සැබෑ මුහු­ණින්ම ගත් අච්චු­වෙන් සේකර දිව­මන් කළ මූර්ති­ ශි­ල්පියෝ | සිළුමිණ

සැබෑ මුහු­ණින්ම ගත් අච්චු­වෙන් සේකර දිව­මන් කළ මූර්ති­ ශි­ල්පියෝ

 

 

ල­කට පෙර දිනක් ප්‍රවීණ මූර්ති ශිල්පි බන්දුල පීරිස් මහතා සිළු­මි­ණට කතා කළේය... “ඔය­ගො­ල්ලන්ට වැද­ගත් වෙයිද දන්නේ නෑ... පරණ කතා­වක් තියෙ­නවා, අහන්න වෙලා­වක් තියේ නම් කිය­න්නම්. අහලා තියෙ­න­වද සේකර මහ­ත්තයා මැරුණ වෙලාවේ එතු­මාගේ මුණේ පිට­ප­තක් ගත්තා කියලා? පහු­ගිය දව­සක මහ­ග­ම­සේ­කර මහ­ත්තයා ගැන ලිය­වුණ පොතක් කියෙව්වා. එත­කොට තමයි මට මතක් වුණේ මේ කතාව සිළු­මි­ණට කිව්වොත් හොඳයි කියලා.”

මාස කිහි­ප­යක්ම ඉකුත්ව ගියේය. නිසි කල එළ­ඹෙන තුරු අප ඒ කතාව පරි­ස්සම් කර­ගත්තේ ඊට නිසි වටි­නා­ක­මක් දිය යුතු බැවිනි. ඉකුත් දිනෙක අප බන්දුල පීරීස් මහතා සමඟ මේ කතාවේ කතා­නා­ය­ක­යන් සොයා යන්නට විමු.

“රාජ­පක්ෂ සර් මිය ගිහින් අවු­රුදු 21ක් වෙනවා. අවු­රුදු දෙක­කින් විතර සර්ලගෙ ගෙදර යන්න බැරි වුණා. එත් මම විශ්වාස කර­නවා සර්ගෙ නෝනා, දුව ගෙදර ඇති කියලා. මම කීප දව­සක් ඇම­තු­වත් දුර­ක­ථ­නය වැඩ කළේ නැහැ. සම­හර විට දැන් නොම්ම­රය මාරු වෙලා ඇති. රාජ­පක්ෂ සර් දක්ෂ­යෙක්. ප්‍රසි­ද්ධිය, සල්ලි බලා­ගෙන වැඩ කළ කෙනෙක් නෙමෙයි. සර් කරපු අපූරු නිර්මාණ රටේ හැම තැන­කම වගේ තියෙ­නවා.”

ගමනේ අත­ර­ම­ඟදී බන්දුල මහතා අපට ‘මිත්‍ර රාජ­පක්ෂ’ මහතා ගැන බොහෝ තොර­තුරු පව­සන්න විය (ඒ තොර­තුරු වෙනත් දව­සක ලියන්න තබා මහ­ග­ම­සේ­ක­ර­යන් හා බැඳුණු කතාව පළ­මුව ලිය­න්නෙමි).

බොහෝ කල­කට පසු ඒ මඟ යන නිසා අප මඟ හමු වන්න­න්ගෙන් පාර අසා­ගෙන නිට්ට­ඹුව වල්ග­ම්මුල්ලේ පිහිටි මිත්‍ර රාජ­පක්ෂ මහ­තාගේ නිවෙස සොයා ගියෙමු. අපේ වාස­නා­වට පවුලේ අය නිවෙසේ සිටි­යහ. ඒ නිවෙස කලා­ගා­ර­යක් බඳුය. තැන තැන ඇත්තේ රාජ­ප­ක්ෂ­යන් විසින් කරන ලද මූර්තිය; චිත්‍රය. ඒ අතර මහ­ග­ම­සේ­ක­යන්ගේ මූර්ති දෙකක්ම විය. දැන් ඔබට ප්‍රශ්න­යක් මතු වනු නිය­තය. ඒ නම් මෙකි­යන මිත්‍ර රාජ­පක්ෂ හා මහ­ග­ම­සේ­කර අතර සම්බ­න්ධය කුමක්ද කියාය. මේ කතාවේ අග-මුල කියන්න දන්නේ මූර්ති ශිල්පී බන්දුල පීරීස්ය.

