හිරගේ ඇතුළටත් ගිනි අවි ගෙනයන වෛරක්කාරයෝ | සිළුමිණ

හිරගේ ඇතුළටත් ගිනි අවි ගෙනයන වෛරක්කාරයෝ

මේ වන විට ක්‍රියා­ත්මක පාතාල කල්ලි අත­ළොස්ස අතර රත්ම­ලානේ රොහාගේ සහ අංජුගේ කල්ලි දෙක හඳු­නා­ගෙන ඇත්තේ ප්‍රබල කල්ලි දෙකක් ලෙසිනි. එම කල්ලි දෙකේම ප්‍රධාන ආදා­යම් මාර්ගය මත්ද්‍රව්‍ය ජාවා­ර­මය. රොහා මත්ද්‍රව්‍ය ජාවා­රම මෙහෙ­ය­වන්නේ බන්ධ­නා­ගා­රයේ සිටය. අංජු මත්ද්‍රව්‍ය ජාවා­රම මෙහෙ­ය­වන්නේ ඩුබායි සිටය. දෙන්නා අතර ඇත්තේ නයි මුගටි වෛර­යකි. ඒ මත්කුඩු ජාවා­රමේ කොටස වෙනු­වෙන්ම පම­ණක් නොව, රත්ම­ලානේ පාතාල බලය තනි අතට ගැනීම වෙනු­වෙනි.

ඒ වෙනු­වෙන් එම කල්ලි දෙක අතර ඇති වන ගැටු­ම්ව­ලින් ගෙවී ගිය දසක දෙක තුළ මරු­මු­වට පත්වූ ගණන 20කට වැඩිය. මේ කල්ලි­ව­ලට කිසිදු සම්බ­න්ධ­ක­මක් නැති අයද ඒ අය අතර නැතු­වාම නොවේ. දෙහි­වල - ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්‍රී­ව­රුන් දෙදෙ­නෙක්ද එම කල්ලි දෙකේ ගැටු­ම්ව­ලට මැදිවී මරු­මු­වට පත්වූ අය අතර සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනං­ජය සිල්වාගේ පියා වන රංජන්ද සිල්වාද සිටින්නේ ඒ ගොන්නේය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මන්ත්‍රී­ව­ර­යෙකු වන රංජන් ද සිල්වාට වෙඩි තබා මරා දමන්නේ 2018 වසරේ මැයි 24 වැනි­දාය. ඒ ඔහු රත්ම­ලානේ ඥනේද්‍ර මාවතේ පිහිටි නිවස ඉදි­රි­පිට රැඳී සිටි­ය­දීය. ඝාතන ඉල­ක්කය වූයේ ධනං­ජ­යගේ පියා පම­ණක් නොව, දෙහි­වල ගල්කිස්ස මහා නගර සභා­වේම පොදු පෙර­මුණේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙකු වූ ධනං­ජ­යගේ සහෝ­ද­රයා සාවිත්‍ර ද වෙඩි­ක්ක­රුගේ ඉල­ක්ක­යක් විය. එම වෙඩි­ක්ක­රු­වන් අංජුගේ ගෝල­බා­ල­යෝය. ධනං­ජ­යගේ පවුලේ උද­විය අංජුගේ ඉල­ක්කය බවට පත් වන්නේ ධනං­ජ­යගේ පියාත් සහෝ­ද­ර­යාත් ගමේ­ක­මට රොහාට හිත­ව­ත්කම් පෑමය. එසේ නැතිව දේශ­පා­ල­නික වශ­යෙන් හෝ වෙනත් ආකා­ර­ය­කින් ධනං­ජ­යගේ පවුලේ උද­වි­යට රොහා සමඟ වෙනත් කිසිදු ගනු­දෙ­නු­වක් නොවීය.

රොහා බන්ධ­නා­ගා­ර­ග­තව සිටින්නේ 2016 වසරේ නොවැ­ම්බර් 16 වැනිදා කුරු­ණෑ­ග­ලදී පොලිස් නිල­ධා­රි­යෙ­කුට වෙඩි තබා ඝාත­නය කිරී­ම­කට පොලී­සි­යට කොටු වීමත් සම­ඟිනි. ඒ වන විටත් රොහා සිටියේ 2016 ජූනි 23 වැනිදා කඩ­වත පිහිටි මහර අධි­ක­රණ සංකී­ර්ණය ඉදි­රි­පිට මාර්ග­යේදී මෝටර් රථ­යක් තුළදී අංජුගේ වැඩි­ම­හල් සහෝ­ද­රයා වන ලන්සි­යාට වෙඩි තබා ඝාත­නය කර පොලී­සි­යට කට්ටි පනි­මිනි.

