සාග් අස්වනුවලින් අලුත් දශකය අරඹමු... | සිළුමිණ

සාග් අස්වනුවලින් අලුත් දශකය අරඹමු...

ශ්‍රී ලංකාව තුල නව ක්‍රිඩා ආර්ථිකයක් ගොඩ නංවමින් ක්‍රීඩාව ඉදිරියට ගෙනයා යුතුයි. ඒ වගේම අන්තර් ජාතික තරග වෙනුවෙන් සත්කාරකත්වය දැක්විම මගින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රිඩා කෞෂල්‍ය ගොඩනැගිය යුතු බවත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණය කේන්ද්‍ර කරගනිමින් ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට ඉදිරියේදී කටයුතු කරන බවත් එමගින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍ර යේ නව්‍ය වෙනසක් ඇතිකිරිමට අවස්ථාව හිමිවන බව මෙරට ක්‍රිඩා ඉතිහාසයේ එක් තරගාවලියකදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගනිමින් 13වන දකුණු ආසියානු ක්‍රිඩා තරගාවලියේ දක්ෂතාවයන් ඇගැයීම වෙනුවෙන් පැවැති උත්සවයට එක් වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ඇගැයීම් උලෙළෙ සංවිධානය කර තිබුණී. එහිදී රන් පදක්කම් 40ක් රිදි පදක්කම් 83න් සහ ලෝකඩ පදක්කම් 128ක් සමස්ථ පදක්කම් සංඛ්‍යාව 251ක් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණු කරුවන් 55 දෙනෙකුද ඇගයිමට ලක්විය.

රන් පක්කම්ලාභියෙකු වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂ 5ක්, රිදී පදක්කම් ලාභියෙකු වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂ 3ක් හා ලෝකඩ පදක්කම් ලාභියෙකු වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂ 2ක මුදලක් ක්‍රිඩා සංවර්ධන අරමුදලෙන් ප්‍රදානය කළේය. මේ තරගාවලියට එක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දුක්ගැනවිලි වලටද පසුගිය දා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පදක්කම් ලාභීන් සමග පැවැති සංවාදයේදී සවන් දී තිබුණී.

1991 වසරේදී කොළඹ පැවැති 5වැනි සාග් ක්‍රීඩා උලෙළෙන් පසුව වැඩිම රන්පදක්කම් සංඛ්‍යවක් දීනා ගැනීමේ වාර්තාව තබා ඇත්තේ නේපාලයේ කත්මන්ඩු නුවර දසරත් ක්‍රීඩාංගණයේ දී අවසන් වු 13වන සාග් ක්‍රීඩා උලළේදිය. 1991 වසරේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 44ක් හිමිකරගෙන තිබුණි. මෙවර මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනා ගත් අතර මලල ක්‍රිඩාවෙන් ඉන්දියාව අභිබවා රන් පදක්කම් 3ක් දිනාගැනීම කැපිපෙනෙන සිදුවීමක් විය. 13වන දකුණු ආසියා සාග් තරගාවලියේ වැඩිම රන්පදක්කම් ලාභියා වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මැතිව් අබේසිංහයි. පිහිනුම් ඉසව් නියෝජනය කරමින් කේවල ඉසව් වලින් රන් පදක්කම් 6කින් හා එක් සහාය ඉසව්වකින් ජය ගනිමින් රන් පදක්කම් 7ක් දිනාගත්තේය. එය තරගාවලිය තුළ වාර්තාවක්ද විය.

