ගෝල 500ක් ගැසූ ජාතික ක්‍රීඩා උලෙළ 22 වතාවක් නියෝජනය කළ ශ්‍රී ලංකා පාපන්දු පිලේ හිටපු නායක ‘චන්න’ දරු පවුල රකින්න සටනක | සිළුමිණ

ගෝල 500ක් ගැසූ ජාතික ක්‍රීඩා උලෙළ 22 වතාවක් නියෝජනය කළ ශ්‍රී ලංකා පාපන්දු පිලේ හිටපු නායක ‘චන්න’ දරු පවුල රකින්න සටනක

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වශයෙන් සලකනු ලබන්නේ පාපන්දු ක්‍රීඩාවයි. පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ද ජනප්‍රියත්වයට පත් වෙමින් ඇතත් එම ක්‍රීඩාවේ නියැළී සිටින ක්‍රීඩකයන්ගේ ඉරණම සතුටුදායක එකක් නොවේ. ලෝකයේ ප්‍රසිද්ධම පාපන්දු ක්‍රීඩකයන්ට ඒ රට වලින් මෙන්ම ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජවලින් ඩොලර් මිලියන ගණනින් එසේත් නැත්නම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලබා දෙනු ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන් ම පළමු පෙළ තරග වදින ක්‍රීඩකයන්ට යම් සාධාරණ ගෙවීමක් සිදු කරනු ලබයි. එහෙත් පාපන්දුවේ නියැළී සිටින ක්‍රීඩකයන්ට එවැනි ගෙවීමක් සිදු නොකරන අතර පාපන්දු ලීගය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට එම ක්‍රීඩා සමාජය විසින් ඉතා සුළු මුදලක් පමණක් ලබා දෙන අතර ඇතැම් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩයෝ ස්වෙච්ඡාවෙන් තම සහභාගීත්වය ලබා දෙති.

ශ්‍රී ලංකාව තුළ බිහි වූ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු මෙන් ම ජාතික කණ්ඩායම නියෝජනය කරමින් වසර ගණනාවක් ම ඒ සඳහා නායකත්වය ලබා දුන් පාපන්දු ක්‍රීඩකයෙකු මේ වන විට තම බිරිය මෙන් ම දරුවන් තිදෙනා සමඟ මහමඟට වැටී සිටීම ඉතා කණගාටුදායක සිද්ධියකි.

නමින් පී.බී. චන්න. එසේත් නැත්නම් ශ්‍රී ලංකා පාපන්දුවේ වේගවත්ම ක්‍රීඩකයා (ඊතලය) ලෙස සැලකෙන ඔහුට දැනට අවුරුදු හතළිස් දෙකකි. දැනට පැවැ‍ත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා පාපන්දු ලීගය (F.A.) තුළ ඔහු ගෝල හයක් ලබා ගෙන සිටියි.

කළුතර බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය නියෝජනය කරන චන්න මෙරට පාපන්දු ඉතිහාසයේ ගෝල 500ට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබේ. පාපන්දු ක්‍රීඩාවට මුල් තැන ලබා දෙන චන්න සිය දරු පවුල නඩත්තු කිරීම සඳහා ගාල්ල නගරය ආශ්‍රිතව නොයෙක් කම්කරු රැකියාවල නිරත වෙමින් සිටියි.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙන් ම ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් පාසල් කාලයේදී දක්ෂතා දක්වා අවස්ථා කිහිපයකදීම සමස්ත ලංකා ජයග්‍රහණ ලබා දීමට සමත්ව තිබේ. පාසල් කාලයෙන් පසු 1997 සිට 2020 මේ දක්වා ම පාපන්දු ක්‍රීඩා සමාජ රැසක් ම නියෝජනය කරමින් මෙම ක්‍රීඩා සමාජවලට ජයග්‍රහණ රැසක් අත්පත් කර දී තිබේ.

පෙටා යුනයිටඩ්, රත්නම්, සහුර්සන්, බ්ලුස්ටාර් යන ක්‍රීඩා සමාජවලට ඔහු මෙලෙස සිය දායකත්වය ලබා දී ඇත. චන්නගේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු 14දී පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සිය දායකත්වය ජාතික මහා ක්‍රීඩා උලෙළට දකුණු පළාත නියෝජනය කරමින් ලබා දුන් අතර විසිදෙවතාවක් ඒ සඳහා සහභාගි වූ එකම පාපන්දු ක්‍රීඩකයා වීම විශේෂත්වයකි.

රටවල් රැසකම පාපන්දු තරගවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩාවේ නියැළුණු චන්න මාලදිවයිනට ගොස් වෘත්තීය මට්ටමින් අවස්ථා දෙකකදී ක්‍රීඩා කර තිබේ.

චන්නට නොසිතූ ඉරණමකට මුහුණ දීමට සිදුවී ඇත්තේ 2017 වසරේදීය. ආර්ථික ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වූ බැවින් චන්න ස්ථිර රැකියාවක් සොයා ‍ගියේය. එහිදී මිතුරෙකු මගින් ගාල්ල මහනගර සභාව වෙත ගිය චන්නට තාවකාලික රැකියාවක් ලැබුණි. ඒ දඩල්ල සුසාන භූමියේ තණකොළ කැපීම මෙන්ම වළවල් හෑරීමයි. මාස කිහිපයක් එහි රැකියාව කුළී පදනම මතසිදු කළ චන්න ක්‍රීඩාවේ ගෞරවය මෙන් ම තම දියණියන් තිදෙනාගේ ඉල්ලීම මත එම රැකියාවෙන් ඉවත් විය.

ලෝකයේ වෙනත් රටක පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස චන්න බිහි වූයේ නම් අද ඔහු පෞද්ගලික ගුවන් යානා, පෞද්ගලික දූපත්වලට හිමිකම් කියනු ඇත. එහෙත් අද ඔහුට මෙරටදී අත්වී තිබෙන ඉරණම ඉතා කණගාටුදායක එකකි. රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක්, පරිත්‍යාගශීලී පුද්ගලයන් චන්න වෙත යම් සහනයක් ලබා දීමට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු. සිය පාපන්දු ජීවිතය මෙන් ම වර්තමානය පිළිබඳව චන්න ‘සිළුමිණ’ ට මෙසේ පැවසීය.

“මම පාපන්දුවට හරිම ආදරෙයි. පොඩිම කාලේ පාපන්දුව තුරුලු කරන් නිදා ගත්තා. මම මගේ හොඳම යාළුවා කර ගෙන ඉන්නෙත් පාපන්දුවමයි. පාසල් යනකොට මගේ බෑග් එකේ බූට් දෙක හැමදාම තිබුණා. මේ නිසාම මට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකයා වෙන්න හැකි වුණා. මට අද මගේ දුවලා තුන්දෙනා පාසල් යවන්න බිරියත් එක්ක ලොකු සටනක් දෙන්න සිද්ද වෙලා තිබෙනවා. ජාතික ක්‍රීඩකයෙක් වෙච්ච මට අද රැකියාවක් නැහැ.

ගාල්ල ‘ලයිට් හවුස්’ හෝටලය ඉදිරිපිට පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකරනවා. එහි පාපන්දු පුහුණු කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. මට ඒ සඳහා අවස්ථාවක් ලබා දී රැකියාවක් ලබා දෙන ලෙස මා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.”

Comments