මත්කුඩු නඩු­ව­කට පෙනී සිටී­මට අධි­ක­ර­ණට පැමිණි අව­ස්ථා­වේදී එදා එසේ ලන්සි­යාව මරා දැමූ රොහා ඒත් එක්කම ඉලක්ක කරන්නේ ලන්සි­යාගේ සහෝ­ද­රයා වූ අංජු­වය. ඒ වන විට පාතා­ල­යට කිසිදු සම්බ­න්ධ­ක­මක් නැතිව සිටි අංජු සිය ජීවි­තා­ර­ක්ෂාව පතා පැන ගන්නේ මල­යා­සි­යා­ව­ටය. අංජු පාතා­ලයේ අත­පොත් තබන්නේ මල­යා­සි­යාවේ සිටය.

සිය සහෝ­ද­රයා මරා දමා තමා­වත් මරා දම­න්නට හැදූ රොහා­ගෙන් පළි­ග­න්නට අංජු සංවි­ධා­න­ගත වන්නේ සිය සාහෝ­ද­ර­යාගේ මඟ යමිනි. ඒ වන විටත් ලන්සි­යාගේ ගෝල­බා­ල­යන් සිටින්නේ සීසී­කඩ විසිරී ගොසිනි. අංජු ඒ සියලු දෙනාම තමා වටා රැස් කර­ගන්නේ දුර­ක­තන ඔස්සේය. ලන්සි­යාගේ මත්කුඩු ජවා­ර­මද අංජු සිය­තට ගත්තේය. ඒ රොහාට අභි­යෝ­ගය කර­මිනි.

රොහාට පොලි­සියේ ලොකු මහ­ත්ව­රුන් රැසක් සමඟ තිබුණේ ඉතා කිට්ටු සම්බ­න්ධ­යකි. දේශ­පා­ල­න­ඥ­යෝද ඔහුගේ සමීප මිතුරෝ වූහ. හැම පැත්ත­කම දේශ­පා­ල­න­ඥ­යන් සමඟ ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් රොහාට ගොඩ නැඟි තිබිණි. ඒ නිසාම රොහාට දේශ­පා­ලන රැක­ව­ර­ණ­යද නොති­බු­ණාද නොවේ. එහෙත් ඔහු ලන්සි­යාගේ ඝාත­න­යෙන් පසු පොලි­සි­යට කට්ටි පනි­මින් සැඟ­වුණු ජීවි­ත­යක් ගත කර­න්නට ගත්තේ ලන්සි­යාගේ සාහෝ­ද­රයා වූ අංජු ගැන ඔහුට එත­රම් විශ්වා­ස­යක් නොවූ බැවිනි. ඒ වෙන කිසි­වක් නිසා නොව, ලන්සි­යාගේ ඝාත­න­යෙන් හරි­ය­ටම මාස­යක් ඉක්ම යන්නට මත්තෙන් ඔහු රොහාගේ පවුලේ ළඟම ඥාති­යෙකු බිල්ලට ගත් බැවිනි. රොහාගේ පුංචි අම්මාගේ පුතා වූ ඔහු ප්‍රභාත්ය. පිළි­ය­න්දල ජය­මා­ව­තේදී ඔහුට වෙඩි තබා මරා දමන්නේ රොහාට දැනෙ­න්න­ටය.

ඒ වන විට පොලී­සි­යට කට්ටි පනි­මින් සැඟවී සිටි රොහා ඔහුගේ කල්ලියේ දක්ෂ­තම වෙඩි­ක්ක­රු­වෙකු වන බයි­සි­කල් බේබි සමඟ කුරු­ණෑ­ග­ලට එන්නේ සුවි­ශේෂි පුද්ග­ල­යෙකු හමු­ව­න්න­ටය. ඒ හමු වීමෙන් පසු ඔවුන් දෙදෙනා නවා­තැන් ගන්නේ කුරු­ණෑ­ගල වැව රවුමේ පිහිටි හෝටල් කාම­ර­යක් කුලි­යට ගෙනය. එදා ඔවුන් කුරු­ණෑ­ග­ලට යන්නේ කොල්ලකෑ මෝටර් රථ­යක නැඟීය. එහි සවි කර තිබුණු ජී.පී.එස්. උප­ක­ර­ණ­යෙන් හිමි­ක­රු­වන් තමන්ගේ මෝටර් රථය කුරු­ණෑ­ගල ඇතැයි තහ­වුරු කර­ග­ත්තේය. ඒ අනුව ඒ බව දැනුම් දෙන්නේ 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­ය­ටය.

