දෛවයට අනුව හමුවෙන ජයභූමියක් මුල් කරගෙන කටයුතු කරන පුද්ගලයාට එය සිය ජීවිතයේ නියත ජයග්‍රහණය ලැබීමේ වාසනා භූමිය ලෙස ගණන් ගැනීමට හැකි වෙයි. පසු කලෙක එම චරිතය පෝෂණය වන්නේ ද, ප්‍රකට වන්නේද එම ජයබිම මූලික කරගෙනය. මහානාම හිමියන් විසින් මහාවංසයේ පුස්කොළ පත් ඉරු ගණනාවක් වෙන් කරගනිමින් දක්වා ලන දුටුගැමුණු චරිතයේ ශ්‍රේෂ්ඨ ජයග්රහණයටද ජයභූමියක් මුල් වූ බව වැඩි දෙනා නොදන්නා අප්‍රකට කතාවක් ඇත. එය මෙසේය.
රට නිදහස් කර ගැනීමට සහාය වෙනු පිණිස රැස් කරන ලද දශ මහා යෝධයන්ගෙන් යුතු වූ මහා සේනාවද රැගෙන දුටුගැමුණු කුමාරයා අනුරාධපුරය බලා ගමන් කරමින් සිටියේය. තම මෑණියන් වූ විහාර මහා දේවියද මහා සංඝරත්නය ද පෙරමුණේ රඳවාගෙන එහි යමින් සිටියදී ඉදිරියේ වන සතුන් දෙදෙනෙකුගේ ක්‍රියාවක් ඔවුනට දක්නට ලැබිණි. අහිංසක හාවකු හඹා එන හැඩි දැඩි නරියකුගේ දර්ශනයකි. මුලින්ම සිටි කුමාරයාණන් ඇතුළු පිරිසට එම දර්ශනය ඉතාම පැහැදිලිව දැකගත හැකි විය. පණ බයෙන් දිව ආ හාවා එක් තැනක බිම් කඩෙක නතර වී ආපසු හැරී දෙපයින් නැඟී සිට තමන් බිලි ගන්නට දිව එමින් සිටි නරියා දෙස බැලීය.
තමන්ට කළ හදිසි අභියෝගයක් වැනි එ් දර්ශනය දුටු නරියා කළේ එතැනම නතර වීමය. නතරව සුළු වේලාවක් හාවා දෙස බලා සිටි නරියා දෙවන මොහොතේදී කළේ ආපසු හැරී පණ එපා කියා දිවීමය. එය දුටු පිරිස එතැන නතර වූයේ ඉබේටම වාගේය. එයින් තම සිතට අමුතු ආවේගයක් ඇති වූ බව කුමාරයාණන්ට මනා ලෙස හැඟිණි.
“හාමුදුරුවනේ, මේ වන සතුන් දෙදෙනා අපට මෙතැනදී පෙන්නා සිටියේ හොඳ පෙර නිමිත්තක්. පරම සතුරු වූ නරියාගෙන් පණ බේරාගන්නට දුවගිය මේ අසරණ හාවා බිම් කඩකට පැමිණ නතරව ආපසු හැරී බැලුවේ මේ බිම තමන්ට ජය භූමියක් - අභය භූමියක් වූ නිසයි. ඒ නිසාම තමා බලගතු නරියා මේ අහිංසක හාවාගේ බැල්මට බිය වෙලා ආපසු පණ බේරාගෙන පලා ගියේ. මම හිතනවා ඒ අර්ථයෙන්ම මේ බිම අපට ද ජයභූමියක් වෙයි කියලා. ඒ නිසා මා මේ බිම අපේ සටනේ මුල් කඳවුර පිහිටුවා ගන්නට සුදුසුයි කියලා” යනුවෙන් දුටුගැමුණු කුමාරයාණෝ පැවසූහ.
පරසතුරු එළාර රජු පරාජය කර ලංකාව එක් සේසත් කරගැනීමේ මූලික පියවර ලෙස ‘විජිතපුර” බළකොටුව ඉදි වූයේ එසේ එදා ප්‍රබල හතුරා පරාජයට පත් කරලන්නට සමත් වූ හාවාගේ ජයග්‍රහණය ද මුල් කරගෙනය.
