පරාජයට හේතුව මම නම්, යන්නම් - මාලිංග | සිළුමිණ

පරාජයට හේතුව මම නම්, යන්නම් - මාලිංග

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ පරාජයන්ට හේතුව තමන්ගේ නායකත්වය නම් ඉන් ඉවත් වීමට තමන් සූදානම් බව ලසිත් මාලිංග පවසයි. ඉන්දීය තරගාවලියේදී අපි සෑම අංශයකින්ම දුර්වල වුණා. ඉන්දියාව වගේ සුපිරි විස්සයි 20 කණ්ඩායමක් පරාජය කරන්න අපි මීට වඩා තනි තනි දක්ෂතා අතින් ඉදිරියෙන් ඉන්න ඕනෑ. අපි ඉන්දිය තරගාවලියේ රැස් කළෙත් එක් අර්ධ ශතකයක් පමණයි. පන්දු යැවීම අතින් ගත්තත් මම ඇතුළු අනෙක් පන්දු යවන්නන් පවා අසාර්ථක වුණා.

 

මේ තරග දෙකේ දී පවා හොඳට පන්දු යැව්වේ ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග විතරයි. අපේ අනාගත ක්‍රිකට්වලට ඒක හොඳ දෙයක්. අපි මුලින් පන්දු යවනවා නම් ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් ලකුණු 200 කට අඩුවෙන් තියා ගන්න ඕනෑ.

 

අද විස්සයි 20 තරග තනිකරම පිතිකරුවන්ගේ අණසකට යටත්ව අවසන්ය. පිතිකරුවන්ගේ දක්ෂතා නොමැතිව විස්සයි 20 ජයග්‍රහණය කිරීම අසීරු කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මුහුණ දෙන ප්‍රබලම ගැටලුව වී තිබෙන්නේ අඩු පන්දු සංඛ්‍යාවකින් උපරිම ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට එක් කරගැනීමට නොහැකි විමය.

 

දෙපිල අතර පැවැති දෙවැනි තරගයේදී ඉන්දීය පන්දු යවන්නන් විසින් පන්දු 49 ක් ලකුණු ලබා නොදුන් පන්දු ලෙස සටහන් කරන විට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ එකී පන්දු සංඛ්‍යාව 27කි. තෙවැනි තරගයේදී ඉන්දීය පන්දු යවන්නන් පන්දු 45ක් ලකුණු නොදුන් පන්දු ලෙස සටහන් කර ගන්නා විට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ එකී පන්දු සංඛ්‍යාව 26කි. ඊට පෙර ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරග තුනේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු නොදුන් පන්දු 88 ක් සටහන් කර ගන්නා විට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ පන්දු 154ක් ලකුණු නොදුන් පන්දු ලෙස සටහන් කර ගෙන තිබීම විශේෂත්වයකි. අවසන් තරග පහේදී ඔස්ට්‍රේලියානු සහ ඉන්දීය පිතිකරුවන් ශතකයක් සහ අර්ධ ශතක හතක් ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කරණ විට ශ්‍රී ලංකා පිතිකරුවන් තරග පහට ම රැස් කර ගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් පමණි.

 

විස්සයි 20 තරගයකදී පිතිකරුවන්ට ලැබෙන්නේ පන්දු 120 කි. ඒ පන්දු 120 ට ලකුණු 170 ත් ලබා ගත්තත් අද මේ තරග රටාවේ ඒ සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීම පහසු නෑ. ඒ වගේම සෑම තරගයකදීම ලබා ගන්නා ලකුණු සාමාන්‍යයක් තියෙන්න ඕනෑ. ඒ කියන්නේ ලකුණු ලබා ගැනීමේ එකතුවේ සාමාන්‍යයක්. ඒත් දැනට අපට එවැනි සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවක් පවත්වා ගැනීමේ හැකියාවක් නෑ.

 

කෙසේ වෙතත් මාලිංග පවසන්නේ වගකීම බාර ගෙන තමන් ඉවත් වීමට සූදානම් බවයි. පන්තියේ ළමයි වැඩ කරන්නේ නෑ කියලා, පන්ති නායකයා මාරු කරලා වැඩක් නෑ. ඒත් මේකට උත්තරය ඒක නම් මම එයටත් ලෑස්තියි. තමන් නායකයා වුවද ඉතිරි දහ දෙනා දස්කම් නොමැති නම් තරග ජය ගත නොහැකි බව මාලිංග නොකියා කියයි.

 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලේ කැලේ පැවැති විස්සයි 20 තරගය මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජය ගත් අවසන් තරගයයි. ජයග්‍රහණය කරා පහසුවෙන් ගමන් කරමින් සිටි නවසීලන්ත ඉනිම පන්දු 4කදී කඩුලු හතරක් බිඳ දමමින් නවසීලන්ත ජයග්‍රාහි ගමන නතර කිරීමට මාලිංග සමත් විය. කෙසේ වෙතත් මාලිංග සිය අවසන් විස්සයි 20 තරග 5දී පන්දු වාර 19ක් යවා ලකුණු 169 කට දවා ගෙන ඇත්තේ කඩුලු 2ක් පමණි. ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ 2014දී ශ්‍රී ලංකාව විස්සයි 20 තරග හතරකට සහභාගී වන අතර, එකී තරග හතරම ජය ගැනීමට සමත්විය. මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රථම විස්සයි 20 තරගයක් පරාජයට පත්වන්නේ පාකිස්තානයට එරෙහිව 2015දීය. ඒ ලකුණු 29 කින් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදීය. තරග දෙකකින් සමන්විත වූ එම තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

 

බටහිර ඉන්දීය කොදෙව් සමඟ එම වසරේ අග මෙරට පැවැති විස්සයි 20 තරගාවලිය 1-1 ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් විය. 2016 දී එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම මාලිංගගේ නායකත්වය යටතේ නැවතත් පරාජයට පත් වන්නේ 2019 නවසීලන්තයට එරෙහිවය. ඒ මෙකී පරාජයන් වැලේ පළමු පරාජයයි. දකුණු අප්‍රිකාව සමඟ එරට පැවති තරගාවලිය 3-0 කින් පරාජය විය. අනතුරුව නවසීලන්තය සමඟ මෙරට පැවැති තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙස පරාජය විය. ඔස්ට්‍රේලියාව සමඟ ඔස්ට්‍රේලියාවේ පැවැති තරගාවලිය ද ශ්‍රී ලංකාව 3-0 කින් පරාජය විය. ඉන්දියාව සමඟ ඉන්දියාවේ පැවැති 2-0 කින් පරාජය වූ අතර දෙපිල අතර පැවැති පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට මාලිංගගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ තරග 13න් 11ක් පරාජය වී තිබේ.

 

ආරක්ෂක හේතුන් යැයි පවසා පාකිස්තාන් සංචාරය කිරීමට අකමැති වූ මාලිංග ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැති දසුන් ශානකගේ නායකත්වය යටතේ එකී තරගාවලිය 3-0 ක් ලෙස ‍ජය ගැනීමට නවකයන් පිරි ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මාලිංගගේ නායකත්වය යටතේ කණ්ඩායමේ එකමුතු භාවය බිඳී ඇති බවයි. ලොව අංක එකේ විස්සයි 20 කණ්ඩායම වන පාකිස්තානය දසුන් ශානක ප්‍රමුඛ නවකයන්ට පරාජය කිරීමට හැකි වූයේ මාලිංගගේ නායකත්වය යටතේ නැති එකමුතුකමක් දසුන් ශානක කණ්ඩායම තුළ ගොඩ නගන බවයි.

 

Comments