දරුවන් නිතර ලෙඩ කරවන සතුරාගේ පැටි­කි­රිය | සිළුමිණ

දරුවන් නිතර ලෙඩ කරවන සතුරාගේ පැටි­කි­රිය

ම දරු­වන් නිතර නිතර රෝග­ව­ලට ගොදුරු වන වන බවත්, ඔවුන්ගේ කායික මාන­සික තත්ත්ව­යන්ට ඔරොත්තු දීමේ හැකි­යාව අසා­මාන්‍ය ලෙස දුර්වල බවත් බොහෝ දෙම­වු­පියෝ මැසි­විලි නගති. තමන් දරු­වන්ව සිටි කාල­යට සාපේ­ක්ෂව අද දරු­වන් බත්, මාළු, එල­වළු, පල­තුරු ආදි පෝෂ­ණීය ආහාර පානා­දිය ගැනීම සඳහා දැඩි මැළි­ක­මක් දක්වන බව ද බොහෝ ම­වු­පියෝ දුක්මුසු ස්වර­යෙන් පව­සති. මෙසේ පව­ස­මින් ම­වු­පි­යෝම තම දරු­වන් වඩාත් කැමති, මුළුම­නින්ම බට­හිර පන්නයේ ක්ෂණික කෘත්‍රිම ආහා­ර­ව­ලින් සන්ත­ර්ප­ණය කරනු ද පෙනේ. බොහෝ ම­වු­පි­යන් සිතන්නේ බට­හිර පන්නයේ ආහා­රය තම­න්ටත් තම දරු­ව­න්ටත් වඩා වැද­ගත් සමාජ තත්ත්ව­යක්, ස්මාර්ට් ගති­යක් මෙන්ම හොඳ පෝෂ­ණ­යක් ද ලබා දෙන බවයි. උදේ සිට රෑ වෙන­තෙක් දරු­වන් සහම­වු­පි­යන්ගේ හිත් පහුරු ගාන වෙළෙඳ දැන්වී­ම්ව­ලින් ද මෙම කාර­ණාව වඩ වඩාත් වස­ග­කාරි ලෙස තහ­වුරු කරනු ලබයි. එය එසේ නොවන බව දන්නා දැනුම් තේරුම් ඇති ම­වු­පි­යන් ද කළ හැක්කක් නොමැති බැවින් දරු­වන්ගේ කැමැ­ත්තට ඉඩ දී මියෙම්වා රැකෙම්වා යන න්‍යය පිළි­ප­දි­මින් සිටින ආකා­ර­යක් පෙනේ.

