තරගයෙන් තරගය ඉදිරියට යන්න බලනවා | සිළුමිණ

තරගයෙන් තරගය ඉදිරියට යන්න බලනවා

 

පියකු තමන්ට අහිමිවු ජය මාවත තම පුතුට විවර කර දෙන්නේ තම සිහිනයන් පුතු තුලින් දකින්නටය. තමන්ට යා නොහැකි වු මාවතේ පුතු යනු දැක ජයපැන් බොන පියාට ආත්ම අභිමානයක් නිතැතින් හිමිවනු ඇත. තමන්ට අහිමි වු රජකම වෙනුවෙන් තම පුතු රජකරවීමට මාවත සකසා දෙන්නේ ඒ නිසාය. වයස අවුරුදු 15 වන තෙක් ක්‍රිකට් ක්‍රීඩා කරන පියා එතැනින් එහාට යානොහැකිව තම ක්‍රීඩා කෞෂල්‍ය අතර මැද නවතා දමයි. නමුත් කළක් ගතවන විට තමන්ගේ පුතු තුලින් නැවත ඒ අතහැර දැමු ඉදිරි ගමනේ පියනැගුමට සැරසෙන පියා, වයස අවුරුදු 9 ක් වන පුතු සිය සිහිනයේ කුමරු ලෙස දකියි. තම පුතුට ක්‍රිකට් පිත්ත අතට දෙන පියා තමන්ට අහිමිවු ජය මාවත ඔස්සේ පුතු රැගෙන යයි. ඒ ජයමාවත ඔස්සේ පැමිණෙන පුතු වයස අවුරුදු 15දී අන්තර්ජාතික ක්‍රීකට් තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලංකාවට කීර්තියක් අත්කර දුන් කණ්ඩායමේ නියමුවා ලෙසද ක්‍රියා කරයි.

15දී ක්‍රිකට් අතහරින පියාට වයස අවුරුදු 15ක් වු පුතුගෙන් ලැබෙනුයේ අමිල අන්තර්ජාතික ත්‍යාගයකි. එකි ගමනේ ජයමාවත සක් සුදක් සේ පැහැදිලිය. ඒ එදා 2015දී වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාවේ දී සත්කාරක මැලේසියාව, ඉන්දියාව, බංග්ලාදේශ, සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව පරදා ලංකාව ඔසවා තැබීමේ ගෞරවය දිනාගත් කණ් ඩායමේ නායකයාද වුයේ නිපුන ධනංජය පෙරේරායි.

අද අපි මේ ඉඩකඩ වෙන් කරනුයේ 2015 සිට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස හා කණ්ඩායම් නායකයෙකු ලෙස රටට රැගෙන ආ ජයග්‍රහණ හා ඉන් පසුව තරගාවලි ගණනාවකදී නායකත්වය සපයමින් ලබාදුන් ජයග්‍රහණ ගැන ඔහු සමග දොඩමලු වන්නටයි. යොවුන් ලෝක කුසලානයට යැමට පෙර වර්තමානයේ 19න් පහළ ජාතික කණ්ඩායමේ නායක නිපුන ධනංජය පෙරේරා සමග ක්‍රිඩා පාඨකයන් වෙනුවෙන් අපි දොඩමලු වුයෙමු.

2020 යොවුන් ලෝක කුසලානයට සුදානම කොහොමද?

ඉතාමත් හොඳ සුදානමකින් තමයි ඉන්නේ. මොකද පසුගිය වසරේ අවසාන කාර්තෘවේදී 19 පහල බටහිර ඉන්දිය කොදෙව්වලදී තුන්කොන් තරගාවලියක් තිබුණා. ශ්‍රි ලංකාව, එංගලන්තය හා සත්කාරකත්වය ලබා දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර එම තරගාවලිය ඉතාමත් හොඳින් අවසන් කරලා ජයග්‍රහණය ලබාගැනීමට හැකි වුණා එනිසා ඉතාමත් හොඳ මානසිකත්වයකින් හා කාය ශක්තියකින් තමයි මුළු කණ්ඩායම සිටින්නේ.

