අලුතින් හැදුණු කාපට් පාරවල් හාරන්න වීමේ කරුමය | සිළුමිණ

අලුතින් හැදුණු කාපට් පාරවල් හාරන්න වීමේ කරුමය

ජාතික හා ප්‍රාදේ­ශීය වශ­යෙන් සිදු කෙරෙන සංව­ර්ධන ක්‍රියා­ව­ලි­යේදී මහා මාර්ග දෙපස කැණීම් සිදු කිරීම නිර­න්ත­ර­යෙන් දකි­න්නට ලැබෙන සුලබ දසු­නකි. මේ කැණීම් හේතු­වෙන් මාර්ග දෙපස සැක­සෙන ගැඹුරු වළ­වල් නිසා දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ මහ­ජ­න­යාට සිදු වූ හා සිදු වන අන­තුරු පිළි­බඳ වාර්තා වූ වාර අන­න්තය. වර්ත­මා­නයේ ජන­ග­හ­නයේ වැඩි­වී­මත් සමඟ විවිධ පහ­සු­කම් සඳහා ඇති ඉල්ලු­මද වැඩි වී ඇත. ඒ උදෙසා ක්‍රියා­ත්මක වන සංව­ර්ධන ව්‍යාපෘති බහු­ලව දන්නට ලැබේ. ජල ව්‍යාපෘති, දුර­ක­තන ව්‍යාපෘති, විදුලි බල ව්‍යාපෘති සඳහා මහා පරි­මා­ණයේ වළ­වල් හාරා ඒවා වට­කොට ඉටි­කොළ යොදූ ස්ථාන කොතෙ­කුත් අපට හමු වේ.

 

මෙහි ඇති අනා­ර­ක්ෂිත බව නිසා ජන­තා­වට මුහුණ පාන්නට සිදු වන අන­තුරු බොහෝය. මහා­මාර්ග දෙපස හාරා ඒවා පෙර තිබූ පරිදි නිය­මිත ප්‍රමි­ති­යෙන් යුතුව යථා තත්ත්ව­යට පත් නොකි­රී­මෙන් මහා මාර්ගයේ ගමන් කරන ජන­තාව පම­ණක් නොව රථ­වා­හන පවා අන­තු­රට පත් වෙති.

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් මහා­මාර්ග අන­තුරු පිළි­බඳ පර්යේ­ෂ­ක­යකු වන පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු අංශ ප්‍රධානී ආචාර්ය ජය­ලත් එදි­රි­සිංහ මහතා පවසා සිටියේ මහා මාර්ගයේ සිදු වන අන­තුරු හත­ළි­ස්දා­හක් පමණ වාර්ෂි­කව පොලී­සි­යට වාර්තා වන බවයි. ඒ අතු­රින් වස­ර­කට පුද්ග­ල­යන් තුන්ද­හස් දෙසී­යක් පමණ මිය යන බවත්, දහ­ද­හ­සක පමණ පිරි­සක් බර­ප­තළ තුවාල ලබන බවත්ය. ඒ අතර මාර්ගයේ ඇති අනා­ර­ක්ෂිත කඩ­තොලු, වළ­වල් මෙන්ම කැණීම් කළ ස්ථාන­ව­ලින් සිදු වූ අන­තුරු ප්‍රමා­ණය ඉල­ක්කම් වශ­යෙන් ගණ­නය කර නැති වුවත් ඒවා­යේද යම් ප්‍රති­ශ­ත­යක් මාර්ග අන­තු­රු­ව­ලට හේතු විය හැකි බව ඔහුගේ අද­හ­සයි.

මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ කමල් අම­ර­වීර මහ­තා­ගෙන් මේ පිළි­බඳ අප විමසා සිටි අව­ස්ථාවේ ඔහු පැවැ­සූයේ මහා මාර්ග කැණීම් සියල්ල තාක්ෂ­ණය භාවි­ත­යෙන් සිදු වන නිසා පෙර මෙන් මහා­මා­ර්ග­ව­ලට විශාල වශ­යෙන් හානි සිදු නොවන බවත් ඒ හේතු­වෙන් මහ­මඟ යන්නන්ට සිදු වන අන­තුරු අවම වී ඇති බවත්ය. වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඔහු පව­සන්නේ:

“මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යෙන්, පළාත් මාර්ග අධි­කා­රි­යෙන්, නගර සභා, ප්‍රාදේ­ශීය සභා මඟින් ලංකාවේ මාර්ග නඩත්තු කට­යුතු සිදු­වෙ­නවා. මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යට මූලික වශ­යෙන් කි.මී. 12,450ක් පමණ වන ජාතික මාර්ග පද්ධ­තිය අයත්. එය ඒ පන්තිය, බී පන්තිය ලෙස වර්ග කරන්න පුළු­වන්. මේ ජාතික මාර්ග පද්ධ­ති­යට විශාල පාලම් 4,800ක් පමණ අයත් වෙනවා. ඒවා නඩත්තු කිරීම වගේම කි.මී. 300කට ආසන්න අධි­වේගී මාර්ග පද්ධ­තිය නඩත්තු කිරි­මත් අප යටතේ සිදු වනවා. ඒවායේ නඩත්තු කට­යුතු,

මුදල් අය කිරීම් සියල්ල අපේ ප්‍රාදේ­ශීය කාර්යාල මඟින් සිදු කෙරෙ­නවා. මාර්ග සල­කුණු යෙදීම, මාර්ග දෙපස පිරි­සුදු කිරීම්, මාර්ග අවට කැළ­යක එළි­පෙ­හෙළ කිරීම නිති­පතා කළ යුතු දේවල්. මාර්ගයේ කැඩුණු තැන් පිළි­ස­කර කිරීම්, වළ­වල් වැසීම අප සිදු කර­නවා.“

දැනට ජාතික මාර්ග­වල පව­තින මාර්ග තලය ඉතා හොඳ තත්ත්වයේ පව­තින බවත්, මාර්ග­යක ප්‍රති­සං­ස්ක­ර­ණය සිදු කරන්නේ නිශ්චිත කාල­යක් උදෙසා වන අතර ඒ කාලය ඉකුත් වූ පසු නැවත අලු­ත්වැ­ඩියා කට­යුතු සිදු කරන්න බවත් අම­ර­වීර මහතා පව­සයි.

“සම­හර අව­ස්ථා­වල තනා නිම කළ පාර­වල් ජල­ස­ම්පා­දන මණ්ඩ­ල­යෙන් හෝ ටෙලි­කොම් ආය­ත­න­යෙන් සංව­ර්ධන කට­යුතු සඳහා කඩා­ද­ම­නවා. නැවත ඒවා ඔවුන් අතින් පිළි­ස­කර කෙරෙන්නේ තිබූ ප්‍රමි­ති­යෙන්ම නොවන්න පුළු­වන්. මේ කැණීම් සිදු කරන්නේ අව­ස­ර­යක් ලබා­ගෙන.

ඒ කඩන මාර්ග සඳහා ඔවුන් අපට ගෙවී­මක් සිදු කර­නවා. නව ජල නළ ව්‍යාපෘ­ති­යක් ආවොත් එය අපේ තියෙන මාර්ග ගොඩ­නැ­ගීමේ ව්‍යාපෘ­ති­යක් ඉවර කළ වහාම වෙන්නත් පුළු­වන්. එවිට මිලි­යන ගණ­නක් විය­දම් කර­මින් සැකසූ මාර්ගය කඩා ජල නළ එළීම සඳහා ඉඩ දෙන්න සිදු වෙනවා. ඇත්ත­ටම එයට හේතුව ඒ අයගේ ව්‍යාපෘති වෙනම සිදු­වී­මත් අපේ ව්‍යාපෘති වෙනම සිදු­වී­මත්. විවිධ කාල­ව­ක­වා­නු­ව­ලයි මේ ව්‍යාපෘති ක්‍රියා­ත්මක වෙන්නේ. ජල ව්‍යාපෘ­ති­යක් ආවොත් අපට අනි­වා­ර්ය­යෙන් එයට අව­සර දෙන්න සිදු වනවා. මන්ද: එය මහ­ජන අව­ශ්‍ය­තා­වක් නිසා,“ ඔහු පව­සයි.

“මේ අතර සම­හර විට මහා මාර්ගයේ යටින් යන නළ­යක් පුපුරා ගිය හොත් එයට අව­සර දුන්නත් නොදු­න්නත් එය කපා නැවත සකස් කරන්න සිදු වනවා. ජල ව්‍යාපෘ­ති­යක් ආවොත් අප උප­රිම සම්බ­න්ධී­ක­ර­ණය කරලා මාර්ග­ව­ලට අවම හානි­යක් වන පරිදි ගිවි­සු­මක් අනුව ඒ කට­යුතු සිදු කර­නවා. ඒ වගේම අප මහ­ජ­න­තා­වත් දැනු­ම්වත් කර­නවා කැණී­ම්ව­ලදී ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න පිළි­බඳ.