කුරු­ණෑ­ගල මූල­ස්ථාන පොලි­සිස් සථා­නයේ සේවයේ නිර­තව සිටි උප පොලිස් පරී­ක්ෂක රත්න බණ්ඩාර දස­නා­යක සහ සැර­යන් බණ්ඩාර එදා රොහා­ගෙන් වෙඩි කන්නේ එම ඇම­තු­මට අනුව මෝටර් රථය පරීක්ෂා කර­න්නට ගොසිනි. උප පොලිස් පරී­ක්ෂක දස­නා­යක එම වෙඩි ප්‍රහා­රය හමුවේ මරු­මු­වට පත් වන විට පොලිස් සැර­යන් බණ්ඩාර තුවාල ලැබු­වේය. එදා රොහාව පොලි­සි­යට කොටු වන්නේ පොලී­සි­යට වෙඩි තබා මඟී බස් රථ­යක නැඟී පලා යමින් සිටි­ය­දීය. රොහාගේ ගෝලයා බයි­සි­කල් බේබිව කොටු වන්නේ ඊට මාස පහ­කට පමණ පසු­වය. ඒ 2017 වසරේ අප්‍රේල් 27 වැනි­දාය. හම්බ­න්තොට මීග­හ­ජ­දුරේ හේන් වාඩි­යක සැඟවී සිටි බයි­සි­කල් බේබිගේ අව­සා­න­යද එය විය. ඔහු පොලිස් වෙඩි පහ­ර­කින් එදා මරු වැල­ද­ග­ත්තේය.

එදා පොලී­සි­යට හසු වුණු රොහා ගල්කිස්ස අධි­ක­ර­ණයේ විභාග වන නඩු සඳහා රැගෙන එන විටත් නැවත රැගෙන යන විටත් සිය ගෝල­යන් යොදා වෙඩි තබා ඝාත­නය කර­න්නට පවා අංජු පිඹු­රු­පත් සකස් කළේය. ඒ අත­රින් රටේම අව­ධා­න­යට යොමු වූයේ ගල්කිස්ස අධි­ක­ර­ණ­යේදී රොහාව ඝාත­නය කිරී­මට කළ සැල­සු­මය. එම සැල­සුම ව්‍යර්ථ වන්නේ රොහාට වෙඩි තැබී­මට රැගෙ­න­විත් තිබුණු පිස්තෝ­ල­යත් රිවෝ­ල්ව­ර­යත් උසාවි ශාලාවේ බිම වැටීම නිසාය.

එදා 2017 වසරේ මාර්තු 01 වැනි­දාය. උසාවි ශාලාවේ ඒ වන විටත් විශාල පිරි­සක් බංකු­වල අසුන් ගෙන සිටි බැවින් වැටුණු ගිනි­අවි පාර්ස­ලය අහුලා ගන්නට වෙඩි­ක්ක­රු­වාට ඉඩක් නොවීය. අව­සා­න­යේදී එම පාර්ස­ලය හමු­වන්නේ පොලී­සි­ය­ටය. එදා රොහාගේ දිවි බේරෙන්නේ එබැ­විනි.

