රන්ජන්ට මුවා වී සල්ලි ගස් හොල්ලන You Tube කාරයෝ | Page 2 | සිළුමිණ

රන්ජන්ට මුවා වී සල්ලි ගස් හොල්ලන You Tube කාරයෝ

න්ජන් රාම­නා­ය­කගේ හඬ­පට සමා­ජය තුළ නිද­හසේ සංස­ර­ණය වීමෙන් පාර්ශ්ව කිහි­ප­යක්ම පීඩා­වට පත්වූහ. මේ අතර ඇතැම් පාර්ශ්ව ඒ හඬ­පට හේතු­වෙන් වාසි ලබා ගැනී­මට සමත් විය. එසේ කී සැණින් ඒ දේශ­පා­ල­න­ඥ­යන් යැයි ඔබ සිතට පැමිණි සිතු­වි­ල්ලට එසේම පව­තින්ට ඉඩ­හ­රි­මින් අප පෙන්වා දෙන්නේ ඒ හඬ­පට හේතු­වෙන් විශාල වශ­යෙන් ලාභ ලබා ගැනී­මට සමත්වූ තවත් පිරි­සකි.

සැබැ­වින්ම රන්ජන්ගේ හඬ­පට අන්ත­ර්ජා­ල­යට යොමු කළ බොහෝ දෙනා මේ වන විට විශාල මුද­ලක් උප­ය­මින් සිටිති. එප­ම­ණක්ද නොව අන්ත­ර්ජාල සේවා සප­යන සමා­ගම්ද මේ හේතු­වෙන් ලාභය වැඩි කර ගැනී­මට සමත්ව සිටිති.

යූ ටියුබ් යනු අන්ත­ර්ජා­ලය ලොව පුරා ජන­ප්‍රිය වීමත් සමග අන්ත­ර්ජා­ලය ඔස්සේ මිනිස් ජීවිත අත­රට පැමිණි අති සාර්ථක ව්‍යාපා­ර­යකි. මේ ව්‍යාපා­රය අද ලෝකයේ වැඩි­යෙන්ම ලාභ ලබන ව්‍යාපාර අත­රින් එකක් බවට පත්ව තිබේ.

අක්ෂර කිය­වීමේ හැකි­යාව මිනිසා විසින් ආයා­ස­යෙන් ලබා ගත යුතු ශක්‍ය­තා­වක් වන අතර ඒ ශක්‍ය­තාව ලබා ගැනී­මට මෙන්ම පවත්වා ගැනී­ම­ටද යම් ශක්ති­යක් කැප කළ යුතුය. එහෙත් අක්ෂර සමග කරන ගනු­දෙ­නුව මිනිස් මොළය භාවි­ත­යට ඉඩ සලසා එම­ගින් බුද්ධිය වර්ධ­නය කර­න්නේය. එසේ වුවද රූපය සහ ශ්‍රව­ණය වඩා පහ­සුය. එහි මොළය වෙහෙ­සී­මට දෙයක් නැත. ඒ හේතු­වෙන්ම බොහෝ දෙනා වඩා පහ­සු­වෙන් අක්ෂර කිය­වීම වෙනු­වට රූපය සහ ශබ්දය වැළඳ ගන්නේය. අනික් අතට චලන චිත්‍ර­ව­ලට මිනිසා ආශක්ත වූයේ අද ඊයෙක නොවේය.

