රටට ඕනෑ දරුවන්ගේ ව්‍යවසායකත්ව කුසලතා නංවන අධ්‍යාපනයක් | සිළුමිණ

රටට ඕනෑ දරුවන්ගේ ව්‍යවසායකත්ව කුසලතා නංවන අධ්‍යාපනයක්

ක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වැඩි කරගැනීම සඳහා ආනයන ආදේශන කර්මාන්ත ජාලයක් බිහිකිරීමෙන් සහ දේශීය ව්‍යවසායකයා බලගැන්වූ අපනයන අභිමුඛ කර්මාන්තකරණයක් ඇතිකිරීමෙන් හැකිවන බව කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති සහ මයික්‍රො ඉලෙක්ට්‍රිකල්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

මෙරට නිපදවිය හැකි භාණ්ඩ හා සේවා පිටරටින් ගෙන්වන්නේ නම් ඒවා සඳහා සෙස් බද්දක් අයකොට ආනයන අධෛර්යට පත්කිරීමට පියවර ගන්නැයි තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද පවසන ධම්මික සමරවික්‍රම මහතා, බලයට පැමිණ සතියක් ගතවීමට මත්තෙන් දේශීය කර්මාන්තකරුවන් නඟාසිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ තීන්දු තීරණ අගය කරන බව ද කියා සිටී.

මේ වන විට බිඳවැටීමකට ලක්ව ඇති ව්‍යාපාරික සහ ආර්ථික ක්ෂේත්‍රය නඟාසිටුවීම උදෙසා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ යෝජනා, රජයෙන් ලැබිය යුතු සහන පිළිබඳ ධම්මික සමරවික්‍රම මහතා අදහස් දැක්වූයේ මෙසේය.

දිනෙන් දිනම ව්‍යාපාරික කටයුතු බිඳවැටීමක් පසුගිය කාලයේ සිදු වුණා යැයි බොහෝ ව්‍යාපාරිකයන් පවසනවා. එය ඔබ සංගමයට දැනුණේ කෙසේද?

ඇත්තටම පසුගිය කාලයේ ව්‍යාපාර සතුටින් පවත්වාගෙන යෑමට බොහෝදෙනෙකුට නොහැකි වුණේ පැවැති රජය ලොකු සැලකිල්ලක් මේ රටේ කුඩා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙත නොදැක්වූ නිසයි. ඔවුන් නිතරම කල්පනා කළේ කෝටිපති “බ්ලු ටයි” පැලැන්තියේ වුවමනාවන් ඉෂ්ට කිරීමටයි. ඒ නිසා බිම් මට්ටමේ සිටින පුංචි මිනිස්සුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් ගැන, ඒවායින් සමස්ථයක් ලෙස රටේම ආර්ථිකයට නැතිනම් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය ගැන එතරම් උනන්දුවක් දැක්වූවේ නැහැ.

විශාල ලෙස බදු බරක් කුඩා ව්‍යාපාරිකයන්ගේ පටන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයටත් පැටවී තිබුණා. එය ව්‍යාපාර පවත්වාගෙන යෑමට බාධාවක් වුණා. ඊට අමතරව තවත් මේ සඳහා හේතු මතු වුණේ නැද්ද?

විශාල වශයෙන් බදු බරක් පැටවීම නිසා, ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභ කොටස අඩුවුණා. ඒවාගේම ඇතැම්විට අමුද්‍රව්‍ය, සේවක පඩිනඩි, විදුලි බිල් වාගේ වියදම් ඉහළ ගියා. ඒ නිසා මේ සියල්ල වැයකොට තමන්ගේ කාලයත් වැයකොට අන්තිමට ලබන ලාභය අඩු වූ නිසා ව්‍යාපාරිකයෝ මන්දෝත්සාහි වුණා ව්‍යාපාර ඉදිරියට කරගෙන යෑමට. ඒ නිසා එකින් එක ව්‍යාපාර වසා දමා නිකරුණේ කාලය ගත කරන තැනට ව්‍යාපාරිකයන් තල්ලු වුණා.

එවන් තත්ත්වයක් යටතේ බිඳවැටුණු ව්‍යාපාර යළි බලගැන්වීමට ඉක්මනින් කළ යුත්තේ කුමක්ද?

