අපූර්ව කතා පුවතක් රැගත් ‘අනෝරා’ ළඟදීම රිදී තිරයට | සිළුමිණ

අපූර්ව කතා පුවතක් රැගත් ‘අනෝරා’ ළඟදීම රිදී තිරයට

ලබන වසරේ මුල් කාර්තුවේදී මහජන ප්‍රදර්ශනයට නියමිත, අපූර්ව කතා පුවතක් රැගත් සිනමා පටයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා, පසුව ප්‍රාසාංගික කලාවන් වෙත යොමු වූ සම්මානනීය තිර පිටපත් රචකයෙකු වන හෙක්ටර් කුමාරසිරි මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයායි.

‘අනෝරා’ ඒ තමයි මෙම සිනමා සිත්තමේ නම. ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ ප්‍රථම වතාවට ලිංග විපර්යාසයක් ප්‍රස්තුතය වූ නිර්මාණය ‘අනෝරා’ බව සඳහන් කිරීමට පුළුවන්. එහි කතා සාරාංශය මෙසේයි.

‘ජපානයේ සිට මාස කිහිපයකට පසුව ලංකාවට පැමිණෙන තරුණ නර්තන (කථක්) ගුරුවරයෙකි. තවත් නැටුම් කණ්ඩායම් කිහිපයක් පෙනී සිටින නැටුම් තරග උලෙළකට ඉදිරිපත්වීමට ආකාශ් තම නර්තන කණ්ඩායම සමඟ සූදානම් වේ.

ආකාශ් විවාහ වීමට ගිවිසගෙන සිටින අනෝරා මෙම නර්තන කණ්ඩායමේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන ශිල්පිනිය වන අතර, ඈ නර්තන පුහුණුවීම හෝ ආකාශ් මග හරිමින් සිටින්නීය. තමා ජපානයේ සිටි කාලය තුළ අනෝරා පුහුණුවීම් සඳහා නොපැමිණ ඇති බවද, ආකාශ්ට දැනගන්නට ලැබෙයි. තම විවාහ මංගල්‍යය සඳහා අවශ්‍ය කටයුතු සඳහා ද, නර්තන තරගයේ පුහුණුවීම් සඳහා ද වෙහෙසවීමට සිදුව ඇති ආකාශ්ට අනෝරාගේ මගහැරීම අතිමහත් ප්‍රහේලිකාවකි. මේ හේතුවෙන් ආකාශ් ද, ඔහුගේ නර්තන කණ්ඩායම ද, දෙපාර්ශ්වයේ වැඩිහිටියන් ද විශාල වූ අසීරු තත්ත්වයකට පත්වේ.

සචිනි නර්තන කණ්ඩායමේ අනෙක් ප්‍රධාන ශිල්පිනියයි. අනෝරාගේ තැන ගන්නට වෙහෙසෙන අනෝරාගේ සමීපතම මිතුරියයි. අනෝරා තමා සියල්ලන් මගහරින හේතුව සචිනිට හෙළිදරව් කරයි.

තමා තුළ ලිංග විපර්යාසයක් සිදු වී ගෙන එන බවත්, එය විශ්වාසවන්ත ලෙස දැනගන්නට ලැබුණු පසු අනෝරා සචිනිට කියයි. සචිනි මෙය සෙසු අයට සැළ කර සිටියි.

අනෝරාගේ සහ ආකාශ්ගේ අනාගතය කෙබඳු වේවිද?

කුතුහලය උපරිමයෙන් රඳවා ගත් චමත්කාරජනක චිත්‍රපටයක් වන අනෝරා හි කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය හෙක්ටර් කුමාරසිරි, විධායක නිෂ්පාදනය ක්‍රිස් වික්‍රමසිංහ, සහය නිෂ්පාදනයෙන් දොන් ප්‍රේමදාස, පුලස්ථි බෙත්මගේ සහ යූ. සරත් පොඩිනිලමේ සම්බන්ධ වී සිටිති. විධායක නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ප්‍රියන්ත කළුආරච්චි, සහාය සුනින් දිසානායක, කලා අධ්‍යක්ෂණය සහ අංග රචනයෙන් සිරිනාත වික්‍රමසිංහ, කැමරා අධ්‍යක්ෂණය කපිල සුදේෂ් විජේසේකර, සංගීත අධ්‍යක්ෂණය - ශාස්ත්‍රපති, නිමන්ත හේෂාන්, ගායනය - නිමන්ත හේෂාන් සමඟ හෂිණි දමිත්‍රා ඇතුළු පිරිසක් අ‍නෝරා නිෂ්පාදනයට දායක වී හිඳිති.

රංගනයෙන් නිමන්ත හේෂාන්, මේනකා මධුවන්ති, ප්‍රධාන චරිතවලට පණ පොවන අතර මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, විජේරත්න වරකාගොඩ, දයාදේව එදිරිසිංහ, ඩබ්ලිව් ජයසිරි, දයා වයමන්, දමයන්ති ෆොන්සේකා, ෆර්නි රෝෂිණි යන ප්‍රවීණයන් සමඟ අන්ජලී මිශ්‍රා, හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායකවී ඇත.

Comments