දින පනහේ මෙහෙ­යු­මෙන් අප මහ ඡන්දෙට සූදා­නම් වෙනවා | සිළුමිණ

දින පනහේ මෙහෙ­යු­මෙන් අප මහ ඡන්දෙට සූදා­නම් වෙනවා

ජනතා විමුක්ති පෙර­මුණේ ඉදිරි මැති­ව­රණ කට­යුතු මෙන්ම පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජන් රාම­නා­යක මහ­තාගේ හඬ­පට සම්බ­න්ධව සමා­ජයේ ඇති විචා­රා­ත්මක මත පිළි­බඳ සංවා­දයේ නියැ­ළෙ­න්නට අද සිළු­මිණ හා එක් වන්නේ ජනතා විමුක්ති පෙර­මුණේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සහ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී එහි දේශ­පා­ලන මණ්ඩල සභික සමන්ත විද්‍යා­රත්න මහ­තායි.

 

• ඔබ පක්ෂය කෝප් කමි­ටුවේ සභා­ප­ති­කම යළි ඉල්ලා සිටී­මට බලා­පො­රොත්තු වන බවක් දැන ගන්නට තිබෙ­නවා

ඔව්, ඒ මඟින් අප බලා­පො­රොත්තු වන්නේ ජනතා සේව­යක් කිරී­ම­ටයි. ඒ නිසා රජයේ වග­කී­මක් වනවා ඒ තන­තුර විප­ක්ෂ­යට, විශේ­ෂ­යෙන්ම අප පක්ෂ­යට ලබා­දී­මට. පසු­ගිය කෝප් කමි­ටුවේ සභා­පති ධුරය දැරූ සුනිල් හඳු­නෙත්ති මහතා විසින් අනා­ව­ර­ණය කරන ලද තොර­ත­ුරු­ව­ලින් රටේ සංව­ර්ධ­නයේ නමින් සිදුව තිබුණු බොහෝ දූෂණ හෙළි වුණා. එම නිසා රට සංව­ර්ධ­නය කිරීමේ සැබෑ අර­මු­ණක් මේ රජ­යට තියෙ­නවා නම් ඒ තන­තුර විප­ක්ෂ­යට, එයි­නුත් ජනතා විමුක්ති පෙර­මුණ ලබා දීමයි කළ යුත්තේ. රටේ දූෂණ වංචා පිළි­බඳ පසු­ගිය කාලයේ ජනතා විමුක්ති පෙර­මුණ සිදු කළ හෙළි­ද­රව් කවු­රුත් දන්නවා. ඒ තත්ත්වය දිගින් දිග­ටම පව­ත්වා­ගෙන රට සංව­ර්ධ­නය කරා ගෙන යෑමට නම් ක්‍රියා­කාරී මෙන්ම අවං­කව කට­යුතු කරන සභා­ප­ති­ව­ර­යකු අවශ්‍ය වෙනවා.

 

• ඔබ පක්ෂයේ ගමන් මඟේ මේ දින­වල අලස බවක් පෙනෙ­නවා නේද?

නැහැ, එවන් කිසිම අලස බවක් නැහැ. අපි පූර්ණ­කා­ලීන දේපා­ල­නයේ නියැළී සිටින පක්ෂ­යක්. එම නිසා මේ වන විට ඉදිරි මහ මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරීමේ කට­යු­තු­වල නියැළී සිටි­නවා. නමුත් නව රජ­යක් බිහි වී තිබෙන අව­ස්ථා­වක ඒ රජයේ ඉදිරි වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට අප යම් අව­ස්ථා­වක් ලබා දිය යුතුයි. ජනා­ධි­ප­ති­ව­රයා බල­යට පත් වීමට පෙර ලබා­දුන් පොරොන්දු ඉටු කිරී­මට අප කාල­යක් ලබා දිය යුතු වෙනවා. අපි ඒ සඳහා ඉඩ දී යම් කාල සීමා­වක් ලබා දිය යුතුයි. ඔබ ඔය පව­සන අලස බව යැයි පෙනෙ­න්නට ඇත්තේ අප බලා සිටින ඒ කාල සීමාව වන්නට පුළු­වන්. නමුත් අපි පූර්ණ වශ­යෙන් ක්‍රියා­කා­රීව සියලු කට­යුතු කර­ගෙන යනවා. එහි කිසිදු අඩ­පණ වීමක් නැහැ.

 

• ඉදිරි මැති­ව­රණ කට­යුතු වෙනු­වෙන් සූදා­නම් වීමක් පෙනෙ­න්නට නැහැ නේද?

