මෙරට රිදීතිරය ඔපවත් කළ, පෝෂණය කළ, අපූර්වතම නිර්මණ දායාද කළ පුරෝගාමී කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. එහෙත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයන් තුළ ශේෂව පවතී. නමුත් ඔවුන් කළ කී දෑ හා ඔවුන්ගේ ගති ස්වභාවයන් පිළිබඳව අප දන්නේ ඉතාම අල්ප වශයෙනි. ඇතැම් විට සිනමාවේ අපි දකින මේ සිහින තරු සාමාන්‍ය ජීවිතයේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයන් රඟදැක්වූවා විය හැකිය. ඔබ ආදරය කළ ඒ සිනමා තාරකාව හෝ තාරකාවිය පිළිබඳව දැනගැනීමට සිටි බොහෝ දේ කාලයේ වැලිතලාවෙන් වැසී සැඟවීගොස් තිබෙනවා වන්නට පුළුවන. එසේ වුවත් ඒ සදා අමරණීය මතකයන් අදටත් ඔබව කුල්මත් කරනවා විය හැකිය. එවන් වූ ඔබේ සිතැඟි පූර්ණය කරමින් ඒ සිහන මතකයන් පෙළින් පෙළ ගෙන එන්නට අප තීරණය කළේ එබැවිනි. ඒ සිහින ගෙත්තම් එකිනෙක අමුණන ඈ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාය. මෙලෙස ඒ මතකයන් එකින් එක පෙළ ගැසී වචන බවට පෙරළිණි.
ඩොමී ජයවර්ධන කියල කියන්නෙ මෙරට රිදී තිරයේ පෑයූ කඩවසම් සිනමා තරුවක්. ඩොමී අයියා සිනමාවට හාපුරා කියා අත්පොත් තියන්නේ 1953දී තිරගත වූ ‘සුජාතා’ චිත්‍රපටයෙන්. ඒ ‘විකී’ නමැති අතිශය විනෝදකාමී සල්ලාල ජීවිතයක් ගත කරන පුද්ගලයකුගේ චරිතයක් නිරූපණය කරමින්. ඒ රංගනය දෙස බලං ඉද්දී සංවේදී කා තුළත් ඔහු කෙරෙහි තරහක් ඉපදීම ස්වභාවිකයි. ඒ තමයි ඔහුගේ සුවිශේෂී රංගන හැකියාව. මේ ප්‍රථම රංගනයෙන් ම ඔහු රසික හදවත් වැළඳ ගත්තේ ඒ නිසාමයි. සිංහල සිනමාවේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්ටතම දුෂ්ට චරිතාංග නළුවා ඔහු කියලයි මා විශ්වාස කරන්නේ. මොකද ඒ තරමට එවැනි චරිත ඔහු ඉතාම තාත්වික ආකාරයෙන් රඟපෑවා. සමහරු හිතුවේ ඔහුගේ සාමාන්‍ය ජීවිතයත් ඒ වගේ ඇති කියල. ඒත් ඔහු එහෙම නැහැ. මෘදු හදවතක් තිබුණු නිර්ව්‍යාජ මනුස්සයෙක්.
මං ඔහු ගේ සිනමා දිවිය තුළ දකින කැපී පෙනෙන ලක්ෂණය තමයි එවකට පැවති දකුණු ඉන්දියානු ආභාෂයෙන් පිටමංව තමන්ටම ආවේණික වූ රංගන ශෛලියක් ගොඩනගා ගැනීමට කැපවීම. ඔහුටත් මුලින් ම රඟපාන්න ලැබුණේ ඉන්දියානු ආභාෂයෙන් නිර්මාණය වුණු චිත්‍රපටවල. නමුත් ඔහු ගේ කැපවීම නිසා පසුකාලීනව ඒ ආභාෂයෙන් මිදීමට ඔහුට හැකි වුණා. ඔහු තමන්ට ම අනන්‍ය වුණු රංගනශෛලියක් ගොඩනගා ගත්තා. ඒ කැපවීම කොච්චර සාර්ථක වුණාද කියනව නම් වලව්වේ හාමු මහත්තයා නැති නම් බොහෝම සූක්ෂම කූඨෝපායෙන් අනෙක් අයගේ දේවල් අයිති කරගන්නා සැර පරුෂ චරිතයක් චිත්‍රපටයක තිබුණ නම් ඒ චරිතය ඔහුගෙන් ගිලිහුනේ ඉතාම අල්ප වශයෙන්. සමහර අධ්‍යක්ෂකවරු ඔහුගේ චරිතය ඔලුවේ තියාගෙන චිත්‍රපටි නිර්මාණය කළා. මේ හැම දේකින්ම ඔප්පු වෙන්නේ ඔහු ඉතාම දක්ෂ රංගන ශිල්පියකු බවයි.