අන්ත­ර්ජා­ල­යට වීඩියෝ එක්කි­රීමේ වේදි­කාව යූටි­යුබ් ලෙස ගෙන එන්නේ මේ සියල්ල මනාව අව­බෝධ කර ගැනී­මෙන් පසු­වය. ඒ 2005 තරම් මෑත­ක­දීය. චැඩ් හාර්ලි, ස්ටීව් චෙන් සහ ජාවෙඩ් කරීම් යන පේපැල් සමාගමේ එවකට සේවය කරමින් සිටි මිතුරන් තිදෙනා අමෙ­රි­කාවේ කැලි­ෆෝ­ර්නියා හිදී මේ අද­හ­සත් සමග අන්ත­ර්ජා­ලයේ පෙරැ­ළිය සිදු­ක­ළහ. පසුව මෙහි අනා­ග­තය විනි­විද දුටු ගූගල් සමා­ගම 2006දී ඩොලර් බිලි­යන 1.65ක ආයෝ­ජ­න­යක් කර­මින් මෙය තමන් සතු කර ගත්හ. සැබ­වින්ම යූ ටියුබ් ලොව පුරා ශීඝ්‍ර­යෙන් ජන­ප්‍රිය වන්නට වූයේ ඉන්ප­සු­වය.

අප රටේ යූ ටියුබ් භාවි­තය සැලකූ විට එහි ආර­ම්භයේ එනම් 2006 - 2007 තරම් අතී­ත­යට යා හැකිය. ෆේස්බුක් සමාජ ජාල­යට සාපේ­ක්ෂව යූ ටියුබ්ද ශ්‍රී ලාංකි­ක­යන් අතර ජන­ප්‍රිය වන්නට විය. පසුව එයට පහ­සු­වෙන් වීඩියෝ අප්ලෝඩ් කළ හැකි වීමෙන් යූටි­යුබ් භාවිත කර­න්නන් ගේ සංඛ්‍යාව වේග­යෙන් ඉහළ යන්නට විය.

එහි කළින් කලට නොයෙක් රැළිද ඇති වූ බව සිහි­පත් කළ යුතු­මය. යූ ටියුබ් යනු ඉතා හොඳ මුදල් ඉප­යීමේ මාර්ග­යක් බව අව­බෝධ කර ගත් ඇතැම් දෙනා තම කීර්ති නාමය පසෙ­කලා මුදල් ඉප­යී­මට යූ ටියුබ් භාවිත කළහ. රාගය ඉස්මතු වන නිර්මාණ ගීත රූප රචනා ලෙස නිර්මා­ණය කර ඉතාම ආන්දෝ­ල­නා­ත්මක ලෙස යූ ටියුබ් ඔස්සේ සමාජ ගත කිරී­මෙන් අති විශාල ලෙස මුදල් උපයා ගත් ඇතැ­මුන්ගේ නම් සඳ­හන් කිරීම අවශ්‍ය නොවන්නේ ඒ සම­ගම ඔවුන් ඔබගේ මත­ක­යට නැඟෙන බව දන්නා නිසාය. ඒ හේතු­වෙන්ම නෙග­ටිව් මාර්කටිං යන්න­ටද ශ්‍රී ලංකාව තුළ කිසි­යම් ස්ථාන­යක් හිමි වන්නට විය. ණාත්මක මාර්කටිං සම්බ­න්ධ­යෙන් බහු­තර ශ්‍රී ලාංකි­ක­යන්ට නිසි අව­බෝ­ධ­යක් නොවූ නිසාම මේ ඇතැම් නිර්මාණ දැඩිව විවේ­ච­න­යට ලක් වන්නට වූ අතර විවේ­චන වැඩි වන තර­මට යූ ටියුබ්හි මේ නිර්මාණ නර­ඹන පිරිස වැඩි විය. ඒ සියල්ලේ අතුරු ඵලය වූයේ එම නිර්මාණ මුදා හැරි පිරිස් සමා­ජයේ ප්‍රසිද්ධ වීම සහ ඔවුන්ට යූ ටියුබ් ඔස්සේ මුදල් ලැබී­මය.