ඇයි නැත්තෙ. අපි දින 50ක මෙහෙ­යු­මක් ආරම්භ කළා. පසු­ගිය වසර අව­සා­නයේ සිට. එය ඉතාම සාර්ථ­කව ක්‍රියා­ත්මක වනවා, ඉදිරි මැති­ව­රණ කට­යුතු සඳහා අපි සුදා­න­මින් ඉන්නේ. මෙහිදී ජන­තා­වගේ විශාල වග­කී­මක් තියෙ­නවා තමන්ට උචිත යැයි හැඟෙන ජනා­ධි­ප­ති­ව­ර­යෙකු ‍තෝරා පත් කර­ගත්තා වගේම, නව රජ­යක් ඉදි­රි­යේදී බිහි කර­ග­න්නවා වගේම, ශක්ති­මත් විප­ක්ෂ­යක් බිහි කර ගැනී­මට, රටක ශක්ති­මත් ආර්ථි­ක­යක් හදා­ගැ­නී­මට ගොවි­යාට සහ­න­යක් ලබා­ගන්න, රජයේ සේව­ක­යාට සහ­න­යක් ලබා­ග­න්නට ඒ වගේම රෝගි­යාට නිසි ලෙසින් බෙහෙත් ටික ලබා­ග­න්නට රජ­යක් තිබී­මෙන් පම­ණක්ම කර­න්නට බැහැ. විප­ක්ෂයේ හඬ මත තමයි ඔවුන් කට­යුතු කරන්නේ. එම නිසා ශක්ති­මත් විප­ක්ෂ­යක් බිහි කර ගැනී­මට ජන­තාව කට­යුතු කරනු ඇතැයි අපි බල­පො­රොත්තු වෙනවා.

 

• පසු­ගිය මැති­ව­රණ ප්‍රති­ඵල දිහා බල­පු­වාම විශේ­ෂ­යෙන්ම ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය පොදු ජන පෙර­මුණ විසින් ජය ගැනීම, ඒ වගේම ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළ දිස්ත්‍රික්ක දෙස බැලූ විට ශක්ති­මත් ආණ්ඩු­වක් බිහි කර­නවා හැර ශක්ති­මත් විප­ක්ෂ­යක් බිහි කරන්න ජන­තාව කට­යුතු කරයි කියලා හිත­න­වද?

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා 69 ලක්ෂ­යක් ඡන්ද ගන්න­කොට, ඊට ආසන්න ප්‍රමා­ණ­ය­කට විප­ක්ෂ­යට ඡන්ද ලැබුණා. ඒකෙන්ම පේනවා ශක්ති­මත් විප­ක්ෂ­යක් ඇති වන බව. ඒ නිසා ඒ විප­ක්ෂය තවත් ශක්ත්මත් කරන එකයි ජන­තා­වගේ වග­කීම විය යුත්තේ.

 

• නමුත් මේ අව­ස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇති අර්බුද හමුවේ එසේ ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ නැඟේ­වි­යැයි ඔබ සිත­න­වාද?

එක්සත් ජාතික පක්ෂයේ බල පොරය කාලා­න්ත­ර­යක් තිස්සේ තියෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර අපේ­ක්ෂ­කයා තෝරා­ගන්න බැරිව දැඟ­ලුවා. දැන් නාය­ක­ත්ව­යට පොර කනවා. ඒක නිසා තමයි ජන­තාව දැනු­වත් විය යුත්තේ, බුද්ධි­මත් විය යුත්තේ බල­යට පත් කළ යුත්තේ කවු­රුන්ද යන වග තෝරා බේරා­ගැ­නී­මට, එක්සත් ජාතික පක්ෂය ජනතා සේව­යට නෙමෙ­යිනෙ මේ දඟ­ලන්නේ. ඒ බවත් ජන­තාව තේරුම් ගත යුතු වනවා. එම නිසා මේ අව­ස්ථාවේ ඇති එකම විපක්ෂ බල­වේ­ගය කුමක්ද යන්න අපි මැන­වින් තෝරා බේරා ගත යුතු වනවා.

 

• ඔබ ඔය නොකියා කියන්නේ ජාතික ජන බල­වේ­ගය එහෙ­මත් නැත්නම් ජනතා විමුක්ති පෙර­මුණ බල­යට පත් කරන්න කියන එක නේද?

