ගින්නෙන් බේරෙන්න පාරවල් හොයන කැන්ගරු රටේ මිනිස්සු | Page 2 | සිළුමිණ

ගින්නෙන් බේරෙන්න පාරවල් හොයන කැන්ගරු රටේ මිනිස්සු

 

ස්ට්‍රේ­ලි­යාව පුරා මේ මොහොතේ ඇවිළ යන ගිනි ජාලා­වකි. මුළු මහත් දේශ­යේම ජනයා ගිනි ජාලා නිවී යළි පෙර පැවති සාම­කාමී නිසල බව ඇති­වන තෙක් පෙරුම් පුර­මින් සිටිති. මා වෙසෙන සිඩ්නි නග­ර­යද ඇතු­ළු ප්‍රධාන නගර සහ තර්ජ­න­ව­ලට ලක්වූ තවත් කුඩා නගර කිහි­ප­යක් වේ. නාග­රික ප්‍රදේ­ශ­වල ජන ජීවි­තය පැතිර යන මහා දුම් කඳේ බල­පෑම හැර සාමාන්‍ය ලෙස ගෙවී යද්දී වනා­න්තර ආසන්න ප්‍රදේ­ශ­වල ජන­තාව දේපළ අහි­මි­වීමේ දුක අත්වි­ඳි­මින් සිටිති. ජීවිත බේරා ගැනී­මට සටන් කරති.

 

මෙවන් ළැව්ගිනි ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබ කිසිදා අත්නො­විඳි අත්දැ­කී­මක් බවට සැක නැත. එහෙත් මෙත­රම් භයා­නක නොවූ­වද, මෙත­රම් ව්‍යස­න­යක් නොවූ­වද ඕස්ට්‍රේ­ලි­යාව යනු වසරේ එක් කලෙක ළැව්ගිනි සාමාන්‍ය සේ අත්වි­ඳින රටකි.

ගිම්හාන සමයේ වනා­න්තර ආශ්‍රි­තව හට­ගන්නා අකුණූ වැනි ස්වාභා­වික ක්‍රියා­ව­කින්, මිනිස් අත්වැ­ර­දී­ම­කින් හෝ හිතා­මතා කෙරෙන කඩා­ක­ප්ප­ල්කාරි ක්‍රියා­ව­කින් වනා­න්තර දැවී­යාම සාමාන්‍ය තත්ව­යකි. එහෙත් දෙද­හස් දහ හතේ සිට පව­තින නිය­ගය නිසා ගිනිකොණ දිග ඔස්ට්‍රෙ­ලි­යාවේ වික්ටෝ­රියා නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත­වල මේ ගිම්හා­නයේ ළැව්ගිනි තත්වය වඩාත් උත්සන්න වී ඇත.

බොහෝ ළැව්ගිනි හට­ගන්නේ වර්ග කිලෝ­මී­ටර් දහස් ගණන් විශාල වන­න්තර වලය. ඒවා සුළං සහ අධික උණු­සුම හේතු­වෙන් වේග­යෙන් මිනිස් වාස­ස්ථාන ආස­න්න­ය­ටද ව්‍යප්ත වේ. ළැව්ගිනි පැති­රීම සාමා­න්‍ය­යෙන් සිදු­වන්නේ ගස් බහුල ප්‍රදේ­ශ­ව­ලය. මේ නිසා නාග­රික ප්‍රදේ­ශ­වල ජනා­වාස වූ උප­න­ගර දිගේ ළැව්ගිනි පැතිර යාම දුලබ සිදු­වී­මකි. බොහෝ­විට ළැව්ගි­නි­ව­ලට ගොදු­රු­වන ජන­තාව වෙසෙන්නේ කුඩා ජන­ඝ­න­ත්ව­යක් සහිත ප්‍රාදේශීය නග­ර­වල හෝ ප්‍රධාන නග­ර­වල බාහිර සීමා­වේය.

එහෙත් මෙම වසරේ දිගු­ක­ලක් එක­දි­ගට දැවෙන ළැව්ගින්නේ දුමා­රය ප්‍රධාන නග­ර­වල ජන­යා­ටද බල­පෑම් කරයි. මේ වන විට සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් නග­ර­වල වායු­ගෝ­ලිය ගුණා­ත්ම­ක­භා­වය ඉතාම පහළ මට්ට­මක පව­තින අතර ශ්වස­නා­බා­ධිත ජන­තා­වට එය ජීවිත තර්ජන ගෙන දීම­ටද හේතු වේ . බොහෝ­දෙනා මුහුණු ආව­රණ පළ­දිනු දකි­න්නට ලැබේ.