තුන්කොන් තරගාවලියට ගිය කණ්ඩායමද යොවුන් ලෝක කුසලානයටත් ලැබිලා තියෙන්නේ?

නෑ. පොඩි වෙනස්කම් කිහිපයක් තිබෙනවා. තුන්කොන් තරගාවලිය නියෝජනය කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන්දෙනෙකු වෙනුවට නවක ක්‍රීඩකයන් තුන්දෙනෙකු කණ්ඩායමට ඇතුලත් වෙලා තිබෙනවා.

මෙවර යොවුන් ලෝක කුසලානයේ අභියෝග විදියට දකින්නේ?

කණ්ඩ හතරක් යටතේ රටවල් 16ක් නියෝජනය කරමින් කණ්ඩායම් 16ක් තරගාවලියට එක් වීමට නියමිතව තිබෙනවා.ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් හැරුණු කොට ජපානය, නයිජිරියාව, කැනඩාව,එක්සත් අරාබී එමීර් රාජ්‍ය තරගාවලියට එක් විමට නියමිතයි. අපි නියෝජනය කරන කාණ්ඩයට ජපානය, නවසිලන්තය හා ඉන්දියාව තමයි තරග වදින්නේ. නවසිලන්තය හා ඉන්දියාව තමයි අභියෝගයකට ඉන්නේ. එයිනුත් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාව හා නවසිලන්තය තමයි පළමු කාණ්ඩයේ පුංචි අභියෝගයට තියෙන්නේ.නමුත් එය අභියෝගයක් කර නොගෙන ක්‍රීඩා කළයුතුයි. 2018 දී ඉන්දියාවත් සමග පැවැති තරගාවලියේදී 2-3ක් ලෙස තමයි අපි පරාජය වුණේ. අපි ඒ තරගාවලියේදී ඉන්දියාවට හොඳ තරගයක් දුන්නා. ඒ වගේම එදා ඒ කණඩායම නෙමෙයි අද ඉන්දියාව නියෝජනය කරන්නේ වෙනස්කම් සිදුවී තිබෙනවා. අපේ කණ්ඩායමෙත් වෙනස්කම් සිදුවී තිබෙනවා. ඒ වගේම මේක ලෝක කුසලානයක්. ඒ නිසා අපට ඉන්දියාව අභියෝගයක් කරනොගෙන මේ ගමන යායුතුයි.

ඔබ කණ්ඩායම් නායකයා ලෙස වැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ පන්දු යවන්නන් කෙරෙහිද? නැතිනම් පිතිකරුවන් කෙරෙහිද?

පසුගිය තුන්කොන් තරගාවලියේදී පන්දුවට පහරදෙන්නන් ඉතාමත් හොඳින් කටයුතු කරා. නමුත් පන්දු යවන්නන් ගැනත් අමතක කළ යුතු නෑ. ඔවුනුත් තමන්ගේ වගකීම නොපිරිහෙලා ඉටුකළා. මෙවර කණ්ඩායමේ වැඩියෙන්ම සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ඒ නිසා පන්දු යවන්නන් හා පිතිකරුවන් යන දෙගොල්ලොම ඉතාමත් හොඳ දක්ෂතාවයන් අතර සිටිනවා. ඒ නිසා මෙවර මට සමබර කණ්ඩායමක් ලැබිලා තිබෙනවා. ඒ අතර වේගපන්දු යවන්නන් හා මද වේග පන්දුයවන්නන් මෙන්ම දඟ පන්දු යවන්නන්ද සිටිනවා. තරගයක් වෙනස් කළ හැකි පන්දුවට පහර දෙන්නන් මෙන් තරගයක් වෙනස් කළ හැකි පන්දු යවන්නන්ද කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා.

සියලු දෙනාම එකා වගේම ක්‍රිඩා කරනවා. ඒ ක්‍රිඩා කරනකොට තමන් ක්‍රිඩා කරන්නේ කණ්ඩායමට කියන හැගිමෙන් කටයුතු කරනවානම් වටිනවා. තමන්ගෙන් ටීම් එකට ඕනෑ එක් ලකුණක්ද ලකුණු 100ක් ද කියන එක නෙමෙයි වටින්නේ. ගහන එක ලකුණත් ගහන ලකුණු 100ත් කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පන්දුයැවිම තමන් තමන්ගේ උපරිමය කණ්ඩායමට ලබා දියයුතුයි. ඒ වගේම පන්දු රැකීමද අතපසුවීම් වලින් තොරව කලයුතු වනවා. ඒ හැම දෙයක්ම කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කළ යුතුයි.

