ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය එංගලන්ත තරගාවලියට ‘ටෙස්ට්’ එකක් | සිළුමිණ

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය එංගලන්ත තරගාවලියට ‘ටෙස්ට්’ එකක්

මෙම නව වසරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ ප්‍රථම ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සමත් විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. තරග 02කින් සමන්විත ටෙස්ට් තරගමාලාවක පළමු තරගය මෙය වේ. දෙවන තරගය හෙට(27) සිට 31 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරග පැවැත්වෙන්නේ හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදීය.

දිමුත් කරුණාරත්න සුපුරුදු පරිදි ශ්‍රී ලංකා නායකත්වය දරන අතර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ මෙසේය. ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල් ය. මෙම ටෙස්ට් තරගමාලාව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වන්නේ නැත. ඒ මෙම ශූරතාවලියට සහභාගි වන්නේ ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් 09 බැවිනි. සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ශ්‍රේණිගත කිරීම්වල අවසන් ස්ථානවල සිටියි.

කෙසේ වෙතත් මෙම තරගමාලාව දෙරටට ම වැදගත්ය. ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගමාලාවකට සහභාගි වූයේ පාකිස්තානයට එරෙහිවයි. ඒ ගිය වසරේ අගදීය. එය ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

ලබන මාසයේ දී එංගලන්තය ටෙස්ට් තරගමාලාවකට ශ්‍රී ලංකාවේ දී සහභාගි වීමට නියමිතයි. එය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වේ. එම නිසා ම ඊට ‍‍ෙහාඳින් සූදානම් වීමට මෙම සිම්බාබ්වේ තරගමාලාව උපයෝගී කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබී තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්නේ 2018 වසරෙන් පසුවයි. එහිදී ඔවුහු බංග්ලාදේශයට එරෙහිව තරග 02කට ක්‍රීඩා කළහ. සිම්බාබ්වේ එරටේදී මීට පෙර ටෙස්ට් තරගමාලාවකට අවසන් වරට ක්‍රීඩා කළේ 2017 වසරේදීය.

ගිය වසරේදී සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට මාස 03ක තහනමක් අයි.සී.සී. විසින් පනවන ලදි. ඊට හේතු වූයේ එරටේ රජය අනවශ්‍ය ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයට බලපෑම් කිරීමයි. පසුව එ‍රටේ ක්‍රීඩා ඇමැතිවරිය වන කර්ස්ටි කවන්ට්‍රිගේ බලවත් උත්සාහය නිසා ම වසර අග වන විට එම තහනම ඉවත් කරනු ලැබීය.

මේ වන විට ටෙස්ට් වරම් ලැබූ රටවල් ගණන 12කි. ඒ අතරින් අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය සමඟ ශ්‍රී ලංකාව තවමත් ටෙස්ට් තරගවලට ක්‍රීඩා කර නැත. සෙසු රටවල් 09 අතරින් තවමත් ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වී නොමැති එකම රට වන‍්නේ සිම්බාබ්වේය.

ෂෝන් විලියම්ස්

ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් 1980 මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වර්ජනය කළේය. ඒ සෝවියට් දේශයේ හමුදාව ඇෆ්ගනිස්තානයට යෑම හේතුවෙනි. ඇමෙරිකා‍ව නැති වුවත් ඉතා සාර්ථකව ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීමට සෝවියට් දේශයට හැකි වූයේ ය. 80 මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උලෙළත් සුපුරුදු පරිදි විශේෂිත සිදුවීම්, අනපේක්ෂිත පරාජයන් මෙන් ම පෙරළිකාර ජයග්‍රහණයන්ගෙන් ද සමන්විත විය. ඒ අතරින් එක් ජයග්‍රහණයක් වාර්තා වූයේ කාන්තා හොකී ක්‍රීඩාවෙනි. එහිදී රන් පදක්කම හිමිකර ගත්තේ සිම්බාබ්වේය.