මෙවර ළැව්ගිනි වාරය එළ­ඹෙන්නේ වසර තුන­කට ආසන්න නිය­ඟය විසින් වියළි දර තත්ව­යට ආසන්න මට්ට­මට පත්කළ වනා­න්ත­ර­ව­ලය. සාපේ­ක්ශව තෙත් කාල­යක් වූ 2011-2015 සමයේ ශාක වර්ධ­නය ශීඝ්‍ර වූ අතර ඉන් පසුව එළැඹි වර්ෂාව රහිත කාල­යේදී මේ වනය විය­ළිව ගියෙන් එම වියළි වනය විසින් ගින්නට සප­යන ඉන්ධන ප්‍රමා­ණය වැඩි විය. මේ නිසා බොහෝ දෙනා පළ­කළ අනා­වැකි සනාථ කර­මින් ගිම්හා­න­යට බොහෝ පෙර සැප්තැ­ම්බර් මාසයේ සිටම ළැව්ගිනි නැගෙ­න­හිර වෙරළ දෙසට පැති­රුණි. මුල් කාල­වල ඒවා බල­පෑවේ දකුණු ක්වීන්ස්ල­න්තය සහ උතුරු නිව් සවුත් වේල්ස­ය­ටයි. පසුව සිඩ්නි නග­රය ආස­න්න­යෙන් විශාල ළැව්ගිනි දෙකක් පැමිණ නග­රය ගොඩ­බිම දෙසින් වට­කර නගර මායි­ම්වල පිහිටි නිවාඩු නිකේ­තන සහ ගොවි­පො­ළ­වල් දවා­ල­න්නට විය. දෙසැ­ම්බර් මාසය තුල වඩාත් දකු­ණට පැති­රුණු ගිනි, දකුණු වෙරළ කැන්බරා අවට කඳු­කර පෙදෙස් සහ තවත් දකු­ණින් පිහිටි වික්ටෝ­රි­යාවේ කෙළ­වර දක්වා පැති­රුණි. මීට අම­ත­රව දකුණ ඕස්ට්‍රේ­ලි­යාවේ ඇඩි­ලේඩ් හි කඳු­කර ප්‍රදේ­ශ­වල ද, කැන්ගරු දූපතේ ද බට­හිර ඕස්ට්‍රේ­ලි­යාවේ ඇතැම් පෙදෙ­ස්වල ද විශාල පරි­මා­ණයේ ලැව්ගිනි ඇති­විය. සම­ස්ත­යක් ලෙස දැනට ශ්‍රී ලංකාවේ මුළු වර්ග­ඵ­ල­යට ආසන්න භුමි ප්‍රමා­ණ­යක් දැවී ගොස් තිබේ.

ළැව්ගිනි සම්බ­න්ධ­යෙන් බොහෝ­දෙ­නෙකු අසන ප්‍රශ්නය නම් ඒවා නිවා­ග­න්නට නොහැකි ඇයි ද යන්නයි. ඕස්ට්‍රේ­ලි­යානු ගිනි නිවන ඒකක ලෝකයේ විශා­ලම පිරිස් බලය හිමි ස්වේච්චා ආය­තන පද්ධ­ති­යකි. එහෙත් මේ පරි­මා­ණයේ ළැව්ගිනි නිවා­ද­ම­න්නට නොහැ­කිය.

ළැව්ගි­න්නක් නිවා දැමීම අප­හසු වන්නේ මේ නිසා­වෙනි. ගිනි ගන්නා ස්ථාන­යට ළඟා­වීම අති­ශ­යින් අප­හ­සුය. එසේම ජල පොම්ප සහ ජලය හළන ගුවන් යානා­වල ධාරි­තා­ව­යන් අධික ශක්ති­යක් රැස්ක­ර­ගත් ළැව්ගි­න්න­කට නොදැ­නෙන තරම් වේ. කොටින්ම පොද­වැසි හෝ කඩින් කඩ තැනින් තැන ඇද හැළෙන මහ­වැසි පවා ගින්න නැව­තී­මට අස­මත් ය. ළැව්ගි­න්නක් අව­සන් වන එකම ක්‍රමය විශාල වර්ශා­වක් තර­මක් දිගු කාල­යක් ඇද හැලී­මයි. එහෙත් ඕස්ට්‍රේ­ලි­යාව වසර කිහි­ප­යක සිට නොල­බන ආශි­ර්වා­දය ද එයයි. පව­තින වියළි සහ උණු­සුම් වායු­ගෝ­ලීය තත්ව­යන් කෘත්‍රීම වර්ෂා­ව­කට පවා සුදුසු නොවන බව කියවේ.

