නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැති තුමා පිළිබද අප පුවත්පතේ 2019 ඔක්තෝබර් මස 13 පළවූ “නිදහස් අධ්‍යාපනයේ පියාගේ සොහොන රකින ලූල්බද්දූවේ නැයෝ” යන ලිපිය සම්බන්ධව අදහස් දක්වමින් කන්නන්ගර මැතිතුමාගේ වැඩිමහලුම සහ සමීපතම මිනිපිරියක වන හසිතා බාලසූරිය (විශ්‍රාමික - ශ්‍රී ලංකා පරිපාලන සේවය) මහත්මිය අප වෙත පැහැදිළි කිරීමත් එවා ඇත. ඇය විසින් එවන ලද පැහැදිළි කිරීම මෙසේය.
“කන්නන්ගර මැතිතුමාට සිටියේ දරුවන් දෙදෙනෙකු පමණයි. කන්නන්ගර මැතිතුමාට මා ඇතුළු මුනුපුරු මිනිපිරියන් හත්දෙනෙකු සිටිනවා. මේ සියලු දෙනාම පදිංචිව සිටින්නේ කොළඹ. එතුමා මිය යනතුරුම සිටියේ අපගේ නිවෙසේ. මගේ මව වන කුසුමාවතී විජේකෝන් සෙනෙවිරත්න (විවාහයට පෙර කන්නන්ගර) සහ මගේ පියා වන තියබෝල්ඩ් සෙනෙවිරත්න විසින් ආදරයෙන් රැක බලා ගත්තේ.
ලුල්බද්දූවේ ඇති කන්නන්ගර මැතිතුමාගේ සහ එතුමාගේ පියාණන්ගේ භස්මාවශේෂ තැන්පත් කර ඇති (කන්නන්ගර මැති තුමා විසින් මිලට ගන්නා ලද පර්චස් 25 ක ඉඩම) සොහොන් බිම බලා ගන්න කිසිවෙකුට පවරා නැහැ. එය කොළඹ සිට රකින්නේ මා විසින්ය. එත් දැනට වසර පහළොවක පමණ සිට කන්නන්ගර මැතිතුමාගේ සොහොන් බිම සුද්ද පවිත්‍ර කොට බලාගන්නේ ලුල්බද්දූවේ පදංචි ග්‍රාම නිලධාරිනියක ලෙස කටයුතු කරන මගේ සමිපතම ඥාතිවරියක වන කන්නන්ගර කෝරාළලාගේ නීතා මෙණෙවියයි. ඇය මේ සියල්ල කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මම වසරකට දෙවරක් කන්නන්ගර මැතිතුමාගේ සොහොන වෙත යනවා. ඒ යන්නේ එතුමාගේ උපත සහ විපත සමරනු සඳහායි.”