විෂම බාගවලින් පසු? ආසයි තවත් චිත්‍ර­ප­ට­යක් කරන්න | සිළුමිණ

විෂම බාගවලින් පසු? ආසයි තවත් චිත්‍ර­ප­ට­යක් කරන්න

 මෙරට ටෙලිනාට්‍ය මාධ්‍යය තුළ ලලිත් රත්නායක යන නාමය කාටවත්ම ආගන්තුක නාමයක් වන්නේ නැත. ඒ ඔහු අපිට ඉතාමත් හරවත් කලාත්මක ටෙලි නාට්‍ය කලාවක් ඔහුගේ අනන්‍යතාවයෙන් හඳුන්වා දුන් නිසාය. ඒ වෙනුවෙන් ඔහු ලැබූ ප්‍රේක්ෂක ජනාදරය සේම විවිධ ඇගයුම් සම්මානවලින්ද තම මාවත හැඩ කර ගන්නට ඔහු සමත් වූයේය.එහෙත් මෙවර අපගේ අවධානය යොමු වූයේ ඔහුගේ නිර්මාණ දිවියේ වෙනත් පැතිකඩක් වෙතය. සිය ප්‍රථම සිනමා ආගමනය සනිටුහන් කරමින් මෙරට සිනමා මාවතට ප්‍රවිශ්ට වන ඔහුගේ නවමු මාධ්‍ය හරඹය දැන් අපි අත්විඳිමින් සිටින්නෙමු. ඒ මේ දිනවල තිරගතවන ‘‘ විෂම භාග” චිත්‍රපටයය. මේ පිළිබඳ කතා බහකට පසුගිය දිනක අපි ඔහු හමු වූවෙමු.

ඔබ මේ රටේ ප්‍රේක්ෂක ජනතාව හඳුනා ගන්නේ ටෙලි නාට්‍යකරුවෙකු ලෙස. ඒ තුළ ඔබ අගය කළ හැකි මට්ටමින් යමක් සිදුකර පෙන්වා හමාරයි. මේ මාධ්‍යය දෙක ඔබ හඳුනා ගන්නේ කෙසේද?‍

ඇත්තම කිව්වොත් මම සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්න කාලාන්තරයක් තිස්සේ බලා සිටිය කෙනෙක්. රූපවාහිනී මාධ්‍යය තුළ මම නිර්මාණකරණයේ නියුතු වුණත් , ක්ෂේත්‍රයට පිවිසිලා අවුරුදු 25 ට පස්සේ තමයි මට සිනමාවේ වැඩක් කරන්න ලැබෙන්නේ. ගෙවී ගිය පුරා විසිපස් වසර තුළම මම සිනමාව ගැන හීන දැක්කා. මේ කාලය ඇතුළත මට චිත්‍රපට කරන්න ආරාධනා හෝ අවස්ථා නොලැබුණාම නොවෙයි. මම කැමති චිත්‍රපටයක් කරන්න මට අවස්ථාව ලැබෙන්නේ වසර 25ක් ගෙවිලා ගියාට පස්සෙයි.

 

මේ සිනමා ගමන් මගේ පූර්වාදර්ශය ඔබ ලබා ගන්නේ ටෙලිනාට්‍යවලින්?

අනිවාර්යයෙන්ම; මගේ තක්සලාව රූපවාහිනිය. මම සියල්ල ඉගෙන ගත්තේ, සියලු අත්හදා බැලීම කරන්නේ එතැන.මුල් කාලයේ මට ප්‍රශ්න තිබුණා. මගේ නිශ්ශබ්ද රූප, මගේ ඉතාම සෙමින් චලනය වන රූප කියන මේ රිද්මය ප්‍රතික්ෂේප කරපු පිරිසක් හිටියා. නමුත් ඒක පිළිගත්ත පිරිසකුත් හිටියා. මට මහා රසික ප්‍රජාවක් හිටියේ නැතිවුණාට මගේ නාට්‍යයක් බලන්න බලාගෙන ඉන්න පිරිසක් හිටියා.

දැන් හැබැයි එවැනි පිරිසක් ඔබේ සිනමාව වටාත් ගොඩනැගෙයි?

ඔව්; එහෙම වෙයි. සමහර අවස්ථාවල මගේ චිත්‍රපටය හදන වෙලාවේ දායක වුණු මට ඉතාම සමීප හිතවතුන්ගේ පවා මතය වුණේ මෙක හරිම ‘ස්ලෝ’ කියන එකයි.සමහරුන් කිව්වා මේක මිනිස්සුන්ට දැනෙන්නේ නෑ කියලා. නමුත් අපි මුලින්ම මේ චිත්‍රපටය පෙන්නුවේ ලංකාවෙන් පිට. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට පෙන්නුවා වාර ගණනාවක්. ඔවුන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ ස්ලෝ කියන වචනය කවුරුත් කිව්වේ නෑ. ඉතින් එතැන්දි මට දැනුණා මේ කියන මන්දගාමී රිද්මය, අපේ කට්ටියට දැනුණට ඒක ඒතරම් ගැටලුවක් නොවන බව. ඇත්තටම මේ චිත්‍රපටය මිනිස්සු දහස් ගණනක් බැලුවා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර හැම එකකම අපි පෙන්නුවා.විදේශිකයනුත් බැලුවා. ඒ කිසිම කෙනෙකුගෙන් රිද්මය පිළිබඳ නරක පණිවිඩයක් ආවේ නෑ මට. ඒ නිසා මට විශ්වාසයක් ඇති වුණා ලංකාවේත් මිනිස්සු මේ චිත්‍රපටය බලයි කියලා. ඒක දැන් මට ඔප්පු වෙමින් පවතිනවා.

