කින්න­රා­විය පෙම් රැඟුම් නවතා යන්න යමු අපි මැදි­ය­මත් ගෙවුණා... | සිළුමිණ

කින්න­රා­විය පෙම් රැඟුම් නවතා යන්න යමු අපි මැදි­ය­මත් ගෙවුණා...

අහිමි ප්‍රේමයන් ගැන, හිමි වුණ ප්‍රේමයන්, බිඳවැටුණ පෙම් පුවත් ගැන බොහෝ කතන්දරද ඒ කතන්දර ඇසුරෙන් ලියවුණ ගීතද ඒ අතර බිඳවැටුණ ප්‍රේමයන් වෙනුවෙන් ලියවුණ ශෝක ප්‍රකාශවලට තනු යොදාගැයෙන ගීතද බොහෝ අසා ඇත්තෙමු. ඒ ශෝකාලාප අසන විට හද ඇති වන්නේ සංවේගයකි. ඒ ආදරයේ විරහව, ආදරයේ හැරයෑම, ආදරයෙන් පැරදීම ගැන බොහෝ සුන්දර ගී අසා ඇති බැවිනි. එහෙත් සංගීතයේ හෝ පද පෙළේ හෝ කිසිදු තේරුමක් නැති හරසුන් වචන ගොන්නක් ගයන ගායකයන් පිළිබඳ නොව එවන් ගී මුමුනන තරුණ තරුණියන් පිළිබඳ ඇති වන්නේ සංවේගයකි.

කිසිවකුට පහර දෙන්න නොව ගීත කලාව යා යුතු මඟ පිළිබඳ දැන් සමාජය තුළ හරවත් කතිකාවක් ඇති විය යුතුය යන්න හැඟීමය. නූතන පරපුර අතර වුවද හොඳ දේ අගයන තරුණ පදරචකයන්, නිර්මාණශීලි සංගීතවේදීන්, ගායක ගායිකාවන් සිටීම සැබැවින්ම අගය කළ යුතුය.

එහෙත් අද දවසේදී කොතැන හෝ වැරදී ඇත. එසේ කියන්නේ නවපරපුර වේවා ප්‍රවීණයන් වේවා ගයන හොඳ ගීත විද්යුත් නාලිකා ඔස්සේ අසන්න නොලැබීමය. එදා ගුවන්විදුලියෙන් අලුත් ගීතවලට තිබූ ඉඩ අද විද්යුත් නාලිකාවල අලුත් ගීවලට නැත. එනයින් බලන කල සමාජය තුළ තරුණ තරුණියන්ට රසඥතාවයක් නැතැයි අප ඇඟිල්ල දිගු කිරීම ද වැරදිය.

කෙසේ වුවත් රහක් ඇති අලුත් ගී සොයන්න අන්තර්ජාලයේ සරන විටක ඇසූ මේ ගීතය මෙවර ගීයක අරුම වෙනුවෙන් තෝරන්න සිතිණි.

මිනිස් සිත් පුදුමාකාරය! හිත හිතූ හිතූ තැන්වල නතර වේ. විටෙක ඒ හිත් එසේ නතර වී අතරමං වේ. නීතියෙන් බැඳී තිබුණද, දූදරුවන් ලබා සිටියද එසේ ප්‍රේමයෙන් බැඳුණු සිත් අපට මේ සමාජයේදී හමු වේ. එසේ ප්‍රේමයෙන් බැඳුණු සිත් දූදරුවන්, බිරිය, එහෙමත් නැත් නම් සැමියා හැරදමා විත් හිත ගිය තැන මාලිගා තනාගනිති. මෙවැනි සිදුවිම් අපට සමාජයේ කොතෙකුත් හමු වී ඇත.

‘රඟ මඬල මත තැනූ සඳගිර

එළි නිවා දැමුණා

ළය පළා ගිය හී සරේ තුඬු

දෙන්න මට ගලවා

කින්නරාවිය පෙම් රැඟුම් නවතා

යන්න යමු අපි මැදියමත් ගෙවුණා...’

මේ ගීතය ඇසුණු විට මගේ සිතේ මැවුණේත් එවන් ප්‍රේමයක් පිළිබඳය. ගීතය මතුපිටින් ගෙන බැලූ විට නළුවකු විසින් වේදිකාවේදී වෙනත් නිළියක හා රඟ පෑ පෙම් චරිත ගැන කියැවෙයි. වේදිකාවේදී ඇය හා ප්‍රේමයෙන් බැඳුණු අයුරු ඇයට පෙම් කළ අයුරු කියැවෙයි. එනමුදු ඔහු නාට්‍ය දර්ශනය අවසානයේ රඟපෑම වේදිකාවට පමණක් සීමා කර ගෙදර යන්න සැරසෙන අයුරකි. එහෙත් අප මතුපිටින් දකින, ගීතයේ වචනාර්ථයට වඩා යටිපෙළ අරුත වෙනස්ය.

