සරු බව වෙනස් කළ විද්‍යාඥවරිය | සිළුමිණ

සරු බව වෙනස් කළ විද්‍යාඥවරිය

1900 යම් දිනක ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එක්විය. ඩිම්බය කළලයක්ව සෛල දහස් ගනනකට බෙදුණි. ඉන් මාස නමයකට පසු මීරියම් ෆ්‍රිඩ්මන් 1901 අගෝස්තු 18වන දින උපත ලැබුවාය. ඇ‍ය නමින් මීරියම් ය. ඇය ළදරුවකු කල ඇයත් සමඟ පවුලේ උදවිය ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය. වෛද්‍යවරයකු වූ පියා උපයන ධනයෙන් ඇය සැප පහසුව උස් මහත්විය.

කොරෙනෙල් විශ්ව විද්‍යාලයෙන් පටකවේදය හා සංසන්ධනාත්මක ව්‍යුහවේදය පිළිබදව උපාධියක් ලබාගත් ඇය විද්‍යාඥවරියක් ලෙස සේවය කිරීම ඇරඹුවාය. ඉන් වසරකට පසු කොළොම්බියා විශ්වවිද්‍යාලයෙන් ජාන විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධිය ලබාගත් ඇය ජීව විද්‍යාව ඉගැන්නුවාය.

පියාගේ අඩි පාරේ යමින් වෛද්‍ය විද්‍යාලයට යාමට තීරණය කලද භාධක රැසක් ඇගේ ගමනට අකුල් හෙලන්නට විය. කාන්තාවක වීම නිසා ප්‍රධානම වෛද්‍ය විද්‍යාල දෙකක් විසින් ඇයව ප්‍රතික්ශේප කරන ලදී. එනිසා වෛද්‍යවරියක් වීම පසකට තබා ඇය හාවඩ් හි වෛද්‍ය සිසුවෙකු සමඟ විවාහ වූවාය. සැමියා වූ වැලී මැන්කින්ගේ සටහන් කියවීමෙන්, පර්යේෂණ, නිබන්ධන වලට සහය දීමෙන් ඇය තම වෛද්‍ය විද්‍යාත්මක දැනුම වර්ධනය කරගත්තාය. එපමණක් නොව ප්‍රකට පර්යේෂකයන් හා එක්ව පරීක්ෂණ කිරීමටද ඇයට වරම් ලැබින.    

නළයක මිනිස් කළලයක් වර්ධනය කිරීමට සමත්කම් දැක්වූ මුල්ම පුද්ගලයා ඇයයි. මිනිස් සරු බවේ නවමු පිම්මකට විද්‍යාව යොමු කල ඇය පිළිබඳව දන්නේ අතලොස්සකි. 

විද්‍යාත්මක සොයාගැනීමේ ඉතිහාසයේ බොහෝ නව නිමැවුම් සොයාගන්නේ අහම්බෙනි නැතහොත් අත් වැරදීමකිනි. ඇපල් ගෙඩියක් ඔලුවට වැටීම, යතුරකට අකුණු සැර වැදීම, පෙට්‍රි දීසි අපිරිසිදු වීම වැනි අහම්බයන් කලාතුරකින් සිදුවේ. යුරේකා!!! ඒ අහම්බයන් ඔස්සේ යන විදුහුරුවන් අලුත් දෑ සොයාගනියි.
 
මීරියම් මැන්කින්ගේ කතාව එයින් මදක් වෙනස්ය. 1994 පෙබරවාරි මස අඟහරුවාදා දිනක හතලිස් තුන් හැවරිදි වියේ පසුවන විද්‍යාගාර තාක්ෂණික ශිල්පිනිය තම අට මස් හැවරිදි කුඩා දියණියව නළවා විද්‍යාගාර නිදර්ශකයක් ආමුකූලනය කළාය. පසුගිය අවුරුදු හය ඇතුලත සෑම සතියකම විද්‍යාගාරයට ගියා මෙන් ඇය පසුදා ද විද්‍යාගාරයට ගියාය. බදාදා දිනයේ ඇය සේදූ ඩිම්බයකට ශුක්‍රාණු ද්‍රාවණයක් හදුන්වාදුන්නාය.වසර හයක් පුරාවට ඇය එම කාර්යයේ නිරත විය. සෑම අඟහරුවාදා දිනකම ඩිම්බ දායකයන්ගෙන් ඩිම්බ රැගෙන එන ඇය බදාදා දින ඩිම්බයට ශුක්‍රාණු හදුන්වාදෙන අතර බ්‍රහස්පතින්දා එම ඩිම්බය සංසේචනය වේ යැයි බලාපොරොත්තුවෙන් සිටින්නීය. සෑම සිකුරාදාවකම අංවීක්ෂයෙන් බලා සංසේචනය නොවුන ඩිම්බ ඉවත් කරන්නීය. 