“ඒත් සම­හර අව­ස්ථා­වල යළි පිළි­ස­කර කිරීම් සිදු වෙද්දී මේවා උල්ලං­ඝ­නය වන අවස්ථා තිබෙන්න පුළු­වන්. අන­තුරු සඳහා මාර්ගය දායක නොවන ලෙස අධී­ක්ෂ­ණ­යක් ඇති­වයි අප වැඩ කරන්නේ.

ඒ වගේම අපේ ප්‍රාදේ­ශීය කාර්යා­ල­ව­ලට මාර්ග පිළි­බඳ ඕනෑම යෝජ­නා­වක් චෝද­නා­වක් තිබෙ­නවා නම් යොමු කළ හැකියි. මේ වන විට අපේ තිබෙන මාර්ග­වල සියලු දත්ත එක් රැස් කොට තිබෙ­නවා. ඒවා අනුව අප තීර­ණය කර­නවා ක්‍රමා­නු­කූ­ලව ලැබෙන ප්‍රති­පා­දන මත වාර්ෂික වැඩ­ස­ට­හන් සකස් කර ප්‍රමු­ඛ­ත්වය අනුව මාර්ග ප්‍රති­සං­ස්ක­ර­ණය කරන්න.“

ජල­ස­ම්පා­දන මණ්ඩ­ල­යද මහා­මා­ර්ගයේ කැණීම් සිදු කරන ආය­තන අතු­රින් ඉදි­රි­යෙන්ම සිටින ආය­ත­න­යකි. ජල ව්‍යාපෘති සඳහා ඔවුන් නිර­න්ත­ර­යෙන් මාර්ග දෙපස කැණීම් සිදු කරන ආකා­රය දක්නට ලැබේ. මේ ජල සංව­ර්ධන ව්‍යාපෘති පිළි­බඳ මෙන්ම මේ සඳහා සිදු කෙරෙන කැණීම් නිසා සිදු වන මාර්ග අව­හි­රතා, අන­තුරු අවම කර­ගත හැක්කේ කෙසේද යන්න පිළි­බ­ඳ­වත් ජල­ස­ම්පා­දන මණ්ඩ­ලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අබ්දුල් රසීඩ් මහ­තා­ගෙන් විමසා බල­න්නට අපි කට­යුතු කළෙමු.

“සංව­ර්ධිත රට­වල නම් පුළුල් කරන ලද මාර්ග­වල ව්‍යාපෘති දියත් කිරීම සඳහා ‘සර්විස් කොරිඩෝ‘ (සේවා මංතී­රුව) නමින් වෙනම තීරු­වක් වෙන් කර තිබෙ­නවා. ඒත් ලංකාවේ එහෙම තත්ත්ව­යක් නැහැ. පාර අයිනේ තමයි සියලු නල පද්ධති යොදා තිබෙන්නේ. එනිසා අනි­වා­ර්යෙන්ම ව්‍යාපෘ­ති­ව­ලදී පාර කැණිම් කළ යුතු වෙනවා.

ඒ වගේම නැවත ඒ පාර පිළි­ස­කර කළ යුත්තේද අදාළ ආය­ත­න­ය­මයි කියා නීති­යක්ද තිබෙ­නවා. මේ නිසා අප වගේ ආය­ත­න­යක් පාරේ කැණීම් කළ විට එය නැවත යථා තත්ත්ව­යට පත් කළ යුතු වන්නේ අප­මයි. අපට විශේ­ෂඥ පුහු­ණුව තිබෙන්නේ ජල නල තාක්ෂ­ණය පිළි­බ­ඳව මිසක්, පාර­වල් සැක­සීම් පිළි­බඳ තාක්ෂ­ණය අප සතුව නැහැ. එනිසා අපට සිදු වන්නේ කාට හෝ ආය­ත­න­ය­කට පාර හැදීමේ කොන්ත්‍රා­ත්තුව භාර දීමයි. එහිදී එය සාර්ථ­කව සිදු වන­වාද කියන්න බැහැ.

