‘ජින­සේන’ නාමය බබ­ළ­වන සමාජ මෙහෙ­වර පෙර­හර | සිළුමිණ

‘ජින­සේන’ නාමය බබ­ළ­වන සමාජ මෙහෙ­වර පෙර­හර

 

න්ජි­නේරු ශිල්පය හා මනු­ස්ස­කම එකට තබා­ගැ­නීමේ වටි­නා­කම, තම පර­පුරේ උරු­ම­යෙන් මෙන්ම ජීවි­තා­ව­බෝ­ධ­යෙන්ද හඳු­නා­ගත් ආචාර්ය තිස්ස ජින­සේන, කළ­ම­ණා­ක­ර­ණය නම් වූ ශාස්ත්‍ර­යට මනු­ස්ස­කම එක් කර­මින් ව්‍යාපාර ලෝක­යට සාර්ථක කළ­ම­නා­ක­රණ මඟක් හඳුන්වා දුන්නේය. සමාජ සත්කා­රය යනු ව්‍යාපා­ර­යක බාහිර සැර­සි­ල්ලක් හෝ පල­ඳ­නා­වක් හෝ නොවන බව, එනම් ව්‍යාපා­ර­යත් සමාජ සත්කා­ර­යත් යන දෙඅං­ශ­යම සාර්ථ­ක­ත්වය නමැති දුම්රිය ගම­නට අවශ්‍ය පීලි දෙකම බව තම වෘත්තීය ජීවි­තයේ මුල සිටම ඔහු හඳුනා ගත්තේය. ආද­ර්ශය වඩා උතුම්ය යන අද­හස පෙර­දැ­රිව මහ­පො­ළොවේ දෙපය තැබූ ඉන්ජි­නේ­රු­වකු වූ ඔහු, තම ගම­නට පළමු මඟ පෙන්වීම ලබන්නේ මෙරට කාර්මික පුන­රු­දයේ පුරෝ­ගා­මි­යකු වන සී. ජින­සේන නම් තම සීයා හා ටී.එස්. ජින­සේන නම් තම පියා වෙතිනි.

ශ්‍රී ලාංකික ජන­ස­මා­ජයේ සංස්කෘ­තික තොටිල්ල වන්නේ පැරණි අනු­රා­ධ­පුර රාජ­ධා­නි­යයි. බ්‍රිතාන්‍ය යට­ත්වි­ජිත සම­යට පසුව, දහ­න­ව­වන සිය­වස ඇර­ඹු­මේදී මතු වන සංස්කෘ­තික පුන­රු­දු­යට උර­දෙන දේශ­ප්‍රේ­මීන් අතර මුල­ටම සී. ජින­සේන නාම­යද කියැ­වෙයි. බුදුන් වහ­න්සේගේ ද්‍රෝණ­යක් ධාතූන් වහන්සේ නිදන් කොට තැනූ රැව­න්මැලි මහා­සෑය 1903දී ප්‍රති­සං­ස්ක­ර­ණය කෙරෙන අතර එහි ඉන්ජි­නේ­රු­මය දාය­ක­ත්වය දරනු ලබන්නේ සී. ජින­සේන විසිනි. ඔහු තම වෘත්තීය ජීවි­ත­යට එක් කළ එවැනි මෙහෙ­වර අතර පළමු සමාජ සත්කා­රය ලෙස සට­හන් වන්නේ තිස්ස­ම­හ­රාම වෙහෙර වටා වානේ ගේට්ටු­වක් ඉදි කර දීමය. මිහි­න්තලේ පිය­ගැ­ට­පෙළ ප්‍රති­සං­ස්ක­ර­ණය, කත­ර­ගම කිරි­වෙ­හෙර සල­ප­තළ මළුව ප්‍රති­සං­ස්ක­ර­ණය, සේරු­වා­විල ප්‍රති­සං­ස්ක­ර­ණය, එකල ඔහු මූලි­ක­ත්වය ගත් සමාජ සත්කර අතර කැපී­පෙ­නෙයි. ශ්‍රී මහා බෝධිය වටා යකඩ කණු යොදා ආර­ක්ෂිත වැටක් සෑදී­මද ඒ අතර වෙයි.