එහෙත් සියල්ල ගින්නට පවරා දීමට මිනිස්සු සූදා­නම් නැත. ළැව්ගි­න්නක් තුළ උසස් මානව ගුණාංග මෙන්ම යටත් නොවී සටන් කරන ධෛර්‍ය­වන්ත මිනි­සුන් ද හමු වේ. ගින්න ආස­න්න­වත්ම ගිනි නිවන්නෝ සීමා ඉරි සළ­කුණූ කරති. මේ සීමා සළ­කු­ණු­ක­රන්නේ ගස් සහ තණ­කොල ඉවත් කිරී­මෙන් සහ ගින්න සහ ජනා­වාස අතර පටි­යක් පුළුස්සා දැමී­මෙනි. සාමාන්‍ය ගින්නක් මේ සීමාවේ නතර වන නිසා එප­ම­ණ­කින් ජනා­වාස බේරා­ගත හැකිය. එහෙත් පෙර කී පරිදි ජවය සමග තම­න්ගේම වළා­කුළු ඇති­ක­රන ගින්නක් බොහෝ ඉදි­රි­යට පනින නිසා මෙවැනි සීමා­ව­ලින් ප්‍රබල ගින්නක් නොන­ව­තියි. මෙවර එක් ළැව්ගි­න්නක් විශාල ජලා­ශ­යක එක පසෙක සිට අනෙක් පසට පැනී­මට පවා සමත් විය.

නිවැසි සම­හ­රුන් සතුන්, දරු­වන් සමග ආර­ක්ෂිත ස්ථාන කරා යද්දි අනෙක් අය නිවාස බේර ගන්නට සූදා­නම් වෙති. සම­හර අව­ස්ථා­වන් හි පියාට සමු දී ආ දරු­වන් සහ පවුලේ අයට සමු­දුන් ජනයා කියන කතා අනු­වේ­ද­නී­යය. සමු­දුන් අය ආපසු නොපැ­මි­ණී­ම­ටද ඉඩක් ඇත. එහෙත් එවැනි පවු­ල්වල සෙසු සාමා­ජි­ක­යන්ට කළ හැක්කේ ගින්නෙන් ආර­ක්ෂිත ව කිසි­යම් ස්ථාන­ය­කට වී බලා සිටීම පමණි.

බොහෝ දෙනා ගිනි ආස­න්න­යට එන විට කරන මූලි­කම ක්‍රියාව ජල­යෙන් තම නිවස සහ වත්ත තෙමා දැමී­මයි. ගින්නේ මුලික ප්‍රවා­හය වේග­යෙන් ඉදි­රි­යට එන නිසා එයට එක­වර හසු නොවන දේවල් බේරී­මට ඉඩ ඇත. අවට පරි­ස­ර­යට වඩා තෙත­ම­නය වැඩි කිරී­මෙන් මේ තත්වය උදා කළ හැකිය. මෙසේ තම නිවාස බේරා­ගත් සිය ගණන් සිටිති. එහෙත් එසේ කර­ග­න්නට අස­මත් වූ අවා­ස­නා­ව­න්ත­යින් ද නැතිවා නොවේ.

ගින්න අති­ශ­යින්ම ප්‍රබ­ලව එල්ල වන තැනෙක කළ හැකි කිසි­වක් නැත. ජල­යෙන් තෙමා දැමූ නිවාස පවා දැවෙන අව­ස්ථා­වක නිවැ­සි­යාට ගැල­වී­මක් නොමැත. ඇතැම්හු මෙවැනි අව­ස්ථා­වක් උදා වුව­හොත් පළා යෑමට මෝටර් රථ­යක් සූදා­න­මින් තියා ගනිති. එසේම අව­සන් සැල­සුම ලෙස කිසි­යම් දිය කඩි­ත්තක සැඟ­වීම හෝ ශක්ති­මත් සැකි­ල්ලක් තුල සිටීම තවත් වික­ල්ප­යකි. මේ ජනයා බොහෝ­විට හමුද සෙබ­ලුන් භාවිතා කරන පන්නයේ ගෑස් මුහුණු ආව­රණ සහ ඔක්සි­ජන් ටැංකි භාවිත කරති. එහෙත් ඒ සියල්ල වැර­දී­මට ඉඩ ඇත. පළා යන වාහන පවා පසු කර­න්නට ඇතැම් වේග­වත් ලැව් ගිනි සමත් වේ. මෙවැනි සිදු­වීම් නිසා මෙවර දැනට වාර්තා වන සමස්ත ජීවිත හානි ප්‍රමා­ණය විස්සක් තිහක් පමණ වේ. එය කල­කට වරක් සිදු­වන මට්ටමේ විශාල ජීවිත හානි ප්‍රමා­ණ­යකි.

