අභිරහස් වෛරසයක් චීනයෙන් සොයා ගැනේ | සිළුමිණ

අභිරහස් වෛරසයක් චීනයෙන් සොයා ගැනේ

මෙතෙක් විද්‍යාඥයන්ට හසු නොවූ 'අභිරහස් වෛරසයක්' චීනයේ වූඛාන් (Wuhan) නගරයෙන් වාර්තා විය.

පෙනහළු රෝග ඇති කරවන එම වෛරසය පුද්ගලයන් පනහකට අධික පිරිසකට මේ වන විට ආසාදනය වී ඇත.

ඉන් හත්දෙනෙකුගේ තත්වය බරපතල ය.

මෙතෙක් හඳුනාගෙන නොතිබුණු එම වෛරසය අසාදනය වූ රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇති කරවයි.

එම අලුත් වෛරසය, ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ බරපතල අවධානයට ලක් වී ඇත.

වෛරසයේ තොරතුරු

ආසාදිත පුද්ගලයන්ගෙන් ලබා ගත් මෙම වෛරසයේ නියැඳි විද්‍යාගාර විශ්ලේෂණයන්ට භාජනය කර තිබේ.

එම පර්යේෂණවලින් අනතුරුව චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර ඇත්තේ මෙය කොරෝනා වෛරස ගණයට අයත් බවය.

කොරෝනා වෛරස ගණයට අයත් වෛරස රාශියක් පවතින නමුත් මේ දක්වා මිනිසුන්ට ආසාදනය වී ඇත්තේ ඉන් හයක් පමණි.

ඉහත කී අලුත් වෛරසය, මිනිසුන්ට ආසාදනය වූ බවට වාර්තාගත වන හත් වැනි කොරෝනා වෛරසය වේ.

වසර 2002දී ද එම පවුලට අයත් වෛරසයක් ලොව පුරා පැතිරයාම චීනයෙන් ආරම්භ විය.

සාර්ස් (Sars) නමින් හැඳින්වුණු එම වසංගතයට පුද්ගලයන් 8098 දෙනෙකු ගොදුරු වූ අතර ඉන් 774 දෙනෙක් මිය ගියහ.

(බී.බී.සිය ඇසුරෙනි)

 

Comments