රොහාව මරා දැමී­මට අංජු උත්සහ කළ එකම අව­ස්ථාව වන්නේ එය පම­ණක් නොව, අංජු අවස්ථා කිහි­ප­යක්ම ‍රොහාට වැඩක් දෙන්නට උත්ස­හ­ගෙන තිබිණි. ඒ සෑම අව­ස්ථා­වක්ම ගිලිහී යන්නේ රොහාට ජීවත් වීමේ වාස­නාව තව­දු­ර­ටත් පැවැති බැවිනි. ඒ නිසාම බන්ධ­නා­ගා­රයේ සිට රොහා සැල­සුම් කරන්නේ අංජුට දැනෙ­න්නට ඔහුගේ බාල සහෝ­ද­රයා වන සංජුව මරා දම­න්න­ටය. එම ඝාතන කොන්ත්‍රා­ත්තුව රොහා ලබා­දෙන්නේ සිය ගෝල­යෙ­කු­ටය. රොහාගේ කල්ලි­යට රිංගවා සිටි ගෝල­ය­න්ගෙන් ඒ ගැන කල්තියා දැන­ගත් අංජු සිය සහෝ­ද­ර­යාගේ ජීවි­තය බේරා­ගත්තා පම­ණක් නොව, ඔහුව මරා දැමී­මට කොන්ත්‍රා­ත්තුව ලබා­ගත් රොහාගේ ගෝල­යා­ටද වැඩක් දුන්නේය. ඒත් එක්කම රොහාගේ පණට අංජු ලන්සු­වක් තබන්නේ රුපි­යල් කෝටි 02කටය. ඒ මැග­සින් බන්ධ­නා­ග­රය තුළදී රොහාට සය­න­යිඩ් එන්නත් කර මරා දැමීමේ සැල­සු­මක් වෙනු­වෙනි. එම සැල­සුම ක්‍රියා­ත්මක වන්නේ පසු­ගිය අප්‍රේල් මාස­යේ­දීය. ඒ සඳහා සය­න­යිඩ් කුප්පි­යත් සිලිං­ජ­ර­යත් එන්නත් කටුත් බන්ධ­නා­ගා­රය තුළට ගියේය. ඒ පිටු­පස සිටියේ දූෂිත නිල­ධා­රි­යෙකි. ඔහු ඒ කට­යු­ත්තට සම්බන්ධ වන්නේ අංජු­ගෙන් ලැබුණු දහ­සින් බැඳි පිය­ලි­ව­ලට වහ­ල්වෙ­මිනි.

බන්ධ­නා­ගා­රය ඇතු­ළේදී රොහාට සය­න­යිඩ් එන්නත් කර මරා දැමීමේ කොන්ත්‍රා­ත්තුව ඒ වන විටත් භාර­ගෙන සිටියේ සමන් පුෂ්ප­කු­මාර හෙවත් මරාල සුරංග නැමැති පාතාල අප­රා­ධ­ක­රු­වෙකි. මත්කුඩු පාන­යට තදින්ම ඇබ්බැ­හිවී සිටි මරාල සුරංග මත්කුඩු පැක­ට්ටු­වට පවා මිනී මර­න්නෙකි. රොහා ඝාත­නය කිරීමේ සැල­සුම අන්තිම මොහො­තේදී වැළකී යන්නේ බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­සයේ නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කිනි. ඒ අනුව බන්ධ­නා­ගර බල­ධා­රීන් විසින් මැග­සින් බන්ධ­නා­ගා­රයේ කළ විශේෂ සෝදි­සි­ය­කදී රොහා ඝාත­නය කිරී­මට බන්ධ­නා­ගා­රය ඇතු­ළට හොර රහසේ රැගෙ­න­විත් තිබුණු සය­න­යිඩ් කුප්පි සිලි­න්ජර් සහ එන්නත් කටුද සොයා ගත්තේය. රොහා ඝාත­නය කිරීමේ තවත් සැල­සු­මක් එසේ ව්‍යර්ථ වන විට අංජු තව වරක් උත්සහ ගන්නේ රොහා බන්ධ­නා­ගා­රයේ සිට අධි­ක­ර­ණ­යට රැගෙන එන අතර තුර වෙඩි තබා ඝාත­නය කර­න්න­ටය. ඒ කළු­ත­රදී බන්ධ­නා­ගාර බස්ර­ථ­ය­කට ප්‍රහා­ර­යක් එල්ල කර­මින් පාතාල කල්ලි නායක සම­යංව ඝාත­නය කළ ආකා­රයේ පාතා­ලයේ කමාන්ඩෝ ප්‍රහා­ර­යක් එල්ල කර­මිනි. එම සැල­සු­මද ව්‍යර්ථ වූ තැන රොහාව මරා දැමී­මට අංජු විසින් යොදන අලුත්ම සැල­සු­මද පසු­ගි­යදා ව්‍යර්ථව ගියේය. ඒ ඔහුගේ පණ වෙනු­වෙන් වෙන් කර තිබුණු මුදල රුපි­යල් කෝටි 04 දක්වා ඉහළ ගොස් තිබෙන මොහො­ත­ක­දීය.