එක්තරා විදියකට සිංහල සිනමාව ඉන්දියානු ආභාෂයෙන් මිදීමට බලපෑ එක හේතුවක් තමයි එවකට පැවති ක්ලබ් සංස්කෘතිය. මේ උප සංස්කෘතික බලපෑම රංගන ශිල්පීන්ට වගේම ශිල්පිනියන්ටත් බොහෝ දුරට බලපෑවා. ඒ යුගයේ බොහෝ සිනමා නිර්මාණවල නිතරම ක්ලබ්වල දර්ශන ඔබට දකින්න පුලුවන්.
මෙම සංස්කෘතික බලපෑම නිසා ඉන්දියාවට කලින් ලංකාවේ සිනමාව බටහිර සිනමාවට සමීප වෙනවා. එක්තරා විදියකට ඩොමී ජයවර්ධන කියන්නේ මේ ක්ලබ් සංස්කෘතියේ නිමැවුමක්. ඔහු අඳින පළඳින විදිය; නටන විලාසය හඬ හැසිරවීම පමණක් නෙමෙයි වයින් ග්ලාස් එකක් අල්ලන විදිය; සිගරට් එකක් බොන විදිය; ආචාර සමාචාර පවත්වන විදිය ගත්තත් මේ හැම ඉරියව්වක් තුළම ඒ ක්ලබ් සංස්කෘතික බලපෑම තිබුණා. මේ උප සංස්කෘතික ලක්ෂණ හේතුවෙන් පසු කාලීනව අපේ නළු-නිළියන්ගේ රංගනයේ බොහෝ වෙනස්කම් ඇති වුණා.
ඩොමි ජයවර්ධන ගේ රඟපෑමේ තිබුණු මේ සුවිශේෂී දක්ෂතාවය නිසා ප්‍රධාන නළුවාව අභිබවා ඔහුගේ රංග පෞර්ෂය මුතු වී පෙනුනා. ඒකට හොඳම උදාහරණය තමයි ‘සුජාතා’ චිත්‍රපටයේ ඔහු රඟපෑ ‘විකී’ ගේ චරිතය. ඔහු මෙම චරිතය නිරූපණය හරහා ලාංකික සිනමා රංගය තුළ දුෂ්ට චරිත නිරූපණය වෙනස් භූමිකාවක් බවට පත් කළා. මීට කලබ් සංස්කෘතික බලපෑම වගේම වේදිකා නාට්‍ය නළුවෙක් වීමත් බලපාන්න ඇති කියල අද මට හිතෙනවා. ඔහු වේදිකා නාට්‍ය කීපයකම රඟපාල තිබුණා. ‘විදුර’, ‘අසෝකමාලා’, ‘සිහිනය’(පසු කලෙක ‘සුභද්‍රා’ නමින් සිනමාවට නැඟුනේ මේ ‘සිහිනය’ වේදිකා නාට්‍යයයි), ‘දිව්‍ය ප්‍රේමය’ ඉන් කිහිපයක්. .
සිංහල සිනමාව හැටේ හැත්තෑව දශකවල ඉතාම සාර්ථක තැනක තිබුණ කියලා අපි කියනවනෙ. ඒකට එක හේතුවක් තමයි මේ ක්ලබ් සංස්කෘතික බලපෑම. අපේ සිනමාවේ දැවැන්ත කුළුණු විදියට තමයි රුක්මණි දේවී එඩී ජයමාන්න, ෂේෂා පලිහක්කාර, ඩොමී ජයවර්ධන, ජෝ අබේවික්‍රම, පියදාස සිරිසේන, ඩී.ආර් නානයක්කාර, වොලී නානයක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති, ...වැනි අය සලක්න වෙන්නේ. මුල් කාලීනව නොවුණත් පසුකාලීනව මේ අයගේ රංගනයේ වෙනස්කම් ඇති වීමට පවා මේ ක්ලබ් සංස්කෘතිය බලපෑවා.
මේ අය තමයි අපේ සිනමාව සම්පුර්ණ කළේ. මේ ආභාෂයෙන් තමයි පසුකාලීනව ගාමිණී පොන්සේකා, හෙන්රි ජයසේන, ටෝනි රණසිංහ වගේ දැවැන්ත සිනමා පෞර්ෂයන් ගොඩනැඟුණේ.