මේ නිසා මේ මාර්ග පිළි­බඳ වග­කිව යුතු ආය­ත­නය ඊට මැදි­හත් වීම අව­ශ්‍යයි. මේ වන විට අපේ අමා­ත්‍යාං­ශයේ නව ලේක­ම්තුමා මේ ගැන විශේ­ෂ­යෙන් දැකලා ඒ පිළි­බඳ කට­යුතු කර­නවා. තවම ඒ ගැන තීර­ණ­යක් ගෙන නැහැ.

“මේ දින­වල ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ණය ආධාර මත කොළඹ අවට විශේෂ ජල ව්‍යාපෘ­ති­යක් ක්‍රියා­ත්ම­කයි. ජලය සැප­යීම මෙන්ම අප­ජල පිරි­ප­හ­දුව, නව ජල නළ පද්ධ­ති­යක් ස්ථාප­නය මේ යටතේ සිදු වනවා. කි.මී. 700ක් පමණ දුර­කට නළ එළීම මෙහිදී සිදු වනවා. කොළ­ඹට ජලය සප­යන්නේ විශාල සහ කුඩා ජල නළ 17ක් මගි­නුයි. මේවා වසර 100කට වඩා පැර­ණියි.

කොළඹ සිදු වන සංව­ර්ධ­න­යත් සමඟ මේ නළ ජලය ප්‍රමා­ණ­වත් නැහැ. ඒ නිසා නළ මාරු කළ යුතු වනවා. එනිසා කොළ­ඹට ජලය ලබා­ගැ­නී­මට විශාල ජල නළ මාර්ග දෙකක් ඒඑෆ්ඩී (ඒජන්සි ෆ්‍රන්සයි ඩිව­ලො­ප්මන්ට්) ආය­ත­නයේ ණය ආධාර මත ස්ථාපිත කිරීමේ කට­යුතු සිදු වෙමින් පව­ති­නවා. එහිදී ජන­තා­වට සල­සන ජල පහ­සු­කම් නැවැ­ත්විය නොහැ­කියි.

පැරණි ජල නළ මඟින් එසේ ජලය සප­යන අතර අලුත් ජල නළ එළා, ඒ ඔසසේ ජලය ලබා­දීමේ සංව­ර්ධන කට­යුතු මේ දින­වල පාර කැණීම් කර­මින් සිදු වනවා. කි.මී. 700ක් පමණ දුර­කට මේවා යෙදිය යුතු අතර, මේ වන විට එයින් පන්සී­යක් පමණ දුරක් නිම කොට තිබෙ­නවා,“ රසීඩ් මහතා පව­සයි. මේ ගැන වැඩි දුර­ටත් විග්‍රහ කර­මින් ඔහු පව­සන්නේ:

“මේ කැණීම් කට­යුතු සිදු කිරීම ලෙහෙසි කාර්ය­භා­ර­යක් නෙවෙයි. විදුලි ආලෝ­ක­යෙන් පාර ගැඹු­රට හාරද්දී මීට වසර ගණ­න­කට ඉහත යෙදු විවිධ නළ පද්ධති හමු වනවා. ඒවා කිසිදු ආකා­ර­යක පිළි­වෙ­ළක් ඇතිව හෝ සැලැ­සු­මක් ඇතිව යෙදූ බවක් දකින්න නැහැ. ඒ අතර විදු­ලිය, දුර­ක­තන රැහැන් මෙන්ම ජලය ගෙන යන නළ මාර්ගද තිබෙ­නවා. යම් හෙය­කින් ඒවා එකක් හෝ කැපී ගිය හොත් යළි පිළි­ස­කර කිරී­මට සිදු වනවා. ඒ සියල්ල වෙනු­වෙන් වැය වන්නේ මහ­ජන මුදල්.“