ඒ නිසා තමයි බලයට පත්වී සතියක් ගතවීමට මත්තෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඒ වගේම අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා නව ඇමැති මණ්ඩලය පත්කිරීමේ පටන් විද්‍යානුකූලව කටයුතු කළේ. එතුමන්ලා අපේ රටේ ආර්ථිකය බිඳ වැටී තිබෙන අයුරු හොඳින් අධ්‍යයනය කොට එයින් වැළකීමට ගත යුතු කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන යෝජනා මැතිවරණයට පෙරත් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ජාතික ආර්ථිකයේ දියුණුවට ගාමක බලවේගයක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙන් හඳුනාගෙන ඒ සඳහා එහි දියුණුව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට වෙනම අමාත්‍යාංශයක් නව රජයේ පහළොවකට සීමා වූ ඇමැති මණ්ඩලය තුළ පවා ඇති කළේ. ඉන් අනතුරුව ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් දැඩිව පීඩාවට පත් කළ 15%ක් වූ වැට් බද්ද 8% අඩු කළා. 2%ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද මුළුමනින්ම අහෝසි කළා. ඒ වගේම මාසික පිරිවැටුම රුපියල් මිලියනයක් වූ විට අයකරන බදු සීමාව මිලියන විසිපහක් දක්වා වැඩි කළා. දේශීය කර්මාන්තවලට බලපාන බදු නොවන බාධා බොහෝමයක් ඉවත් කළා. ඒ වගේම දේශීය ව්‍යවසායක සංවර්ධනයට මුලපුරන යෝජනා ඉදිරිපත් කළා. එපමණක් නොවෙයි ඔවුන් තව දෙයක් කළා.

නව රජය කඩිනමින් කළ අලුත් කටයුත්ත කුමක්ද?

ඒක තමයි අපේ රටේ පුංචි මිනිස්සුන්ගේ එදිනෙදා ව්‍යාපාරයේ පටන් මහා පරිමාණ ව්‍යාපාර දක්වා යළි පණගැන්වීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට විශ්වාසයක් ගොඩනැගීම. රට තුළ දේශපාලන ස්ථාවරත්වය, ජාතික ආරක්ෂාව සුරක්ෂිත බවට ජනතාවට, ආයෝජකයන්ට විශේෂයෙන් විදේශීය ආයෝජකයින්ට දැනෙන්නට ඕනෑ. මේ දේ සිදුවීම තමයි ජනාධිපතිවරණයෙන් පසු අපේ රටේ සිදුවූ විශාලතම කාර්යය.

රටේ ආරක්ෂාව, දේශපාලන ස්ථාවරත්වයක් ගැන ජනතාවගේ පවතින විශ්වාසය ඉහළ ගොස් තිබෙනවා. මේ අවස්ථාවේ දේශීය කර්මාන්ත දියුණු කිරීමට කළ යුතු යැයි ඔබ සිතන යෝජනා කුමක්ද?

අපි පළමුවෙන්ම අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක් හා සේවාවක්ම මේ රටේ නිෂ්පාදනය කිරීමට ප්‍රමුඛතාව දිය යුතුයි. පිටරටින් මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය නොවන ආනයන සියල්ලට සීමා පැනවිය යුතුයි. ඒ දේ විවෘත ආර්ථික ක්‍රමවේදය තුළ කළ නොහැකි නම් අඩුම තරමේ ආනයනය අධෛර්යයට පත්කරන තීරුබදු ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාවට නැංවිය යුතුයි. උදාහරණයක් කියන්නම්. දැන් අපේ රටේ සිදු වී තිබෙන්නේ අවශ්‍ය, අත්‍යවශ්‍ය ආනයන කිරීම් පමණක් නොව අනවශ්‍ය ආනයන කිරීම් පවා සිදුකිරීමයි. මේ නිසා අපේ රටේ හදාගන්න පුළුවන් හඳුන්කූරු, සරුංගල්, එළවළු, පලතුරු පවා රටට ගෙන එනවා. එය වැළැක්විය යුතුයි. ඒ සඳහා අපි දේශීය දේ අගයන දේශීය දේ නිෂ්පාදනය කරන නිෂ්පාදකයා ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම එසේ කරන අයට සමාජයේ විශාල පිළිගැනීමක් ඇති කළ යුතුයි.

මෙය පාසල් අධ්‍යාපනය ලබන දරුවාගේ පටන් සිත්වල ඇති කළ යුතු දෙයක් නේද?

අනිවාර්යයෙන්ම ඔව්. කුඩා කල පටන් අපේ දරුවන්ට අපේ දේ අගය කිරීමේ සිතුවිලි ඇති කළ යුතුයි. ඒ වාගේම එසේ කරන අයට ගෞරව කිරීමට හුරු කළ යුතුයි. ඒ වගේම තව දෙයක් කළ යුතුයි.