අප පෙර සඳ­හන් කළ පරිදි යූ ටියුබ් යනු ව්‍යාපා­ර­යකි. එහි ව්‍යාපා­රික කට­යුතු සිදු­වන අන්දම සර­ලව මෙසේ දැක්විය හැකිය. යූ ටියුබ් හි වීඩියෝ දර්ශන අන්ත­ර්ග­තය. මේ දර්ශන නැර­ඹී­මට අන්ත­ර්ජාල භාවිත කරන්නෝ කට­යුතු කරති. ඒ අත­රට වෙළෙඳ දැන්වීම් එක් කිරී­මෙන් යූ ටියුබ් නාලි­කාව ලාභ ලබ­න්නේය. වැඩි පුද්ග­ල­යන් ප්‍රමා­ණ­යක් විසින් නර­ඹන වීඩියෝ දර්ශ­න­වල දැන්වීම් ඵල කිරීම ප්‍රති­ඵ­ල­දා­ය­කය. එබැ­වින් වැඩි පිරි­සක් නර­ඹන වීඩියෝ දර්ශ­න­වල වෙළෙඳ දැන්වීම් මිල අධි­කය. ඒ හේතු­වෙන් වැඩි පිරි­සක් නර­ඹන, එසේත් නැත­හොත් විව්ස් (views) වැඩි විඩියෝ දර්ශන යූ ටියුබ් ආය­ත­න­යට වැඩි­යෙන් ලාභ ගෙනෙ­න්නේය. එබැ­වින් වීඩි­යෝවල විව්ස් වැඩි කර ගැනීමේ ක්‍රම­වේ­ද­යක් ලෙස විව්ස් වැඩි­වන තර­මට අදාළ වීඩි­යෝ­එක අප්ලෝඩ් කළ පුද්ග­ල­යාට යූ ටියුබ් ආය­ත­න­යෙන් ගෙවන මුදල වැඩි වන්නේය.

වීඩියෝ පට­යක් යූ ටියුබ් නාලි­කා­වට ලබා දීමේදී ඒ සඳහා අනු­ග­ම­නය කළ යුතු ක්‍රම­වේ­ද­යක් පව­ති­න්නේය. අනු­ගත විය යුතු නීති මාලා­වක්ද පව­ති­න්නේය. මේ සියල්ල තුළ ක්‍රියා­ත්මක වෙමින් ජන­ප්‍රි­ය­වන වීඩියෝ පට, ඒවා යූ ටියුබ් ගත කළ පුද්ග­ල­යාට මුදල් උපයා දෙන්නේය.

මේ මුදල් ඉප­යීමේ ක්‍රම­වේ­දයේ නහ­යෙන් රිංග­න්නට අපේ ශ්‍රී ලාංකික යූ ටියුබ් පරි­ශී­ල­කයෝ කට­යුතු කරන්නේ එහි පහ­සුව දැන ගැනී­මෙන් පසු­වය. අප පෙර සඳ­හන් කළ රාග නිශ්‍රිත ගීත රූප රචනා කළ පුද්ග­ල­යන් අයත් වන්නේද එම කුල­ක­ය­ටය. දැන් ඒ අත­රට අම්බ­ලමේ වළං බින්ද ගොනා සේ රන්ජන්ගේ හඬ­පට පැමිණ තිබේ.

