කලා­ක­රු­ව­කුට ජීවි­තයේ සැඳෑ සම­යක් නැහැ | සිළුමිණ

කලා­ක­රු­ව­කුට ජීවි­තයේ සැඳෑ සම­යක් නැහැ

අර්නස්ට් වඩුගේ කියන්නේ පත්තර ලෝකයේ දැවැන්තයෙක්. ජනවාරි 13 දාට ඔහු‍ගේ උපන්දිනය යෙදෙනවා. ඒ වුණාට ඔහු වයස කියන්න මනාප නැහැ. කලාකරුවකුගේ වයස මිනිය යුත්තේ ඔහුගේ ජන්ම පත්‍රය අනුව නෙමෙයි කියලයි මේ පරිණත මාධ්‍යවේදියා පවසන්නේ.

“කලාකරුවෙක් කවදාවත් වියපත් වෙන්නේ නැහැ. වියපත් වුණොත් ඒ නිර්මාණය පමණයි ලියන්න වෙන්නේ. කලාකරුවකුට ජීවිතයේ සැඳෑ සමයක් නැහැ. හැමදාමත් යෞවනයෙක් විය යුතුයි. කිසියම් කලාකරුවෙක් හෝ කලාකාරියකගේ නිර්මාණ තුළින් ඔහුගේ ‍හෝ ඇයගේ සැබෑ වයස දැකිය හැකියි. මගේ අලුත් නිර්මාණය ‘රාහුල්’ බලලා මගේ වයස කීයද කියලා මට කියන්න”.

ඒ අතර දුර ඈත අතීතයකට සිතින් පියමං කරලා ඔහු ආ ගමන් මග මෙහෙම ආවර්ජනය කරන්නේ හරිම සතුටින්...

“අති සුන්දර මාධ්‍ය කලා ජීවිතයක් මටත් තිබුණා. මාධ්‍යවේදින් හැම කෙනෙකුගෙම අඩුලුහුඬුකම් නැතිවා නොවේ. මගෙත් අඩුපාඩු තියනවා. ඒත් මම නිතරම බැලු‍වේ ඕනෑම කෙනෙකුගේ හොඳ පැත්ත ඉස්මතු කරන්නයි. ඒ කාලේ මට වාසනාව ලැබුණා රුක්මණීදේවි, එඩි ජයමාන්න පවා ඇසුරු කරන්න. අනුෂා චිත්‍රපටය තමයි මගේ මුල්ම තිර රචනය. මම ඒකේ සහාය අධ්‍යක්ෂක. ප්‍රධාන චරිතය රුක්මණී දේවී. අධ්‍යක්ෂකවරයා මට පැවරුවේ දෙබස් පුහුණු කරන්න ඇයට. ඉස්සර චිත්‍රපටවල එහෙම දෙබස්වලටත් තැනක් දුන්නා. ඒ කාලේ මම ලේක්හවුස්, සරසවිය පුවත්පතේ විශේෂාංග ලේඛකයෙක්. රුක්මණී දේවිට, (ඩේසි අක්කට) දෙබස් පුහුණු කරන්න ගියාම මගේ අත වෙව්ලුවා.

ඒක දැකලා ඩේසි අක්කා මට මෙහෙම කිව්වා. “මල්ලියේ මෙතන සරසවියේ අර්නස්ට් වඩුගේවත්, නිළි රැජන රුක්මණී දේවිවත් නැහැ. ඔයා අධ්‍යක්ෂ, මම ප්‍රධාන නිළිය ඔයාගේ වගකීම ඔයා ඉටු කරන්න.” කියලා. ඇත්තටම ඇය ඒ තරමට ළෙන්ගතුයි. කැපවීමෙන් තම රාජකාරිය ඉටු කළා ඇත්තටම එවන් කැපවීම් තුළින් තමයි හොඳ නිර්මාණ බිහිවෙන්නේ.

සිනමා මාධ්‍යවේදියකු ලෙස ඔබ ළඟදී සම්මාන ලැබුවා. මාධ්‍ය කලාවට හා... හා... පුරා කියලා ආපු යුගය එහෙම මතකද?