කුමක්ද එය?

මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ 9 වසරෙන් පසු දරු දැරියන්ගේ ව්‍යවසායක නිපුණතා, වෘත්තීය කුසලතා ඉහළ නැංවෙන අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒ වගේම පතපොතේ දැනුමට පමණක් සීමා නොවී වෙනස් වෙනස් ක්ෂේත්‍ර කරා යොමුවූ හිස, අත, හදවත හා බැඳුණු සමබර අධ්‍යාපනයක් දරුවන්ට ලබාදිය යුතුයි. දරුවන් පොතේගුරන් පමණක් නොකළ යුතුයි. අපි නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලිය ලත් හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් මත බිහිවූ මධ්‍ය විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ අයයි. එදා කොටහේන මධ්‍ය විද්‍යාලයේ අපි ඉගෙන ගන්නා අවධියේ සමබර අධ්‍යාපනයක් ලබාගැනීමට අපට පුළුවන්කම ලැබුණා. ඒ අවස්ථාව වත්මන් ළමා පරපුරටත් ලබාදීමට කටයුතු කළ යුතුයි.

මෙලෙස කුඩා කළ සිට ව්‍යවසායකත්වය දියුණු කරගැනීමේ මනසකින් හැදුණු දරුවකුට පාසල් අධ්‍යාපනයෙන් පසු ව්‍යාපාරිකයකු වීමට පහසුයි. ඔවුන් කුඩාවට ඇරැඹි ව්‍යාපාරයක් ‍ෙලාකු මහත්ව ගොඩනැඟුණු විට මුහුණදීමට සිදුවන බාධා අඩු කළ යුතුයි. ඒ වගේම ලෝකය දිනාගැනීමට මේ අය යොමුකළ යුතුයි.

එවැනි වැඩපිළිවෙළකට රට යොමු වී තිබේද?

මෙතැනදි අනිවාර්යයෙන් ම සියයට සියයක් සාර්ථකව ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී තිබෙනවා යැයි කීමට අපට බැහැ. නමුත් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කාලෝචිතයි. අනිවාර්යෙන් ම කළ යුතු කටයුත්තක්. මෙහිදී ජාත්‍යන්තරය දිනා ගැනීමට අපේ නිෂ්පාදනවලට අවස්ථාවක් ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම අපේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ නිරත පිරිස වෙත අපේ දේ පිළිබඳව අවබෝධයක් ලබාදිය යුතුයි. ඒ සඳහා ව්‍යාපාර දියුණු කිරීමේ විශේෂයෙන් අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරටට අලෙවි කිරීමේ දැනුම ඇති නිලධාරියකු අනිවාර්යයෙන්ම පිටරට තානාපති කාර්යාලවල සේවයට යෙදිය යුතුයි. ඔවුන් හරහා අපේ නිෂ්පාදන පිටරටවල වෙළෙඳසල්වල අලෙවියට තැබෙන තැනට කටයුතු යෙදිය යුතුයි. මෙහිදී අපට තව දෙයක් කළ යුතුයි.

වෙළෙඳ‍ෙපාළ දිනාගැනීමට කළ හැකි අලුත් දේ කුමක්ද?

මේ වන විට අපේ රටේ සමාජ මාධ්‍ය ජාලය ඉතා ප්‍රබල මට්ටමක තිබෙන්නේ. මෙලෙස ජනතාවට යම් බලපෑමක් කළ හැකි මට්ටමට දියුණු වූ සමාජ මාධ්‍ය ජාලයක් තිබෙන අපේ රටේ අපි ඒ හරහා අපේ නිෂ්පාදන ජනතාවට වැඩියෙන් මිලදී ගන්නා ලෙසට ඉල්ලීමක් පෙලඹවීමක් කළ යුතුයි. දැනටමත් අපි ඒ වැඩපිළිවෙළ කුඩාවට ආරම්භ කර තිබෙනවා. එය තවදුරටත් පුළුල් කළ යුතුයි.

දේශීය නිෂ්පාදන බිහිකිරීමට නොහැකි වී තිබෙන්නේ සාධක ගණනාවක් නිසා. විශේෂයෙන් ශ්‍රම සම්පතෙහි හිඟයක් තිබෙනවා නේද?