වර්ත­මාන දරු­වන් පිළි­බඳව විම­සි­ලි­මත් වීමේදී පෙනී යන වැද­ගත් නිරී­ක්ෂ­ණ­යක් වන්නේ මේ දරු­වන් දැන් නිතර නිතර ලෙඩ රෝග­ව­ලට ගොදුරු වීමත් එම රෝග­ව­ලින් සුවය ලබ­න්නට වැඩි කාල­යක් ගත වීමත්ය. සරල උණ, සෙම්ප්‍ර­තිශ්‍යා රෝග­ය­ක්වත් ලෙහෙ­සි­යෙන් සුව නොවන තත්ත්ව­යක් දකි­න්නට ඇති බවය. මෙවැනි රෝග­ය­කින් සති කිහි­ප­යක් පෙළෙන දරු­වකු දෙතුන් වතා­වක් වෛද්‍ය­ව­ර­යකු හෝ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වෙත ගෙන යාම දැන් සුලභ තත්ත්ව­යකි. මෙම දරු­වන් සුවය ලබන විට ප්‍රති­ජී­වක ඖෂධ වට කිහි­ප­යක් සහ ඖෂධ පෙති කරල් අහුරු ගණ­නක් ගිල දමා හමා­රය. සෙම්ප්‍ර­ති­ශ්‍යාව සුව වී සති­ය­ක­යට දෙක­කට පසු බොහෝ විට නැවත උණ ගැනෙන අතර, රුධිර සහ මූත්‍ර පරී­ක්ෂණ කිහි­ප­ය­කට පසුව ලබා දෙනු ලබන ඖෂධ වට කිහි­ප­ය­කට පසු සුවය ලබන මේ දරු­වන් නැවත සති කිහි­ප­යක් තිස්සේ අල්ලන කැස්ස­කින් පෙළෙ­න්නට පටන් ගනී. ඒ අත­රට දණිස් අමා­රුද, බඩේ අමා­රුද, උගුරේ අමා­රුද, ඔළුවේ අමාරු, හතිය, ඇදුම ආදී රෝගා­බා­ධ­ව­ලින්ද අහ­ව­රක් නැත. මෙසේ කාලය ගෙවන මේ දරුවෝ ලෙඩ රෝග නිසාම වස­ර­කට සති ගණන් පාසල් අධ්‍යා­ප­නය අඩාළ කර ගනිති. දරු­වන්ගේ ලෙඩ දුක් නිසා­වෙන්ම ම­වු­පියෝ ද තම වැඩ රාජ­කාරි අත­පසු කර ගනිති. මේ දරුවෝ බොහෝ දෙනෙක් වස­රක් තුළ දී ප්‍රති­ජී­වක ඖෂධ ඇතුළු අතුරු ආබාධ සහිත ඖෂධ පෙති, කරල්, සිරප් හුණ්ඩු ගණ­නින් බොති. සෞඛ්‍ය සම්පන්න කෑමක් බීමක් නොගෙන උදේ සිට රැ වෙන­තෙක් බස් රථ­වල, මහ­මග, පාසල්වල ටියු­ෂන් පන්තිවල කාලය ගෙවා දමති. අව­සා­නයේ මේ දරුවෝ ජීවි­තයේ තුරුණු විය ද ඉක්මවා යන්නට මත්තෙන් බෙල­හී­නව සදා­කා­ලික රෝගීන් බවට පත් වෙති.