“මිත්‍ර රාජ­පක්ෂ කියන්නේ රජයේ කලා­ය­ත­නයේ අපට මූර්ති ශිල්පය ඉගැන්වූ ගුරු­තුමා. එතුමා බොහෝම දක්ෂ කෙනෙක්. අද ඉන්න බොහෝ අය මෙතුමා ගැන දන්නේ නෑ. මෙතුමා කරපු විශිෂ්ට ගණයේ නිර්මාණ තියෙ­නවා. සේකර මහ­ත්ත­යයි රාජ­පක්ෂ සරුයි හොඳ යාළුවෝ. සේකර මහ­ත්තයා රජයේ කලා­ය­ත­නයේ විදු­හ­ල්පති වශ­යෙන් දෙව­රක්ම කට­යුතු කළා. මට මත­කයි මහ­ගම සර් රාජ­පක්ෂ සර්ට කතා කළේ ‘රාජා’ කියලා. හැත්තෑ­එකේ අවු­රුද්දේ ඉඳලා හැත්තෑ­හ­තර වන තුරු මහ­ගම සර් විදු­හ­ල්පති විදි­යට හිටියා. ආයෙ­මත් එක්ද­හස් නවසිය හැත්තෑ­පහ අගදි විදු­හ­ල්පති ලෙස පත් වුණා. එතුමා දෙව­න­වර විදු­හ­ල්පති ලෙස වැඩ භාර ගනිද්දි මම අව­සන් අවු­රුද්දේ හිටියේ. සේකර මහ­ත්තයා නැති වුණේ 1976 ජන­වාරි 14 දා රෑ. මට තාමත් මත­කයි එදා වෙව්ව දෙයක්. එදා රෑ මම ගෙදර ඇවිල්ලා ගේ ඉස්ස­රහා මිදුලේ එහෙට මෙහෙට ඇවි­දි­නවා. අපේ ගෙදර ගුව­න්වි­දු­ලිය දාලා තිබුණේ. ඒ වෙලාවේ ගියේ ‘නිවේ­දක තෝරයි’ කියන වැඩ­ස­ට­හන. නිවේ­ද­කයා වෙලාව 9.45 කියලා මහ­ග­ම­සේ­කර මහතා ලියූ අම­ර­දේව මහතා ගයන ‘මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි’ ගීතය ප්‍රචා­රය කළා. මම ඒ වෙලාවේ කල්පනා කළා හඳ පායලා පොල් ගස් අත­රින් හෙව­ණැලි වැටිලා තියෙන මේ අඳුරු රාත්‍රි­යට සේකර ලියූ ගීතය කොත­රම් ගැළ­පෙ­න­වද කියලා. රැය ගෙවිලා ගියා. පසුදා උදේ ප්‍රවෘ­ත්ති­ව­ලට කිය­නවා ‘ඊයේ රාත්‍රියේ මහ­ග­ම­සේ­කර මහතා මිය­ගියා’ කියලා. මට මේ කතාව අද­හා­ගන්න බැරි වුණා. මට හිතුණා සේකර මහ­ත්තයා මැරුණ බව දැන­ගෙ­නද ගුව­න්වි­දු­ලියේ ඒ රෑ ‘මා මළ පසු’ ගීතය ප්‍රචා­රය කළේ කියලා. එහෙත් එදා මේ අද වගේ ජංගම දුර­ක­තන නෑ නේ එසැ­ණින් පණි­වි­ඩය දෙන්න. මෑත­කදි මම කියෙව්වා රංජිත් අම­ර­කීර්ති පලි­හ­පි­ටිය ලියූ ‘මහ­ග­ම­සේ­කර ආව­ර්ජනා’ කියන පොත. ඒ කිය­වද්දි අවු­රුදු හත­ළි­ස්හ­ත­රක් පැරණි ඒ සිදු­වීම මට ආයෙත් මතක් වුණා. ඒ සේකර මහ­ත්ත­යාගේ නෝනා කියා තිබෙන දෙයක් නිසා.”