ඩොමී අයියව මට මුලින්ම හමුවන්නේ මගේ පළමු චිත්‍රපටය වන පුංචි බබා චිත්‍රපටයෙදී. මම මේ ක්ෂේත්රයට පය තියන කොටත් ඩොමී අයියා සිනමා ක්ෂේත්රයේ හිටපු දැවැන්ත පෞර්ෂයක්. ඔහු රගපෑවේ ඩේසි අක්කා(රුක්මණී දේවි), එඩී.ජයමාන්න... වගේ අපේ සිනමාවේ දැවැන්තයින් එක්ක. ඔහු පළමු මුණ ගැහීමෙන්ම හරියට හිතවත් වුණා. තමන්ගෙ ප්‍රතිභාව නිසා ඔහු ඔළුව උදුම්වාගෙන සිටියෙ නැහැ. අධුනිකයෙක් වෙච්ච මාව හරිම නිහතමානීව පිළිගත්තා.
මගේ පළමු රංගනය සාර්ථක කරගන්න හුඟක් ගුරුහරුකම් එතුමා ලබාදුන්නා ඔහු සිනමාවේ කුමණ චරිතයක් නිරූපණය කළත් ඊට කළ හැකි උපරිම සාධාරණය ඉටු කරන්න පුලුවන් විදියේ දක්ෂ කමක් තිබුණා. අපි සිනමාවෙදි එයාව දකින්නෙ හරිම දරුණු දුෂ්ට චරිතයක් විදියටනෙ. කේන්ති ගියාම ඩොමී අයියගෙ මුණවත් බලන්න බයයි. නමුත් ඔහුගේ සැබෑ ජීවිතය ඇතුළෙ ඉන්න සාමාන්‍ය මනුස්සයා හරිම සරළ; හරිම අහිංසක; අරිම අවංක; හොඳ ප්‍රතිපත්ති තියෙන; හොඳ මනුෂ්‍යයෙක්. ඩොමී ජයවර්ධන කියන්නේ හැමෝගෙම ප්‍රශ්නවලට මැදිහත්වෙලා උදවු කරලා කටයුතු කරපු කෙනෙක්. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.
ඔහු සෙට් එකේ ඉන්න කොට ඔහුගේ හිනාවෙන් මුලු සෙට් එකම පිරිලා තිබුණේ. නිරහංකාර අව්‍යාජ හිනාවක් ඔහුගේ මුවග හැම මොහොතකම රැඳී තිබුණා. ඒ විතර නෙමෙයි ඔහු අනෙක් අයවත් මොනවහරි කියලා හිනස්සන්න හරිම දක්ෂයි. හරිම විනෝදෙන් තමයි ඔහු සෙට් එක ඇතුළෙ හිටියේ. ඒකාලෙ හිටිය නළුවන් හුඟදෙනෙක් සිගරට් බොන්න පුරුදුවෙලා හිටියේ. ඒක ස්ටයිල් එකක් හැටියට ජනප්‍රියවෙලා තිබුණා. ඔහු ජීවිතය දිහා බැලුවේ හරිම සැහැල්ලුවකින්.
දර්ශන තලයේ ඔහු කෙන්ති ගිහින් ඉන්න වෙලාවක ඒ ගැඹුරු හඬින් කතා කරද්දි; කම්මුල්වලට ලේ පිරිලා ඇස් රතුවෙලා හරිම රෞද්‍ර පාටයි. ඒක කොයිතරම් තාත්විකව දැනෙනවද කියනව නම්; අපිට එයා ළඟට ළං වෙන්නත් බයයි. ඇත්තටම එයාට කේන්ති ගිහින් ඉන්නව කියලයි අපට හිතෙන්නේ. ඔහුගේ තාත්වික රංගනය නිසා අනෙක්පස රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට තමන්ගේ චරිතය නිරූපණය කරන්න අනඟි සහයක් ලැබෙනවා. මොකද ඔහුගේ රංගන සාර්තකත්වය තුළින් අපේ තියෙන අඩුපාඩු කම් මැකීගොස් ඉබේටම අපිත් ඒ චරිතයට අනුගත වෙනවා. එය කෙනෙක් තුළ කලාතුරකින් පිහිටන පුදුමාකාර දක්ෂ කමක්. එයා බලන විදියම ඇති බයවෙලා හැඬුම් එන්න. මේ තරම් සරල අහිංසක මනුෂ්‍යයෙක් තුළ මේ වගේ සැරපරුෂ රෞද්‍ර මනුස්සයෙන් ඉන්නෙ කොහොමද කියලා මට වෙලාවකට හිතාගන්නත් බැහැ.