“ගාල්ල මහින්ද විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ මගේ මුල්ම ලිපිය පළවුණේ සිළුමිණ පත්තරේ. රට රටවල මනමාලියන් තෝරන හැටි කියලා ලිපියක්. ඒ කාලේ සිළුමිණ වගේ දැවැන්ත පුවත්පතක ලිපියක් පළවෙනවා කියන්නේ කොච්චර දෙයක්ද කියනවානම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අපේ ගෙදරට වැඩියා “මහත්තයෝ හරි සතුටුයි ගාල්ලෙන් තවත් මාධ්‍යවේදියකු බිහිවෙනවා. ඔබතුමා කවදාහරි කර්තෘ කෙනෙක් වෙනවා“ කීවා. මම සිළුමිණ පත්‍ර කීපයක් අරන් ඒ ලිපිය පේන්න ගෙදර මේස උඩ තිබ්බා.

මම වෘත්තිය පත්‍ර කලා ජීවිතය ඇරඹුවේ සරසවියෙන්. විනෝදාංශයට මුලින් ලීවේ කලා පත්තරේට. කලා පත්තරේ මැද පිටුවකට ලියූ ලිපියක් අරන් මම සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා හමුවන්න ගියේ ආරියරත්න කහවිටගේ උපදෙස් මතයි. මම ලියූ සිංහල සිනමාවේ ගම්බද සුන්දරිය - පුන්‍යා හීන්දෙනිය ලිපිය දැකලා එයා ඇස් ලොකු කරලා මා දිහා බලලා නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා ළඟට කැටුව ගියා. මට සඳුදා සිට රැකියාව ලැබුණා. ඒ කාලේ කතුවරු දෙවිවරු වගේ. ලිපියකට අදාළ මාධ්‍යවේදීන්ගේ නම් පළ කරන්නේ අද හෙඩිමක් යොදන තරම් විශාල අකුරකින්.

ඒත්, අද, විද්‍යත් මාධ්‍යවල ගායකයකුගේ නම කියන්නෙත් නැති තරම්. එදා එහෙම මේ වගේ තත්ත්වයක් තිබුණා නම්, අමරදේවලා, ජෝතිපාලලා බිහිවෙන්නෙත් නැහැ. මම වෘත්තිය කලා ජීවිතය ඇරඹුවේ 1965 දී මම පත්තර 10 ක ප්‍රධාන කර්තෘ කෙනෙක් ලෙස වාර්තා තැබුවා.

මාධ්‍ය ජීවිතයේ අමතක නොවන මතකයන් එහෙම ඇතිනේ...

“විජය, ජෝතිපාල මගේ සමීපතමයන්. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසාම මම ජෝතිපාලයන් ජීවත්ව සිටියදීම, ජෝතිපාල ගැන පොත් දෙකක්ම ලිව්වා. අමරණීය ජෝති කියලා ඔහුගේ ජීවිත කතාව. මෙය කොටස් ලෙස සත්සර පත්තරේ පළවුණා. සත්සර කියන්නේ ලංකාවේ මුල්ම සංගීත පුවත්පතයි. ජෝති ඔහුගේ ජීවිතයේ හැම දෙයක්ම අව්‍යාජව හෙළිකළා. ජෝති කොයිතරම් හොඳ කෙනෙක්ද කියනවානම් නිහාල් නෙල්සන් ඔහුට හදවත රත්තරන් කියලා නමක් තිබ්බා. ඇත්තටම හැම FM එකකම ජෝතිගේ ගීත නොයන දිනක් නැති තරම්.

නළු නිළියන් බොහෝමයක් බවුතීස්ම කළේ මමයි. උප්පැන්නේ තියන නම වෙනුවට කලා ලොවට ගැළපෙන නම් දැම්මා. මගේ 55 වසරක මාධ්‍ය ජීවිතයේ ලැබූ අමිල අත්දැකීම් ඇසුරෙන් රාහුල් කියලා මා ඉතා ප්‍රිය කරන නවකතාවක් ළඟදීම නිකුත් වීමත් සුවිශේෂ දෙයක්.

ඔබගේ දියණිය මදාරාත්, බෑනණු සුජීව ප්‍රසන්න ආරච්චිත් ඔබ ගිය පාරෙම දිගු ගමනක් යනවා.

“ඇත්තෙන්ම මගේ මාධ්‍ය ජීවිතයේ මා ඉතාම ආඩම්බර වෙනවා මගේ දියණිය මදාරා ගැන මම හිතාගෙන හිටියේ සිහින මැව්වේ මම නැතිකාලෙක මගේ කිරුළ මදාරා හිමිකරගනී කියලා. ඒත් මා ජීවත්ව සිටියදී පවා ඇය මහා මාධ්‍යවේදියකු ලෙස වැජඹෙන්න පටන් අරන්. නවලිය පත්තරෙන් ඇයට සම්මානයක් පවා ලැබුණා. ජනප්‍රිය නවකතාකරු සුජීව ප්‍රසන්නආරච්චි මධාරාගේ ආදරණීය සැමියත් එක්ක ඇය තවත් දිඟු ගමනක් යන බව මට විශ්වාසයි.”