පැරණි කතාව කියවා අව­සා­නයේ බන්දුල මහතා අපට ‘මහ­ග­ම­සේ­කර ආව­ර්ජනා’ පොතේ අදාළ පිටුව පෙන්වයි...

“අම­ර­දේව හා සේකර පිළි­බඳ කෙටි චිත්‍ර­ප­ට­යක් තැනී­මට තිස්ස අබේ­සේ­කර කට­යුතු යොදා තිබුණා. එහි රූප­ගත කිරීම් යොදා තිබුණේ පසු­දා­ටයි (1976 ජන­වාරි 15). දහ­තර වැනිදා කොළඹ නත­රව, පසුදා රූගත කිරීම සඳහා යෑමට මහ­ගම කලින් සිතා සිටි­යත් යහ­ළු­වන් අත­රට වැටී නොනිඳා කතා­බහ කර­මින් සිටීම ඔහුගේ සෞඛ්‍ය තත්ත්ව­යට අහි­ත­කර බැවින් ගෙදර සිටම යන්නැයි මා කලින් කීවා. මහ­ගම එකඟ වුණා. ආචාර්ය උපාධි නිබ­න්ධයේ ඡේද­යක් ලිය­මින් සිටි මහ­ගම, පසුදා කොළඹ යන විට ඇඳී­මට කළු හා සුදු කොටු වැටුණු කමි­සය මැද තබ­න්නැයි මට කීවා. ඔහුගේ ප්‍රිය­තම කමි­සය වුණු එය තිස්ස කාරි­ය­ව­ස­ම්ගෙන් ලැබුණු තෑග්ගක්. මා කමි­සය මදින්න ලක­ලෑස්ති වන විට මහ­ගම අමුතු හඬ­කින් කතා කළා. ‘මගේ බඩ දැවි­ල්ලයි, පෙත්තක් දෙන්න’ ඔහු කාම­ර­යට ගොස් ඇඳෙහි වැතිර සිටියා. දිව යටින් තැබූ පෙත්ත නොරැඳී බිමට වැටුණා. පපු­වෙන් අමුතු හඬක්ද නැඟෙන්න වුණා. අස­ල්වැ­සි­යන් ගිල­න්ර­ථ­යක් ගෙන­ඒ­මට දිව ගියා. වේලාව රාත්‍රී නව­යයි හත­ළිස් පහයි. ඇඳ මත වැතිර හුන් සේකර දෑස් පියා­ගත්තා. ලියන්න පටන් ගත් පිටු­වෙහි රිද්මය පිළි­බඳ සට­හ­නක් අස­ම්පූ­ර්ණව තිබූ අතර, පෑන පසෙක වැටී තිබුණා.” කුසු­ම­ලතා මහ­ගම සේකර මහ­ත්මිය පැවැ­සු­වාය. (මහ­ගම සේකර ආව­ර්ජනා, 27-28 පි)

දෛවය පුදු­මා­කා­රය! රජයේ කලා­ය­ත­නයේ විදු­හ­ල්පති ධුරය හෙබවු, ගී ද රචක, චිත්‍ර­පට අධ්‍යක්ෂ, කෙටි­ක­තා­ක­රු­වකු, නව­ක­තා­ක­රු­වකු, නාට්‍ය රච­ක­යකු, චිත්‍ර ශිල්පි­යකු, කවි­යකු වූ මහ­ම­සේ­ක­ර­යන් ජීවි­ත­යෙන් සමු ගත්තේ එලෙ­සිනි.