මේ අව­ස්ථාවෙ එම බල­වේ­ගය හැරෙ­න්නට ජන­තාව වෙනු­වෙන් හඬක් නඟන්න වෙනත් පක්ෂ­යක් තියෙ­න­වාද? එම නිසා ජනා­තාව විම­සි­ලි­මත්ව මේ තීන්දුව ගත යුතු වනවා. අපි හිත­නවා ජන­තාව බුද්ධි­මත්ව ඒ තීර­ණය ගනියි කියා.

 

• නමුත් ඇතැම් මන්ත්‍රී­ව­රුන් විප­ක්ෂයේ කාර්ය­භා­රය නිසි ලෙසින් කරන්නේ නැහැ නේද?

ඔව්, අපි මහ­ජන නියෝ­ජි­ත­යින් නම් විප­ක්ෂයේ භූමි­කාව, කාර්ය තේරුම් ගත යුතු වනවා. විප­ක්ෂයේ සිටි­මින් ජන­තාව වෙනු­වෙන් කට­යුතු කිරී­මයි කළ යුත්තේ. එහෙත් අද ඇතැම් මන්ත්‍රී­ව­රුන් මුද­ලට විකි­ණී­මයි සිදු වන්නේ. මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සමයේ විටින් විට මන්ත්‍රී­ව­රුන් 47 දෙනෙක් ඒ පැත්තට ගියා. එවන් විපක්ෂ මන්ත්‍රී­ව­රු­න්ගෙන් වැඩක් නැහැ. තමන්ගේ පැවැත්ම නෙමෙයි ජන­තාව ගැන හිතන විප­ක්ෂ­යක් බිහි කිරී­මයි ජන­තා­වගේ වග­කීම.

 

• රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ දුර­ක­තන හඬ­පට ගැන ජනතා විමුක්ති පෙර­මුණ දරන මතය කුමක්ද?

ඒ ගැන පළ­මු­වෙන්ම කියන්න තියෙන්නේ, ඔය දැන් කතා කරන්නේ එළි­යට ආ හඬ පට ගැනනේ. එළි­යට ආපු නැති හඬ ඕනෑ තරම් ඇති. ඇති නෙමෙයි තියෙ­නවා. ‘ඒ හඬ පට නැති වැඩ.‘ අපි එදා ඉඳ­ලම කිව්වා අධි­ක­රණ කට­යුතු ගැන, ආර­ක්ෂක අංශ විශේ­ෂ­යෙන්ම පොලි­සියේ කට­යුතු ගැන. ඒ අංශ කට­යුතු කරේ දේශ­පා­ල­ක­යන්ගේ ඕනෑ එපා­කම් ඉටු කර­න්නයි. ඒ කියන්නේ ඒ අයගේ ඕනෑ එපා­කම් අනුව කට­යුතු කිරී­මයි සිදු කෙළේ. සාමාන්‍ය පොදු ජන­තා­වට නීතියේ සර­ණක් නැහැ කියන එක අපි එදා ඉඳ­ලම කිව්වා. එහිදී අපට පැහැ­දිලි සාක්ෂ්‍ය තිබුණේ නැහැ ජන­තා­වට පෙන්වන්න. ඔන්න දැන් ඒ සාක්ෂ්‍යත් එළි­යට ඇවිත් තියෙ­නවා. එළි­යට ආවේ රන්ජන් රාම­නා­ය­කගේ ඒවා විත­ර­යිනෙ. ආණ්ඩු පක්ෂ­යේත් විප­ක්ෂ­යේත් තව බොහෝ ඒවා තියෙ­නවා එළි­යට ආපු නැති. වෙන­ස­කට තියෙන්නේ ඒවා පටි ගත වේලා නැති එක විත­රයි. නමුත් ක්‍රියා­වෙන් බල­පු­හම රන්ජන් රාම­නා­ය­කට වඩා ඩීල් දාපු ඊට වඩා බල­පෑම් කරපු අය ඕනෑ තරම් ඉන්නවා. ඒ ගැන කතා වෙන්නේ නැහැ.

 

• එහි වග­කීම රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාට පම­ණක් පැව­රිය නොහැකි බව ආණ්ඩු පක්ෂයේ ඇතැම් අය පව­ස­නවා ඒ ගැන පක්ෂයේ අද­හස.

ඔව් ඒක ඇත්ත. මෙහිදී ප්‍රධාන පක්ෂ දෙකම හැම­දාම කට­යුතු කරේ ඒ අයට ඕන විදි­හට තමයි. ඒක රන්ජ­න්ගෙන් එළි වුණාට, ඒ ප්‍රධාන පක්ෂ දෙකේම ක්‍රියා­කා­රී­ත්වය වුණේ ඒක තමයි. ඒ ගැන රන්ජන්ට දොස් කීම පම­ණක් ඵලක් නැහැ තමයි. ඒක එක්සත් ජාතික පක්ෂ­යට බලය තියෙන කාල­යක නම් ඒ පක්ෂය වග­කිය යුතු වෙනවා. අනෙක් පක්ෂයේ බලය ඇති කාල­යක නම් ඒ පක්ෂයේ නාය­ක­යන් ඇතුළු පිරිස් වග­කිව යුතු වෙනවා.

