ප්‍රථම පරාජය නුවරටද? කොළඹටද? | සිළුමිණ

ප්‍රථම පරාජය නුවරටද? කොළඹටද?

න්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරග ඊයේ අවසන් විය. එහිදී ගුවන් හමුදාව - සී.එච්. සමගත්, යුද හමුදාව - පොලිසිය, සී.ආර්. නාවික හමුදාව සහ මහනුවර සහ හැව්ලොක් තරග වැදුණි.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුවන මහනුවර සහ හැව්ලොක් තරගය කෙරෙහි කාගෙත් වැඩි අවධානයක් යොමු විය. අවසන් වරට 2016 – 17 සිට පසුගිය වසර දක්වා දෙපිල තරග 7 කදී මුණගැසී ඇති අතර එහිදී තරග 6 ක් ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව තිබේ.

මේ තරග වාරයේ මෙතෙක් පැවැති තරගවලදී මහනුවර විසින් ගුවන්, නාවික, යුද, පොලිසිය, සී.ආර්., සී.එච්. කණ්ඩායම් පරාජය කිරීමට සමත්ව තිබේ. මෙතෙක් තරගවලදී මහනුවර විශාලම ජය වාර්තා කර ගැනීමට සමත් වූයේ යුද හමුදාවට එරෙහිවය. එහිදී මහනුවරට 64 – 19 ක ජයක් හිමි විය. මහනුවරට තියුණුම සටන මෙතෙක් ලබාදුන්නේ නාවික හමුදාවයි. එහිදී මහනුවර ජය හිමිකර ගන්නේ 16 – 14 ක් ලෙස ය.

හැව්ලොක් ක්‍රීඩා සමාජය මේ තරග වාරයේදී නාවික, පොලිසිය, සී.එච්. ගුවන්, යුද, සී.ආර්. කණ්ඩායම් පරාජය කර තිබේ. හැව්ලොක් මේ තරගවාරයේ පළමු ජය නාවිකයන්ට එරෙහිව වාර්තා කර ගත්තේ 35 - 3 ක් ලෙස ය. මෙතෙක් පැවැති තරගවලදී හැව්ලොක්ට තියුණු සටනක් ලබාදුන්නේ ගුවන් හමුදාවයි.

Comments