සමස්ත තරගාවලියේ අභියෝගත්මක කණ්ඩායම?

අපිට අපේ කණ්ඩයෙන් හමුවන ඉන්දියාව තමයි අභියෝගයක් ලෙස ප්‍රථමයෙන් හමුවන්නේ. නමුත් මම හිතන විදිහට සමස්ත තරගාවලියේදී ඔස්ට්‍රේලියාව දක්ෂතා අතර සිටින කණ්ඩායමක්. නමුත් අපිත් කණ්ඩායමක් ලෙස ඉතාමත් සුබවාදී තැනක සිටිනවා. ඒ නිසා අපිට ඒ කිසිම කණ්ඩායමක් අභියෝගයක් කරනොගෙන ඉදිරියට යන්න බලනවා. අපි දකින සිහිනය සිහිනයක් නොවී සැබැවක් කරගතයුතුයි. එය කරගැනීමේ අවස්ථාව මේ මොහොතේ අපට ලැබී තිබෙනවා. අපි හොඳ මානසිකත්වයෙන් සිටිනවා. අප ඒ කරා කණ්ඩායමක් ලෙස තරගයෙන් තරගයට ලඟාවිය යුතුයි. කණ්ඩායමක් ලෙස දක්ෂතා අතර සිටිය යුතුයි. 2000දී තමයි අපි අවසන් වරට යොවුන් ලෝක කුසලානයේ අවසන් තරගයට පැමිණ සිටින්නේ.2016 වසරේදී අර්ධ අවසන් වටය නියෝජනය කර තිබෙනවා.

වැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රිඩකයෝ ඉන්නවාද?

එහෙම එක් පුද්ගලයෙකු පිළිබඳ වැඩි අවධානයක් නෑ. නමුත් මට ලැබී තිබෙන 15දෙනාම මොනයම් අංශයකින් හරි දක්ෂයන් විදිහට මම විශ්වාස කරනවා. ඒ අය තමන්ට ලැබී තිබෙන මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන රටේ අභිමානයට යමක් කරයි කියලා හිතනවා.ඒ වගේම ක්‍රිඩකයන් 15 දෙනාටම ලොකු වගකීමකුත් තිබෙනවා.

2020 යොවුන් ලෝක කුසලානය පවත්වන්නේ දකුණු අප්‍රිකාවේ මේ වන විට කාලගුණය ගැන අවබෝධයක් තියෙනවාද?

මේ දින වල සීත කාලගුණය නිමාවී තිබෙන්නේ .අපට ලැබුණු දත්ත අනුව පැහැපත් කාලගුණයක් තමයි පවතින බවට තොරතුරු ලැබී තිබෙන්නේ. වලාකුළු රහිත නිල් අහසක් තමයි මේ දින වල දකුණු අප්‍රිකාවෙන් දැක ගත හැකිව තිබෙනවායි කියා පවසන්නේ.

2020 යොවුන් ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා විදියට, මේ දක්වා ආ ගමන් මඟ ගැන මොනවාද සිතන්නේ?

මගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂ සංධිස්ථානය ලෙස සැලැකෙන්නේ 2015 මැලේසියානු සංචාරය. එම තරගාවලිය ජයගැනීමට මටයි මගේ කණ්ඩායමටයි හැකිවෙනවා. ඒක තමයි,මේ ආ ගමනේ සුවිශේෂ අවස්ථාව. එම තරගාවලියේ විරයා කුසලානයත් හිමිවන්නේ මටයි. ඉන්පසු 17න් පහළ කණ්ඩායම නියෝජනය කිරිමේ අවස්ථාව මට හිමිවනවා. ඊට පසුව 2016 -17 අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ඉතාමත් හොඳින් දක්ෂතාවයන් අතරට ඒමට මට හැකි වුණා. එම තරගාවලියේදිත් තරගාවලියේ වීරයා වීමේ අවස්ථාව මට හිමිවුණා. ඒ වගේම ඒ වසරේදී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වීමේ අවස්ථාවද මට හිමි වුණා. ඒ සියලු කරුණු බලපැවා මේ ගමන එන්න.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග සංචාර කියක් ගිහින් තියෙනවාද? ඒ නායකයා හැටියටද?

