙස නාවික හමුදාපති පත් පදවියට වූ ඔහු 1959 දී රියර් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබීය. ත්‍රිකුණාමලයේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා කඳවුරු මෙරට රජයට පවරාගනු ලැබුවේ ඔහු නාවික හමුදාපතිව සිටි කාලයේදීය. එවකට අගමැතිවරයා වූයේ එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය.

1960 දී පෙරදිග සංචාරයක යෙදුණු නාවික හමුදාවේ නැව් කිහිපයක් නැවත මෙරටට පැමිණියාට පසු සෝදිසියකට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස ගෙන්වන ලද භාණ්ඩ රැසක් හසු විය. ඒ පිළිබඳ සැකයට පාත්‍රවූවන් අතර රොයිස් ද මෙල් ද විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රියර් අද්මිරාල් ද මෙල් ඇතුළු නාවික නිලධාරීහු කිහිප දෙනෙක් 1961 දී අනිවාර්ය ලෙස විශ්‍රාම ගන්වනු ලැබූහ. රාජන් කදිරගාමර් නාවික හමුදාපති ලෙස පත් වූයේ ඉන් පසුවය.

කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නියමිත වූ 1962 ජනවාරි 27 දින අගමැතිනිය කතරගම යෑමට සූදානම්ව සිටියාය. ආගමික උත්සවයකට සහභාගී වීම සඳහා අගමැතිනිය කතරගම යෑමට කලින් සැලසුම් කර තිබුණද, අවසාන මොහොතේ එය අවලංගු කළාය. එදින උප පොලිස් අධිකාරිවරයෙකු වන ලයනල් ගුණතිලක, ඔසී කොරයා සහ බණ්ඩාරනායක ඝාතන නඩුවේ විත්තිකරුවෙකුව සිට නිදහස් වූ අනුරද සිල්වා යන අය කතරගම ගොස් සිටියහ.

අගමැතිනිය කතරගම එනු මිසක් ආපසු නොයනු ඇතැයි ඔවුන් පවසා තිබිණි.

කුමන්ත්‍රණයේ යුද හමුදා කටයුතු භාරව සිටියේ කර්නල් මොරිස් ද මෙල් සහ කර්නල් එෆ්. සී. සේරම්ය (ඔහු එස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඥාති සොහොයුරෙකි). පොලිස් කටයුතු භාර කුමන්ත්‍රණකරුවන් වූයේ සී. සී. දිසානායක සහ සිඩ්නි සොයිසාය. ඊට අමතරව යුද හමුදා සහ පොලිස් කටයුතු සම්බන්ධීකරණය කිරීමද සොයිසාට භාර විය.

රජයේ ඇමැතිවරුන්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ස්ථිර ලේකම්, පොලිස්පති, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති, රහස් පොලිසිය භාර පොලිස් අධිකාරී, ඇතැම් වාමාංශික දේශපාලන පක්ෂ නායකයන් සහ වැඩබලන නාවික හමුදාපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණකරුවෝ සූදානමින් සිටියහ. හමුදාපතිවරුන් එදින රාත්‍රියේ ඔවුන්ගේ නිවෙස්වලම කොටු කර තැබීම කුමන්ත්‍රණකරුවන්ගේ අදහස විය.

කොළඹට ඇඳිරි නීතිය

මැදියම් රැය පසු වූ වහාම කොළඹ නගරය තුළ ඇඳිරි නීතිය ප්‍රකාශ කර, ඒ ගැන ජනතාවට දැනුම් දුන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කළ පොලිස් රථ මඟිනි. කොළඹ කොටුවේ මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලය සහ අනෙකුත් විදුලි පණිවුඩ හුවමාරු ක්‍රියා විරහිත කිරීමටත්, පුවත්පත් කාර්යාල ගොඩනැගිලි, කොළඹ පොලිස් මූලස්ථානය, රහස් පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඇතුළු අනෙක් වැදගත් ස්ථාන සියතට ගැනීමත් කුමන්ත්‍රණකරුවන්ගේ අදහස වී තිබිණි. සිය අරමුණ සාර්ථක කර ගැනීමට නගරයේ ඇතැම් තැන්වල සන්නාහ සන්නද්ධ රථ නවත්වා තබා පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබළුන් එදින රාත්‍රියේ කොළඹට පැමිණීම කෙසේ හෝ වැළැක්වීමට කුමන්ත්‍රණකරුවන්ට වුවමනා විය.