ඉන් පසුව මාස ගණනක් තිස්සේ සිදු වූ යුද්ධයේදී එම මූලික බිමේ සාර්ථකත්වය මනා ලෙස කැපී පෙනිණි. සියලු දමිළ බළකොටු ජයගෙන දමිළ සේනාව යටත් කරගෙන අන්තිම සටන එළාර රජු හා තමන්ට ද්වන්දව සටනක් ලෙස කළ යුතු යැයි ද එයට කිසි ලෙසකින් හෝ වෙනත් කෙනෙකු සහභාගි නොවිය යුතුය යැයිද දුටුගැමුණු කුමාරයා ප්‍රසිද්ධියේම කියා සිටියේද මෙහිදීය. පර්වත හස්ති රාජයා පිට නැඟී තමන්ට මුහුණ දෙන්නට පැමිණි සතුරු එළාර රජු තමන් ඉලක්ක කරගෙන එවූ තෝමර පහර වළක්වාගෙන තමන් විසින් කල්යල් බලා කණ්ඩුල ඇතා පිට සිට යවන ලද තෝමර පහර සමඟ තම ඇතා ලවා පර්වත හස්තියාට දෙන ලද දළ පහරෙන්ද එළාරයන් පරලොව යවන්නට සමත් වූ බව ද කාටත් දැකගත හැකි විය.
එතැන් සිට ලංකාව එක් සේසත් කළ දුටුගැමුණු මහරජතුමාණෝ මෙසේ තම ප්‍රධාන ප්‍රතිවාදියා මියගිය තැනම චිතකයක් බඳවා ආදාහනය කර එතැනට එම අළු නිදහස් කර “එළාර සෑය” බැඳවූහ. එතැන් සිට එතැන පසු කර යන්නන් එළාර සොහොනට ගරු කර යා යුතු බවට ද නීතියක් පැණවූහ.
දුටුගැමුණු මහ රජතුමාට එසේ සිය ජයග්‍රහණයට ජයභූමියක් වූ විජිතපුරය බිම්කඩ පිළිබඳ වූ එම පුවත හෙළි කරන්නට අප අදහස් කළේ මෑත යුගයේ අපේ ඉතිහාසයේ එවැනි ජයභූමියක් පිළිබඳ සිද්ධියක් ද මතු කිරීමේ බලාපොරොත්තුව ඇතිවය.
ඉංග්‍රීසි පාලකයන්ගෙන් නිදහස ලබාගැනීමේ ප්‍රාර්ථනා ඇතිව සිටි අපේ පැවිදි ගිහි නායකයන් වෙත ද එසේ “ජයභූමියක්” මතු වූ පුවතක් ලියා දැක්විය හැකිය. පාණදුර ගම් පියසේ ඓතිහාසිකව සිදු වූ සත්‍ය සිද්ධිදාමයකට සත්ත්ව කොට්ඨාස දෙකක් මුල් වී ක්‍රියා කළ අන්දම පිළිබඳ පුවතක් වෙයි.
ශතවර්ෂ දෙකකට ද පෙර දැන් පාණදුරේ රන්කොත් විහාරය පවතින ස්ථානය තිබුණේ මහා ගල් කන්දකි. ඉංග්‍රීසි පාලන සමයේ ගාලු පාර සෑදීම සඳහා උපයෝගී කර ගන්නා ලද්දේ ඒ ගල් කන්දෙන් කඩා ගන්නා ලද කළුගල්ය. එසේ කම්කරුවන් ගල් කඩා ගනිද්දී එක් කොටසක තැනක් හාරා එහි වළක් බවට පත්ව තිබෙනු දක්නට ලැබිණි. එහි වැඩ නිමා වීමෙන් පසු එම වළේ වැස්සෙන් වතුර පිරී එයට ගෙම්බන් සිය ගණනක් එක් රොක් වී සිටිනු දැකිය හැකි විය. සමහර අවස්ථාවල එහි රැඳී සිටින ගෙම්බන් එක්වරම හඬවා නඟන ගෙඹි නාදය අසන්නට අහල පහල අය එක් රොක් වන අවස්ථාද වෙයි. සමහරවිට ඒ ගෙඹිහඬ අසන්නන්ගේ විනෝදය පිණිසද හේතු විය. මේ පොඩි වළ අඩි හතරක් පමණ ගැඹුරට ද එහි ජලය අඩි එකහමාරක් පමණට ද වූ හෙයින් ගෙඹි පිරිසට මහා විලක් හා සමාන විය.