රුව­න්මැලි මහා­සෑයේ ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපෘ­තියේ දෙවන පිය­වර අව­ස්ථා­වේ­දීද අදාළ ඉන්ජි­නේරු දාය­ක­ත්වය දුන්නේ ජින­සේන සමා­ගම මඟිනි. ඊට අම­ත­රව ශ්‍රී මහා බොධීන් වහ­න්සේගේ රන්වැ­ටට යොදා­ගත් කණු කැට­යම් ලියවා දීම, එමෙන්ම බොධීන් වහ­න්සේට අවශ්‍ය ජල පහ­සු­කම් සපයා දීම, අලුත් කොඩි කනු 16ක් සවි කොට එහි රන් ආලේප කිරීම ජින­සේන සමා­ගම ක්‍රියා­වට නංවා පව­ත්වා­ගෙන යන සමාජ මෙහෙ­ව­රය.

වෘත්තීය ජීවි­තය සමඟ තම සීයා පව­ත්වා­ගත් සමාජ මෙහෙ­වර වර්ත­මා­නයේ ජීව­මාන කරන ආචාර්ය තිස්ස ජින­සේන අනු­රා­ධ­පු­රය කේන්ද්‍රී­යව පළල් සමාජ සත්කාර ව්‍යාපෘති කිහි­ය­ප­යක්ම ක්‍රියා­වට නංවයි. ගමේ දරු­වන් ගමේ­දීම සිය කුස­ලතා මතු කර­ගෙන තම දෙප­යින් නැගිට සිටින පර­පු­රක් බවට ගොඩ­නැ­ඟීම උදෙසා වන, දිග­නේ­ගම ශිෂ්‍ය සංව­ර්ධන ව්‍යාපෘ­තිය හා රජ­රට වෙළා­ගත් වකු­ගොඩු රෝගය සුව කිරීම වෙනු­වෙන් පව­ත්වා­ගෙන යන ඇල­ය­ප­ත්තුව ‘සුව උදාන’ වෙද මැඳුර සංව­ර්ධන ව්‍යාපෘ­තිය ඒ අතර කැපී පෙනෙයි. දරි­ද්‍ර­තාව ඇතු­ළුව විවිධ හේතු නිසා හුදෙ­කලා වූ ජන සමා­ජ­ය­කට තම දෙප­යින් නැගී සිටි­න්නට දිරි දීමක්, මඟ­පෙ­න්වී­මක් මේ ව්‍යාපෘති ඇසු­රෙන් පණ ලබයි.

දිග­නේ­ගම විද්‍යා­ලය යනු ආසන්න නග­ර­යෙන්ද ප්‍රධාන මාර්ග­යෙන්ද හුදෙ­කලා වූ පාස­ලකි. එහි විදු­හ­ල්ප­ති­ව­රයා පුමුඛ ගුරු මණ්ඩ­ලයේ කැප­වීම නොව­න්නට එම පාසල කල­කට පෙර වැසී, අවට ගම්ව­ලින්ද එහි එන දරු­ප­ර­පු­රට සද­හ­ටම අධ්‍යා­ප­නය අහිමි වීම­ටද ඉඩ තිබිණි. ගුරු මණ්ඩ­ලයේ හා දරු­වන්ගේ උන­න්දුව පම­ණක් අවශ්‍ය මූලික පහ­සු­කම් වුවද සප­යා­ගැ­නී­මට නොසෑහේ.