ගින්න පැමි­ණෙන මාර්ගයේ පිහිටා ඇති නිවෙ­ස්වල නිවැ­සි­යන්ට උප­කාර කරන ගිනි නිවන්නෝ ගින්න සමග ගමන් කර­මින් ගින්නේ සීමා සළ­කුණු කර­මින් ජලය යොද­මින් ඒ හා වැඩි­යෙන් පොර බදති. පුහු­ණුව නිසා ඔවුහු වඩාත් ආස­න්න­යට ගොස් නිරු­ප­ද්‍රි­තව පළා­යා­මට සමත් වෙති. එහෙත් නොසිතු ලෙස වාහන ගින්නට කොටු­වීම, අධික ලෙස ගින්නෙන් පිට­වන වායුන් ට ගොදුරු වීම, ගස් කඩා වැටීම නිසා වන අන­තුරු, සහ ගිනි ටෝනේ­ඩෝ­ව­ලින් ගිනි නිව­න්නන්ගෙ ජීවිත අහිමි වූ අවස්ථා මෙවර වාර්තා විය. මේ බොහෝ දෙනා ස්වේච්චා­වෙන් සමාජ මෙහෙ­ව­රක් ලෙස ගිනි නිව­න්නට ඉදි­රි­පත් වීම නිසා ඒ ජීවිත පූජා­වන් වඩාත් අනු­වේ­ද­නීය වේ.

මෙවර දුටු සුවිශේශි ම කතා­වක් වනුයේ ගින්න තුළ සිට සිය සත්වෝ­ද්‍යා­නය බේරා­ගත් මෝගෝ සත්වෝ­ද්‍යාන සේවක කණ්ඩා­යමේ අර­ග­ල­යයි. කුඩා සතුන් ආර­ක්ෂිත ස්ථාන­ව­ලට ගෙන ගිය පසු ඔවුහු තම ජල සන්චිත යොදා මුලු සත්වෝ­ද්‍යා­න­යම ජල­යෙන් තෙමා දැමීම මගින් තමන් වටා යන ගින්න ඇතු­ලට කඩා පැනීම අඩාල කිරී­මට සමත් වූහ. ඉන් පසු සම්පුර්ණ රැයක් නිදි වර්ජි­තව ගිනි අවි­ලෙන තැන් සියල්ල නිවා දැමී­මට කට­යුතු කළ නිසා සත්වෝ­ද්‍යා­නය තුල හුන් ජිරාෆ්, සීබ්‍රා සහ සිංහ­යින් වැනි ලොකු සතුන් බේර­ග­න්නට ඔවුන්ට හැකි­විය.

ළැව්ගි­නි­ව­ලට ගොදුරු වූවන්ගේ කත­න්දර අතර සුල­බම ඛේදා­න්තය නම් ආපසු පැමිණ බලන විට නිවස සහ­මු­ලින් හෝ විශාල ලෙස හානි වී තිබී­මයි. මෙවර දැනට නිවාස 1300 ඉක්මවා වැනසී තිබේ. රක්ෂණ ලබා­ගෙන ඇත්තේ සම­හර නිවා­ස­ව­ලට පමණි. එසේම දමා ගිය ජීවිත මතක සට­හන් අහිමි වීමද දුක්බර සිදු­වී­මකි. නිවස සුර­කි­න්නට එහි හුන් තම පවුලේ සාම­ජි­කයා ජීව­තුන් අතර නොමැති බව දැන ගන්නා පවුල් වඩාත්ම අවා­ස­නා­වන්ත පිරි­සයි.

මෙවර ගින්නෙන් දිවි ගලවා ගන්නට පළා ගිය දහස් ගණ­නක් දෙනා වෙරළේ සහ ජලාශ මධ්‍යයේ පිහිටි වැලි පර­වල සිර වී සිටිති. ඒ අතර වස­රා­ව­සාන නිවාඩු ගත කර­න්නට ගිය විශාල පිරි­සක් ද සිටිති. මේ ජන­යාට ආපසු යාමට නොහැකි සේ ගින්න සියලු ගොඩ­බිම වෙළා­ගෙන තව­මත් ඇවි­ළෙන නිසා නාවික හමුද යාත්‍රා යොදා­ගෙන කණ්ඩා­යම් වශ­යෙන් ඔවුන් මුදා ගැනීමේ කට­යුතු අරඹා තිබේ. එම මුදා ගැනී­ම්ව­ලට සති­යක් පමණ ගත­වන නිසා එත­රම් කාල­යක් මේ මිනි­සුන්ට දුම සහ අධික උෂ්ණ­ත්ව­යන් මධ්‍යයේ එම ස්තාන­වල සිර වී සිටී­මට සිදුව ඇත.