නව පරපුරේ ගී පද රචකයකු වන සුජීව ප්‍රසංග විසින් රචනා කර ඇති මේ ගීතය ගයන්නේ ප්‍රවීණ ගායනවේදී කරුණාරත්න දිවුල්ගණේය. ගීතය තනු නිර්මාණ කර ඇත්තේ සම්මානනීය සංගීත ශිල්පියකු වන රෝහණ ධර්මකීර්ති විසිනි.

සම්ප්‍රදායික නාඩගම් සංගීතය, වේදිකා නාට්‍ය සංගීතය සමඟ මුසු වූ කරුණාරත්න දිවුල්ගනේගේ ගී හඬ රසිකයා අමුතුම ඉසව්වක් කරා ගෙන යන්නේය. ගී පද රචක සුජිත් සිය අලුත් නිර්මාණය ගැන කියන්නේ මෙවැනි අදහසකි.

“අද වන විට අපේ සමාජයේ අනියම් සම්බන්ධතා වැඩියි. අනියම් සම්බන්ධතා වැඩි වුණත් මට නම් හිතෙන්නේ කොයිම වෙලාවකවත් ප්‍රේමය අනියම් නැහැ කියලා. ගැහැනුන්ගේ මිනිස්සුන්ගේ හිත් එක එක තැන්වල නතර වෙනවා. ඒ නතර වුණු තැන්වල සමහරු ගෙවල් තනාගන්නවා. තමන්ටම කියලා අඹුදරුවන් හිටියාට හිත් නතර වෙන තැන්වල කැදලි තනාගෙන ජීවත් වන අය ඉන්නවා. එහෙම ඉන්න අයට ජීවිතේ එක කාලයකදී හිතෙනවා තමන්ටම කියලා බිරියක්, දරුවෝ හිටියා නේද කියලා. අයාගේ ගිය ඒ වගේ හිත්වල තමන්ගේකම දැනෙන්නේ ජීවිතේ මැදදි. ඒ කයි මම ලිව්වේ ‘කින්නරාවිය පෙම් රැඟුම් නවතා යන්න යමු අපි මැදියමත් ගෙවුණා...’ කියලා. ජීවිතය කියන්නේ රඟමඬලක්. මේ රඟමඬලේ විවිධ චරිත රඟපානවා. එහෙම රඟපාපු කෙනකු යළිත් තමන් සිටි තැනටම යන්න හදන ගමනක් ගැන තමයි මම කියන්න උත්සාහ කළේ. මේ පද පෙළ ලියලා අවසානයේ මට හිතුණා මෙය ගැළපෙන්නේ කරුණාරත්න දිවුල්ගණේ මහත්මයාට කියලා. හේතුව ගීතයේ එන පෙම්වතා ගැන කිසිවකුගේ හිතේ තරහවක් වෛරයක් උපදින්නේ නැතිව ඔහු කෙරෙහි සංවේගයක් ඇති වන අයුරින් එය ගැයීමේ හඬ පෞරුෂය තිබෙන්නේ දිවුල්ගණේ මහත්මයාට කියලා මම විශ්වාස කළා. දිවුල්ගණේ මහත්මයා මෙය ගයන්න අකැමැති වුණොත් වෙන කාටවත් මේ ගීතය දෙන්නේ නෑ කියලා මම හිතාගෙන හිටියේ. එහෙත් ඔහුට මේ පද පෙළ පෙන්නුවාම ඔහු එයට බොහෝ කැමැති වුණා. ඒ වගේම තමයි රෝහණ ධර්මකීර්ති මහත්මයා. ඔහු මා සමඟ කිව්වා ඔහුට හිතිලා දැනිලා පද පෙළ සඳහා සංගීතය නිර්මාණය කළේ නැහැ. ඉබේටම මේ තනුව නිර්මාණ වුණා කියලා. කොහොම වුණත් මා ලියූ පද පෙළ ගීතයක් ලෙස ගැයෙන්න වසරකට වැඩිකාලයක් ගත වුණා.”

අන්තර්ජාලයේ දැන් ගීත නම් ඕනෑ තරම්ය. එවන් විටක ඉඳහිටක අන්තර්ජාලයේ සරන විට බොහෝ ගීත අතර මෙවන් ගීතද හමු වීම සතුටට කරුණකි. 

Comments