ඔහු ඉංගිත නිරූපණය අතින් අති දක්ෂ නළුවෙක් කියන කාරණාව ඉන් හොඳින්ම ඔප්පු වෙනවා.
ඒ වගේම කියන්න ඕන ඩොමී ජයවර්ධන කියන්නේ නළුවකු විතරක් ම නෙමෙයි; ඔහු ගායකයෙක්. ‘සුජාතා’ චිත්‍රපටයේ අපට ඇහෙන විරිදු ගීතය (මෙන්න මැණිකෝ මෙතැන ජෝඩුවක් ඉන්නවා) ගායනා කළේ ඔහුයි. ඒ වගේම ‘රදල පිළිරුව’ (නම්බුව සොය සොයා ධනයට යට වෙලා) ‘දුප්පතාගේ දුක’ (සේතන් අයියගේ හෝටලේ මේ) ‘සිහිනය’ (පැදපල්ලා හිතට අරන් ඔරුව අපේ නිල් දියේ) වගේ චිත්‍රපටි කිහිපයකටම ඔහු ගායනයෙන් දායක වුණා.
අනෙක් අතින් ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ‘දරු දුක’ (1967) ‘සිංගප්පූරු චාලි’ (1972) ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ. ඔහු අධ්‍යක්ෂණය කළ ‘දරු දුක’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක වරයා වශයෙන් කටයුතු කළේ අපේ මිතුරෙකු වූ එච් ඩී. ප්‍රේමරත්නයි. ඔහු සහාය අධ්‍යක්ෂකවරයකු වශයෙන් සිනමාකරණයට අත්පොත් තබන්නේ මේ චිත්‍රපටයෙන්.
දේශීය චිත්‍රපට කර්මාන්තය කර්මාන්තයක් වශයෙන් ගොඩනංවන්න මේ රටේ සිනමා ශිල්පීන් ගෙන ගිය අරගලයේදී ඩොමී ජයවර්ධන කියන්නේ පතාක යොධයෙක්. ඔහු ‘හෙළ චිත්‍රපට නළු නිළි හවුල’ මඟින් මේ අරගලයට මූලිකත්වය දුන්නා. එය කොයිතරම් බලපෑම් සහගත වුණාද කිව්වොත් 1970 මැතිවරණයට කලින් එවක විපක්ෂ නායිකාව වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඩොමීට ලිපියක් එවා තිබුණා. “තම පක්ෂය මැතිවරණයෙන් බලයට පත් වුවහොත් 1965 කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන බවට මින් ප්‍රතිඥා දෙනවා” කියල. ඒ ප්‍රතිඥාව මුල්කරගෙන තමයි 1972 දී ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවන්නේ. ඔහු එහි පළමුවැනි අධ්යක්ෂ මණ්ඩලයට තෝරා පත් කර තිබුණා. නළුකම වෘත්තිය මට්ටමට ගේන්න ඩොමී අයියා සෑහෙන්න කැප වුණා. ඒ නිසාම ඔහු වෘත්තීය අභිමානය රැකි නළුවකු ලෙස ප්‍රකට වුණා. ඔහු ගමන් බිමන් වුණත් ගියේ පුද්ගලික රථයකින්. කොළඹ ආවම වුණත් ඔහු නැවතුනේ සුපිරි හෝටල්වල.
ඩොමී ජයවර්ධන කියන විශිෂ්ට රංගවේදියා මේ රටේ බිහි වූ නළුවන් අතර භාව ප්‍රකාශන රංගනයේ අති විශිෂ්ටයක්. නමුත් ඔහුට ලැබුණේ සම්මාන දෙකයි. එහි ඇති විශේෂත්වය වෙන්නේ ඒ සම්මාන දෙකම ලේක් හවුස් ආයතයෙන් පිරිනමන ‘සරසවිය’ සම්මාන වීමයි. ඒ 1966 සරසවිය සම්මාන උළෙලේදී ප්‍රියතම සහාය නළුවා (ප්‍රියතම සහාය නළුවා සහ නිළිය සඳහා සම්මාන පිළිගැන්වීම ආරම්භ වූයේ ඒ අවස්ථාවේ සිටය.) ලෙස ලැබුණු සම්මානය සහ 1969 දී ‘පුංචි බබා’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් පිරිනැමුුණු විශේෂ සරසවිය තිළිණයයි. නමුත් කියන්න කණගාටුයි මීට අමතරව ඔහුගේ අද්විතීය රංගනයට නිසි විචාරක් හෝ ඇගයීමක් මේ දක්වා හිමිවී නැහැ.