ළැව්ගි­න්නෙන් අන­තු­රට පත් වන ප්‍රධාන පාර්ශ්ව­යක් වනුයේ වන සතුන් ය. ඒ අතර ඕස්ට්‍රේ­ලි­යා­වට ආවේ­ණික සංඛේ­තීය සතකු වන කොආලා ද සිටී. මෙවර ගින්නෙන් ඔවුන් විනාශ වූ ප්‍රමා­ණය අති විශාල බැවින් කොආලා ප්‍රජා­වන්ගේ වඳවී යෑමේ ක්‍රියා­ව­ලිය මේ සමග ආරම්භ වනු ඇති බවට විශාල බියක් පව­තියි. දැනට ඇස්ත­මේන්තු කළ පරිදි විවිධ වන­ස­තුන් බිලි­ය­න­ය­කින් අඩක් පමණ ගින්නට ගොදුරු වී තිබේ. කැන්ගරු දූපත සම්පු­ර්ණ­යෙන්ම දැවෙන අව­දා­න­මක් පවා පව­තින නිසා මේ ඇස්ත­මේන්තු තවත් ඉහළ යෑමට සහ ඇතම් සතුන් සපුරා වඳ වීම­ටද ඉඩ තිබේ. එසේම ගින්නෙන් පණ බේරා ගත්තද සම­හර සතුන්ට ආහාර ජලය ආදි­යෙන් තොර කිලෝ මීටර ගණන් අළු සහ අඟුරු පිරි භුමි­යක ඉතිරි වන්නේ මර­ණය පමණි.

ගින්න තව­මත් ඇවිලේ. මේ ලියන මොහොත වන විට ක්වීන්ස්ල­න්තයේ සහ නිව් සවුත් වේල්සයේ උතුරු වෙරළේ තත්ත්වය බොහෝ­දු­රට සම­ත­ය­කට පත්ව ඇත. සිඩ්නි නග­රය අසළ එක් ගින්නක් මායිමේ ජනා­වා­ස­ව­ලට තර්ජ­නා­ත්ම­කව ඇවි­ලෙ­මින් පව­තියි. වඩාත් බර­ප­තළ තත්ව­යක් පව­තින්නේ නිව් සවුත් වේල්සයේ දකුණු වෙරළ, කැන්බරා අවට කඳු­කර පෙදෙස් සහ වික්ටෝ­රි­යාවේ නැගෙ­න­හිර කෙළ­ව­රයි. එසේම දකුණු ඕස්ට්‍රේ­ලි­යාවේ ඇඩි­ලේඩ් අවට සහ කැන්ගරු දූපත තුල ද ගින්න වේගව්ත්ව පැතිරේ.

පෙර සඳ­හන් කළ පරිදි ප්‍රධාන නාග­රික ප්‍රදේ­ශ­ව­ලට ගින්නෙන් වන බල­පෑම අවම වන අතර ඕස්ට්‍රේ­ලි­යාවේ ජන ජීවි­තය මෙම­ගින් බිඳ වැටී නැත. ඒ නිසාම ගින්නට හිමි වන්නේ තර­මක අඩු අව­ධා­න­යකි. ඇත්ත­ටම දුමෙන් වන හිරි­හැ­රය නොව­න්නට නාග­රික ජනයා ගින්න ගැන දැන ගන්නේ මාධ්‍ය තුළින් පමණි.

සඳුදා සිට කඩින් කඩ ඇති­වන වැස්සෙන් ගින්නට බාධා වුවද මේ මහා ගිනි ජාලාව නිවා­ල­න්නට ඒ වැස්ස අස­මත්ය. ගින්න නිව­න්නට සමත් මට්ටමේ මෝස­ම්වැසි ප්‍රමාද වී හෝ ඕස්ට්‍රේ­ලි­යාවේ වෙනත් පෙදෙස් කරා පැමිණ තිබේ. ඒ වැසි ගිනි ගන්නා දකුණු හා නැගෙ­න­හිර පෙදෙස් කරා පැමිණේ දැයි දන්නේ නැත. අඩුම ගණනේ ඊට මාස කීප­ය­ක්වත් ගත­වන බව කාළ­ගුණ වාර්තා සද­හන් කරයි.

Comments