රටේ සම්පත් බෙදී යෑමේ විෂ­ම­තාව මෙවැනි හුදෙ­කලා පාසල් ඇසු­රෙන් වුවද දැකී­මට හැකිය. මේ හිස්තැන ගැන භෞති­කව පම­ණක් නොව ආධ්‍යා­ත්මි­ක­වද දකින ආචාර්ය තිස්ස ජින­සේන දිග­නේ­ගම පාස­ලට පම­ණක් නොව අවට ගම්ව­ල­ටද පුනු­රු­ද­යක් ගෙන ඒමට ක්‍රියා­ත්මක වෙයි. පාස­ලට නව ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි­කි­රීම මගින් භෞතික දියු­ණුව සංකේ­ත­වත් කළ අතර බුදු­මැ­දු­රක් ඉදි කර දීම ආධ්‍යා­ත්මික මඟ­පෙ­න්වීම සංකේ­ත­වත් කරයි. පාස­ලට එන දරු­වා­ගෙන් අරම්භ කොට ගම-සමා­ජය සවි­බල ගැන්වීම අර­මුණ විය. වඩාත් අසීරු අභි­යෝ­ගය වූයේ පාස­ලට දරු­වන් ගෙන්වා­ගැ­නී­මයි.

ගොවි­තැන එකම ආදා­යම් මාර්ගය වූ පවු­ල­කට ඇති ආර්ථික දුෂ්ක­රතා හමුවේ මවු­පි­යන්ට තම දරුවා පාසල් යැවීම දෙවැනි කාර­ණ­යක් බවට පත් වෙයි.

අග­හි­ඟ­කම හා නොදැ­නු­ව­ත්කම විසින් ඇති කරනු ලබන චිත්ත පීඩාව හමුවේ දරු­වන්ගේ පියා, ආර්ථි­කය තවත් දුර්වල කරන මතට ඇබ්බැහි වීමද මෙවැනි ගම්ව­ලට අලුත් කතා­වක් නොවේ. දරු­වන්ගේ කුස­ලතා මතු කර­ග­න්නට ඇති බාධාව පාසල දුෂ්කර වීම පම­ණක් නොවන බව, මවු­පි­යන්ගේ නොදැ­නු­ව­ත්කම එමෙන්ම ආර්ථි­කය නාස්ති කරන වැරදි ජීවන රටාව වැනි සාධ­කද දුප­ත්කම කෙරෙහි බල­පාන බව, ගමට කියා­දෙන මඟක් නොවීය. දිග­නේ­ගම ශිෂ්‍ය සංව­ර්ධන ව්‍යාපෘ­තිය මඟින් ආචාර්ය තිස්ස ජින­සේන ජය ගත්තේ මේ අභි­යෝ­ග­යයි. ඔහු පාස­ලට එන දරුවා මඟින් මවු­පි­ය­න්ටත් ගම­ටත් දුප්ප­ත්යැයි සිතා සිටින සමා­ජ­ය­ටත් කතා කොට තම තමන්ට දෙප­යින් නැගී සිටිය හැකි බව කියා දුන්නේය. සිය­ල්ලට වඩා තම හිතේ ශක්තිය වැද­ගත් බව පිය­ව­රෙන් පිය­වර ඒත්තු ගැන්වීය.

දුප්ප­ත්යැයි කොන් කරන හුදෙ­කලා පාස­ල­කට වුවද ඒ පාසල වටා ඇති ගම­ටද ලෝක අභි­යෝග හමුවේ වුවද තම දෙප­යින් නැගිට ගැනීමේ ශක්තිය තමන් තුළම ඇති බව දිග­නේ­ගම විදු­හලේ දරු­වන් මෙන්ම ගම්වැ­සි­යෝද සනාථ කර­මින් සිටිති. අවශ්‍ය වන්නේ සැල­සු­ම්ගත දිරි දීමකි. ජින­සේන පුහුණු හා පුන­රු­ත්තා­පන භාරය මඟින් විවර කර දුන්නේ ඒ කවු­ළු­වයි. වකු­ගඩු රෝග­යෙන් පෙළෙන රජ­රට වැසි­යන් වෙනු­වෙන් රෝහල් පහ­සු­කම් සපයා දීමෙන් නොනැ­ව­තුණු ආචාර්ය තිස්ස ජින­සේන මහ­පො­ළො­වට වස-විස මුසු කරන ගොවි­තැන් ක්‍රමය වෙනස් කොට කාබ­නික ගොවි­තැ­නට ගොවි­යන් පොල­ඹ­ව­න්නද පිය­වර ගත්තේය. තම සීයා වූ සී. ජින­සේන රුව­න්මැලි මහා­සෑය ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපෘ­තිය මඟින් සංකේ­ත­වත් කළ ජන­ස­මා­ජ­යට අත්‍ය­වශ්‍ය ආධ්‍යා­ත්මික සංව­ර්ධ­නය මේ සෑම සමාජ සත්කා­ර­ය­කම දක්නට ඇති විශේ­ෂ­ත්ව­යකි.