හාවඩ් විශ්වවිද්‍යාලයේ සරු බාවය පිළිබඳ විශේෂඥ ජෝන් රොක්ගේ තාක්ෂණිකවේදියකු ලෙස කටයුතු කරන මැන්කින්ගේ ඉලක්කය වූයේ මිනිස් සිරුරෙන් පිටතදී කළලයක් සංසේචනය කිරීමය. වඳ බාවයට පිළියම් කිරීමට රොක්ට තිබූ සැලැස්මේ පළමු පියවර මෙය වූ අතර එය වෛද්‍යවරුන්ට විද්‍යාත්මකව තේරුම් ගැනීමට අපහසු අභිරහසක් විය. රොක්ට විශේෂයෙන්ම අවශ්‍ය වූයේ සරු ඩිම්බ කෝෂ ඇති මුත් පැලෝපීය නාලයන්ට හානි වූ කාන්තාවන්ට උපකාර කිරීමටය. ඔහුගේ සායනයට පැමිණෙන කාන්තාවන්ගේන් පහෙන් එකකගේම වඳ බාවයට හේතුව වූයේ පැලෝපීය නාලයේ ඇති ගැටලුය. 
 
සාමාන්‍යයෙන් මැන්කින් මිනිත්තු තිහක් පමණ ශුක්‍රාණු හා ඩිම්බ එකිනෙක නිරාවරණය කරවයි. වසර ගනනාවකට පසුව ඇය වාර්ථාකරුවෙකුට එම සුවිශේෂී දිනයේ වූ දෑ පැවසුවාය. "මම එදා ඉතාමත් වෙහෙසට පත්ව නිදිමතින් සිටියා. අන්වීක්ෂයෙන් ඩිම්බය වටා ශුක්‍රාණු එක්වන අයුරු නිරීක්ෂණය කරමින් සිටි මට පුරා පැයක් ගතවන තුරුම ඔරලෝසුව දෙස බැලීමට අමතක වුණා. ඇත්තෙන්ම මගේ සාර්ථකත්වයට හේතුව වසර සයක අසාර්ථකත්වයෙන් පසුව හදිස්සියේ ඔලුවට පැමිණි ප්‍රබුද්ධ අදහසක් නොව වැඩ කරන අතරේ කුකුල් නින්දක් නිදා ගැනීමයි."
 
සිකුරාදා නැවත විද්‍යාගාරයට ගිය විට ඇය අරුම පුදුම දෙයක් දුටුවාය. ඒ ඩිම්බය සංසේචනය වී කළලයක් බවට පත්වී ඇත. එය මිනිස් ශරීරයෙන් පිටත වර්ධනය කරන ලද මුල්ම කළලයයි.

මැන්කින්ගේ ජයග්‍රහණය ප්‍රජනන තාක්ෂණයේ නව යුගයක් උදා කරන ලදී. විද්‍යාඥයන් වඳ භාවයට පත් කතුන් ගැබ් ගැන්වීමේ සිට නළ දරු උපත් පිළිබඳව පරීක්ෂණ සිදු කරන යුගය එතනින් ආරම්භ විය. 1978දී ප්‍රථම නළ දරුවා, ලුයිස් බ්‍රවුන් බිහිවිය.ඉක්මනින්ම IVF ක්‍රමයට ළමුන් බිහි කිරීම විශාල ව්‍යාපාරයක් බවට පත්විය.

ඇය නොසැලකිලිමත් අයුරින් ඇගේ කතාව කීවද මැන්කින්ගේ සාර්ථකත්වය අහම්බයක් නොවේ. විශිෂ්ඨ සොයාගැනීම් කළ සැවොම මෙන් ඇයද පැමිණියේ රෝස මල් ඇතිරූ මඟක නොව  වසර ගනනාවක් මහන්සිව කරන ලද පර්යේෂණ, තාක්ෂණික කුසලතාවය, වෙහෙස මහන්සිව වැඩ කිරීම, එකම පර්යේෂණය නැවත නැවත කිරීමට තිබූ ඉවසීම හා කැපවීම නිසාවෙනි. පර්යේෂණය පිළිබඳව ඇය බොහෝ පර්යේෂණ ග්‍රන්ථ හා විද්‍යා ජර්නල ලීවද රොක්ට තරම් පිළිගැනීමක් ඇයට නොතිබුණි. 
 
පසුකාලීනව මැන්කින්ට රොක්ගේ විද්‍යාගාරය අත්හැර යාමට වූ අතර රොක්ට මැන්කින්ගේ පර්යේෂණ කරගෙන යාමට ඇය තරම් දක්ෂ තාක්ෂණවේදියකු සොයාගැනීමට නොහැකි විය. පසුව නැවතත් මැන්කින් රොක් සමඟ එක්ව පර්යේෂණ කිරීම ආරම්භ කලද එවිට ඔහු උපත් පාලන පෙති පිළිබඳව පර්යේෂණ කරමින් සිටියේය. නැවතත් IVF පිළිබඳව පර්යේෂණ කිරීමට අවස්ථාවක් නොලත් මැන්කින් 1992 ජූනි 8 වන දින බොස්ටන් හීදී මිය ගියාය. 
 

Comments