මම මේ වන විට රට නියෝජනය කරමින් සංචාර අටකට පමණ සහභාගී වී තිබෙනවා. 2017 ආසියානු කුසලානයයි. 2018 වසර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම නියෝජනය කළේ කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස අනෙකුත් තරග සංචාරවලදී කණ්ඩායම් නායකයා ලෙස තමයි කණ්ඩායම නියෝජනය කළේ.

කණ්ඩායමේ නියමුවා ලෙස පළමු වරට තමයි ලෝක කුසලානයකට මේ යන්නේ ?

ඇත්තෙන්ම ඔව්. මීට පෙර 2018දී යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මෙවර මම සහභාගි වෙන්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස.

ධනංජය ඔබ පවසනවා මේ ආ ගමන ඔබේ පියාගේ සිහිනයක් කියලා?

ඇත්තෙන්ම ඔව්. මගේ පියා පාසල් යන කාළේ 15න් පහල කණ්ඩායම දක්වා ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. සංඝබෝධි විද්‍යාලය නියෝජනය කරමින්. එතැනින් උඩට එන්න ලැබිලා නෑ. නමුත් තාත්තා ක්‍රීකට් අතහැරියේ නෑ. තාත්තා හැම සති අන්තයකම අප නිවස වටපිටවේ සිටින සම වයසේ අයත් එක්ක ක්‍රිකට් ක්‍රිඩා කළා. සැහැල්ලු පන්දු ක්‍රිකට්. ඒ ක්‍රීඩා කරන විට මාවත් ක්‍රිඩා පිටියට රැගෙන යනවා. මට එතකොට වයස අවුරුදු තුනක් විතර ඇතිලූ. මට මතකයි තාත්තා මට ටෙනිස් බෝලේ දානවා මට පන්දුවට පහරදෙන්න කියලා. ඒ තමයි මගේ පළමු ක්‍රිකට් ආරම්භය. මම තාත්තත් එක්ක හැමදාම සති අන්තයේ ක්‍රිඩා පිටියට යාමට පුරුදුව සිටියා. තාත්තා දාන පන්දුවට පහර දෙන්න.

පාසලේදී ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු ගුරුහරුකම්?

මම මුලින්ම අධ්‍යාපනය හැදැරූ ධම්මිස්සර ජාතික පාසලේ පුහුණුකරු වසන්ත විජේසුරිය ජෝශප් වාස් පාසලට ගියා. ඔහු මටත් ජෝශප් වාස් පාසලට යන මාවත සකසා දුන්නා. 8 වසරේදි තමයි මම ජෝශප් වාස් විද්‍යාලයට එන්නේ. ඒ ක්‍රිකට් නිසයි. ධම්මිස්සර ජාතික පාසලේ කිර්ති ජයසේකර ගුරුතුමා මැදිහත් නොවුනානම් මට ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ ඔහු තමයි. මට ධම්මිස්සර ජාතික පාසලේ අවස්ථාව ලබා දෙන්නේ. පසුව මගේ ක්‍රිකට් දිවියේ ප්‍රධානම පුහුණුකරු ලෙස ක්‍රියා කළේ තරංග ලියනපතිරන ගුරුතුමයි. අදටත් මගේ පුහුණුකරු ලෙස මා සමග සිටින්නේ ඔහුයි.

ජෝශප් වාස් ක්‍රිකට් කණ්ඩායමට එක්වනවට බාධක තිබුණද?