එක් දිනක සවස් යාමයේ අසන්නට ලැබුණේ එක් හඬක් නොව සත්ත්ව වර්ග දෙකකම හඬ අදෝනාවක් ලෙසින් නික්මෙන බවය. ඒ ඇසූ අහල පහල අය එක් රැස්වී ගල්වළ තුළට එබී බැලූ විට දක්නට ලැබුණේ විශාල නාගයකු එම වළට පැන ගෙම්බන් ගිලිමින් සිටින බවය. මේ රුදුරු සතුරාගේ ග්රහණයෙන් විපතට පත් ගෙම්බන් කළේ තම දිවි පරදුවට තබා හැකි හෑම අයුරකින්ම නාග රාජයාගේ සිරුර හැපීමය. තමන් එසේ කරනා ලද වික්‍රමයෙන් බඩද බර වී තිබියදී එම ගෙඹි පිරිස ඉහින් කණින් යමින් අහුවෙන අහුවෙන තැන් හපා කෑම නිසා බලවත් සේ වෙහෙසට පත් නාගාරාජයාට එම මහ වළෙන් ගොඩ වී යෑමට ඉඩකඩ ලැබුණේ නැත. නාගරාජයා උත්සහා කළේ කෙසේ හෝ මේ ගෙඹි පිරිස අතරින් සිය පණ බේරාගෙන වතුර වළෙන් ගොඩට පැන ගැනීමටය. එහෙත් එයට ඉඩක් ලැබෙන බවක් නම් නොපෙනේ.
නාගයාද කෑ ගසන්නට විය. අහල පහල අයට සත්ත්ව වර්ග දෙකකම අඳෝනා ඇසුණේ එහෙයිනි. අවට සිටියවුන් වළට එබී බලන විට ගෙම්බන්ගේ දත් පහරවලින් තුවාල ලද නාග රාජයාගේ ඇඟේ කොටස්වලින් ලේ ගලමින් තිබෙනු දැකිය හැකි විය.
එසේ තමන් ග්‍රහණය කර ගැනීමට පැමිණි සතුරා අබිබවා සාර්ථක සටන් ප්රයන්නයක යෙදුණු ගෙඹි හමුදාවේ අඬහැරය නොනවත්වාම පැවතිණි. කෙමෙන් අඳුර වැටෙන්නට වූ හෙයින් වළ වටා එක් රොක්වී සිටි ගම්මු කෙමෙන් විසිර ගියහ.
පසු දා උදයේ ගල්වළ ළඟට පැමිණියවුන්ට දකින්නට ලැබුණේ ගෙඹි හමුදාව විසින් ශරීරයේ බොහෝ තැන් සපා කෑම නිසා අසරණ තත්ත්වයට පත් නාගරාජයා ගල්වළේම අවසන් හුස්ම හෙළා ඇති බවය. සතුරා විනාශ කර ජයපැන් පානය කරනු ලීලාවෙන් ගෙම්බන් නාග මළ සිරුර මතට නැඟ සිටිනා ආකාරය. එය දුටු ගම්මු විස්මයට පත් වූහ.
“මේ සිද්ධිය සුළුපටු එකක් නොවෙයි. මේ තරම් බලවත් නාග රාජයකු ගෙඹි හමුදාවක් එකතු වෙලා විනාශ කර දැමීම නිසා මේ භූමිය ජය භූමියක් වශයෙන් ගණන් ගත හැකියි. පුංචි පහේ එවුන් පිරිසක් විසින් බලවත් හතුරකු විනාශ කිරීම වැදගත් කරුණක්. එම නිසා මේ භූමිය විහාරස්ථානයක් ඉදි කිරීමට සුදුසු යැයි එක්තරා වැඩිහිටියෙකු කියනවා ඇසුණෙන් එය බොහෝ දෙනෙකුගේ සැලකිල්ලට ද ලක් විය. පසුව නාග මළසිරුර ආදාහනය කරන ලද අතර ගෙම්බන් වෙනත් දිය වළකට ගෙනගොස් දමා එම වළ වසා දමනු ලැබීය.