“සම­හරු කිය­නවා නේ සේකර මැරුණේ බීලා කියලා. ඒ කතාව බොරු­වක්. සේකර සර්ට දුම් බීමේ පුරු­ද්දක් නම් තිබුණා. ඒත් අස­නීප වීම සමඟ එය පාල­නය කෙරුණා. සර් මිය යන දවසේ හැන්දෑවේ කොලෙ­ජ් එකේ තුන් අවු­රුදු පාඨ­මා­ලාවේ සහ­තික පත් ටික අස්සන් කර තිබුණා. අනිත් ඩිප්ලෝමා සහ­තික පත් අස්සන් කරන්න යද්දි වෙලාව හත­ර­යිලු. කාර්යාල කාර්ය සහා­යක ජේමිස් අයි­යාට කියලා තියෙ­නවා හෙට ඉතිරි ටික අස්සන් කර­න්නම් කියලා. ඒත් සර් එදා රෑ මිය ගියා. එදා ඉඳලා අද­ටත් මේ සහ­තික පත් වෙන කෙනෙක් වත් අස්සන් කරලා අදාළ ශිෂ­යින්ට දීලා නෑ; ඒ වෙනු­වට විධි­මත් සහ­ති­ක­යක් වත් නැහැ. තියෙන්නේ ලියු­මක් විත­රයි.” බන්දුල මහතා පව­සන්නේ කණ­ගා­ටු­වෙනි.

“සේකර මහ­ත්ත­යාගේ දේහය කලා­ය­ත­න­යට ගෙනාවා. ඒ වෙලාවේ මට රාජ­පක්ෂ සර් හමු වුණා. මම සර්ගෙන් ඇහුවා ‘සර්, සේකර මහ­ත්ත­යාගේ මුහුණේ පිට­ප­තක් ගන්නේ නැද්ද?’ කියලා. ඔහු කිව්වා ‘රෑ වුණාම බලමු’ කියලා. කොහොම හරි එදා රෑ සර් මහ­ගම සර්ගේ මුහුණේ පිට­ප­තක් ගත්ත බව මම දැන­ගත්තා. ඒ අර­ගෙන තිබුණේ මුහු­ණුට ප්ලාස්ට­රො­ෆ්පැ­රිස් දාලා. කාල­යක් ගෙවිලා ගියා. රාජ­පක්ෂ සර් මට සම­හර වැඩ­ව­ලදී ඔහුට සහාය වෙන්න ගෙදර එන්න කිය­නවා. මම ඒ ගිය ගම­න්ව­ලදි ඔහු ඇසුරේ බොහෝ දේ ඉගෙ­න­ගත්තා. ඔහු ගුරු­මු­ෂ්ටිය තියා­ගන්නේ නැතිව ඒ හැම දෙයක්ම කියලා දෙනවා. මම ඔය ගිය ගම­න­කදි සර්ගෙන් ඇහුවා ‘සර් එදා ගත්ත සේකර මහ­ත්ත­යාගේ මුහුණේ පිට­පත කෝ?’ කියලා. ‘දුව ඒකට බයයි. ඔන්න සොල්දරේ තියෙ­නවා’ කියලා සර් සොල්ද­රේට ගිහින් ඇවිත් රෙද්දක ඔතලා තිබුණ සේකර මහ­තාගේ මුහුණේ අච්චුව පෙන්නුවා. එහි සේකර මහ­තාගේ ඇහි­බැ­මි­වල කෙස් ගස් පවා රැඳිලා තිබුණා. සර් එක්ක මම බොහෝ වැඩ කළා. රාජ­පක්ෂ සර්ගෙ මර­ණ­යෙන් පස්සේ සර්ගෙ නෝනා­ගෙන් ඇහුවා මේ අච්චුව ගැන. ඇය මට කිව්වා ‘දුව එ්කට බය නිසා සොල්දරේ තියෙ­නවා. බන්දුල ඒක අර­ගෙන යන්න’ කියලා. මම අච්චුව ගෙනාවා. ගෙදර ගෙනැල්ලා ඒ අච්චුව තියලා තමයි මේ මූර්තිය හැදුවේ. සේකර මහ­ත්ත­යාගේ දේහ­යෙන් ගත්ත අච්චුවේ ඇස් පිය­විලා තිබුණේ. මම මේ මූර්ති­යෙදි ඇස් ඇරලා හැදුවා. ඒ වගේම එතුමා නික­ටට අත තියා­ගෙන ඉන්න විදි­හට මගේ අතේ අච්චු­වක් අර­ගෙන මෙන්න මේ විදි­හට හැදුවා. සේකර මහ­ත්ත­යාගේ මුහුණේ මූර්තිය ගැන දන්න රූප­වා­හිනී මිත්‍ර­යෙක් දව­සක් සේකර ගුණ­ස­මරු වැඩ­ස­ට­හ­න­කට මෙය රැගෙන ගියා. ඒ වැඩ­ස­ට­හනේ එක රූප­රා­මු­වක් තියෙ­නවා අම­ර­දේව සර් සේකර නිර්මාණ ගැන කතා කරන. ඒ වෙලා­වෙදි සේකර මූර්ති­යත් අම­ර­දේ­වත් එකට පෙන්ව­නවා. මට දැනුණේ ඒ වෙලාවේ සේකර මහ­ත්තයා පසෙ­කට වී සියල්ල අහ­ගෙන ඉන්නවා වගේ හැඟී­මක්.