මත්තෙ­ගොඩ ඔසු උයන, බෙලි­හු­ල්ඔය ඖෂ­ධීය ශාඛ රක්ෂි­තය හා කාබ­නික ගොවි­තැන, බොල්ගොඩ අව­බෝ­ධතා සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නය, ශ්‍රව­ණා­බාධ තරුණ තරු­ණි­යන් සඳහා ජීවන කුස­ලතා හා නාය­කත්ව සංව­ර්ධන වැඩ­ස­ට­හන හෙවත් ‘අහන්න’ ව්‍යාපෘ­තිය, ජින­සේන වෘත්තීය පුහුණු පද­නම, ඇඹි­ලි­පි­ටිය ‘අරු­ණෝ­දය’ ශිෂ්‍ය සංව­ර්ධන වැඩ­ස­ට­හන, ‘සුච­රි­තෝ­දය’ ශිෂ්‍ය සංව­ර්ධන ව්‍යාපෘ­තිය, ජින­සේන නව නිපැ­යුම් හා තාක්ෂණ ආය­ත­නය යන ආය­තන හා සංවි­ධාන කාර්මික ඉන්ජි­නේරු ලෝකයේ ‘ජින­සේන ලකුණ’ සට­හන් කරන තවත් නිද­සුන් කිහි­ප­යකි. මේ ව්‍යාපෘති මඟින් ක්‍රියා­වට නංවා ඇති වැඩ­ස­ට­හන් දේශීය සම­ග­ම­කට තනිව මෙත­රම් ප්‍රමා­ණ­යක සමාජ සත්කාර දියත් කළ හැකිද යන විස්මය මතු කරන තරම් දැවන්ත වේ.

සී. ජින­සේන ජන්ම ලාභය ලබන්නේ 1873 ජන­වාරි 18 වැනි­දාය. 2020 ජන­වාරි 18 වැනි දිනට යෙදුණේ 147 වැනි ජන්ම සංව­ත්ස­ර­යයි. අදින් වසර සිය­ය­කට එහාදී මෙරට කාර්මික පුන­රු­ද­යට උර­දෙ­මින් හා ආධ්‍යා­ත්මික සංව­ර්ධ­න­යට මඟ සල­ස­මින් ඔහු ගත් වෑයම රටක් ලෙස දියත් කළේ නම් ඈත පිටි­සර මූලික සම්පත් පවා හිඟ හුදෙ­කලා පාසල්ද වස-විස පිරුණු ගොවි බිම්ද වකු­ගඩු රෝගීන්ද අද හමු නොව­න්නට ඉඩ තිබිණි. එහෙත් සාර්ථක දේශීය ව්‍යාපා­ර­යක් ලෙස ජින­සේන සමා­ගම තම ඉන්ජි­නේරු ක්‍රියා­න්වි­තය මෙන්ම රටේ ආධ්‍යා­ත්මික සංව­ර්ධ­න­යද සම­බ­රව පව­ත්වා­ගෙන යමින් ඉන්ජි­නේරු කළ­ම­නා­ක­ර­ණ­යට මනු­ස්ස­කම නමැති ජින­සේන ලකුණ රට පුරා සට­හන් කර­මින් මහඟු ආද­ර්ශ­යක් තබා ඇත.

Comments