මගේ ජීවිතේ මුල් තැන ඔහුට | සිළුමිණ

මගේ ජීවිතේ මුල් තැන ඔහුට

ෆාතිමා නස්රීන්... ලාංකේය ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නේ ස්වර්ණවාහිනි [email protected] ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අපූරුවට සිංහල බස හසුරුවමින් ප්‍රවෘත්ති කියන මුස්ලිම් කෙල්ල ලෙසයි.. කවුරුත් ආදරය කරන ෆාතිමාගේ ජීවිතයේ සුවිශේෂි දවස පසුගිය දා එළැඹුණා. ඒ ඇගේ විවාහ ගිවිස ගැනීමයි. ෆාතිමාගේ අත ගත්තේ ද ස්වර්ණවාහිනි [email protected] ප්‍රවෘත්ති අංශයේම නිවේදකයෙක්. ඔහු මධුෂාන් ද සිල්වායි. ජීවිතයේ නව ඇරැඹුම ගැන කතා කරන්න පසුගියදා ෆාතිමා සහ මධුෂාන් රසඳුනට ගොඩ වුණා.

 

ෆාතිමාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුණා නේද?

 

ඔව්. පසුගිය දවසක අපේ විවාහ ගිවිස ගැනීම සිදු වුණා. ගොඩක් අය හිතුවේ අපේ විවාහ උත්සවය තිබුණා කියලයි. මේ ඇරැඹුම ගැන හරිම සතුටක් දැනෙනවා. මේ වසරේම විවාහ උත්සවය ගන්නත් බලාපොරොත්තුවක් තිබුණට තවම ලොකු සැලැසුමක් නැහැ.

 

කැමැතිම ක්ෂේත්‍රයේම ඔබේ සහකරුවත් ලැබීම දෛවෝපගතයි නේද?

 

ඔහුව මුණගැසෙන්නෙත් ස්වර්ණවාහිනියෙන්. මුල් කාලීනව අපි හොඳ යාළුවෝ.. ඒ යාළුකම දන්නේම නැතිව දැන් වසර දෙකහාමාරකට කලින් ප්‍රේමයකට පෙරලුණා. ඇත්තටම අපි එකම ක්ෂේත්‍රයක නියැලීමත් වාසනාවක්. කතාවට කියනවා නේ එකම ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් බඳින්න එපා කියලා. නමුත් එහෙම දෙන්නෙක් අතර බැඳීමක් ඇති වුණහම තේරුම් ගැනීම හරිම පහසුයි. ඒ නිසා අප අතර ප්‍රශ්න ඇති වෙනවා අඩුයි. කොහාමත් වෘත්තිමය ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි අපි පටලවා ගන්නේ් නෑ.

 

මධුෂාන්ට හිත යන්න තරම් ඔබ ඔහුගේ දුටු විශේෂත්ව?

 

ඔහුට නැත්නම් නැහැ, තියෙනවා නම් තියෙනවා කියනවා. ඔහු හරිම අවංකයි. හොඳ ගුණාංග ගොඩක් තියෙනවා. හැබැයි හරි ඉක්මනින් තරහා යනවා. හරිම ආඩම්බර කමකුත් තියෙනවා.

 

මධුෂාටත් ෆාතිමා ගැන කියන්න

බොහොමයක් දේවල් ඇති?

 

ෆාතිමා කිව්වා වගේ මට හරි ඉක්මනින් තරහ යන කෙනෙක්. ඒ තරහ පාලනය කරන්න කැත්තට පොල්ල වගේ ඉන්න කෙනෙක්ට බැහැ. නමුත් ෆාතිමා මගේ තරහා හරි අපූරුවට බැලන්ස් කරන්න දන්නවා. ඇගේ බොරු ආටෝප නැහැ. මට ඇය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. කිසිම අවස්ථාවක ඇය ඒ විශ්වාසය නැති වෙන විදිහට කටයුතු කරලා නැහැ. එය මගේ මනසටත් ඔළුවටත් හරිම නිදහසක්.

 

මේ ආදර කතාවටත් ඕනෑ තරම් බාධා එන්න ඇති?