“මීට වසර දෙක­කට පමණ පෙර සේකර මහ­තාගේ පුතු මා සොයා­ගෙන ආවා. ඔහුට මා මෙය පෙන්නුවා. මෙය රැගෙන යන්නැයි මා ඔහුට කිව්වා. ඒත් ඔහු එය මට තියා­ගන්න කිව්වා. එදා අපි රාජ­පක්ෂ සර්ගෙ නිවෙ­ස­ටත් ගියා. දව­සක් මහ­ගම සර් සමඟ සම්මුඛ සාක­ච්ඡා­ව­කට පත්ත­ර­ය­කින් ඇවිත් තිබුණා. ඒ වෙලාවේ මහ­ගම සර් හිටපු ඉරි­ය­වු­වක් ඡායා­රූ­ප­යට නැඟුණා. මෙය බොහොම විරල අව­ස්ථා­වක්. ඒ ඡායා­රූ­පය බලා­ගෙන තමයි රාජ­පක්ෂ සර් මේ මූර්තිය කළේ. රාජ­පක්ෂ සර් කළ මූර්ති­යෙන් අච්චු­වක් හදලා තමයි මම මහ­ගම සර්ගේ මේ මූර්තිය කළේ. රාජ­පක්ෂ සර් කළ සේකර මූර්ති­යක් තමයි අද­ටත් ගුව­න්වි­දුලි සංස්ථාවේ තිබෙන්නේ. තවත් එකක් තිබුණා සෞන්ද­ර්යය විශ්ව­වි­ද්‍යා­ලයේ. අද ඒ මූර්තිය එහි නැති බවයි දැන­ගන්න තිබෙන්නේ. කවු­රුන් හෝ එය සොරා­ගෙන.” බන්දුල අතී­තය හා වර්ත­මා­නය යා කර­මින් තොර­තුරු පව­සයි.

“ඇයි ඔබ මෙය ගත්තේ නැත්තේ?” බන්දුල පීරිස් මහතා දුන් සේකර මූර්තිය නොගැ­නීම ගැන සේකර පුතු රවි­න්ද­ගෙන් අපි විමු­ස­වෙමු.

“ඒක පරි­ස්සම් කළේ බන්දුල මහ­ත්තයා. ඔහු මෙත­රම් කලක් එය රැක­ගත්තා. ඔහු තාත්තාට බොහොම ආද­රෙයි. එනි­සයි මම එය ඔහු ළඟම තබා­ග­න්නැයි කිවුවේ.” රවින්ද මහ­ග­ම­සේ­කර බොහෝ නිහ­ත­මා­නිව පැවැ­සීය.සේක­ර­යන් අසුරු කළ අය මෙන්ම ඔහු දෑසින් නුදු­ටු­වෝද අදත් මහ­ගම සේක­ර­යන්ට ආද­රය කර­න්නෝද බොහෝය. ඒ එතුමා කළ අපූරු නිර්මාණ නිසාය. එසේ නමුදු සේකර සෙවණේ ශිල්ප ලැබූ, ඔහු­ගෙන් ගුරු­හ­රු­කම් ලැබූ බන්දුල පීරිස් මහ­තාගේ දෑසේ සේක­ර­යන් සිහි­පත් කරන විට අදද ඇත්තේ කඳුළු අහු­රකි.