ලංකාවේ ජන­ලේ­ඛන හා සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තුව විසින් අපේ රටේ ජන­තා­වගේ සෞඛ්‍ය තත්ත්වය පිළි­බඳ 2016 වර්ෂයේ දී සිදු­කර ඇති සමී­ක්ෂණ වාර්තාවේ මේ සම්බ­න්ධ­යෙන් දක්වා ඇති කරුණු තැති ගන්වන සුලුය. මෙම සමී­ක්ෂ­ණ­යට අනුව ලංකාවේ සෑම පුද්ග­ල­යින් හය දෙනෙ­කු­ගෙන් එක් අයෙකු එනම් මිලි­යන තුන හමා­ර­ක­ටත් වඩා වැඩි සංඛ්‍යා­වක් කවර හෝ නිද­න්ගත බෝ නොවන රෝග­ය­කින් පෙළේ. මෙම රෝග අතර දිය­වැ­ඩි­යාව, අධික රුධිර පීඩ­නය, හද­වත් රෝග, වකු­ගඩු ආබාධ, ඇදුම, හතිය, පිළි­කාව, ආත­ර­යි­ටිස්, ස්නායු ආබාධ, ආඝා­තය වැනි රෝග සුලභ වෙයි. තවද අවු­රුදු හැටට වැඩි ජන­ග­හ­න­යෙන් බාග­ය­ක­ටත් වඩා වැඩි ප්‍රති­ශ­ත­යක් ඉහත රෝග එක­කින් හෝ කිහි­ප­ය­කින් පීඩා විඳින බව මෙම සමී­ක්ෂ­ණ­යෙන් පෙන්වා දී තිබෙයි. අවු­රුදු 15ට වැඩි ජන­ග­හ­න­යෙන් සිය­යට 09ක් පමණ අධික රුධිර පීඩ­න­යෙ­නුත්, සිය­යට 07ක් පමණ දිය­වැ­ඩි­යා­වෙ­නුත් පෙළෙන බවත් මෙම වාර්තාව පෙන්වා දී තිබේ. ඒ අනුව සමස්ත ජන­ග­හ­න­යෙන් මිලි­යන එක හමා­ර­කට වඩා වැඩි සංඛ්‍යා­වක් දිය­වැ­ඩි­යා­වෙන් පෙළෙති. මෙම සමී­ක්ෂ­ණ­යෙන් හෙළි­වන තවත් කණ­ගා­ටු­දා­යක තත්ත්ව­යක් වන්නේ මෙම සමී­ක්ෂ­ණය සිදු කරන දින­යට සති­ය­කට පෙර ජන­ග­හ­න­යෙන් සිය­යට 15 දෙනෙකු එනම්, මිලි­යන 3කට වඩා වැඩි සංඛ්‍යා­වක් කවර හෝ තීව්‍ර රෝග­ය­කට ප්‍රති­කාර ගෙන තිබී­මය. මෙම තත්ත්වය අවු­රුදු 15ට අඩු ළමයි සම්බ­න්ධ­යෙන් වඩාත් කණ­ගා­ටු­දා­ය­කය. මෙම සමී­ක්ෂ­ණය සිදු කෙරුණු දිනට මාස­ය­කට පෙර, මෙරට ළමයි පස් දෙනෙ­කු­ගෙන් එක් අයෙ­කුම එනම්, මිලි­ය­න­ය­කට වැඩි සංඛ්‍යා­වක් කවර හෝ තීව්‍ර රෝග­ය­කට ප්‍රති­කාර ලබා ගෙන ඇත. මෙයින් හෙළි­වන්නේ අන් කව­ර­ක්වත් නොව මෙරට දරු­වන් ඇතුළු සමස්ත ජන­තාව වනාහි, නිතර නිතර රෝගීන් වන්නට තරම් ප්‍රති­ශ­ක්ති­ක­ර­ණ­යෙන් ඉතා දුර්වල ජන කොට්ඨා­ස­යක් බවය. ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය දුර්වල වන්නට ඔවුන් විසින් ගනු ලබන ආහා­ර­වල පෝෂ­ණ­යත්, ඒවායේ තිබෙන වස විසත් බෙහෙ­වින්ම බල­පානු ලබයි.