 

• අධි­ක­රණ කොමි­ස­මෙන් විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ට යම් සාධා­ර­ණ­යක් ඉටු කර­ග­න්නට හැකි­යාව තිබෙද්දී මේ ලෙසින් රන්ජන් රාම­නා­යක වැනි අයගේ පිහිට පැතීම ගැන ඔබ දරන අද­හස කුමක්ද?

ඒකෙන් පේන්නෙ අධි­ක­රණ කොමි­ස­මෙන් ස්වාධී­නව කට­යුතු සිදු වුණේ නැති බවනේ. ස්වාධී­නයි කියලා කිව්වත් වුණේ රටේ පාල­ක­යන්නේ අව­ශ්‍යතා අනුව කට­යුතු කිරී­මනේ. එක නිසා තමන්ට අවශ්‍ය දේ ලබා ගන්නට දේශ­පා­ල­ක­යන් පසු පස යන්න සිදු වුණා. ඒකයි ඇත්ත කතාව. අධි­ක­ර­ණය ස්වාධීන වූවා නම් රජය අධි­ක­ර­ණයේ කට­යු­තු­ව­ලට ඇඟිලි නොගැ­සුවා නම් මේ ලෙසින් විනි­ශ්ච­ය­කා­ර­ව­රුන් හෑල්ලු­වට ලක් වන්නේ නැහැ. නීතිය ගැන ජන­තා­වට දැන් විශ්වා­ස­යක් නැති තත්ත්ව­යට ඇවිත්.

 

• මේ තත්ත්වය වෙනස් කරන්න කුමක් කළ යුතු යැයි ඔබ සිත­න­වාද?

මේ තත්ත්වය වෙනස් කරන්න රටේ පවත්නා මේ ක්‍රම­වේ­දය සම්පු­ර්ණ­යෙන්ම අනෙක් පස පෙර­ළිය යුතු වෙනවා. ඒ හැරෙ­න්නට කළ හැක්කක් නැහැ. දේශ­පා­ල­ක­යාගේ අව­ශ්‍යතා ඉටු කරන තැනට අධි­ක­ර­ණය පත් වුණොත්, පොලි­සිය පත් වුණොත් අනෙක් ආර­ක්ෂක අංශ පත් වුණොත් ඒ රටේ නීති­යක් වින­යක් තියෙ­න­වාද? අනෙක් සියලු කට­යුතු සිදු වන්නේ ඒ අනු­වයි. එම නිසා ‘සිස්ටම් චේන්ජ් එකක්“ දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ. මේ ක්‍රමය වෙනස් නොකර රටේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් සොයන්න බැහැ.

 

• ඔබ හිත­න­වාද මේ ක්‍රම­වේ­දය තුළ එය සිදු කිරීම කළ හැකි වේවි කියා?

මම කියන්නේ නැහැ එය සරල වැඩක් කියලා. අසිරු බව මමත් පිළි ගන්නවා. නමුත් එයින් පිට වෙනත් විස­ඳු­මක් මේ ප්‍රශ්නය විස­ඳා­ගන්නා නැහැ. විනි­ශ්ච­ය­කා­ර­ව­රුන් උස­ස්වීම් ඉල්ලන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් නැති මැති ඇමැ­ති­ව­රු­න්ගෙන් නම් ඒ රටේ සංව­ර්ධ­න­යක් ඇති කරන්න පුළු­වන්ද? ස්වාධී­නයි කියන කොමි­සම් සභා දේශ­පා­ලන අව­ශ්‍යතා ඉටු කරන ස්ථාන බවට පත් වූවා­යින් පසුව එහි සාධා­ර­ණ­යක් තියෙ­න­වාද? ඒ නිසා අප­හ­සු­වෙන් හරි කොහොම හරි ක්‍රම­ය­කින් මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. අපි එදා ඉඳ­ලම උත්සාහ කෙළේ මේ ක්‍රමය වෙනස් කරන්න. ජන­තාව දැන්වත් ඒ තත්ත්වය තේරුම් ගත යුතු වෙනවා.

 

සංවා­දය තාරක වික්‍ර­ම­සේ­කර

Comments