ඇත්ත. අපේ රටේ සාමාන්‍ය පෙළ නැතිනම් අඩුම තරමේ අටපාස් තරුණ පිරිමි ළමයි මහපාරට වැටී තිබෙනවා. එසේ වී තිබෙන්නේ ඔවුන් ත්‍රිවීල් රථ සේවාවේ නිරත වීම නිසා. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඔවුන්ට යම් වෘත්තීය අධ්‍යාපනයක් ලබා දී ඉහළ වැටුප් ලබන රැකියාවක් කිරීමට ඉඩ සලසාදීම වෙනුවට මහමඟට වැටී සුළු ආදායමක් ලැබෙන රැකියාවකට යොමුවීම වැළැක්විය යුතුයි. ඒ සඳහා තරුණ වෘත්තීය අධ්‍යාපනය ඉහළ නංවන පාඨමාලා, කාර්මික විද්‍යාල හා මඟපෙන්වීම් රජය ඇති කළ යුතුයි. විශේෂයෙන්ම මේවාට නව තාක්ෂණය හා නව්‍යකරණය වූ විෂයමාලා එක් කළ යුතුයි.

නව නිෂ්පාදන සිදුකරන පිරිස් රට පුරා සිටින්නට පුළුවන්. මේ පිරිස් එක්රැස් කර අඩු වියදම් ක්‍රමවේද ඔස්සේ ප්‍රමිතියෙන් ඉහළ නිමි භාණ්ඩ වෙළෙඳපොළට යොමුකිරීමට ක්‍රියා කළ යුතුයි නේද?

එයත් අනිවාර්යයෙන්ම කළ  යුත්තක් තමයි. අපි රජයට යෝජනා කරන්නේ ජපානයේ පවතින කාර්මික නගර (Industrial City) වැඩපිළිවෙළ හා බැඳුණු ක්‍රමවේදයක් මේ රටේත් ඇති කළ යුතුයි. උදාහරණයකට අතිනවීන මෝටර් රථයක් නිෂ්පාදනය කරනවා යැයි සිතමු. එහි සියලු අංගෝපාංග එකඑක නිෂ්පාදකයාගෙන් ලබාගෙන විශේෂයෙන් කුඩා පරිමාණයේ නිෂ්පාදකයාගෙන් ලබාගෙන අවසානයේ සුපිරි වාහනයක් නිෂ්පාදනය කිරීම නැතිනම් වාහනය එකලැස් කර නිමැවුමක් බවට පත්කිරීමේ ජාලමය බැඳීමක් ඇති කළ යුතුයි. එය නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තරුණ පිරිසට ‍ලැබීමට හේතුවක් වනවා.

ඔබ විදුලි උපකරණ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයායි. මේ අංශයේ දියුණුවට කරන යෝජනා මොනවාද?

අපි දැනට අවුරුද්දකට රුපියල් මිලියන 1500 කට වැඩි මුදලක් වැයකොට විදුලි උපකරණ මෙරටට ගෙන්වනවා. මේ සඳහා අපේ රටේ විදේශ විනිමය තමයි වැයවන්නේ. නමුත් මේ ගෙන්වන භාණ්ඩවලින් 50% ක් අපේ රටේම නිෂ්පාදනය කිරීමට පියවර ගතහොත් විශාල ලෙස පිටරටට ඇදීයන ඩොලර් ප්‍රමාණය නවත්වා ගත හැකියි. ඒ මඟින් ශ්‍රී ලංකා රුපියල් ශක්තිමත් වනවා.

ඒ හරහා අපි ගෙවිය යුතු විදේශ ණය අඩුවෙනවා. අපේ රටේ නිෂ්පාදන අංශයේ දියුණුවක් වෙනවා. ඒ නිසා අපි රජයෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දේශීය නිෂ්පාදන ලෙස විදුලි උපකරණ නිපදවීමට දිරිගැන්වීමක් ලබාදෙන ලෙසයි. එපමණක් නොවෙයි තව දෙයක් රජයට කළ හැකියි.

එය කුමක්ද?

විශේෂයෙන්ම අපේ රටේ සෑම බිම් අඟලකම වගාවන් ඇති කළ යුතුයි. ආහාරවලින් අප ස්වයංපෝෂිත විය යුතුයි. ඒ සඳහා නව තාක්ෂණය හා අඩු වියදම් කාර්යක්ෂම ක්‍රමවේද තරුණ පරපුරට හඳුන්වා දී ඔවුන් එයට බද්ධ කළ යුතුයි.

Comments