හොඳින් ක්‍රියා­ත්මක වන ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­ති­යක පැවැත්ම මානව නීරෝ­ගී­භා­වය සඳහා ඉතා වැද­ගත් වෙයි. ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය ගැන නිර­න්ත­ර­යෙන් අව­දි­යෙන් සිටිය යුතුය. එය දුර්වල නම් හෝ වැරදි ලෙස ක්‍රියා­ත්මක නම් එය බර­ප­තළ විපාක සඳහා හේතු වෙයි. ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තියේ මනා පැවැත්ම තහ­වුරු කිරීම සඳහා නිසි පෝෂ­ණ­යත්, නිවැ­රදි ආහාර සහ චර්යා රටා­ව­නුත් බල­පානු ලබයි.

බට­හිර ආහා­රය, මානව ප්‍රති­ශ­ක්ති­ක­රණ ක්‍රියා­කා­රි­ත්ව­යට බල­පාන යන්ත්‍ර­ණ­යන් විස්තර කිරීම සඳහා සිදු කෙරුණු පර්යේ­ෂ­ණ­වල ප්‍රති­පල ඇත්තෙන්ම අප සංතා­ප­යට මෙන්ම සංත්‍රා­ශ­යට ද පත් කර­වන සුලු වෙයි. පිරි­ප­හදු කළ තිරිගු පිටි, කිරි­පිටි, සීනි, ලු‍ණු සහ මේදය අධික ආහාර අධික ලෙස ගැනී­මෙන් සිදු වන හානිය හා ඒවායේ යන්ත්‍ර­ණ­යන් මෙන්ම කෘත්‍රිම රස­කා­රක, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ඇතුලු කෘත්‍රිම ආහාර ආක­ලන සහ අධික ලෙස කෘෂි රසා­ය­නික ද්‍රව්‍ය යෙදූ ආහාර, ජාන­මය වශ­යෙන් වෙනස් කරන ලද ආහා­ර­වල බල­පෑම පිළි­බ­දව අධ්‍ය­ය­න­යන් රාශි­යක් සිදු කර ඇත. මෙම ආහාරවලින් මානව පෝෂ­ණ­යට මෙන්ම, ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­ති­යට සිදු­වන බල­පෑම් පිළි­බඳ විද්‍යා­ත්මක සාහි­ත්‍යය තුළ බොහෝ දේ සාකච්ඡා කෙරී ඇත. සත්ත්ව හෝ පෙට්රි දීසි මත සිදු කෙරුණු පර්යේ­ෂ­ණ­ව­ලින් ඔබ්බට ගිය මිනිස් අත්හදා බැලීම් ඔස්සේ සිදු කෙරුණු පර්යේ­ෂණ ද බොහෝ ප්‍රමා­ණ­යක් ඇත. ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් කෙරෙහි ඇති කරන ආහා­ර­මය බල­පෑම සහ අපගේ දුර්වල ආහාර තේරීම් අපගේ ආහාර මාර්ග පද්ධ­ති­යට සහ ජාන තුළට කේත­නය කර අපගේ අනා­ගත දරු පර­පු­රට ලබා දෙන මහ භයා­නක අපල උප­ද්‍ර­ව­ පිළි­බ­ඳ විද්‍යා­ඥ­යින්ගේ පුළුල් අව­ධා­නය යොමු වී තිබේ. වර්ත­මාන අපගේ ආහාර වේලෙහි ක්ෂුද්‍ර හා සාර්ව පෝෂ්‍ය පදා­ර්ථ­වල ඌණ­තා­, අධික කැලරි ප්‍රමා­ණය සහ අපගේ ආහාර වේලට සංයුක්ත කරනු ලබන කෘත්‍රිම රසා­ය­නික සංඝ­ටක සිය­ල්ලම පාහේ ප්‍රදා­හය වැඩි කිරී­මට, ඔක්සි­කා­රක ආත­තිය වැඩි කිරී­මට (මුක්ත ඛණ්ඩක ප්‍රහාර වැඩි කිරී­මට), වසං­ගත රෝග ආසා­දන පාල­නය අඩු කිරී­මට, පිළිකා සහ අනි­කුත් බෝ නොවන රෝග වැල­දී­මට සහ අසා­ත්මි­කතා රෝග අව­දා­නම වැඩි කිරී­මට හේතු විය හැකි බව විද්‍යා­ත්මක අධ්‍ය­ය­න­යන් ඔස්සේ තහ­වුරු වෙයි.

බට­හිර ආහාර වේලට අපගේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය දක්වන ප්‍රති­චා­රය, භයා­නක බැක්ටී­රියා ආසා­ද­න­යට එරෙ­හිව ප්‍රති­ක්‍රියා කරන ආකා­රය හා සමාන වන බව, පර්යේ­ෂණ මඟින් සනාථ වී තිබේ. ජර්ම­නියේ බොන් විශ්වවිද්‍යා­ලය විසින් මෙහෙ­ය­වන ලද එවැනි පුළුල් පර්යේ­ෂ­ණ­යක වාර්තා­වක් ‘සෙල්’ සඟ­රාවේ මෑතක දී පළ කෙරී තිබිණ.