ඩිල්ෂි කුමාරසිංහ, නිලානි රත්නායක මලල ක්‍රිඩා කේවල ඉසව්වලින් රන් පදක්කම් දෙක බැගින් දිනාගත් අතර ඩිල්ෂි කුමාරසිංහ මීටර් 400 සහාය දිවිමේ ඉසව්වෙන්ද රන්පදක්ම් දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක්ද විය. ලක්ෂිකා සුගන්ධි, සාරංග සිල්වා, සහ අරුණ දර්ශණ රන් පදක්කම් දෙක බැගින් දිනාගැනිමට සමත් විය. ටයිකොන්ඩෝ ඉසව්ව නියෝජනය කළ රනුක ප්‍රභාත් පූම්සේ කේවල සහ යුගල ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්තේය. මීටර් 100 සහාය ඉසව්වන්ගෙන් වසර 15ක් ඉපැරැණි වාර්තා අලුත් කරමින් හිමාෂ ඒෂාන්. විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශන සහ චානුක සන්දීප රන් පදක්කම දිනාගැනිමට සමත්ව වුහ.

මීටර් 100 කාන්තා, මිටර් 400 සහාය දිවිම පිරිමි සහ කාන්තා, වෙරළ වොලිබෝල්, බැඩිමින්ටන් යුගල කාන්තා, ගොල්ෆ් කාන්තා කණ්ඩායම, පිහිනුම් මිටර් 100 නිදහස් ආර, ටයිකොන්ඩෝ පූම්සේ මිශ්‍ර යුගල සහ අවුරුදු 23ට වැඩි පිරිමි කණ්ඩායම් තරග වලින්ද ශ්‍රී ලංකාව 13 වන දකුණු ආසියා සාග් තරගාවලියෙන් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.

රන් පදක්කම් 40 ක් දිනා ගැනිමට එක් වු ක්‍රිඩක ක්‍රීඩිකාවන් 49 දෙනා වෙනුවෙන් මුදලින් රුපියක් මිලියන 20කට අධික මුදලක් පිරිනැමු අතර රිදී පදක්කම් 83ක් වෙනුවෙන් දායකවු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 169 දෙනා වෙනුවෙන් මුදලින් රුපියල් මිලියන 23 අධික මුදල් ත්‍යාගද ලෝකඩ පදක්කම් 128 ක් වෙනුවෙන් දායක වු ක්‍රීඩික ක්‍රීඩිකාවන් 178 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් ත්‍යාග ලෙස පිරිනමන ලදී. මෙහිදි මැතිව් අබේසිංහගේ මෙන්ම සහායක පිහිනුම් ඉසව් කිහිපයක පුහුණුකරු වු මනෝජ් අබේසිංහ මහතාට රුපියල් දොලොස් ලක්ෂ පනස් හයදසක් දෙසිය පනහක මුදලක් හිමිවිය.

දහසින් බැදි පියැලි පිරිනමමින් ක්‍රීඩකයන් ඇගැයීම ඉතාමත් කාලෝචිත වුවත් අද වන විට ක්‍රීඩාව වැටි ඇති ආගාධයෙන් ගොඩගැනිමට ක්‍රීඩා බලධාරින් මිට වඩා බර තබා කටයුතු කළ යුතුය. රටවල් කිහිපයක් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ලෝක පූජිත වුවද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලු අනෙකුත් ක්‍රීඩාච අද වන වට අයාලයේ වලපල්ලට ගමන් කරමින් තිබේ.

පසුගිය මාස 60ක නොවැඩි වකවානුවක් තුල ක්‍රීඩා ඇමැති වරුන් 5දෙනෙකු ක්‍රීඩාව පාලනය කර තිබූනත් ක්‍රීඩාවට නම් ඉන් ලැබූ සුගතියක් නැත. පසුගියදා වත්මන් ක්‍රීඩා ඇමැති වරයා ක්‍රීඩා මාධ්‍යවේදීන් සමග සුහඳ පිලිසදරක නිරත වු අතර එහිදි මාධ්‍ය වේදීන් විසින් ඇමැති වරයා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න වලටද ක්‍රීඩා ඇමැති වරයාට පිලිතුරු නැති විය. ඔහු ඒ සඳහා උපයෝගි කරගත්තේ තමන් අමාත්‍ය වරයා ලෙස පත්ව දින 49ක් ගතව ඇති බව පමණී. ඇමැති වරයාට දින 49ක් වුවද ක්‍රිඩාවට මෙරට නිදහාසින් පසු 70 වසරක් සම්පූර්ණ වි ඇත. නමුත් තවමත් ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක් ක්‍රීයාත්මක කිරිමට නොහැකිව ඇත.