එම සිම්බාබ්වේ කණ්ඩායමේ නායිකාව වූයේ ඈන් ග්‍රාන්ට්ය. ඇය (උපත 1955) ඩන්කන් ෆ්ලෙචර්ගේ නැගණිය වූවා ය. ඩන්කන් (උපත 1948) දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හෙතෙම 1983 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ සිම්බාබ්වේ නායකයාත් වූයේ ය. එමෙන් ම පසුව එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවල ජාතික ක්‍රිකට් පුහුණුකරුවා ලෙසටත් කටයුතු කළේ ය.‍

ඉහත 1980 ඔලිම්පික් ජයග්‍රහණයට විශාලතම දායකත්වය දුන්නේ පැට්රිෂියා මැකිලොප්ය. ඇය (උපත 1956 ජූලි 15) එවර හොකී තරගවලදී වැඩිම සම ගෝල් ගණනක් (06) රැස් කිරීමට සමත් වූවාය.පැට්රිෂියාගේ සැමියා සහ පුතුන් තිදෙනාම ජාතික කණ්ඩායමට ඔවුන්ගේ දායකත්වය පසුකලෙක ලබාදෙනු ලැබූහ. ඒ ‍‍හොකී සහ ක්‍රිකට් ක්‍රීඩාවෙනි‍.

ඇගේ පළමු විවාහයේ පුත්‍රයෙකු වූයේ මයිකල් ය. ඔහු (උපත 1981) පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එමෙන් ම හොකී ජාතික කණ්ඩායමේ නායකයෙකි. පැට්රිෂියාගේ දෙවන විවාහයේ සැමියා වූයේ කොලින් ය. හෙතෙම (උපත 1961) පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එමෙන් ම ජාතික හොකී කණ්ඩායමේ පුහුණුකරුවෙකි.

එම විවාහයෙන් ඇයට පුත්තු දෙදෙනෙකි. ඒ ෂෝන් සහ මැතිව් ය. මින් මැතිව් (උපත 1990) පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එමෙන් ම හොකී ජාතික කණ්ඩායමේ නායකයෙකි. ෂෝන් වත්මන් සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ය. ඔහුත් කලක් හොකී ක්‍රීඩාවෙන් කනිෂ්ඨ මට්ටමින් ජගත් තරගවලට ක්‍රීඩා කළේ ය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවේදී ඔහු පළමු වරට ටෙස්ට් නායකත්වය දරනු ලබයි.

සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනයට ගිය වසර අග වනවිට නායකත්වය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගැනීමට සිදු විය. ඒ එවකට නායකයා වූ හැමිල්ටන් මැසකඩ්සා විශ්‍රාම ගැනීම නිසා ය. ඒ අනුව ටෙස්ට් නායකත්වය විලියම්ස්ට හිමි විය. එක්දින සහ 20 – 20 ජගත් තරග නායකත්වය හිමි වූයේ චාමු චිබාබාටය‍. මැසකඩ්සා මේ වනවිට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසට ක්‍රියා කරමින් සිටියි.

ෂෝන් කොලින් විලියම්ස් 1986 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලැබීය. ඔහු වමත් පිතිකරුවෙකි‍. වමතින් දඟ පන්දු යවයි. තුන් ඉරියව් හපනෙකි‍. 2006 වසරේදී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ දී ය. ඊට සහභාගි වූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා වූයේත් විලියම්ස්ය.

ඔහු මංගල ජගත් තරග වරම ලැබුවේ 2005 වසරේදී ය. ඒ එක්දින තරගවලදී ය. 2006 වසරේදී 20 – 20 ජගත් මංගල තරග වරම ලැබීය. හෙතෙම සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 2013 වසරේදී ය. විලියම්ස් මේ වනවිට එක්දින ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයකට ක්‍රීඩා කර ඇත. ඒ 2007, 11 සහ 15 වසරවලදී ය. විලියම්ස් 2019 වසරේදී 20 – 20 ජගත් තරග 04කදී සිම්බාබ්වේ නායකත්වය දැරී ය. එහිදී ජයග්‍රහණ 03ක් සහ පරාජයකි.

Comments