‘කිං ඛාන්’ දැන් ලෝකෙට ම ලොක්කෙක් | Page 2 | සිළුමිණ

‘කිං ඛාන්’ දැන් ලෝකෙට ම ලොක්කෙක්

‘ලෝකයේ ධනවත් ම නළුවා කවුරුන් කියලද ඔබ හිතන්නෙ? මෙතෙක් ප්‍රචලිත වී තිබුණේ ධනයෙන් අගතැන්පත්, අංක එක දිනාගෙන සිටින නළුවන් වෙසෙන්නේ හොලිවුඩ් සිනමා ‍ලොව තුළ කියා නේද? අලුත් ම වාර්තා අනුව හොලිවුඩයේ සුපිරි නළුවන් දැන් පරාජය වෙලා. අද ඒ තැනට පත්ව සිටින්නේ බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ශාරුක් ඛාන්.

අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව ශාරුක් සතු මුළු වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 600ක්. මෙවැනි වත්කමක් ශාරුක් සතුව පවතින නිසා ඔහු මේ වන විට ටොම් කෲස්, බ්‍රැඩ් පිට් වැනි හොලිවුඩය තුළ ජය කෙහෙළි නැංවූ නළුවන් සියලු දෙනා සතු වත්කම්වල වටිනාකම අබිබවාලීමට සමත් වී ඇති බවයි පැවසෙන්නේ.

1965 නොවැම්බර් 2 දා උපන් ශාරුක් රංගන කලාවට පිවිසුණේ 1988 ටෙලි නාට්‍ය මාලාවකට එක්වීමෙන්. ඉන් පසුව 1992 දී ‘දීවානා’ චිත්‍රපටයෙන් සිනමා ගමන ඇරඹූ ඔහු දැන් රංගනයට අමතරව ව්‍යාපාරික ලෝකයටත් ඇතුළු වෙලා. සුප්‍රකට ‘රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්ස්’ චිත්‍රපට නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමේ අයිතිකරු වන්නේ ශාරුක්. ඔහු, 2008 දී ක්‍රිකට් ලෝකයටත් එක්වුණා. ඒ, ‘ඉන්ඩියන් ප්‍රිමියර් ලීග්’ හෙවත් IPL ක්‍රිකට් තරගාවලියට තරග වදින ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ පිල මිලදී ගැනීමෙන්. ලොව පුරා සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දක්වන ශාරුක්ගේ ප්‍රියතම ස්ථානය බවට පත් වී ඇත්තේ ඩුබායි දේශයයි. ශාරුක්, ඩුබායි දේශය සමග ද ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටිනවා.

ඔහු, තම බිරිය ගෞරී, දරුවන් තිදෙනා වන ආර්යන්, සුහානා සහ අබ්රම් සමඟ පදිංචිව සිටින්නේ මුම්බායි නුවර මන්දිරයකයි. ‘මන්නාට්’ නමින් හැඳින්වෙන එය, ලෝකයේ මෙතෙක් ඉදිකර ඇති ඉහළ පෙළේ නිවාස අතරින් 10 වැනි ස්ථානයට පත්ව ඇති බවයි, සුප්‍රකට ‘කොස්මොපොලිටන්’ සඟරා පවසන්නේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම නිවාස එක වරකට 225 දෙනෙකුට නවාතැන් ගෙන සිටීමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත වන බවයි.