සාග් තරගාවලියේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අත් විදිමට බොහෝ දුෂ්කරතාද පසුගියද අනාවරන විය..ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට බලධාරින්ගෙන් සැලකිය යුතු සහයෝගයක් අවධානයක් නොලැබුණු බවත්, ක්‍රීඩික ක්‍රිඩිකාවන්ට අයත්ව තිබූ පහසුකම් නිසියාකාරව ලබාදෙනු වෙනුවට බලධාරීන් විසින් විශාල මුල්‍ය අක්‍රමිතතා සිදුකරන ලද බවත්, ක්‍රීඩා උපකරණ, ඇදුම් පැළදුම්, ආදියට මුදල් වෙන්කර තිබූ නමුත් නිසියාකාරව එම ප්‍රතිලාභ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි නොවු බවත් මෙහිදි අනාවරණය වී තිබුණී.

බලධාරීන් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි දක්වන ලද අවධානය, නොසැලකිල්ල, මන්දගාමි බව නිසා යහපත් මානසික ශක්තියක් අැතිව ආත්මාවිශ්වාසයෙන් තරගවලට මුහුණ දිමට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් නොතිබූ බද මෙහිදී අනාවරනය විය හැමදාමත් ක්‍රිඩා තාරගාවලියක් අවසානයේ අසන්නට ලැබෙන අඬහැරය මෙය වෙයි. නමුත් කිසිදු ක්‍රිඩා අමාත්‍යවරයෙකු මේ දක්වා මේ පිළිබඳ කටයුතු කිරිමට සැලැස්මක් හෝ ක්‍රියා පටිපාටියක් අනුගමනය කර නැත. අඩු පහසුකම් තුළින් හෝ අන්තර් ජාතික ජයක් රැගෙන එන හැම මොහොතේම බලධාරින් ඔවුන් තුලින් ඉස්මතුවීමට දරන ප්‍රයත්න පසුගිය කාලය පුරාම දක්නට ලැබුණු සුලබ දසුනකී.

දකුණු ආසියා තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිඩික ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් අගයනු වස් හිටපු ක්‍රිඩා ඇමැතිවරයෙකු එමගින් ඉස්මතුවිමට ප්‍රයත්නය දැරු උත්සාහායක්ද දකින්නට ලැබුණී. එම තරගාවලි නියෝජනය කළ ක්‍රිඩක ක්‍රිඩිකාවන් 08දෙනෙකු ඩෙංගු වෛරසයට ගොදුරුව රෝගාතුරව කත්මණ්ඩු නුවර “ බිලූ ක්‍රස්“ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබු බව. ඒ නේපාලයේදි රෝග වෛරසය වැලැදිමේන් නොව පුහුණු වීම් අතර තුර සුගතදාස ක්‍රිඩා හෝටලයේදී වැලැදුනු රෝගයේ ප්‍රතිපල බව ඒ ඇමැති තුමා නොදන්නවා ඇත. මාස 60ට අමාත්‍ය වරු 5දෙනෙකු ඇමැති කම් දරමිනි සිටින ක්‍රිඩා අමාත්‍යංශයේ සුගතදාස ක්‍රිඩා සංකිර්ණයේදී අධ්‍යක්ෂක වරු පස්දෙනෙකුද මාරුවී ඇත. එහෙව් වටපිටාවක ඩෙංගු හැර වෙන මොනවා ක්‍රිඩකයෙකුට උරුම වේද? නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ක්‍රිඩා ආර්ථිකයක් (Sports Economy) ගැන හා ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ගැන කතා කරන්න වසර 70ත් වඩා බලා සිටින්නට සිදුවිම අභාග්‍යයකී. සාග් රන් පදක්කම් 40න් 2020 අලුත් දශකයේ ගමන, අලුතින් පටන් ගත යුතුය.

Comments