මේ කතා තේමාව ගැන ඔබේ අදහස මොකක්ද?

මම මේ කතා කරන්නේ මගේ පාසල් ජීවිතේ මට මුහුණ දෙන්න සිද්ධවෙච්ච අත්දැකීම්. මේකට කිසිසේත්ම වකුගඩු රෝගයක් සම්බන්ධ වුණේ නෑ. පාසලේදී මට වෙච්ච දේවල්, මම. පාසලේදී ගණිතයට සාපේක්ෂව අදක්ෂ, සෞන්දර්යට ලැදි ළමයෙක් .ඒවගේම මම හරි දඩබ්බර ළමයෙක්.ඒ වගේම මම පාසලේ ගුරුවර ගුරුවරියන් අතර එහෙම ඇගයීමකට ලක්වුණු ළමයෙක් නොවෙයි.මම දඩබ්බරයෙක් නිසා මාව හැමවෙලේම පාසල් පද්ධතියෙන් කොන් කරනු ලැබුවා.

හැබැයි ඉතින් මගේ ජීවිතේ වෙනස් වෙන්නෙත් මම මේ ක්ෂේත්‍රයට එන්නට මඟ හැදෙන්නෙත් පාසලෙන්. මට චිත්‍ර අඳින්න පුළුවන්කම තිබුණා. නමුත් මම අඳින චිත්‍ර පිළිබඳ කිසිම ඇගයීමක් වත් කිසිම වටිනාකමක් වත් තිබුණේ නෑ. ගුරුවරුන් වූ මගේ මව්පියන්ට වටිනාකමක් තිබුණෙත් නෑ. එයාලටත් ඕන වුණේ ගණිතය විද්‍යාව කරලා වෙනත් වෘත්තිකයෙකු වනවා දකින්නයි. මගේ තාත්තා සිංහල ගුරුවරයෙක්.

පසුකාලීනව එයාට මා පිළිබඳ යම්යම් දේවල් වැටහෙන්න ගන්නවා. එයාගේ පොත පත කියවලා තමයි මම සාහිත්‍ය ඉගෙන ගත්තේ.‍ කොහොමහරි අවසානෙට මම ලිව්ව එක කෙටි කතාවක් පාසල් තරගයකදි දෙවැනි තැන ලැබෙනවා. මට සිංහල උගන්වපු ගුරුතුමිය කතා කරලා කිව්වා ලලිත්ට හොඳට ලියන්න පුළුවන් කියලා. මම වැඩිහිටියෙක් වෙලා මගේ පාසල් දීවිය දිහා ආපසු හැරිලා බලත්දී මට මේ අධ්‍යාපන ක්‍රමයේ තිබුණු වැරැද්ද තේරුම් යන්න ගන්නවා. වැඩිහිටියකුගේ එක වචනයකින් පුංචි ළමා මනසට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද? මට අර ටීච කිව්වෙ නැත්නම ලලිත්ට හොඳට ලියන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ මට ලියන්න පුළුවන් කියලා. මම එදා ඉඳලා කල්පනා කළා මට ලියන්න පුළුවන් නේද කියලා. මට මම පිළිබඳ විශ්වාසයක් ඇතිවුණා. මේ අධ්‍යාපන ත්‍රමයේ නොගැලපීම තමයි මගේ චිත්‍රපටයේ තේමාව වුණේ.

එතකොට වකුගඩු රෝගය මේකට ඈඳුනේ කොහොමඳ?

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරපු අළුදෙනියේ සුබෝධි හිමියන්ගේ අරමුණ වෙලා තිබුණේ චිත්‍රපටයක් හදලා ඒ චිත්‍රපටයේ ලාභය වකුගඩු රෝගීන් වෙනුවෙන් ප්‍රදානය කරන්න. මට උන්වහන්සෙගෙන් සම්පූර්ණ නිදහස ලැබුණා මට අවශ්‍ය ආකාරයට චිත්‍රපටය කරන්න. මම තමයි මේ කුඩා දරු දෙදෙනා ජීවත්වන පරිසරය වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නන් සිටින පරිසරයක් බවට පත් කළේ. ඕනෑම චිත්‍රපටයක අපි සංස්කෘතික පරිසරය පෙන්නනවා නේ කතා තේමාවට අමතරව.

මේ ළමා නළුවන් දෙදෙනා තෝරා ගැනීම ඔබට අභියෝගයක් වුණේ නැතිද?