ව්‍යාධි­ජ­නක ක්ෂුද්‍ර ජීවි­යකු අපගේ ශරී­ර­යට ඇතුළු වූ වහාම ඒ බව අපගේ ශරී­රය තුළ ආර­ක්ෂක යන්ත්‍ර­ණය වන ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය විසින් හදුනාගනියි. ඉන් අන­තු­රුව එකී විෂ­බී­ජ­ව­ලට එරෙ­හිව අපගේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය සුවි­ශේෂි ක්‍රියා­දා­ම­යක් ඔස්සේ සටන් කර අදාළ විෂ­බී­ජය විනාශ කර දමනු ලබයි. නරක මේද හා අධික කැලරි සහිත, අඩු කෙඳි අන්ත­ර්ග­ත­යක් සහිත සහ ක්ෂණික කෘත්‍රිම ආහා­ර­ය­කට අපගේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය බැක්ටී­රියා ආසා­ද­න­ය­කට සමාන ලෙස ප්‍රති­ක්‍රියා කරන බව මෙම අධ්‍ය­ය­න­යෙන් පෙන්නුම් කරයි. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර දිගු කාලී­නව ශරී­රයේ ආර­ක්ෂාව වඩාත් ආක්‍ර­ම­ණ­ශීලී ලෙස වෙනස් කරන බවත්, දුර්වල කරන බවත් පෙන්නුම් කර ඇත. මෙම බල­පෑම, කෙනෙකු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙත මාරු වීමෙන් බොහෝ කල­කට පසුව වුව ද වෙන­සක් නොවී පව­තින බව සොයා ගෙන තිබේ. මෙම තත්ත්වය නිතර නිතර ආසා­දන රෝග­ව­ලට ගොදු­රු­වීම සහ කල්යෑ­මේදී හෘදයවා­හිනී පද්ධ­තිය ආශ්‍රිත රෝග, දිය­වැ­ඩි­යාව සහ පිළිකා වැනි බර­ප­තල රෝගා­බාධ අඩු වය­සින් වැලඳීම සඳහා ද හේතු වෙයි.

මහා බ්‍රිතා­න්‍යයේ කීර්ති­මත් ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වන ස්ටිව් රයන් මහතා (Dr Steve Ryan) වරෙක පැව­සුවේ “වර්ත­මාන පර­ම්ප­රාව වනාහි තම දරු­වන්ගේ සොහොන් කොත්වල පහන් දල්වන පර­ම්ප­රාව” බව ය. කණ­ගා­ටු­වට කරුණ නම්, බට­හිර රට­ව­ල්වල මෙන්ම මේ වන විට ලංකාවේ ම­වු­පි­යන් ද ඒ බිහි­සුණු, ශෝච­නීය අත්දැ­කීම අත්ද­කි­මින් සිටී­මය.

විශේ­ෂ­යෙන් මනු­ෂ්‍යය ජීවි­තයේ වැද­ගත් සංව­ර්ධන කඩුලු වන ළමා සහ නව යොවුන් වියේ දී ඔවුන්ට ලබා දෙනු ලබන ආහා­ර­වල බල­පෑමේ විෂය පථය මානව, සමාජ ආර්ථික සහ අනා­ගත පර­ම්ප­රාවේ තිර­සර පැවැත්ම උදෙසා කරනු ලබන අති විශාල කාර්ය­භා­රය සුළුකොට තැකිය නොහැකිය. එහෙත් වැරදි ආහා­ර­ව­ලින් වැළකී සිටීම සහ ඒවා ලබා ගැනීම සීමා කිරීම පිළි­බ­ඳව බොහෝ දෙනෙ­කුගේ අව­ධා­නය යොමු වන්නේ හෘද රෝග­යක් හෝ දිය­වැ­ඩි­යාව වැනි බර­ප­තළ රෝගා­බා­ධ­ය­කින් ජීවි­තය මුළු­ම­නින්ම බිද දැමුණු පසු­වය. නමුත් වැරදි ආහාර සහ පෝෂ­ණය පිළි­බඳ අව­ධා­නය ඊට බොහෝ කාල­ය­කට පෙරා­තුව එනම් අපගේ දරු පැට­වුන්ගේ අව­දි­යේ­දීම යොමු විය යුතු කාර­ණා­වකි.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක අත්ති­වා­රම දැමිය හැක්කේ කුඩා අව­දියේ දීය. එබැ­වින් වර්ත­මාන අධ්‍යා­පන ක්‍රමය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර සහ නිසි පෝෂ­ණය සදහා ලබා දී තිබෙන අඩු තැන වෙනු­වට අති­ශ­යින්ම ප්‍රමුඛ ස්ථාන­යක් ලබා දිය යුතුව තිබෙන බව, ඉහත කී අධ්‍ය­ය­න­යට සහ­භාගි වූ බොන් විශ්වවිද්‍යා­ලයේ මහා­චාර්ය අයිකේ ලැට්ස් (Prof Eicke Latz) අව­ධා­ර­ණය කර ඇත. හිරු, සඳු, තාරකා, මහ පොළොව, ගස් - වැල්, මී මැස්සන්ගේ පහස නොලද, ස්වාභා­වි­ක­ත්වය මුලි­නු­පුටා දැමූ ආහාර රටා­වක් වසං­ග­ත­යක්ව මිනිසා ගිල ගෙන පැතිර යමින් තිබේ. මේ විෂම ආහාර රටාව දෛනි­කව උග්‍ර­වෙ­මින් පව­තින, හීන්සීරුවේ අපව මර­ණය කරා ගෙන යන, බත් කන­වාට වඩා බෙහෙත් පෙති ගිල දමන තත්ත්ව­ය­කට අපව පත් කර ඇත.

