කොළඹ නගරයේ නාට්‍යශාලා අස්ප ගණන් | Page 2 | සිළුමිණ

කොළඹ නගරයේ නාට්‍යශාලා අස්ප ගණන්

“මේක යකාගේ කතාවක්”

වේදිකා නාට්‍ය නිර්මාණකරු,

ප්‍රවීණ කලා අධ්‍යක්ෂ

සිරිනාථ වික්‍රමසිංහ

 

ඔහු හැකියාවෙන් පිරිපුන් කලා අධ්‍යක්ෂකවරයෙකි. කලාවේ අඩසියවසක පමණ කාලයක අත්දැකීම් ඇති, සිරිනාථ වේදිකා පුළුල් තිරය හා පුංචි තිරය එක ලෙසින් ජයගත්තෙකි. 1969 ප්‍රේමදාස පෙත්තාවඩුගේ “අනේ අනිච්චා” හා 1972 අ‍ශෝක නිෂ්ශංකගේ “සුර පුරට යන එවුං” වේදිකා නාට්‍යවල රංගන ශිල්පියෙකු වශයෙන් ඔහු කලාවට අත්පොත් තැබීය. තෝමස් තිලකරන්න මහතා යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිල්ක් ස්ක්‍රීන් ප්‍රින්ටින් කලාවේ නිරත වූ ඔහු නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ නාට්‍යයන් සමඟ එක් වී පසුතල නිර්මාණය, වේෂ නිරූපණය, කලා අධ්‍යක්ෂණය ආදියට දායක වීය.

 

“1978 ප්‍රථම වරට නාට්‍යය සඳහා පැවැති ජනාධිපති සම්මාන උලෙළේදී බී. සිරිතුංග පෙරේරාගේ “සිටුතුමා” නාට්‍යයේ හොඳම වේෂ නිරූපණ ශිල්පියා ලෙස පළමු ජනාධිපති සම්මානය ලැබීය. පසුකලෙක 1985 “අල්ලපු ගෙදර”, 1987 ආර්. ආර්. සමරකෝන්ගේ “ජේලර් උන්නැහේ”, 1989 අශෝක නිස්සංකගේ “නිරෝගේ රඟමඬල” ආදී නාට්‍යය ඔහු අතින් නිර්මාණය විය.

ඒ අතරතුර සිල්ක් ස්ක්‍රීන් ප්‍රින්ටින් ශිල්පියෙකු ලෙස මෙන්ම චිත්‍රපට පෝස්ටර් නිර්මාණකරුවෙකු ලෙසත් ජනප්‍රිය විය. එකල චිත්‍රපට රැසක නාමාවලිය සැකසුණේ ඔහු අතිනි. 1983 ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කරණු ලැබූ “දිමුතු මුතු” ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂ ලෙස පුංචි තිරයට එක් වූ අතර ඔහුගේ දෙවන නිෂ්පාදනය වන “රේඛා” ටෙලි නාට්‍යයේ හොඳම කලා අධ්‍යක්ෂක ලෙස ප්‍රථම රූපවාහිනී සම්මානය ලබන්නට තරම් ඔහු වාසනාවන්ත විය. “හුලවාලි” චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 10 පමණ කලා අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළේය.

එදා මෙදාතුර ටෙලිනාට්‍ය 30 පමණ කලා අධ්‍යක්ෂක හා වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙස දිගු ගමනක් පැමිණි සිරිනාථ වික්‍රමසිංහ රසඳුනට මෙසේ පැවසීය.

