මතීෂගෙන් ලොව වේගවත්ම ක්‍රිකට් පන්දුව | සිළුමිණ

මතීෂගෙන් ලොව වේගවත්ම ක්‍රිකට් පන්දුව

 

යස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලේක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගය ලකුණු 90කින් ඉන්දියාව හමුවේ පරාජය වූවද, එම තරගයේදී මතීෂ පතිරණ යැවූ තෙවැනි පන්දු වාරයේ පස්වැනි පන්දුව පිළිබඳ මේ වනවිට ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ ම අවධානය යොමු වී තිබේ. ඔස්ට්‍රේලියාවේ ජෙෆ් තොම්සන්ගේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ යැවූ තෙවැනි පන්දු වාරයේ පස්වැනි පන්දුව වේග මාපකයේ සටහන් වූයේ පැයට කිලෝමීටර් 175ක් ලෙස ය.

මේ තරගය සජීව ලෙස විකාශනය කෙරුණු අතර, වේග මාපකවල සටහන්වූ දත්ත රූපවාහිනි තිරය මතද ඒ ආකාරයෙන්ම සටහන් විය. එහිදී එකී පන්දුවේ වේගය සටහන් වූයේ පැයට කිලෝ මීටර් 175ක් හෙවත් පැයට සැතපුම් 108ක් ලෙස ය. මෙය සැබවින් ම තාක්ෂණික දෝෂයක් මත වැරැදි දත්තයන් සටහන් නොවුණා නම් අනිවාර්යයෙන් ම අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ ඕනෑම තරගයකදී වාර්තා වූ වේගවත් ම පන්දුව ලෙස සටහන් වනු ඇත.

කෙසේ වෙතත් එකී පන්දුව වයිඩ් පන්දුවක් ලෙස සටහන් වූ අතර, කඩුලු රැකි කමිල් මිශාර ද අපහසුතාවකින් තොරව ම පහසුවෙන් රැකගත්තේ ය. එමෙන් ම පිතිකරුවා ද පන්දුවට සුපුරුදු ලෙස දෑස් යොමා ගෙන සිටි අතර, ඔහු අපහසුතාවකින් තොරව ම පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ ලබාදුන්නේ ය. මතීෂ විසින් යවනු ලැබූ එකී පන්දුවේ වේගය පිළිබඳ වේග මාපකවල සටහන් වූ දත්ත තාක්ෂණික දෝෂයක් ලෙස ඇතැම් වාර්තා පළ වී තිබූ නමුත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳ තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නැත.

මීට පෙර ලොව වේගවත් ම පන්දුව යැවීමේ වාර්තා අතර ඉදිරියෙන් ම සිටියේ පාකිස්තානයේ ෂොයිබ් අක්තාර්ය. අක්තාර් 2003 එංගලන්තයට එරෙහිව පැවැති තරගයකදී පැයට කිලෝමීටර් 161.3ක වේගයකින් පන්දුවක් යවා තිබේ. එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත් ම පන්දුව යැවීමේ වාර්තාව ද අක්තාර් සතු විය. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ෂෝන් ටේට් 2010 දී එංගලන්තයට එරෙහිව පැයට කිලෝමීටර් 161.1ක වේගයකින් ද, ඔස්ට්‍රේලියාවේ ම බ්‍රෙ‍ට් ලී 2005 නවසීලන්තයට එරෙහිව පැයට කිලෝමීටර් 161ක වේගයකින්ද පන්දුවක් යවා තිබේ.

මතීෂ සිය මව, පියා සහ සොහොයුරියන් සමඟ

“පුතා මේ තරගය ඉවර වෙලා අපට කතා කළා. පුතා කිව්වේ මම පුරුදු විදියට පන්දුව දැම්මා. හැබැයි වේගය ගැන නම් එච්චර දැනගෙන සිටියේ නෑ කියලයි. පුතා කොහොමත් වේගයෙන් පන්දු යවනවා. එයාගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 135 – 140ක් විතර තියෙනවා.”

මතීෂගේ පියා අනුර පතිරණ එසේ පවසමින් කතාබහට පත්විය. 2002 දෙසැම්බර් 18 වැනිදා මහනුවරදී මෙලොව එළිය දකින මතීෂගේ පවුලේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනකි. ඒ කාවින්දි විෂුකා සහ තාරින්දි කවිෂායි. පවුලේ කටයුතු සියල්ල කළමනාකරණය කර ගන්නේ මව ශාලිකා මැණික්ය.

“පොඩි කාලේ ඉඳලම ක්‍රිකට්වලට ලොකු උනන්දුවක් තිබ්බා.”