කණ්ඩායමට එක්විමට බාධක තිබුණේ නෑ. නමුත් ජෝශප් වාස් පාසලට ඇතුලත් විමේදී බාධක තිබුණා. එවකට ජෝශප් වාස් විද්‍යාලයේ විදුහල්පති දේවගැති ප්‍රියන්ජිව ගුණරත්න ගුරුතුමා තමයි මුලික වුණේ මාව පාසලට ඇතුලත් කරගැනීමට. ඒ වගේම තවමත් අපිත් එක්කම සිටින රන්දීර් කරුණානායක ගුරුතුමා විශාල රුකුලක් වුණා. ඒ වගේම ආදි ජෝශප් වාස් අජිත් මාමාත් විශාල පරිශ්‍රමයක් දරලා තමයි මට ජෝශප් වාස් විද්‍යාලයේ අවස්ථාව ලබාදුන්නේ.

ජෝශප් වාස් විද්‍යාලයේදීද ඔබ සම්පූර්නයෙන්ම ක්‍රිකට් වලට යොමු වුණේ?.

ඔව් මට පළමු පෙළ ක්‍රිඩා කරන්නට ජෝශප් වාස් විද්‍යාලයේදී හැකිවුණා. ධම්මිස්සර ජාතික පාසලේ ක්‍රිකට් ක්‍රිඩා කළේ තෙවන පෙළ. දෙක අතර වැඩි වෙනසක් නොවුනට පළමු පෙළ ක්‍රීඩා කිරිමට හැකි විමට නිසා ලොකු ගමනක් යාමට මට හැකි වුණා. ඔබ 2020 යොවුන් ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා. ඔබට දැනෙන හැඟිම කොහොමද?

මේක ලොකු අවස්ථාවක් 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකයා වන එක තියා කණ්ඩායමට එකතුවීම ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සිහිනයක්. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අප කෙරෙහි විශ්වාසය තියලා අපට ඒ අවස්ථාව ලබාදී තිබෙනවා. අපට ලොකු වගකීමක් තියෙනවා. අපිට ජාතික වගකීමකුත් පැවැරී තිබෙනවා. අපි ඒ හැම වගකීමකින්ම බැදිලා.

වත්මන් පුහුණුකරුවන් ගැන සඳහන් කළොත්?

මුලින්ම 19න් පහළ පුහුණු කරු ලෙස කටයුතු කළේ චමින්ද වාස්. ඒ වගේම උපුල් චන්දන හා රෝයි ඩයස් යන ප්‍රවිණ ක්‍රිකට් ක්‍රිඩකයන් මෙන්ම පුහුණු කරුවන් ඔවුන්ගෙන් ලද ගුරුහරුකම් අති විශාලයි. මේ වසරේදී 19න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණු කරුලෙස කටයුතු කරමින් සිටින්නේ ප්‍රවිණ ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම පුහුණුකරු හෂාන් තිලකරත්නයි. එතුමා අපේ හැකියාවන් 100%ක් ඉහළ නැංවුවා කිවහොත් එය හරියට හරි. ඔහුගේ ක්‍රිකට් දැනුම ඔහු අපට නොපිරිහෙලා ලබාදුන්නා. ඒ වගේම පාසලේ ක්‍රිකට් පුහුණු ගුරුභවතුන්වත් අපි අමතක කළ යුතු නෑ. අපිට තවමත් අප පිටුපසින් සිටින්නේ ඔවුන්.

ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ප්‍රවිණ ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම පුහුණුකරු උපුල් චන්දනව ඔහු අපගේ හැකියාවන් වඩාත් ඔප් නැංවුවා කිවහොත් එය තමයි ඇත්ත. 2018 දී ආසියානු තරගාවලියේ අවසන් තරගය දක්වා අපට ඒමට හැකිවුණා. නමුත් අවාසනා වන්ත ලෙස අවසන් තරගය පැරදුණා. ඒ තරගාවලිය අපි පැමිණියේ පන්දු යැවීමෙන්වත් පන්දුවට පහරදීමෙන්වත් නෙමෙයි. පන්දු රැකීමෙන්. ඒ උපුල් චන්දන ගුරුතුමා නිසා අපි ලබාගත් දේ. එතුමා බටහිර ඉන්දිය කොදෙව් තරගාවලිය නිමා වු පසු එම තනතුරෙන් සමුගත්තා. ඒ වගේම චමිල ගමගේ හා සචිත් පතිරණ දෙපළත් සහයක පුහුණුකරුවන් ලෙස අප සමග සිටිනවා.

Comments