සත්සරයේ අරුමැසිවාදියා | සිළුමිණ

සත්සරයේ අරුමැසිවාදියා

මෙම ලිපියෙන් අප සාකච්ඡාවට බඳුන් කරන්නේ 70 දශකයේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීන්ගේ අංකුර වූ The God father Of Sri Lankan Pop Music නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයට අසහාය සේවයක් සැපයූ අරුමැසිවාදියාගේ ජීවන කතාන්දරයයි.

නිශ්චිත නාද මාලාවක් නිශ්චිත ශෛලියක් මෙන්ම සරල Chord Work සහිත ආවේණික නිශ්චිත සංගීත භාණ්ඩ භාවිත කරමින් කණ්ඩායමක් හෝ පිරිසක් සාමූහිකව ඉදිරිපත් කරනු ලබන සංගීත ශෛලියක් ලෙස කණ්ඩායම් සංගීතය හැත්තෑව දශකයේ සිට ගොඩනැගුණි. 1970ට පෙර ලයනල් එදිරිසිංහ, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් ආදීහු උතුරු ඉන්දියානු සංගීතය භාවිත කරමින් විවිධ සංගීතමය කාර්යය සිදු කළහ. නමුත් ලොව පිළිගත් ආකෘතික වෙනසක් බටහිර සංගීතය තුළින් බිහි වෙමින් තිබුණි. එම වෙනස්කම ලාංකේය සංගීතයට ද මුසු කිරීම ආරම්භ වූයේ 70 දශකයෙන් පසුවය. ඒ නෙවිල්, නොයෙල්, ක්ලැරන්ස් යුගයේදීය. ඒ අතරින් ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙන් ලැබූ සහය සුළුපටු නොවේ. සත්සරයේ අරුමැසිවාදීයා නමින් ඔහුව හඳුන්වන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ලාංකේය සංගීතයේ සිදුකළ අසහාය සේවය නිසාවෙනි. මෙතැන් සිට දිග හැරෙන්නේ ලාංකේය සංගීත ඉතිහාසයේ පෙරළියක් කළ ඒ සුපසන් මිනිසාගේ ජීවන අන්දරයයි.

60 දශකය වන විට ලොව ගිටාරය මහත් සේ ප්‍රචලිත විය. 1963 කණ්ඩායම් සංගීතය ඇරඹීමත් සමගම සමඟම නන් දෙසින් සංගීත කණ්ඩායම් බිහිවන්නට විය. ඒ අතරින් එංගලන්තයේ සංගීත කණ්ඩායම ආරම්භ වනවාත් සමඟම නෙවිල් ප්‍රනාන්දු විසින් Los Caballeros සංගීත කණ්ඩායම ආරම්භ කළේය. වයස 21 දී Pop ගායකයකු වීමට සිහින දුටු තරුණ ක්ලැරන්ස් පළමුව රිදම් ගිටාර් වාදනය පුහුණු විය. කිසිදු ගුරුවරයකු නොමැතිව පොතපතින් හා තම සහජ හැකියාවෙන් තම සංගීත ගමන ආරම්භ කළ මෙම තරුණයා තම සංගීත ගමන අරඹන්නේ අමරදේවයන් කේමදාසයන් ගේ විශිෂ්ට සංගීත සමාජය තුළ ය.

Moonstones සංගීත කණ්ඩායම

60-70 දශකය යනු Pop සංගීතයේ ස්වර්ණමය යුගයයි. මෙම කාලය තුළ තම සිහිනය සැබෑ කරගන්නට තරුණ ක්ලැරන්ස් Moonstones නමින් සංගීත කණ්ඩායමක් රත්නපුරේ දී ආරම්භ කළේය. ප්‍රධාන ගායකයා හා කණ්ඩායම් නායකයා ලෙස ඇනෙස්ලි මාලේවන කටයුතු කළ අතර ගිටාරය වාදනය කරමින් සුපුරුදු පරිදි සහය ගායනය ඔහු සිදු කළේය. එකල මහත් සේ ප්‍රචලිත වූ ගීතයක් ලෙස ‘කිමද නාවේ‘ ගීතය නිර්මාණය වන්නේ ද මෙම වකවානුවේ දී ය. ඒ අතරතුරදීම 1966 දී ගුවන් විදුලියේ වැඩසටහනක පළමු වරට ගීත ගායනා කිරීමට මොවුනට අවස්ථාවක් සැලසිණි. එහිදී මංගෝ කළු නැන්දේ, රුවන්පුරය, මැණිකේ, සීත උදේ යන ගීත ගායනා කළ අතරම එකල මෙම ගීත මහත් ජනාදරයට පත් විය. 1968 මාර්තු මාසය වෙන විට මංගෝ නැන්දා තැටිය නිකුත් කළහ. එමෙන්ම එකල පොප් ගීත ලංකාව තුළ කෙතරම් වැලඳ ගත්තේ ද කිවහොත් 1968 වසරේ ම නොවැම්බර් වන විට මොවුන් දෙවන කැසට් පටය නිකුත් කරන්නට තරම් වාසනාවන්ත විය. කළු මාමා, රෝස මලේ, රමණී, ගොයම් කපනවා ආදී ගීත එහි අඩංගු විය.මූන්ස්ටෝන්ස් සමග එකල ඉන්ද්‍රානි පෙරේරා ද ගීත ගායනා කළාය. ඒ අතරම ‘දිල්හානි දුවනි’ ගීතය මහත් සේ ප්‍රචලිත විය. 1969 වන විට දිල්හානි නමින් කැසට් පටයක් නිකුත් කළ අතර එතැන් සිට ඉන්ද්‍රානි ගායකාවක ලෙස ස්වාධීනව ගමනක් අරඹන්නද විය.