ගුවන්විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර සවි කළ යුද හමුදා රථ කිරුලපන පාලම, කැලණි පාලම් දෙක ඇතුළු ස්ථාන කිහිපයකම රඳවා තැබීමත් අවිගත් පොලිස් යතුරු පැදිකරුවන් එදින රාත්‍රී 11 සිට ටොරින්ටන් (නිදහස්) චතුරශ්‍රයේ රඳවා තැබීමත් කුමන්ත්‍රණයේ සැලසුමට අයත් විය. හමුදා නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා කලින් දින ලේක් පාරේ සිට එචිලන් චතුරශ්‍රය දක්වා විශේෂ දුරකතන කම්බියක් අදින ලදී.

ඒ දිනවල යාපනයේ රාජකාරිවල නියැළී සිටි කර්නල් රිචඩ් උඩුගම (පසුව යුද හමුදාපති)ගේ ලුනාවේ නි‍ෙවස ද කුමන්ත්‍රණකරුවන්ගේ අවධානයට ලක් වූයේ ඔහු රාජකාරි නිමවා නැවත එහි පැමිණිය හැකිය යන සැකයෙනි. පනාගොඩ හමුදා කඳවුරේ නිලධාරීන් මෙන්ම උඩුගම මහතාද රජයට පක්ෂපාති බව කුමන්ත්‍රණකරුවෝ දැන සිටියහ. සන්නාහ සන්නද්ධ රථ බළකායේ අණ දෙන නිලධාරී කර්නල් සේපාල ආටිගල (පසු කලෙක යුද හමුදාපති) කුමන්ත්‍රණයට හරස් වීම වැළැක්වීම සඳහාද පියවර ගැනීමට තීරණය විය. ජනවාරි 27දා රාත්‍රී කුමන්ත්‍රණයට ක්‍රියාකාරීව සහභාගී වන සෑම දෙනෙකුම හොඳින් සන්නද්ධ විය යුතු විය. ඔවුන්ට ලබාදීමට නියමිත වූ අවි අතර ස්ටර්ලිං සබ්මැෂින් තුවක්කු, ස්ටෙන් සබ්මැෂින් තුවක්කු, ලැන්කැස්ටර් සබ්මැෂින් තුවක්කු, බ්‍රේන් වර්ගයේ මැෂින් තුවක්කු සහ 303 රයිෆල් ද වූ අතර ඒවාට සරිලන වෙඩි උණ්ඩ සපයා දීමටද සැලසුම් කර තිබිණි (එවකට අද මෙන් අපේ පොලිසියට හෝ හමුදාවලට T56 ස්වයංක්‍රීය තුවක්කු නොවීය).

සිර දඬුවම් සහ නිදහස් වීම්

කුමන්ත්‍රණකරුවන්ට නඩු පැවරීමට තිබෙන නීති ප්‍රමාණවත් නොවන බව පවසමින් රජය විසන් (අපරාධ නීති විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත ගෙන එන ලදි. රජයට විරුද්ධව අපරාධ කරන ලදැයි සැක කරන අය සහ එසේ කළායැයි චෝදනා කර නඩු පවරන අය අත්අඩංගුවට ගැනීමට, සිරභාරයේ තබාගැනීමට, නඩු පැවැරීමට දණ්ඩ නීති සංග්‍රහය සහ අධිකරණ ආඥා පනත සංශෝධනය කිරීම එහි අරමුණ විය. අවසන් කුමන්ත්‍රණ නඩු විභාගය 1963 ජුනි 3 ද සිට දින 324ක් පැවති අතර අත්අඩංගුවට පත්වූ චුදිතයන් 24 දෙනාගෙන් 11 දෙනෙකු වැරදිකරුවන් බව ඔප්පු විය. ඔවුන් අතර මොරිස් ද මෙල්, රොයිස් ද මෙල්, ඩග්ලස් ලියනගේ, සිඩ්නි ද සොයිසා, ඩබ්ලිව්. ඒබ්‍රහම් බී. අයි. ලෝයලා, ඩබ්ලිව්. ජී. වයිට් නොයෙල් මතායෙස්, එන්.එස්. ජයකොඩි ඩේවිඩ් තම්බයියා, ජේ ඒ.ආර්. ෆීලික්ස් සහ ඩබ්ලිව්. ඒබ්‍රහම් ද විය. ඔවුන් සැම දෙනාටම දස වසර බැගින් සිර දඬුවම් නියම වූ අතර ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීමටද නියම විය. ඒබ්‍රහම් පසුව 1964 දී සිර ගෙදර දී මිය ගියේය. එය සියදිවි හානි කරගැනීමක් ලෙසද වාර්තා විය.