මාධ්‍ය කලාවේ දැවැන්තයකු ලෙස එදා මෙදාතුර ඔහුගේ ජීවිතයට උකහාගත් බොහෝ දේ තුළින් මාධ්‍ය කලාවේ කමටහන් දෙන්න කියලා මම ඔහුගෙන් ඉල්ලා සිටියා.

“ඇත්තටම මාධ්‍ය ආයතනවලට කුමක් හෝ ගැටලුවක් ආවොත් මගෙන් විමසනවා තොරතුරු නිවැරදිව සපයන්න හැකි මගේ සමකාලීනයන් බොහොමයක් අද ජීවතුන් අතර නැහැනේ. මේ මාධ්‍ය කලාව කියන්නේ රටක් පාලනය කරනවා වගේ බැරෑරුම් දෙයක්. සමහරු ළඟ තියෙන්නේ ෂේප් වෙන මාධ්‍ය කලාවක්. තවත් සමහරු මුදලට යටවෙනවා. තවත් සමහරු මේ වෘත්තිය සැහැල්ලුවට හිතනවා. එහෙම අයට නම් ඉදිරි ගමනක් නැහැ. මම රස ප්‍රකාශන කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ වෙලා ඉද්දී බිරිඳ පත්තරේට අලුතින් මාධ්‍යවේදීන් ගන්න දැන්වීමක් දැම්මා. ඉල්ලුම්පත් 10000ක් ආවා.

ඒ අතර ගාල්ලේ ළමයෙක් ආවා. උසස් පෙළ සමත් වූ. මම ඇහුවා එයාගෙන් කොයි වගේ කෙනෙක් වෙන්නද බලාපොරොත්තු වෙන්නෙ කියලා. එයා කිව්වා සර් වගේ තනතුරක් දරන්න මට පුළුවන් කියලා. ඒ වන විට ලියලා තිබුණෙත් නිසදැස් කවි 2ක් පමණයි. මෙවන් තැනකට එන්න. කොපමණ කාලයක් කොපමණ කැපවීමක් කළ යුතුද කියලා එයාට හැඟීමක් තිබුණේ නැහැ. මාධ්‍ය කලාව නිරත වෙන්න නම් කැපවීම, උත්සාහය වගේම යහපත් මානුෂීක ගුණධර්මත් ඉහළින්ම පිහිටා තිබිය යුතුයි. නිහතමානී බව, අන් අයව අගය කිරීම, විශේෂයෙන් මනුෂ්‍යත්වය තිබිය යුතුමයි. බොහෝ කුසලතා සපිරි අය ඉන්නවා. ඒත් නිසි අවබෝධයක් නැහැ. කරුණු කාරණා හැම එකක් ගැනම පරිණත බව, කියවීම අත්‍යවශ්‍යයයි. ජනමාධ්‍යවේදියා දැනුමින් සන්නද්ධ නොවුණොත් ජයක් ලබන්නේ කොහොමද?

ඒ කාලේ එක වාක්‍යයක් පිටු දෙකක් තුනක් දක්වා දික්කළත් නිවී සැනසිල්ලේ කියවා රසවිඳින්න කියවන්නත් පිරිසක් හිටියා. නමුත්, වර්තමාන කාර්යබහුල ලෝකයත් සමඟ මිනිසුන්ට කියවන්න වෙලාව හුඟාක් අඩුවෙලා. ඒ නිසා රසවත් කෙටි වාක්‍ය යොදාගත යුතුයි. පෙර සූදානමත් බොහෝ වැදගත්.

වෘත්තීය මාධ්‍ය ජීවිතයට මා කෙළින්ම සම්බන්ධ නොවුණත් මිය යන තුරාවටම මාධ්‍ය ලෝකයේ නවකතා ලෝකයේ සැරිසැරීම ජීවත්වීම තමයි මගේ ඒකායන අරමුණ වෙන්නේ. ඒ මඟින් මා ලබන්නේ නිරාමිස සුවයක්...”

ඒ සත් අරමුණු ඉටු කරලීමට අපිද ඔහුට දීර්ඝායුෂ පතමු. 

 
 

Comments