ඩෙල්ෆ්ට් සංචාරක පරාදීසයක් වනු දැක්ම අපේ ප්‍රාර්ථනයයි | සිළුමිණ

ඩෙල්ෆ්ට් සංචාරක පරාදීසයක් වනු දැක්ම අපේ ප්‍රාර්ථනයයි

හුදෙකලාව සුවයකි. ඒ සුවය, සුවයක් ලෙස සිතන්නේ; දැනෙන්නේ අල්පයකට ම පමණකි. මහ සෙනඟ මැද පවා හුදෙකලාවක් දැනෙන අනන්ත අප්‍රමාණ නිමේෂ ඔබත් අත් විඳ ඇති. සමහර වෙලාවට ඒ හුදෙකලා බව සුවයක්; එත් සමහර වෙලාවට ඒක දරාගන්න බැරි පීඩනයක්.

අද මම ඔබට විවේකීව යන්නට ආරාධනා කරන්නෙත් හුදෙකලා බව තමන්ගේ පිහිටීම ඔස්සේම උරුම කරගත් දූපතක් ගැන. අපි කියන හුදෙකලාවේ සුවයට වඩා එය දෛනික ජීවන ක්‍රියාවලිය ඇතුළත දූකක්. යාපනයේ සංචාරය කරන ඔබ බහුතරයක් ඩෙල්ෆ්ට් දූපතට යන්නට අමතක කරන්නේ නෑ. සංස්කෘත, භෞමික විෂමතා අධ්‍යයනය කරන්නකුට නම් ඩෙල්ෆ්ට් කියන්නේ පාරාදීසයක්.

අප ඩෙල්ෆ්ට් කියා හඳුන්වන මේ දූපත ලන්දේසි යුගයට පෙර ස්වදේශිකයන් හඳුන්වන ලද්දේ පසුකිව් හෝ ගවයන්ගේ දූපත යන අරුතින් නෙදුන්තිව් යන නමින්. පෘතුගීසීන් විසින් මේ දූපත හඳුන්වා ඇත්තේ “ඉල්හා දාස් වකා” නමින්. ලන්දේසීන් තමයි මෙය ඩෙල්ෆ්ට් නමින් හඳුන්වන ලද්දේ. මුළු ඩෙල්ෆ්ට් දුපතම ආසන්න වශයෙන් හෙක්ටයාර් 4700 ත් පමණ වන අතරේ ජනගහනය 5000 කටත් අඩුයි.

ඩෙල්ෆ්ට් දූපතට පැමිණීමට ඔබ යාපනයේ කුරිකුට්ටන් සිට පැයකුත් විනාඩි 20 ක පමණ බෝට්ටු ගමනකින් පැමිණිය යුතුයි. දවසකට උදේ වරුවේ දූපතට යෑමට බෝට්ටු වාර දෙකකුත් දූපතේ සිට නැවත පැමිණීමට බෝට්ටු වාර දෙකකුත් ක්‍රියාත්මකයි. ඔබ ඒ පිළිබඳ පෙර සූදානමකින් යුතුව මේ ගමන යා යුතුමයි. හවස බෝට්ටුව ඔබට මඟ හැරුණොත් යාපනයට ඒමට වෙන කිසිම විකල්පයක් නෑ; ඔබට දූපතේ නැවතී සිටින්නට සිදු වෙනවාමයි. ඔබ ඩෙල්ෆ්ට් දූපතේ නතර වෙනවානම් නැවතීමේ පහසුකම් දැන් එහි අන්තර්ගතයි. සියලු පහසුකම් සහිත හෝටලයක් මෙන්ම රජයේ නවාතැන් පොළක් ද මේ දූපතේ තිබෙනවා.