මෙකී ක්‍රිකට් ‍උනන්දුව නිසාම මතීෂව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයයට ඇතුළත් කිරීමට වෙර දැරුව ද එකී උත්සාහය අසාර්ථක වී තිබේ. පසුව මතීෂ සිය අධ්‍යාපන කටයුතු සඳහා පිය මනින්නේ දොඩම්වල ජනාධිපති ආදර්ශ විද්‍යාලයයටය. මේ අතර මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාවක් ද උදා වී තිබේ.

පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව හය වසරට සිසුන් ඇතුළත් කර ගන්නා විභාගයකට පෙනී සිටින මතීෂ ඉන් ලකුණු 232 ක් ලබා ගෙන තිබේ. මතීෂගේ අධ්‍යාපනය ද, ක්‍රීඩාව ද යන ගැටලුවට මැදිහත් වන දෙමාපියන් අවසානයේ නිගමනය කරන්නේ අධ්‍යාපනයට මුල්තැන දිය යුතු බවය. ඒ අනුව ඔවුන්ගේ තෝරා ගැනීම වන්නේ රණබිම රාජකීය විද්‍යාලයයි. රණබිම රාජකීය විද්‍යාලය අධ්‍යාපනයට වැඩි බරක් තියලා තියෙන පාසලක්. එහේ මුලින් ක්‍රිකට් තිබුණේ නෑ. ටික ටික ඉදිරියට ගියා. සම්පත් සිල්වා සර් තමයි පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්තිවාරම දැම්මේ.

මතීෂගේ පියා අතීතය වර්තමානය සමඟ එසේ ගැට ගසන්නට වෙර දරයි.

“සම්පත් සර්ව හම්බ වුණේ මතීෂ හත වසරේ ඉගෙන ගන්න කොට. එතැන ඉඳල තමයි ක්‍රමයෙන් ඉදිරියට ආවේ.”

“2014 මතීෂ මට හම්බ වෙනකොට හත වසරේ ඉගෙන ගත්තේ. 13න් පහළ බී කාණ්ඩයේ පළමු තරගයේදීම කුරුණෑගල ශාන්ත ආනා තරගයේදී විකට් 6ක් ගත්තා. 2015 දී මතීෂ අපේ ටීම් එකේ ආරම්භක පිතිකරුවා. නිවැරැදි ඉලක්කයට පන්දු යවන්නේ නෑ. හැබැයි වේගයෙන් පන්දු යවනවා.”

සම්පත් සිල්වා පුහුණුකරුවකු ලෙස මතීෂ සමඟ කටයුතු කළ අයුරු එසේ විස්තර කරයි. මෙසේ සිය හැකියා වර්ධනය කරගත් මතීෂ මහනුවර දිස්ත්‍රික්ක සහ මධ්‍යම පළාත් කණ්ඩායම්වල ද ඇතුළත්වීමට සමත් විය. එහිදී අමිල පින්නදූවගෙන් මතීෂට බොහෝ ගුරුහරුකම් ලැබේ. ඒ අතර ඉන්දික ප්‍රනාන්දුගෙන් ලැබුණු සහාය ද සුළුපටු නොවේ. අමිල පින්නදූවගේ මඟ පෙන්වීම මත ඛෙත්තාරාමයේ පුහුණුවීම්වලට යොමු වන මතීෂ එහිදී චමින්ද වාස්, චමිල ගමගේ සහ රවින්ද්‍ර පුෂ්පකුමාර යටතේ වැඩිදුරටත් ක්‍රීඩාව ප්‍රගුණ කළ මතීෂ 2020 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගත්තේ ය. මේ අතර කාලයේ මතීෂට විවිධ පාසල්වලින් විශාල ඉල්ලුමක් පැවැති බව ද මතීෂගේ පියා පවසයි‍.

“මතීෂ ඉදිරියට එනකොට හැම පාසලකින් ම වගේ පුතාට එන්න කිව්වා. කොළඹට යවලා හොඳ පුහුණුවක් දෙන්න මුලදී හිතුවත් අන්තිමේදී ත්‍රිත්ව විද්‍යාලයේ නිලන්ත රත්නායක, දැන් පුහුණුකරු කාවින්ද ජයසූරිය, ළහිරු සහ හරීන් කළ ඉල්ලීම් උඩ එහෙට යන්න තීරණය කළා. මේ වනවිට මතීෂගේ සියලුම වගේ වගකීම් ත්‍රිත්ව විද්‍යාලය දරනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.”

මතීෂගේ ලොකු අක්කා කාවින්දි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර පොඩි අක්කා තාරින්දි ද විශ්ව විද්‍යාල වරම් දිනාගෙන තිබේ. පුතා හැමදාම දවස පටන් ගන්නේ පිරිත් කියලා. ආගම දහමට පුදුම ළැදියාවක් තියෙනවා. ෆෝන් එකෙත් පිරිත් තමයි දාගෙන ඉන්නේ. මතීෂගේ පියා මතීෂගේ වෙනත් පැත්තක් එසේ අනාවරණය කළේ ය.

Comments