“මහ­ග­ම­සේ­කර මහ­ත්තයා ගැන කතා කරද්දි ඔබේ දෑස් රතු වෙනවා. ඇයි ඒ?” අප ඇසූ විට බන්දුල පීරිස් මහතා විනාඩි ගණ­නා­වක් නිහ­ඬව සිටි­යේය.

“දව­සක් සර් මට කතා කරලා සංස්කෘ­තික තර­ග­ය­කින් ජය ගත් අයට දෙන්න කියලා පද­ක්කම් වග­යක් හදන්න කිව්වා. මෙය අපේ කලා­ය­ත­න­යට බාර දුන් එකක්. මම එය නිර්මා­ණය කර­ගෙන ගිහින් සර්ට පෙන්නුවා. සර් ඒක බලලා කිව්වා ‘හොඳයි’ කියලා. ‘ඒත් එක පැත්තක් පාළුයි වගේ නේද?’ කිව්වා. ඉන් පස්සේ සර් කිව්වා ‘සුම්මා ඉරි ටිකක් ගහන්න’ කියලා. මම සර්ගෙ දිහා බලා­ගෙන හිටියා. මම සුම්මා ඉරි කියන්නේ මොකද්ද කියලා දැන­ගෙන හිටියේ නැහැ. සර් මගෙන් අහ­නවා ‘සුම්මා ඉරි දන්නේ නැද්ද?’ කියලා. ‘ඔය නිකම් වැඩ­කට නැති ඉරි ටිකක් ගහලා දාන්න පාළුව යන්න’ කියලා කිව්වා. මට එත­කො­ටයි ඒ මොකක්ද කියලා තේරුණේ. මම ඒ විදි­යට ඉරි ටිකක් ගහලා සර්ට පෙන්නුවා. සර් කිව්වා ‘දැන් හරි’ කියලා.

“දව­සක් කොලෙ­ජ්එකේ ළමයි මොක­කට හරි සල්ලි අවශ්‍ය වෙලා ඊට මොකක් කර­න්නද කියලා සර් එක්ක කතා කළා. ඒ වෙලාවේ සර් ඔහුගේ පොත් ටික දුන්නා විකු­ණලා ලැබෙන මුදල් එයට ගන්න කියලා. තව දව­සක් අලුත් බැජ්එකේ ළමයි සංගීත ප්‍රසං­ග­යක් ලෑස්ති කරලා තිබුණා. ඒක බයිලා කියන අය අලුත් තාලේ ගායක ගායි­කාවෝ ගෙන්නලා කරන්න හදපු එකක්. මේකට පරණ ශිෂ්‍යයෝ විරුද්ධ වුණා. මේ අය අලුත් අයගේ වැඩේ කඩා­ක­ප්පල් කරන්න ලෑස්ති වුණා. මහ­ගම සර්ට මෙය ආරංචි වුණා. සර් පරණ අයට කිවුවේ ‘අලුත් අයට ඒ දේ කරන්න දෙන්න, හොඳ-නරක බලන අය තේරුම් ගනීවි’ කියලා. කොහොම හරි සංගීත ප්‍රසං­ගය පැවැ­ත්වුණා. අව­සා­නයේ හූ කියලා ඒක අත­ර­මඟ නතර වුණා.