ඩෙල්ෆ්ට් ස්වභාවයෙන් ම වියළි දුෂ්කර දූපතක්. එහෙත් භූ විෂමතා අතින් එය ඉතාමත් පොහොසත්. අප ගිය සමයේ දූපතට වැසි වැටීම නිසා නිල් පැහැ තණ නිල්ලෙන් වැසී තිබුණා. කැලෑ අශ්වයන් රංචු පිටින් තණ බිම්වල නිදැල්ලේ සරමින් සිටින දර්ශනය ඩෙල්ෆ්ට් දූපතට සුලභ දසුනක්. නියං සමයේ කෑමට තණ හා බීමට ජලය නැතිව කැලෑ අශ්වයන් සුළු ප්‍රමාණයක් මිය ගියත් වැසි සමයේ උන් නැවතත් අභිජනනය වන බව අප මාර්ගෝපදේශකයා වූ ජේ. ඇන්ටන් ජෙලස්ටීන් (සුජීවන්) පැවසුවා. ඔහු ඩෙල්ෆ්ට් වලම ඉපදී ඒ දූපතේම ඉපැදුණු තරුණියක විවාහ කරගෙන සිටින එක් දරු පියෙක්. ඩෙල්ෆ්ට් දූපත පුරා අප රැගෙන ගියේ ඔහු. යම් තරමකට සිංහල කතා කිරීමට හැකි ඔහු තමා උපන් දූපතේ සංවර්ධනය ගැන දැඩි බලාපොරොත්තුවෙන් සිටින්නෙක්. සංචාරක පාරාදිසයක් වන් මේ දූපතට එකී ආකර්ෂණය වැඩි දියුණු කර ගැනිමේ වැඩපිළිවෙළක් රජයෙන් ක්‍රියාත්මක කරනවා නම් රජයටත්, දූපත්වාසීන්ටත් කෙතරම් ඵල ප්‍රයෝජනයක් අත්වනු ඇති දැයි ඔහු අප හා පැවසුවා. තවමත් පහසුකම් අඩු ‍මේ දුපතට මේ තරමින් හෝ සංවර්ධන වැඩපිළිවෙළක් ඔස්සේ දියුණුවක් ලැබුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලයේ බව ඔහු පැවසුවා. එතුමා ලංකා බැංකු ශාඛා‍වක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඇතුළු පහසුකම් රැසක් ඩෙල්ෆ්ට් වෙත ලබා දී තිබෙනවා.

ඩේල්ෆ්ට් මහා මාර්ග එතරම් හොඳ තත්ත්වයේ නෑ. දූපත නැරඹීමට ඔබට යා හැකිවන්නේ එක්කෝ ලොරි රථයක නැතිනම් ත්‍රීරෝද රථයකයි. දැඩිසේ ගැස්සෙන සුළු බැවින් ගමන සනීපවත් වෙන්නේ නම් නෑ. දුපතේ තිබෙන විශේෂිත ස්ථාන කරා ඒ රියදුරන් ඔබ 

කැඳවාගෙන යනවා. මුලින් ම ඔවුන් ඒ සඳහා අය කරන ගාස්තුව වැඩි යැයි ඔබට සිතුණත් ගමන අවසානයේ සිතෙන්නේ ඔවුන් පවසන ඒ මුදල අතිශය සාධාරණ බවයි. ඩෙල්ෆ්ට් දූපතේ කාර් රථයක් හෝ සැප පහසු වාහන කිසිවක් හෝ නෑ. ඔවුන් තම දූපතේ වන කුඩා වපසරියක යන්නේ එන්නේ පාපැදියෙන්; නැත්නම් යතුරු පැදියෙන්. යතුරු පැදි පදින කාන්තාවන් මෙහි බහුලයි. ඉහින් කනින් දාඩිය පෙරාගත්, දැඩි හිරු රශ්මිය ගැන වගේ වගක් නැති ගම්වැසියන් ගැන හිතේ ඇතිවෙන්නේ දුකක්. සීමිත අවශ්‍යතා පමණක් ඇති නිසා ඔවුන්ගේ දෛනික ජීවිතය සරලයි; නමුත් කටුකයි. බොහෝ විට මෙහි තවමත් ක්‍රියාත්මක වන්නේ හුවමාරු ක්‍රමය. තල් රා, හකුරු දී ඔවුන් අත්‍යවශ්‍ය භාණ්ඩ හුවමාරු කරගන්නා බැව් ජෙලස්ටීන් අප හා පැවසුවා.

දූපතේ සංචාරය කරන ඔබට මඟ පෙන්වන්නන් විසින් විශේෂිත ස්ථාන කිහිපයක් පෙන්වනු ලබනවා. ඒ අතර පරණ පෘතුගීසි කොටුව, බයෝබාබ් ගස, ලියලන ගල, ප්‍රදීපාගාර කුලුන, කැලෑ අශ්වයෝ, එකිනෙකා හා වෙළුණු නුග, තල් හා කොහොඹ ගස, නුග සෙවණ, පැරණි අශ්ව ගාල, අශ්වයන් ගවයන් නෑවීමට භාවිත කරන ස්ථාන, සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රමුඛයි.