 

බාධා නම් ගොඩක් ආවා. ගෙවල්වලින් සාම්ප්‍රදායික ප්‍රශ්න මතු වුණා. මුල් දවස්වල දෙපැත්තෙන්ම කැමැත්ත ගන්නත් ටිකක් අමාරු වුණා. අදහස් හුවමාරු කරගත්තම නම් පවුල් දෙකෙන්ම ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට ආපූ ප්‍රශ්නවලදිත් එකිනෙකා කෙරෙහි තිබුණු විශ්වාසය සහ අවබෝධය නිසයි ඒ සියලු දේ විසඳගන්න පුළුවන් වුණේ. හැම දේකදීම හොඳ වගේම නරක දකින මිනිස්සුත් ඉන්නවා. ඉතින් අපිටත් එවැනි විවේචන තිබුණා. හැබැයි අනෙක් අයගේ ප්‍රශ්න කිසිම වෙලාවක අපේ සම්බන්ධෙට ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ.

 

විවාහයෙන් පස්සේ එකිනෙකාට තහංචි පැනවෙයිද?

 

කීයටවත් එහෙම හිතන්නේ නැහැ. මධුෂාන් ආදරේ කළේ මේ ෆාතිමාටනේ.. මගෙනුත් මධුෂාන්ට කිසිම බලපෑමක් ඇති වෙන එකකුත් නැහැ. අපි ජාතිය ආගම වැනි කාරණාවලදී අන්තවාදිව හිතන දෙන්නෙක් නෙමෙයි. අපි ඉදිරියේදි එකට පන්සල් යයි. මගේ ආගමික වැඩකටයුතු වලටත් ඔහු සම්බන්ධ වෙයි. අපේ වැඩිහිටයන්ගෙුනත් අපිට එහෙම කිසිදු තහංචියක් පැනවෙන එකක් නැහැ. අපේ පවුල්වල අයට මුලින්ම තිබුණේ අපේ වයස් පරතරය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ඔවුනුත් ජාතිය ආගම කියන දේ ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.

 

ෆාතිමා කොහොමද මෙතරම් විවෘතව හිතන්න පුරුදු වුණේ?

 

මගේ පවුල් පසුබිම, හැදි වැඩුණු පරිසරය හා මිතුරු මිතුරියන් අනිවාර්යයෙන් බලපාන්න ඇති. මම පාසල් ගියේ කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකාවට. අපේ පාසලේ හැම ජාතියකම හැම ආගමකම සිසුවියන් හිටියා. ඒ හැම කෙනෙක්වම මම ආශ්‍රය කළා. පවුලෙනුත් අනෙක් මුස්ලිම් ගැහැනු දරුවන්ට සාපේක්ෂව මට උපරිම නිදහසක් ලැබුණා. ඒ සියල්ල නිසාම වෙන්න ඇති හරිම සමාජශිලි බොහොම ස්වාධීන කෙනෙක් විදිහට මට නිදහසේ හැදෙන්න පුළුවන් වුණේ.

 

ඔබ දෙපළගේ ඉදිරි ජීවිතය කොහොම සැලසුම් වේවිද?

 

මොන දේ වුණත් මුල් තැන හිමි වෙන්නේ පවුල් ජීවිතයට. මගේ ජීවිතේ අංක එක මධුෂාන්. ඔහුටත් එහෙමයි.

 

ෆාතිමා - මධුෂාන්ගේ ඉදිරි සැලැසුම්?

 

මධුෂාන් - මම ප්‍රවෘත්ති නිවේදනයට ඇවිත් අවුරුදු දහයක්. ඉදිරියටත් මාධ්‍යවේදියෙක් ලෙස පවතින්න අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ගොඩනඟා ගනිමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා.

ෆාතිමා - මම මේ වෘත්තියේ නියැළෙන්නේ හරිම ආදරෙන්. අපි දෙන්නාගේ තිබෙන්නේ තවම ස්ථාවර වෙමින් යන ගමනක්. ඒ දේවල් එක්ක දෙන්නටම ස්ථිර ආදායම් මාර්ගයක් තිබිය යුතු නිසා තවම එක තැනක රැඳිලා ඉන්නේ. ඉදිරියේදී සමහරවිට ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. 

 

Comments