රන්ජන්ගේ හඬ­පට අපේ සමා­ජයේ සුනා­මි­යක්සේ පැතිර ගියේ පැය කිහි­ප­යක් තුළය. සමාජ මාධ්‍ය ඔස්සේද, රූප­වා­හිනී නාලිකා ඔස්සේද ඒ පිළි­බ­ඳව ලබා­දුන් නොනිල ප්‍රචා­ර­ණය හේතු­වෙන් නොඇ­සී­මට සිටි බොහෝ දෙනාද යූ ටියුබ් වෙත පිවිස ඒවාට සවන් දුන්හ. මේ හඬ­පට සම්බ­න්ධ­යෙන් සරල නිරී­ක්ෂ­ණ­යක් සැලකූ විට පුදු­ම­යට පත්වූයේ ඒවායේ විව්ස් දැකී­මෙනි. ඇතැම් හඬ­පට ලක්ෂ තුන­කට අධික පිරි­සක් විසින් ශ්‍රව­ණය කර තිබිණි. ඇතැම් හඬ­පට ලක්ෂ දෙක හමා­ර­කට වඩා ශ්‍රව­ණය කර තිබූ අතර එම සංඛ්‍යා­වන් ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වෙමින් තිබුණු බවද සඳ­හන් කළ යුතුය. ලක්ෂ දෙකට ආසන්න පිරි­සක් ශ්‍රව­ණය කළ හඬ­පට බොහෝ විය. Gossip chat, News Center, Gossip Rider, 1 TV, Cinama Kolam, Lanka Politics යනාදී විවිධ නම් යටතේ මේ වීඩියෝ පට යූ ටියුබ් වෙත එක් කර තිබිණි. ඇතැම් විට එකම හඬ පටය කිහිප දෙනෙකු විසින් අන්ත­ර්ජාල ගත කර තිබූ අතර ශ්‍රව­ණය කළ පිරිස් ඒ සම්බ­න්ධව දොස් පව­ර­මින් සට­හන් තබා තිබූ අව­ස්ථාද විය. රන්ජන් සහ එක්තරා නිළි­යක් අතර සිදුවූ දුර­ක­ථන සංවා­ද­යක් විනාඩි හත­රෙන් හත­රට කොටස් කර අන්ත­ර්ජාල ගත කර තිබු­ණේද වඩා වැඩි මුද­ලක් උපයා ගැනී­මට බව පෙනේ.

මෙලෙස හඬ­පට අන්ත­ර්ජාල ගත කළ පිරිස් ඒවා­යෙන් මුදල් උපයා ගන්නා අතර අති විශාල වශ­යෙන් ජන­තාව ඒ හඬ­පට ශ්‍රව­ණය කිරී­මට වූයෙන් අන්ත­ර්ජාල සේව සප­යන සමා­ගම්ද ලාභ ලබ­න්නට වූහ. සමාජ මාධ්‍ය­යන්හි ඇතැම් දෙනා අද­හස් සට­හන් කර තිබුණේ ‘මේ හඬ­පට නිසා ඩේටා කාඩ් දමා අතේ ඇති මුදල් ඉවර වූ‘ බව­ටය.

මේ සියල්ල අනුව යූ ටියුබ් යනු අන­වශ්‍ය ඕපා­දූප සමාජ ගත කරන සන්නි­වේ­දන ක්‍රමෝ­පා­යක් ලෙස වැරදි අර්ථ­ක­ථ­න­ව­ලට නොඑ­ල­ඹීය යුතුය. සැබැ­වින්ම යූ ටියුබ් යනු නිවැ­රදි භාවි­ත­යෙන් දැනු­මට බොහෝ දේ එක්ක­ර­ගත හැකි මාධ්‍ය­යකි. එහෙත් අවා­ස­නාව නම් එය අපේ රටේ වැඩි­දෙනා නිසි පරිදි භාවිත නොකි­රී­මය.

තමන් සමඟ කතා­බහේ යෙදෙන අයෙ­කුගේ සංවාද පටි­ගත කිරීම සදා­චාර සම්පන්න නොවන්නා සේම එම හඬ­පටි සමා­ජ­ගත කිරී­මද සදා­චාර සම්පන්න නොව­න්නේය. තමා තුළ ස්වයං වාර­ණ­යක් පවත්වා ගැනී­මට නොහැ­කිව එම පෞද්ග­ලික සංවා­ද­ව­ලට මුදල් වැය කර ගනි­මින් සවන් දීමද සදා­චාර සම්පන්න නොවන බවද මෙහිදී පැව­සිය යුතු­මය. යම් යම් පුද්ග­ල­යන්ගේ යටි අර­මුණ සාක්ෂාත් කර ගැනී­මට දරනා උත්සා­හ­යක ප්‍රති­ඵල වර්ධ­නය කර ගැනී­මට තමන් අතින් මුදල් විය­දම් කර­මින් දායක විය යුතුද යන්න යූ ටියුබ් පරි­ශී­ලක ඔබම බුද්ධි­යෙන් සිතා බලා තීර­ණය කළ යුතුය.

 

Comments