පොනහැනස්නදිගේ පරපුරේ, රුද්‍රිගු පරපුරේ, දියෙස් පරපුරේ හා පීරිස් පරපුරේ ආදී වශයෙන් පරම්පරා ගණනක වැඩිහිටියන්ද තරුණයන් ද මෙහි සිටි අතර ඔවුන් හැම කෙනෙකුගේම සිත් සතන්හි මෙහි විහාරස්ථානයක් ඉදි කිරීම ගැන අදහස මුල් බැස ගත් බව පෙනිණි. පාණදුර ප්‍රදේශයටම තිබුණ පැරණිම විහාරස්ථානයේ වන්දනා කටයුතු කිරීම එක් එක් කුලවලට ලණු ඇඳ වෙන් කිරීම නිසා හටගෙන තිබුණු ආරාවුලට විසඳුමක් ලෙස කාටත් වැඳ පුදා ගැනීමට සුදුසු පොදු විහාරස්ථානයක් මේ ගල්කන්ද මුල් කරගෙන ඇති කරගැනීමේ වැදගත්කම ගැන ද කතාබහට ලක් විය.
හැකි ඉක්මනින් සියල්ල තීරණය කෙරිණි. එසේ ගල් කඩා දැන් සම බිමක්ව තිබෙන එම කොටසේ අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා ද ලකුණු කෙරිණි. අනෙක් කොටසට අවශ්‍ය වැලි ගෙන එන ලද්දේ ඒ බිමේ පෙළ ගැසී සිටි ස්ත්‍රී පුරුෂයන් විසින් අතින් අත වැලි කූඩ එවමිනි. වෙරළ බිම ළංව පැවති හෙයින් එය පහසු විය.
මාස දෙක තුනක් ගෙවෙන්නට පෙර සියලු කටයුතු නිමාවට පත් විණි. නව විහාරස්ථානයේ භාරකාරත්වයට එසමයේ ඒ පළාතේ වැඩ වාසය කළ බටපොළ කල්‍යාණතිස්ස මහානායක හිමියන් පත් කර ගන්නා ලද්දේය. රේන්ද කටයුතු, ධීවර කටයුතු හා වෙනත් කර්මාන්ත කටයුතුවල නිරත වී සිටි දායක පිරිසකගේ සහභාගිත්වයෙන් ඇරඹුණු විහාර කර්මාන්තය චෛත්‍යයක් ගොඩ නැංවීමෙන්ද සංවර්ධනය විය. ගල් කන්දේ පන්සල ගල් වළේ පන්සල යනුවෙන් මුලින් හැඳින්වූ මේ විහාරස්ථානය සුළු කලකදීම ප්‍රබල වූ ධනවත් දායක සභාවක් ද පෙරටු කොට ගෙන පාණදුරේ නගරාශ්‍රිතව අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් විය. තවත් මාස කීපයක් ගත වී යද්දී මහා චෛත්‍යයක් ද ඉදි කෙරුණි. මහා නායක පදවියකින්ද පිදුම් ලබා සිටි බටපොළ කල්‍යාණතිස්ස නාහිමියන්ගේත් තත් ශිෂ්‍ය වල්පිට සිරිසුමනතිස්ස හිමිපාණන්ගේත් පුණ්‍ය මහිමය නිසා එම චෛත්‍යයේ නිධන් කරවීම උදෙසා කීප පොළකින්ම සර්වඥ ධාතුන් වහන්සේ ද ලැබිණි. කන්ද මුදුනේ බැබළෙන බුබුලක් වන් චෛත්‍ය රාජයාගේ කොතේ රත්තරන් ආලේප කිරීමටද සිදු වුණේ කාගේත් කැමැත්ත හා ශ්‍රද්ධාව අනුවය. මෙතෙක් කල් ගල් කන්දේ පන්සල-ගල් වළේ පන්සල යන නාමයන් ගෙන් හැඳින්වුණු විහාරස්ථානය “රන්කොත් විහාරය” නමින් නම් කළ යුතු යැයි යෝජනාවක් නැඟිණි. එම නාමය කාටත් අන්වර්ථ එකක් වූයේ එවකට පාණදුරේ පරණ පාර අයිනෙන්ම දිස් වූ එම “රන්කොත්” වෙහෙර කාටත් ආශිර්වාදයක් වූ හෙයිනි.