මම රංගනයට, පෝස්‍ටර් නිර්මාණය, සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණය, වේදිකා පසුතල නිර්මාණය, වේෂ නිරූපණය, කලා අධ්‍යක්ෂණය වාණිජ චිත්‍ර කරණය හා වේදිකා නාට්‍ය චිත්‍රපට, ටෙලි නාට්‍ය නිෂ්පාදනය, ආදී කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ රාශියක් ආවරණය කළා. දැනට මගේ කලා දිවියට වසර 50 පමණ වෙනවා. වේදිකා නාට්‍ය 30 පමණ පසුතල නිර්මාණය වේෂ නිරූපණය හා ඇඳුම් නිර්මාණයෙන් දායක ‍වුණා. සිටුතුමා, දේශපාලුවා, අල්ලපු ගෙදර, ජේලර් උන්නැහේ, නිරෝගේ රඟමඬල චරිත හතක, ඒ අතරින් විශේෂයි. ඒ වගේම හුලවාලි, සෙලීනාගේ වලව්ව, සතපාදේවි, ජෝඩු වළලු, පස මිතුරෝ, සොල්දාදු උන්නැහේ, තණ්හා ආශා, මධුසමය, නෝමාක් කෝමාර්ක්, සුහද කොකා, අනෝරා වැහි ආදී චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණයෙන් හා වේෂ නිරූපණයෙන් දායක වුණා. මම එසේ කලා අධ්‍යක්ෂණයෙන් හා වේෂ නිරූපණයෙන් සම්බන්ධ වූ ටෙලිනාට්‍ය ගණන 30 වැඩියි. ඩී.බී.නිහාල්සිංහගේ දිමුතු - මුතු , රේඛා, නදී ගීතය, ඉරපායා, කීටයා 1,2,3 සෙනෙහෙලතා මැණිකේ, නෝනාවරුණේ මහත්වරුණේ, එතුමා, මෙතුමා, වැහිනැති දා, සුද්දිලාගේ කතාව, දුම්බර මැණිකේ, ඉඩෝරයක මල් පිපිලා, ඇත්කඳ ලිහිනියා, සුජාත පුත්‍ර, මහෝඝය, සිරකාරී ඒ අතර ප්‍රධානයි”.

වර්තමාන කලාව ගැන විශේෂයෙන් වේදිකා නාට්‍ය ගැන ඔහුට පවසන්නට තවත් බොහෝ දේ තිබුණා. එදා හා අද නාට්‍ය කලාව බොහෝ වෙනස් බව සිරිනාථ පවසනවා. මේ හැම දෙයක්ම ඔහු පවසන්නේ දිගුකාලීන අත්දැකීම් තුළින්.

“මේක යකාගේ කතාවක්” නාට්‍යය මම නිර්මාණය කළේ පනස් වසරක ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇසුරින්. දැන් සියල්ලක්ම වාණිජ කරණය වෙලා තියෙන්නේ. අපිට සිදු වෙලා තියෙන්නේ උඩුගම්බලා පිහිනන්නටයි. නාට්‍ය බිහිවෙන්නේ හරියට හතු පිපෙනවා වගේ. ඒ වගේම බොහොමයක් නාට්‍යවල නාට්‍යය යටපත් වෙලා නළුවා ඉස්මතු වෙනවා. නමුත් මගේ නාට්‍යයේ ඉස්මතු වෙන්නෙ නළුවා නොවෙයි නාට්‍යයයි.”

ඇත්තටම වර්තමානයේ නාට්‍ය කලාවට රාජ්‍ය අනුග්‍රහය මීට වඩා ලැබෙන්න ඕනෑ. රාජ්‍ය නාට්‍ය උලෙළට පස්සේ නාට්‍යවලට රජයෙන් කිසිම අනුග්‍රහයක් නැහැ. අනිත් අතට කොළඹ නගරයේ නාට්‍ය ශාලාවල මිල ගණන් ඇහුවාම නාට්‍ය බලන්න යන්න හිතෙන්නෙ නෑ. වත්මන් නාට්‍ය ගීතවල වුණත් හරයක් ගුණයක් නැහැ. කන්දොස්කිරියාවක් පමණයි තියෙන්නේ. නමුත් මෙම නාට්‍යය නව පරපුරට අලුත් අත්දැකීමක් වේවි.

සිරිනාථ වික්‍රමසිංහ තිදරු පියෙක්. පුතා මනෝජ් වික්‍රමසිංහ ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙක්. දුව හංසා හා ලේඛා විවා‍හ වෙලා. බිරිය හා දරුවන්ගෙන් ලැබෙන පිටිවහල සුවිශේෂ බවත් ඔහුගේ ගමන යන්නට විශාල ශක්තියක් වූ බවත් සිරිනාථ සිහිපත් කළේ සෙනෙහෙ සිතිනි.

අඩසියවසක අත්දැකීම් ඇසුරින් සිරිනාථ වික්‍රමසිංහයන් විසින් නිර්මාණය කරන ලද “මේක යකාගේ කතාවක්” නව නිර්මාණය නැරඹීමට ඔබ සැමටත් ආරාධනා කර සිටිමු.

 

Comments