‍වත්පොහොසත්කමින් කෙතරම් ඉහළ තලයක සිටියද ශාරුක් හරිම නිහතමානී පුද්ගලයෙක්. කා සමඟත් කුලුපගව කතා බහ කිරීම මේ සුපිරි රංගන ශිල්පියාගේ පුරුද්දක්. ඒ නිසාමදෝ ඔහුට එක් අවස්ථාවකදී ඕපාදූප කරුවන්ගේ කයි කතන්දර වලටත් හසුවෙන්නට සිදුවුණා. බොලිවුඩ් සිනමා‍වේ ජනප්‍රියත්වයට පත්වූ නළුවන්ට ඔවුන් සමඟ රඟපාන සුරූපී නිළියන් සම්බන්ධ කරමින් කතන්දර ගෙතෙනවා. ඒත් ශාරුක්ට එවැනි කට කතාවක් වසර ගණනක් ගත වන තුරු පබැඳුණේ නැහැ. ඒ වුනත් කිසිවකු නොසිතූ අවස්ථාවකදී ඔහු සහ ප්‍රියංකා චොප්රා සම්බන්ධ කරමින් කට කතාවක් ලොව පුරාම පැතිරී ගියා. ඒ, මීට වසර කිහිපයකට කළින්. ප්‍රියංකා හොර රහසේ ශාරුක්ව හමු වන බවත් සමහර අවස්ථාවලදී ඇය අලුයම දෙකට හෝ තුනට පමණ ශාරුක් ගේ කාර්යාලයට පැමිණෙන බවත් ඒ කට කතාවල කියැවුණා. කෙසේ වෙතත් මේ ආරංචි වලින් තමන්ගේ සිත අවුල් කර නොගැනීමට ශාරුක්ගේ බිරිය, ගෞරී වග බලා ගත්තා. ඇය ඉතාම ඉවසිලිවන්තව සිටියා. ශාරුක් සමඟ ඒ ආරංචි ගැන නිවිහැනහිල්ලේ කතා කළා. ප්‍රියංකා සමඟ වැඩිපුර කතා බහට නොයන්නැයි ඇය ශාරුක්ගෙන් ඉල්ලා සිටියා. ශාරුක් ද ගෞරීගේ උපදෙස් පිළිපදිමින් ප්‍රියංකා සමඟ වැඩිපුර කතා බහ නොකිරීමට තීරණය කළා. ශාරුක් - ගෞරී යුග දිවිය කිසිම ප්‍රශ්නයක් නැතිව සාමකාමීව අදටත් පවතින්නේ ගෞරී බුද්ධිමත්ව ක්‍රියා කළ නිසයි.

ශාරුක්ට පමණක් නොවෙයි. ඔහුගේ පුත්‍රයා වන ආර්යන්ටත් කයි කතන්දර හැදුණා. එය එසේ මෙසේ කතන්දරයක් නම් නොවෙයි. බරපතළ සිදුවීමක් පාදක කරගත් එකක්. ඕපාදූප පතුරුවන්නන් පැවසුවේ ශාරුක් - ගෞරි යුවළට මෑතකදී ලැබුණු බිලිඳු පුත්‍රයා (අබ්රම්) ඔවුන් දෙදෙනාගේ නොවන බවයි. ආර්යන් පෙම් කළ තරුණියක ඔහු නිසා ගැබ්ගෙන බිහිකළ දරුවා අබ්රම් බවත්, සිදු වූ කැළල මකා ගන්නට වෙනත් කතාවක් ලෝකයට පවසා ඇති බවත් ඕපාදූපකරුවන් පවසා තිබුණා. ආර්යන්ට වයස අවුරුදු 15ක්ව සිටිද්දී ඔහු රුමේනියානු තරුණියක සමඟ සබඳකමක් පැවැත්වූයේ යැයිද ඒ තරුණිය බිහි කළේ අබ්රම් යැයිද තවත් කට කතාවක සඳහන් වුණා.

2017 දී පමණ මේ කතාව පැතිරී ගිය විට තිබුණු උණුසුම මේ වන විට පහව ගිහින්. සැබවින්ම අබ්රම් යනු ශාරුක් - ගෞරී යුවළගේම පුත්‍රයා බව දැන් කවුරුත් වටහාගෙන තිබෙනවා. අබ්රම් බිහිවුණේ වෙනත් මවු කුසක බවද සත්‍යයක්.

මෙවැනි කටකතාවලට මුහුණ දෙමින් බොලිවුඩ්පුරය වර්ණවත් කරන ශාරුක් අද වන විට මුළු භාරත දේශයට ම ගෞරවයක් ගෙන දීමට සමත්ව සිටිනවා.

Comments