කෙසේ වෙතත් එවකට පවතී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විත්තිකරුවන්ට එංගලන්තයේ ප්‍රිවි කවුන්සලයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි විය. ප්‍රිවි කවුන්සලය මඟින් 1965 දෙසැම්බර් 21 වන දා දෙන ලද තීන්දුවට අනුව කුමන්ත්‍රණ සැකකරුවනට විරුද්ධව නීතිමය පියවර ගැනීමට හඳුන්වාදෙන ලද 1962 විශේෂ ආඥා පනත ව්‍යවස්ථා විරෝධී විය. ඒ අනුව විත්තිකරුවන් සියලු දෙනාම නිදහස් වූ නමුත් එය නිදොස් කොට නිදහස් කිරීමක් නොවීය.

කුමන්ත්‍රණකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා විශේෂ උසාවියක් පිහිටුවනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ටී.එස් ප්‍රනාන්දු, එල් බි සිල්වා සහ ශ්‍රී ස්කන්ධරාජා යන ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩු විභාගය ආරම්භ වූයේ 1962 ජූලි මස 18 දාය. නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකු වූ රොයිස් ද මැල් ජූලි මස 1 වැනිදා නීතිඥයන් මඟින් අධිකරණයට බාර විය. මහ රැජනගේ ආණ්ඩුව පෙරළීමට නීති විරෝධි ලෙස කුමන්ත්‍රණ කිරීම, ආණ්ඩුව බිය වැද්දීමට තැත් කිරීම සහ ආණ්ඩුව පෙරළා බලය අල්ලාගැනීමට තැත් කිරීම යන චෝදනා යටතේ ඩග්ලස් ලියනගේ, මොරිස් ද මැල්, ඇෆ් සී ද සේරම්, සී.සි දිසානායක, සිඩ්නිද සොයිසා, රොයිස් ද මැල්, නොයෙල් මැතිස්, බී ආර්. ජේසුදාසන්, ටෙරී විජේසිංහ, එල්.සී.එස් වීරසිංහ සහ වී. එල්ස්ටර් පෙරේරා යන විත්තිකරුවන්ට විරුද්ධව එම නඩුව විභාග විය.

වසර දෙකහාමාරකට අධික කාලයක් විභාග වූ එම නඩුවේදී සාක්කිකරුවෝ 344 දෙනෙක් සාක්කි දුන්හ. විත්තිකරුවන්ට දඬුවම් දී ඇත්තේ අතීතයට බලපාන පරිදි සම්මත කර ගනු ලැබූ පනතකින් බැවින් එය නීති විරෝධි යැයිද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයිද, තීරණය කළ රාජාධිකරණය විසින් විත්තිකරුවන් 11 දෙනාම නිදහස් කරන ලදි. ඒ වන විට මෙරට ආණ්ඩු බලයද මාරු වී තිබුණු බැවින් ආණ්ඩුව රාජාධිකරණයේ පැවැති නඩු විභාගය කෙරෙහි උනන්දුවක් දැක්වූයේ නැත.

කුමන්ත්‍රණයෙන් පසු ඊට තුඩු දුන් පසුබිම ත්‍රිවිධ හමුදා තුළ විශාල වෙනසක් ඇති කිරීමට රජය පෙලඹවීය. මේ පසුබිම කුමක්ද?

ඕනෑම නිදහස් රටක ත්‍රිවිධ හමුදාවෙන් එරට ජන සංයුතිය නියෝජනය විය යුතුය. එහෙත් වසර 130කට වඩා පැවති බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ සිදු වූයේ එහි අනෙක් පැත්තය. එනම් ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලයන් දැරූ වැඩි දෙනා මෙරට සිංහල වැඩි ජනතාවගේ අභිප්‍රාය, පාරම්පරික සංස්කෘතිය සහ ඉතිහාසය තේරුම් නොගත් හෝ ඒ ගැන තැකීමක් නොකළ, යටත්විජිත මානසිකත්වයෙන් යුතු, බටහිරට ආවඩන, පිරිසක් වූහ. වසර 1956 දී සිදු වූ දේශපාලන පෙරළියට තුඩු දුන් කරුණුවල යථාර්ථය (එහි අඩුපාඩු කුමක් වුවත්) ඔවුන්ට වටහාගත නොහැකි විය.

සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමාජවාදී රටවල් සමඟ කිට්ටු සබඳකම් පැවැත්වීමද ඔවුන්ට රිස්සුවේ නැත. කුමන්ත්‍රණයට හවුල් වූ හැම දෙනාම පාහේ අබෞද්ධයෝ වූහ. කුමන්ත්‍රණකරුවන් එක්සත් ජාතික පක්ෂයට ළැදි වු නමුත් කුමන්ත්‍රණයට එම පක්ෂයේ සම්බන්ධයක් තිබු බවක් හෙළි නොවීය.

Comments