පෝෂණ විෂ­ම­තා­ව­­න්ගෙන් සහ ඌන­තා­ව­ය­න්ගෙන් යුතු, අපගේ ජාන නොහ­ඳු­නන බට­හිර පන්නයේ වැරදි ආහාර ජන­තාව බදා වැල­ඳ­ගෙන ඇත්තේ ඒවායේ අව­දා­නම පිළි­බඳ නොද­න්නා­කම නිසා­වෙනි. අපගේ ජානවල­ටම පත්ති­යම් වූ ස්වභා­වික ආහාරවල වටි­නා­කම, ගුණ මහි­මය සහ ඒවාට ආවේණික නිසි සුර­ක්ෂිත ඉහුම් පිහුම් ක්‍රම පිළි­බඳ නොදන්නා කම නිසා­වෙනි. අනෙක් අතට එවැනි යහ­පත් ආහාර පහ­සු­වෙන් ලබා ගැනී­මට ක්‍රම නොමැති වීම නිසා ය. එක් අත­කට වැරදි ආහාර පරි­භෝ­ජන රටා­වත්, ඒවායේ ආදී­නව පිළි­බ­ඳ­වත් පුළුල් සාක­ච්ඡා­වක් රට තුළ ඇති කර ගත යුතුව ඇත.

අප ඇබ්බැහි වී තිබෙන නාස්ති­කාර සහ වැරදි ආහාර සඳහා ගෙව­ත්තෙන් සපයා ගත හැකි විකල්ප ආහාර පානා­දිය සහ එම ආහාර පානා­දි­යෙහි මාහැගි පෝෂණ සහ රෝග නිවා­ර­ණීය ගුණ­යන් පිළි­බ­ඳව පුළුල් සාක­ච්ඡා­වක් ඇති කිරීම තවත් අත­කින් සිදු විය යුතුව ඇත. එමෙන්ම හිත­කර ආහාර සුලභ කිරීම සහ ඒවා නව්‍ය සහ පහසු ක්‍රම ඔස්සේ ජන­තා­වට සැප­යීම සඳහා වන ක්‍රම­වේ­ද­යන් ද රට තුළ ස්ථාප­නය කළ යුතුය. පරි­සර හිත­කාමි සහ යහ­පත් වගා ක්‍රම­වේ­ද­යන් සඳහා වන නවීන ක්‍රම ශිල්ප සහ තාක්ෂ­ණික දැනු­මින් ගොවීන් ඇතුළු ජන­තාව දැනු­ම්වත් කිරීම සහ එවැනි භාවි­තා­වන් සඳහා ක්‍රම­වේද සකස් කොට ඒ ඔස්සේ අපේ ගොවි­යාත් ගොවි­තැ­නත් ක්‍රමා­නු­කූ­ලව වස විසෙන් ගලවා ගැනීම තවත් අත­කින් සිදු විය යුතුව ඇත. අපේ දරු­වන් අඩු වය­සින් රෝගීන්, අබ­ල­යින්, දුබ­ල­යින් වීම වළක්වාගැනීම සඳහා අන් විකල්ප නැත.


 

Comments