මම වාසනාවන්ත ගායකයෙක් | සිළුමිණ

මම වාසනාවන්ත ගායකයෙක්

මාර­ම්බරී දස වර්ෂ පුර්ණය සමඟ විශා­රද එඩ්වඩ් ජය­කොඩි මේ මස 31 වැනිදා BMICH හිදී

ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රය තුළ විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ආගමනය සටහන් කළ කඩඉම් ගණනාවක් අතර සන්ධිස්ථානයක් ලෙස මාරම්බරී ප්‍රසංගය හැඳින්විය හැක. මාරම්බරී දස වර්ෂ පූර්ණය එළැඹෙන ජනවාරි 31 වැනිදා BMICH හිදී සවස 6.30 ට පැවැත්වෙන්නේ ඔහුගේ සුභාවිත ගීතයට පෙම් බැඳි රසිකයන් ආමන්ත්‍රණය කරමිනි.

“ඒක පුද්ගල ප්‍රසංග ගැන මට අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. එයට හේතුව පාසල් අවධියේ ප්‍රේක්ෂකයෙකු ලෙස ප්‍රසංග නරඹා ලද අත්දැකීම සහ අමරදේව මාස්ටර්, සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද නන්දා මාලිනිය, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග යන ප්‍රවීණයන්ගේ ඒක පුද්ගල ප්‍රසංගවල අත්වැල් ගායනා කරමින් ලංකාව පුරා ප්‍රසංගවලට සහභාගීවීමෙන් ලද අත්දැකීමත් කිව්වොත් නිවැරදියි. මේ දැවැන්ත ප්‍රතිරූප ඇසුරේ ලද පරිචය මත ප්‍රේක්ෂක සබඳතා නිල සහ නිල නොලත් ලෙස මම දරපු දැනුම් සම්භාරයේ කූටප්‍රාප්තිය තමයි ‘මාරම්බරි’. මම වේදිකා නළුවෙක්. වේදිකා හමුවක ප්‍රේක්ෂකයා අතර නෙතු බඳනා සබඳතාවක් පුරා පැය දෙකහමාරක කාලයක් රඳවා තබාගත යුතුයි. එ් ලද අත්දැකීමත් ‘මාරම්බරි’ අඛණ්ඩව පවත්වාගෙන යෑමට පාදක වුණා කියා කිව හැකියි.”

ප්‍රේක්ෂකයා ප්‍රසංගයකින් බලාපොරොත්තු වන්නේ විවිධත්වයකි. එය සාක්ෂාත් කරගැනීමට ඔහු මාරම්බරි ප්‍රසංගය සරල ගීත, ටෙලි නාට්‍ය ගීත, වේදිකා නාට්‍ය ගීත, ළමා ගීත, ප්‍රේම ගීත, දේශාභිමානී ගීත, සමාජීය ගැටලු ප්‍රශ්න පිළිබඳ කතා කරන ගීත මේ සියල්ලෙන් සමන්විත ගීත සමුච්ඡයක් තෝරා ගන්නා අතර, උත්තර භාරතීය, බටහිර, දේශීය ජන සංගීතය ඇසුරු කොට යුගගීත, සමූහ ගීත ආදී ඔහු එදා මෙදා තුර නෙලු අස්වැන්න ‘මාරම්බරි’ තුළින් ප්‍රේක්ෂකයාට තිළිණ කර දී ඇත.

මාරම්බරී ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල පවා ජනප්‍රසාදයට පත් වූ ප්‍රසංගයකි. ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඩුබායි රාජ්‍යයේ ද කිහිප වතාවක් ප්‍රසංග පවත්වා ඇති අතර ඉතාලියේ පමණක් ප්‍රසංග වාර 13ක් පවත්වා ඇත.

එඩ්වඩ් ජයකොඩිගේ නිර්මාණ තුළ දරුවන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. දුෂ්කර ප්‍රදේශවල කොළඹින් එපිට ප්‍රධාන නගරවල ‘මාරම්බරී’ පැවැත්වීමේදී එම පළාතේ පාසල්වල ගායන හැකියාවෙන් යුත් දක්ෂතා ඇති දරුවන් සියයක ප්‍රමාණයකට ඔහු ‘මාරම්බරි’ ප්‍රසංගයේදී විශාරද එඩ්වඩ් ජයකොඩියන් සමඟ ගීත ගායනා කිරීමට සහ අත්වැල් ගායනා කිරීමට ඉඩ හසර සලසා දේ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල ප්‍රසංග පැවැත්වීමේදිද එරට උපන් ජීවත්වන අපේ ශ්‍රී ලාංකික දරුවන්ට මාරම්බරී ප්‍රසංගයේදී ගී ගැයීමට ඔහු අවස්ථාව සලසා දෙන්නේ අපේ ගීත ඒ දරුවන් අතරට ගෙන යෑමේ අරමුණිනි.

දසවස් පූර්ණ ‘මාරම්බරී’ ඉදිරිපත් කරන ආකාරයේ ද මෙවර විශේෂත්වයක් ඇත.

“දසවස් පූර්ණ ප්‍රසංගය පමණක් නොව සෑම ප්‍රසංගයක්ම විවිධත්වයෙන් ඉදිරිපත් කිරීමට නිරන්තර උත්සාහයක යෙදෙනවා. මෙම ප්‍රසංගයේදී මම එදා මෙදා තුර ගැයූ යුග ගීත ඇතුළත් විශේෂ යුග ගීත කලාපයක් ඉදිරිපත් කරනවා. මම වාසනාවන්ත ගායකයෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාව වූ කෝකිල දේවි වීරතුංග සිට ජී.එස්.බී. රාණි, ලතා වල්පොළ, නන්ද මාලනිය වැනි ප්‍රවීණ ගණයේ ගායිකාවන්ගේ සිට නව පරපුරේ ගායිකාවන් දක්වා යුග ගී ගැයීමේ අවස්ථාව මට හිමි වුණා.