“මේ වන විට එයට පිළි­ය­මක් ලෙස නව තාක්ෂ­ණය පාර කැණීම් කට­යුතු හා නළ එළි­මේදී යොදා­ගෙන තිබෙ­නවා. අප ජල නළ එළද්දී පො‍ළොව යට තිබෙන නළ සම්බන්ධ නිවැ­රදි තොර­තුරු අප සතුව වත්, නගර සභාවේ වත්, විදු­ලි­බල මණ්ඩලේ වත්, ටෙලි­කොම් ආය­ත­නයේ වත් සට­හන් වී නැහැ. මේ නිසා අප ගොඩක් අප­හ­සු­තා­වට පත් වුණා. ඉතා පරි­ස්ස­මට පොළොව කැණීම් කර­ලාම තමයි ජල නළ එළන්න තැනක් හොයා­ගන්නේ. සෑහෙන කාල­යක් මෙයට ගත වෙනවා. මේ කැණීම් කාල­යක් තිබෙන නිසා එත­නදී ජන­තා­වට යම් ආකා­ර­යක අප­හ­සු­තා­වට පත් වන්න පුළු­වන්. සම­හර දව­ස්ව­ලට හාරපු වළ­වල් ඉවර කර­ගන්න බැරි වුණාම තාව­කා­ලි­කව වසා යනවා. ඊළඟ දවසේ රෑ නැවත එය හාර­නවා. මේ වගේ ප්‍රශ්න ඇති වනවා. දැන් අප අලු­තෙන් යොදන නව ජල නළ පද්ධ­ති­යට නව තාක්ෂ­ණය යොදා­ගෙන තිබෙ­නවා. ඉදි­රි­යේදී එහි යම් ගැටලු මතු වුණොත් තාක්ෂ­ණය ඔස්සේ අදාළ ස්ථානය හොයා­ගෙන එය පිළි­ස­කර කිරී­මට හැකි­යාව තිබෙ­නවා. එනිසා පාර­වල් හාරා­ගෙන දඟ­ලන්න අවශ්‍ය වන්නේ නැහැ. අපේ පයිප්ප තිබෙන ස්ථාන­වල සහ අපට කැණී­ම්ව­ලදී හමු වන අනෙ­කුත් නළ පද්ධති සියල්ලේ වාර්තා තබා­ග­න්නවා. ජීපී­එස් හා ජීඅ­යි­එස් තාක්ෂ­ණය ඔස්සේ එය සිදු කර­නවා. මේ නිසා ඉදි­රි­යේදී පාර දෙපස යළි යළිත් කැණීම අවම වනවා.

“උදා­හ­ර­ණ­යක් විදි­හට කොළඹ අප කලාප 80කට කඩ­නවා. ඒ අනුව එක එක කලා­පය තුළ සිදු වන නළ එළීම් වෙන වෙනම සට­හන් වෙනවා. ඒ අනුව ඉදි­රි­යේදී ඒවායේ නඩත්තු කට­යුතු ඉතා පහ­සු­වෙන් සිදු කරන්න පුළු­වන්. නළ­යක් කැඩුණා නම් ඒ අදාළ ස්ථානය ඉතා ඉක්ම­නින් සොයා­ගෙන පිළි­යම් යොදන්න පුළු­වන්. අතී­තයේ එහෙම පුළු­ව­න්ක­මක් තිබුණෙ නැහැ. නළයේ තැනක් කැඩුණා නම් එය හමු වන තුරු පාර කණින්න සිදු වුණා.

“අප උත්සාහ කළා සංව­ර්ධිත රට­වල මෙන් මේ ව්‍යාපෘති කට­යුතු සඳහා පාරේ මං තීරු­වක් වෙන් කර­ගන්න. මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යෙ­නුත් උත්සාහ කළා. ඒත් එය හිතන තරම් පහසු නැහැ. ගම් ප්‍රදේ­ශ­වල නම් දැන් මං තීරු­වක් වෙන් වනවා. එහෙත් කොළඹ එය අප­හ­සුයි. මෙය නගර සංව­ර්ධ­නය කරන කාල­යේ­දීම කරන්න තිබූ වැඩ කොට­සක්. මින් ඉදි­රි­යට සිදු වන සංව­ර්ධන ව්‍යාපෘ­ති­ව­ලදී ඒ සඳහා මනා සැල­සු­මක් දියත් වනවා නම් මාර්ග කැණී­ම්ව­ලදී සිදු වන අන­තුරු අවම කර­ගන්න පුළු­වන්. ඒ වගේම මහ­මඟ යන-එන ජන­තා­වගේ සහ­යෝ­ගය වගේම සුප­රි­ක්ෂා­කාරී බවත් අති­ශය වැද­ගත්...“

මේ අනුව ඉදි­රි­යේදී මේ මාර්ග හානි සහ ඒ හේතු­වෙන් සිදු වන අන­තුරු අවම වී නිද­හසේ මහා මාර්ගයේ යා හැකි කලක් උදා වනු ඇතැයි අපි බලා­පො­රොත්තු දල්වා­ගෙන සිටිමු.

Comments