අංජුගේ එම සැල­සුම වූයේ මැග­සින් බන්ධ­නා­ගා­රය තුළ­දීම රොහාව වෙඩි තබා ඝාත­නය කිරී­මය. එම සැල­සු­මද ව්‍යර්ථ වන්නේ බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­සයේ නිල­ධා­රීන්ට ඒ ගැන කල්තියා ලැබෙන තොර­තු­රක් නිසාය. එම තොර­තු­රට අනුව රොහාව එවර ඝාත­නය කිරී­මට අංජු සැල­සුම් කර ඇත්තේ කුලී ඝාත­ක­යෙකු යොදා­ගෙ­නය. ඒ වෙනු­වෙන් දක්ෂ වෙඩි­ක්ක­රු­වෙකු පවා සූදා­නම් කර­ගෙන සිට ඇති බව සඳ­හන්ය. එම වෙඩි­ක්ක­රුවා මැග­සින් බන්ධ­නා­ගා­රයේ සිර­ද­ඬු­වම් ලබන සිර­ක­රු­වෙකි. බුද්ධි අංශ තොර­තු­රු­ව­ලට අනුව ඔහු නගු­ලන්ය. රොහාට වෙඩි තබා ඝාත­නය කිරීම වෙනු­වෙන් ඔහුට වෙන් වන මුදල රුපි­යල් ලක්ෂ විස්සකි. ගිනි අවිය බන්ධ­නා­ගා­රය තුළට යැවෙන්නේ කොටස් වශ­යෙනි. මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවිය වෙන් කිරී­මට හැකි කුඩාම කොටස දක්වා වෙන් කර­මින් එම කොටස් බන්ධ­නා­ගා­රය තුළට අවස්ථා ගණ­නා­ව­ක­දීම යැවෙන්නේ දූෂිත බන්ධ­නා­ගර නිල­ධා­රීන් මඟිනි. අව­සා­න­යට ඇතු­ළට යැවෙ­න්නට ඉතිරි වන්නේ එම අවියේ පතො­රම් සහ පතො­රම් ගැබ පමණි. බුද්ධි අංශ­ව­ලට තොර­තුරු ලැබෙන්නේ පතො­රම් සහ පතො­රම් ගැබ බන්ධ­නා­ගා­රය තුළට යන්නට මත්තෙනි. ඒ මැග­සින් බන්ධ­නා­ගා­රය තුළ පසු­ගිය දින­වල පුළුල් සෝදි­සි­යක් ක්‍රියා­ත්මක වන්නේ එම අවි කොටස් සොයාය. බුද්ධි අංශ සඳ­හන් කරන්නේ එම ගිනි අවියේ කොටස් එම සෝදි­සි­යේදී බන්ධ­නා­ගාර නිල­ධා­රීන් අතට පත් වී ඇති බවකි. එහෙත් බන්ධ­නා­ගා­රය පැත්තේ තොර­තු­රු­ව­ලට අනුව නම් එවන් ගිනි අවි කොට­සක් එම සෝදිසි කිරී­ම්ව­ලදී හමු වී නැත. එසේ වූවත් ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මැග­සින් බන්ධ­නා­ගා­රය තුළ ලේ වැගි­රී­මක් සිදු වන්නට ඉඩ­කඩ ඇතැයි බන්ධ­නා­ගාර බල­ධා­රීන් මේ වන විටත් අව­බෝධ කර­ගෙන හමා­රය. මැග­සින් බන්ධ­නා­ගා­රයේ සිට මහර බන්ධ­නා­ගා­ර­යට රොහාට මාරු­වී­මක් ලැබෙන්නේ ඒ අනු­වය. එය එසේ යැයි කියා රොහාගේ ජීවි­තය වෙනු­වෙන් අංජු විසින් තබා ඇති ලංසුවේ අගය වැඩි වීමක් මිස අඩු වීමක් තව­මත් දක්නට නැත. ඇප ලැබී සිටි­යත් රොහා ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධ­නා­ගා­ර­යෙන් එළි­යට නොඑන්නේ ඒ බව දන්නා නිසා වන්නට පුළු­වනි.

Comments