මගේ හිතේ සර් ගැන පුදු­මා­කාර ආද­ර­යක් ගෞර­ව­යක් තිබෙ­නවා. ඒ ආද­රය ගෞර­වය ඇති වුණේ එතුමා මෙරට ගීත ක්ෂේත්‍ර­යට කළ මෙහෙය නිසා. අපට මුලින් සිංහල ගීත කලා­වක් තිබුණේ නැහැ. කොහේ වත් තිබුණු තනු­ව­ලට වචන ඔබ්බ­පු­එක තමයි කළේ. ආනන්ද සම­ර­කෝන්, සුනිල් සාන්ත දෙදෙනා තමයි දේශීය ගීත සාහි­ත්‍ය­යක් ආරම්භ කළේ. ඉන් පස්සේ ශ්‍රී චන්ද්‍ර­රත්න මාන­ව­සිංහ මහ­ත්තයා. දව­සක් මහා­චාර්ය සුනිල් ආරි­ය­ර­ත්න­යන් කිවුවා ‘ගීත කලාවේ තාත්තා මාන­ව­සිංහ නම් ඒ මඟ ගිය, එය පෝෂ­ණය කළ පුතා සේකර මහ­ත්තයා’ කියලා. මම සේක­ර­යන්ට කැමැති අන්න ඒ නිසා. අපට අපේ කියලා හොඳ ගීත කලා­වක් බිහි කළ නිසා. මාන­ව­සිංහ මහ­ත්ත­යයි, සේකර මහ­ත්ත­යයි ගීත කලාවේ තාත්තයි පුතයි නම් මම විශ්වාස කර­නවා ඒ මඟ ගිය සුනිල් ආරි­ය­රත්න ඒ දෙන්නාගේ පුතා කියලා. මම අහලා තියෙ­නවා මහ­ගම සර් ගීත­යක් ලිව්වාම එකේ කොහේ වත් අඩු-පාඩු නැහැ කියලා. මහ­ගම සර් තුන් කල් දුටු ඉසි­ව­ර­යෙක් කිව්වොත් නිවැ­ර­දියි. එයට මම උදා­හ­ර­ණ­යක් කිය­න්නම්. සේක­ර­යන් 1967දී ‘සත්ස­මු­දුර’ චිත්‍ර­ප­ට­යට මෙහෙම ගීත­යක් ලිය­නවා: ‘ගැඹුරු සත් සමු­දුර පතුල බිඳ... ඇඹරි ඇඹරී වියරු ජල කද... තුමුල මහ මෙර දෙද­ර­වයි... බුර-බුරා නැඟි රුදුරු ජල කද... දෙරණ සම්පත ගිල­ගනී...’ එදා සේක­ර­යන් කියූ දෙය තමයි 2004දී සුනා­මි­යෙන් වුණේ. මෙවැනි නිර්මා­ණ­ක­රු­වන් අද අපට නැහැ.

රූප­වා­හිනී ලාංඡ­නයේ සැල­ලි­හි­ණියා නිර්මා­ණය කළ, කලක් රූප­වා­හිනී අභ්‍යාස විද්‍යා­ලයේ පරි­ග­ණක ත්‍රිමාණ පාඨ­මා­ලාවේ අධ්‍යක්ෂ ලෙස හා රජයේ කලා­ය­ත­නයේ ලෝහ සැල­සුම් පිළි­බඳ උප­දේ­ශක ලෙසද කට­යුතු කළ බන්දුල පීරීස් අප නොදන්නා අතී­ත­යක් සිහි­පත් කළේ එලෙ­සිනි. මහ­ග­ම­සේ­ක­ර­යන් අභා­ව­ප්‍රාප්ත වී මේ දුරුතු මස 14 වැනි­දාට වසර 44ක් සපි­රෙයි. එන­මුදු සේක­ර­යන් මිය ගියද ඔහු කළ නිර්මාණ මිය යන්නේ නැත. ඔහු විසින් ලියන ලද ‘තුංමං­හ­න්දිය’ නව­ක­තාව අදත් අප රස­වි­ඳින්නේ නැවුම් බව­කිනි. ඔහු ලියූ ගීතද එසේය. ඔහු ලියූ කාව්‍ය සංග්‍රහ අදද නවක කවි­කි­වි­ඳි­යන්ට අත්පොත්ය. ඉදින් සේකර අම­ර­ණී­යය.

ඡායා­රූප - රුවන් ද සිල්වා

 

Comments