මම ඒ සඳහා සෑහෙන වෙහෙසක් ගත්තා.පිටපතේ ලියවෙන්නේම නිවුන් සො‍ෙහායුරන් විදියට. වයස අවුරුදු 10-12 වයස් කාණ්ඩයේ ළමුන් දෙදෙනෙකු සොයා ගන්න මම පාසල් මට්ටමින්, සමාජ මාධ්‍යවල ඇසුරින් ආදී විවිධ ක්‍රමෝපායන් මාර්ගයෙන් ප්‍රචාරණයක් ලබා දුන්නා. මුළු ලංකාවෙන්ම මම නිවුන්නෝ 76 දෙනෙක් මේ සඳහා හොයා ගත්තා. මේ 76 න් අවසන් වටයට නිවුන්නෝ 5 දෙනෙක් තෝරා ගත්තා.මේ පස් දෙනාගෙන් හොඳම කෙනා තෝරා ගන්න තමයි මගේ සැලැස්ම.හොඳම අය වුණේ ඇඹිලිපිටියේ ළමයි දෙන්නෙක්.නමුත් ඔවුන්ගේ පියා ගේ හැසිරීමත් සමඟ මේ සා ලොකු වැඩක් මට කරන්න බැරි වෙයි කියන එක මට හැඟුණා. මොකද මම මුල්ම වතාවේ ඔහුට කතා කරනකොටත් ඔහු හිටියේ බීමතින්. කරන්න දෙයක් නෑ. ඒ දරු දෙදෙනාගේ අවාසනාව කියලා මම වෙන විකල්පයකට ගියා. ඉන් පහළ හිටපු අනිත් අයටත් ඒ අවාසනාවම බලපෑවා. මොකද මේ වෙනකොට මගේ හිත හොඳටම බිඳිලා තිබුණේ. අන්තිමට මම පස්වෙනියට තෝරගෙන හිටපු දෙදෙනා තමයි චිත්‍රපටයට යොදා ගත්තෙ.

මේ චිත්‍රපටය අති විශාල අන්තර්ජාතික සම්මාන ප්‍රමාණයක් දිනා ගත්ත චිත්‍රපටයක්. ඒ පිළිබඳ සඳහන් කළොත්?

අපි මේ වනවිට සම්මාන පනස් ගණනක් අතට අරන් තියෙනවා. ඊට අමතරව නිර්දේශ වීම් රැසක් තියෙනවා. මට ලැබිලා තියෙනවා අධ්‍යක්ෂණයට හා තිර රචනයට සම්මාන 14 ක්. ජැක්සන් අයියට සම්මාන හතරක් ලැබිලා තියෙනවා. හොඳම සහය නළුවා විදියට.තිලක්ෂනී රත්නායකට ලැබුණා එක සම්මානයක්. පාලිතට ලැබුණා හොඳම කැමරාකරණයට සම්මාන තුනක්. කෞෂල්‍යා ප්‍රනාන්දුට ලැබුණා සම්මාන තුනක් හොඳම සහාය නිළිය විදියට. හේමසිරි ලියනගේට එක සම්මානයක් ලැබුණා හොඳම සහාය නළුවාට. මේ සම්මාන ගැන මට යමක් කියන්න තියෙනවා. ලෝකේ සම්මාන උ‍ෙලළවල යම්යම් කැටගරිස් තියෙනවා. ඒ ශ්‍රේණියේ සම්මාන උලෙළ ලෝකයේ තියෙනවා 15 ක් විතර. ඒ ශ්‍රේණියේ සම්මාන උලෙළවල සම්මානයට පාත්‍ර වීම තමයි ඉහළ වටනාකමක් තියෙනවා කියලා කට්ටිය කියන්නේ. ඉතින් අපිට පුළුවන් වුණා ඒ ශ්‍රේණියේ සම්මාන උලෙළක් වන චීනයේ ෂැංහයි සිනමා උලෙළේදි මගේ තිර රචනය සහ ළමයාගේ රංගනය නිර්දේශ වුණා. එයා හොඳම නළුවට අවසන් වටයට ආවා. රටවල් පහක් සමඟ. මම හොඳම තිර රචනයට අවසන් වටයට ආවා ඊට පස්සෙ එකම චිත්‍රපටය ඒ ශ්‍රේණියේ සිනමා උලෙල දෙකක් නියෝජනය කරන්න ලැබීමේ විශේෂත්වය අපි ලැබුවා. සිනමාව පිළිබඳ විද්වතෙක් ලියලා තිබුණා ඒක ලංකාවේ සිද්ධ වුණේ පළවෙනි වතාවට කියලා. ඒ තමයි ගෝව අන්තර්ජාතික සිනමා උලෙළ. ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ සෝල් ඔෆ් ඒසියා කියන තරග වටය මේ චිත්‍රපටය නියෝජනය කළා. ආසියාවෙන් තෝර ගත්ත චිත්‍රපට හතෙන් එකක් විදියට ‘විෂම බාග’ තෝර ගත්තා. මේ දෙක අපිට විශේෂයි ලැබුණ අනිකුත් දේවල්වලට අමතරව. 

Comments