ඕස්ට්‍රේලියා ටෙනිස් වසන්තය ඇරැඹේ | සිළුමිණ

ඕස්ට්‍රේලියා ටෙනිස් වසන්තය ඇරැඹේ

වාර්ෂිකව ටෙනිස් ක්‍රීඩාවට අදාළව ප්‍රධානතම ශුරතාවලි සතරක් පැවැත්වේ. එය හැඳින්වෙන්නේ ග්රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලි ලෙසටයි. ඊට ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා සහභාගි වෙති. එහිදී අතිවිශාල ත්‍යාග මුදලකුත් පිරිනැමේ. මෙම ග්රෑන්ඩ් ස්ලෑම් ශුරතාවලියන්ට ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංස විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘත තරගාවලි සතර අයත්ය. මේ ශුරතාවලි සතරින් මුලින්ම පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියානු විවෘත ශුරතාවලියයි. මෙවර එය පැවැත්වෙන්නේ 108 වැනි වතාවටයි. 2020 ශුරතාවලිය ජනවාරි 20 සිට පෙබරවාරි 02 දක්වා පැවැත්වීමට නියමිතය. සුපුරුදු පරිදි මෙවරත් ශුරතාවලිය පැවැත්වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර පිහිටි මෙල්බර්න් උද්‍යානයේදීය.

කෙසේ වෙතත් ගත වූ මාස කිහිපයක කාලය තුළදී ළැව්ගිනිවලින් වූ බලපෑම් මෙම තරගාවලියේ මුල් දිනවලටත් බලපෑවේය. විශේෂයෙන්ම ප්‍රධාන තරග සඳහා පැවැති සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලදී ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ‍වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් සිදු වුහ. ඊට බලපෑවේ මෙල්බර්න් නුවර අහස දුමාරයකින් වැසී තිබීම නිසාය. මෙවර කේවල (තනි) ශුරතාවට පිරිනමන ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 4, 120,000 බැගින් වූ මුදලකි. අනුශුරතාවට ඔස්ට්‍රේලියානු ඩොලර් 2,065,000 බැගින් මුදල් පිරිනැමේ. ඉකුත් වසරේදී සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ජපානයේ නයෝමි ඔසාකා කේවල ශුරතා හිමිකර ගත්හ. මෙවරත් පිරිමි කේවල ශුරතාව හිමිකර ගැනීමට ‘බිග් ත්‍රී’ නමින් ප්‍රචලිත ජොකොවිච්, ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ඉදිරියෙන්ම සිටිති. ඔවුන් තිදෙනාම විසින් හිමි කරගෙන තිබෙන ඔස්ට්‍රේලියානු විවෘත කේවල මුළු ශුරතා ගණන 14කි. එමෙන්ම වැඩිම කේවල ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතා ගණනක් හිමිකර ගෙන සිටින ශුරයා වන ෆෙඩරර්ගේ වාර්තාව සම කිරීමට නඩාල්ට අවශ්‍ය වන්නේ තවත් ශුරතාවයක් පමණි. ෆෙඩරර්ට ශුරතා 20කි. නඩාල්ට 19කි. ජොකොවිච්ට 16කි.

ඇමෙරිකාවේ සුපිරි ටෙනිස් ශුරිය වන සෙරිනා විලියම්ස් ද මෙවර ශුරතාවලියට සහභාගි වන්නේ කාන්තා ලෝක වාර්තාව සම කිරීමේ බලාපොරොත්තුවෙනි. මේ වන විට ග්රෑන්ඩ් ස්ලෑම් කේවල වැඩිම ශුරතා ගණනක් හිමි කරගත් ශුරිය වන්නේ ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝර්ට්ය. ඇයට හිමි මුළු කේවල ශුරතා ගණන 24කි. සෙරිනාට ශුරතා 23කි. ඊට ඔස්ට්‍රේලියා විවෘත කේවල ශුරතා 07ක්ද අයත්ය.

 

Comments