අරාබි වෙළෙඳුන් විසින් ඩෙල්ෆ්ට් වෙත ගෙන එන ලදැයි විශ්වාස කරන බයෝබාබ් ගස වැසි සහිත කාලගුණය නිසා කොළවලින් පිරී තිබුණා. ජෙලස්ටින් පැවසුවේ මේ ගස දැඩි නියං සමයට එක කොළයක් හෝ නැති වන ලෙස හැළී යන බවක්. කිහිප දෙ‍නකුට සැඟවී සිටිය හැකි තරමට ගහ මැද බෙනයක් පිහිටා තිබුණා. පෞරාණික හා විශාල ගසක් වන මෙහි කොළ හා ගෙඩි ආහාරයට ගත හැකියි ලු.

අප මාර්ගෝපදේශකයා වූ ජෙලස්ටීන් පැවසුවේ ලියලන ගල ඔහු කුඩා අවධියේ දැනට පවතින ප්‍රමාණයෙන් භාගයක් වත් උස නොවු බවයි. ඒ ගල ලියලන අයුරු ඔහු කාලයක් තිස්සේ නිරීක්ෂණය කර තිබුණා. මේ දුපතේ වන තවත් සුවිශේෂිතා දෙකක් මා නෙත ගැටුණා. එකක්, එහි සියලු තාප්ප සදා තිබෙන්නේ ස්වභාවික කොරල්වලින්. ඒ කොරල් ගල් ලබාගන්නේ ද හුවමාරු ක්‍රමයට. මෙහි කොතැනකවත් ඒ කොරල් ගල් රැඳවීම සඳහා සිමෙන්ති භාවිත කර නැහැ. ඒවා එකිනෙකට පුට්ටුකර සුන්දර ස්වභාවික තාප්ප ඉදිකර තිබෙනවා.

අනෙක් විශේෂත්වය වන්නේ පරක් තෙරක් නොපෙනෙන කෝමාරිකා යායයි. මුහුදු වැලිවලත් ගල්වලත් අධික රශ්මිය දරාගෙන යායක් සේ දිගින් දිගට ම ඉබේ වැවී ඇති කෝමාරිකා යාය අප සිතට එක් කළේ විශ්මයක්. ජිවිතයේ පළමු වතාවට කෝමාරිකා මලක සුන්දරත්වය දුටුවේත් ඩේල්ෆ්ට් හිදී.

ඓතිහාසික පෞරාණික බවෙන් මෙන්ම දූපතට විශේෂ වූ භෞමික විෂමතා වලින් ගහණ ඩෙල්ෆ්ට් සංචාරය කරන්න කැමැති කෙනකුට පාරාදීසයක්. මුහුදු රළ දිගින් දිගට ම වැදීම නිසා මැදුණු කොරල් හා හුණුගල් සහිත වෙරළ වෙන කිසිදු වෙරළකට සමාන කරන්නට බැහැ. ඒ තරම් වෙනස් සුන්දරත්වයකින් සමන්විත වෙරළ තීරයක් එහි තිබෙන්නේ.

සංචාරකයන්ට ස්වාභාවිකවම පිහිටි බොහෝ සුන්දර ඒ වගේම වෙනස් ස්ථාන රැසක් නැරඹීමේ අවකාශය හිමි වන ඩෙල්ෆ්ට් සංචාරක කලාපයක් සේ වර්ධනය කිරීමේ අවශ්‍යතාව එහි සංචාරය කර එද්දීත් අපේ සිතට දරුණුව දැනෙමින් තිබුණා. රුපියලේ දෙකේ ලාබ සොයන මිනිස්සු මේ දූපත වටේ යන්න මඟ පෙන්වන්නකු කියන ගණනට හෙට්ටු කරන ආකාරය දැකපු මට ඇතිවුණේ දුකක්. තමන්ගෙ වාහනය කැඩුණොත් යාපනයේ සිට කාර්මිකයකු ගෙන්වන්නට ඔවුන් දරණ වෙහෙස හා කැපවීම ගැන දන්නවා නම් කිසිම කෙනෙක් ඔවුන් එක්ක පුංචි මුදලකට හෙට්ටු කරන එකක් නෑ.

ඩෙල්ෆ්ට් සංචාරක පාරාදීසයක් සේ දියුණු වනු දැකීම අපේ ප්‍රාර්ථනයක් වූයේ අන්න ඒ නිසයි.

 
 
 
 

Comments