පසුව ගාලුපාර ඉදි කෙරුණේ එම වෙහෙරේ දර්ශනය පෙනෙන තෙක් මානයේ නුදුරිනි. විහාරස්ථානය පිහිටුවීමට මුල් වූ පරපුරේ ඇත්තන්ගේ දූ දරුවෝ කිහිප දෙනෙක් මුළු පළාතටම ගෞරවයක් වන පරිද්දෙන් පාණදුරේ “රන්කොත් වෙහෙර” දියුණු කළහ. මහා නාගරාජයෙකු වූ තම සතුරා සාමූහිකව එක්සත්ව පරාජය කළ හෙයින් ජය භූමියක් වූ “රන්කොත් වෙහෙර” භූමිය එයින් දශක ගණනාවකට පසුව ඇති වූ පාණදුරේ මහා ආගම් වාදයට ද මුල් භූමිය වූයේය. වර්තමානයේ ද ජෙරමියස් දියෙස් පරපුර රුද්රිගූ පරපුර ද මූලිකව රන්කොත් වෙහෙරෙන් ලොවටම බෞද්ධාලෝකය පතුරවයි.
පසු කලෙක නිදහස් ලංකාවක් බිහි කරගැනීම උදෙසා ප්රමුඛව කටයුතු කළ ජාතික බෞද්ධ නායකයන් සමඟ උරෙනුර ගැටෙමින් රන්කොත් වෙහෙරට මුල් වූ පාණදුරේ ප්‍රභූ ධනවත් පවුල් කිහිපයක්ම සිය ජාතිකත්වයක් ආගමිකත්වයක් මනාසේ රැක ගන්නටද මුල් විය. එහෙයින්ම පසු කලෙක ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් රටේ පාලනයට ද හවුල් වූහ.
එය එසේ නමුදු කිසිම ලෙසකින් රටේ පාලන භාරයට පත් නොවෙමින් ජනතාවගේ ද යහපත පිණිස “කොස් ගස බත් ගසක්” කිරීමේ මහා මෙහෙවර රටපුරා ප්‍රචලිත කළ ආතර්. වී. දියෙස් වැනි උතුමෝ ස්වාධීනව සිටිමින් රට ජාතිය බෞද්ධාගම මෙන්ම ජනතාවගේ යහපතම උදෙසා ඇප කැප වී කටයුතු කළහ. කෙසේ ද යත් ආතර්. වී.දියෙස් මැතිතුමා සිය මෑණියන් වූ සෙලස්තිනා රුද්රිගූ මැතිනිය මෙන්ම පියාණන් වූ ජෙරමියස් දියෙස් මහතාගේ මත්පැන් රේන්දයෙන් ඉපැයූ කෝටි සංඛ්‍යාත ධන සම්භාරය රටේ පොදු ජනතාව වෙනුවෙන් කැප කළහ.
එම කටයුතුවලදී දියෙස් පවුලට යාබද ඉඩමේ පිහිටියාවූ “රන්කොත් විහාරයේ” දියුණුවට ද දියෙස් පවුලේ පින්වතුන්ගෙන් එදා ඉටු කෙරුණේ මහත් සේවයකි. එම පරපුරෙන් පැවත එන වත්මන් සාමාජිකයන්ගෙන්ද එම සේවය නොපිරිහෙළා ඉටු කෙරෙන බව කිව යුතුමය. එය අතිශයෝක්තියක්ද නොවේ.