The Golden Chimes සංගීත කණ්ඩායම

1970 පමණ වන විටදී මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමෙන් සමුගත් ක්ලැරන්ස් ඒ සමඟම ජානක පෙරේරා, ලාංකිකා පෙරේරා හා විජිත් පිරිස් සමඟ ද ‘ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායම ආරම්භ කළහ. 1971 පමණ වන විට පළමු කැසට් පටය නිකුත් කළ අතර කිමද නාවේ, මගෙ පැල්පතේ, සිහින් සිනාවයි, සමනලයෝ යන ඔහු ගැයූ ගීත මහත් සේ ජනාදරයට පත් විය.

The Super Golden Chimes සංගීත කණ්ඩායම

ක්ලැරන්ස් 1973 දී නැවතත් ඇනස්ලි මාලේවන සමඟ ද සුපර් ගෝල්ඩන් චයිම්ස් ආරම්භ කළේය. එහි පළමු කැසට් පටය සූරිය ලේබලයෙන් නිකුත් වූ අතර කඳ සුරිඳුනි, සීත සුළඟ, පෙණ බුබුළයි, සතුට සැළසුම වැනි ගීත එකල මහත් ප්‍රචලිත විය. විජේවර්ධනයන්ගේ ඵලදායි ම සංගීත කණ්ඩායම ලෙස මෙය හැඳින්විය හැකිය. 1970-80 දක්වා ක්ලැරන්ස් මෙහි නිර්මාණ කටයුතු සිදු කරමින් සංගීතය වෙනුවෙන් මහත් මෙහෙවරක් කළේය. මීට අමතරව ඔහු සිනමාවට සම්බන්ධ වන්නේ ද මෙම වකවානුවේය.

මදාරා සංගීත කණ්ඩායම

1982 පමණ වන වනවිට නවකයින්ට අවස්ථාවක් ලබාදීම අරමුණු කොට ගනිමිනි ක්ලැරන්ස් විසින් ‘මදාරා’ සංගීත කණ්ඩායම ආරම්භ කරන ලදී. එහි Key Board සඳහා රූකාන්ත ගුණතිලක ද, ගායනය සඳහා මරියසෙල් ගුණතිලක ද, Drums හා බෙර වාදනය සඳහා අජන්ත දොඩම්පේගම ද, Lead Guitar සඳහා රාජු බණ්ඩාරද, Bass Guitar සඳහා කෙනෙත් ද සිල්වාද යොදා ගනිමින් කණ්ඩායම නිර්මාණය කරනු ලැබීය.

ගායක ගායිකාවන් 115කට අධික ප්‍රමාණයකට ගීත දාහක් පමණ රචනා කළ එකම සංගීතඥයා ලෙස ක්ලැරන්ස් හඳුන්වාදිය හැකිය. තවද තනු නිර්මාණය නොකළ ගීත විශාල ප්‍රමාණයක් ද පවතී. ගීත ගායනය, වාදනය, ගීත රචනය, සංගීත අධ්‍යක්ෂණය Recording Producer ආදී භූමිකා රැසක් නියෝජනය කළ මේ අසහාය නිර්මාණකරුවා ලාංකේය සංගීතයට කෙතරම් සේවයක් කළේ ද යන්න ඉහත කරුණුවලින් මනාව විශද වේ.

සිනමාවට දැක්වූ දායකත්වය

70 දශකයේ චිත්‍රපට කිහිපයකටම තම දායකත්වය දැක්වීමට ක්ලැරන්ස් විජේවර්ධනයන්ට අවස්ථාව ලැබිණි. සිකුරුලියා, මංගලා, අපේක්ෂා, චතුමධුර, වැලි තරංගා, සිහසුන, කොළඹ සන්නිය, ජනක හා මංජු, සිව් රඟ සේනා මෙම චිත්‍රපට වේ. ඒ අතරිනුත් එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ සිකුරුලියා චිත්‍රපටයේ සිකුරුලියා ගීතයේ තනුව පිළිබඳ මහත් පැසසුම් විජේවර්ධනයන්ට ලැබුණි.

එදා බොහෝ සංගීතඥයින් කණ්ඩායම් සංගීතය තුප්පහි සංගීතයක් ලෙස පැවසුවද ෂෙල්ටන් ප්‍රේමරත්න හා අමරදේවයෝ විවිධ යුගවල විවිධ මිනිසුන්ගේ මානසික මට්ටම අනුව සංගීතය හැඩගස්වුණාට කම් නැති බවත් කණ්ඩායම් සංගීතය විඳ අසා එය බැහැර කළ හැක්කේ ප්‍රේක්ෂකයන්ට හා ශ්‍රාවකයන්ට බවත් පැවසූහ. වර්තමාන සංගීතයට ඒ කතාවේ යම් සත්‍යතාවක් වලංගු වුවද විජයවර්ධනයන්ගේ ගීත වුවද විජයවර්ධනයන්ගේ ගීත අදටත් ශ්‍රාවකයෝ අත් නොහරිති. ඒ එම නාදයන් එම මිශ්‍රණය ඔහුගේ හදවතින්ම නිර්මාණය වූ බැවිනි. තමාට ආවේණික සංගීතයක් නිර්මාණය කරමින් ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නවමු පිටුවක් පෙරලූ අසාහාය කලාකරුවකු ලෙස ක්ලැරන්ස් විජේවර්ධනයන් හැඳින්විය හැකිය.

Comments