එපමණක් නොවෙයි ගුණදාස කපුගේ, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, රවින්ද්‍ර රන්දෙණිය, බන්දුල විජේවීර සහ රෝහණ බෝගොඩ ආදී ප්‍රවීණයන් සමඟ යුග ගී ගැයීමට මට අවස්ථාව සැලසුණා. එම ගීතවලින් කිහිපයක් මුල් නිර්මාණය හා සම්බන්ධ වුණා. ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ මම එදාට ගායනා කරනවා.

මම ගායනා කළ ගීත දෙකක් මගේ පුතා චන්දීප සහ දියණිය ශාරණ්‍යා යුග ගී ලෙස ගායනා කරනවා. පුතා චන්දීප උමාරියා සමඟත් දියණිය ශාරණ්‍යා රංශන්කා අමරසේන සමගත් මේ යුග ගීත ගයනවා. චරිතා මා සමඟ යුග ගීතවලට එක්වෙනවා.

ප්‍රතාපවත් සැමියකුගේ දැවැන්ත සෙවණැල්ල ඔහුගේ බිරිය ය. ‘මාරම්බරී’ ආරම්භයේ සිට දස වර්ෂ පූර්ණය තෙක් සියලු කටයුතු සංවිධානය වන්නේ චරිතා විසිනි. එඩ්වඩ්ගේ මාධුර්යය හඬ හා එක්වුණ චරිතාගේ හඬත් එයට සමගාමීව ඇගේ දැවැන්ත සංවිධාන ශක්තියත් ‘මාරම්බරී’ දිගු ගමනට ආශිර්වාදයක් වූවාට සැක නැත.

‘මාරම්බරී’ පළවැනි ප්‍රසංගයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ මා මිත්‍ර රෝහණ වීරසිංහයි. වර්තමානයේ මා මිත්‍ර සුනිල් අමරසිංහ සංගීතය මෙහෙයවනවා. ‘මාරම්බරී’ ප්‍රථම ප්‍රසංගයේදී අපට ආශිර්වාද කළ කිහිප දෙනෙක් අද අප අතර නැහැ. ඒ මගේ අම්මා වික්ටෝරියා මෙන්ඩිස්, චරිතාගේ තාත්තා ආරියදාස පීරිස්, මගේ ගුරුවරයා සමරපාල සර්, මගේ අක්කලා දෙන්නා මාලිනී සහ ඩීදු ප්‍රථම ප්‍රසංගයට තබ්ලා වාදනය කළ විජේරත්න රණතුංග සහ තිස්සසිරි පෙරේරා මේ සියල්ලන්ගේ දායකත්වය ආශිර්වාදය මාරම්බරීට ලැබුණා. ඒත් අද මේ අය දස වර්ෂ පූර්ණයේදී නොමැතිවීම අඩුවක් සේ මට දැනෙනවා. ‘මාරම්බරී’ මගේ තනි ප්‍රසංගයක් නොවෙයි. සාමූහික කණ්ඩායමක ප්‍රයත්නයක්. දස වසරක් පුරා මේ පැමිණි ගමනේ මා සමඟ අත්වැල් බැඳගත් සහෝදර වාද්‍ය වෘන්දය, ගායන ශිල්පීන්, අනුග්‍රාහක භවතුන් නන් අයුරින් සහය දැක්වූ සියල්ලන් මෙන්ම ‘මාරම්බරී’ ආදරයෙන් වැලඳගත් ප්‍රේක්ෂක පිරිසට මම හෘදයංගම ස්තුතිවන්ත වෙනවා.

ඒක පුද්ගල ප්‍රසංගයක් මේ කාලවකවානුව තුළ අඛණ්ඩව පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කරුණක් නොවේ. නොමඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරය, ඔවුන්ගේ රුචි අරුචිකම් පමණක් නොව ප්‍රාසාංගික කලාවක් ඒ නිර්මාණය තුළ ගොඩ නැගී තිබිය යුතුය. ප්‍රේක්ෂක මනසට ආමන්ත්‍රණය කළ හැකි, ප්‍රේක්ෂකයා තම ඇස් මානයේ තබාගත හැකි සුවිශේෂි හැකියාවක් එඩ්වඩ් සතුව ඇත. ගායන මාධුර්යයෙන් සන්නද්ධ වූ ඔහුගේ හඬ පෞරුෂයට සමගාමීව ඔහු විසින් ප්‍රසංගය ඉදිරිපත් කිරිමේදී දක්වන මානුෂික ලක්ෂණ හැඟුම් බර හඬ, කතා ලාලිත්‍ය, ප්‍රේක්ෂකයා සමඟ ගොඩනගන්නා වූ අන්‍යෝන්‍ය සබඳතාවය, මේ සියල්ලේ පූර්ණත්වය ‘මාරම්බරී’ වෙත ප්‍රේක්ෂකයා පැය දෙකහමාරක් රඳවා තබා ගැනීමට සමත් වී ඇත. ඒ තුළින් වින්දනීය අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙමින් සෞන්දර්යය කරා රැගෙන යෑමට එඩ්වඩ් සමත් වී ඇති බවට ‘මාරම්බරි’ දස වර්ෂ පූර්ණය සාක්ෂි දරයි.

‘මාරම්බරී’ දස වර්ෂ පූර්ණයට සිළුමිණ රසඳුණ වෙතින් සුභාශිංෂණ!

Comments