මිතුරුකම් පසෙක ලූ හතුරු | සිළුමිණ

මිතුරුකම් පසෙක ලූ හතුරු

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇමෙරිකානු ඩොලර් මිලියන පහක වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. ඒ සිය කොන්ත්‍රාත් කාලය සම්ප‍ූර්ණවීමට පෙර අවසන් කරමින් සිය කීර්තිනාමයට අපහාස කලා යැයි සඳහන් කරමින් ය. මේ චෝදනාවට අදාළ පරීක්ෂණය ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙයි. මෙකී ගැටලුවට අදාළ නීතිමය කටයුතු හතුරුගේ නීතිඥයන්ගේ මාර්ගයෙන් සිදුවෙයි. හතුරු මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි වාසය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කරන්නේ හතුරුසිංහ මෙවැනි වන්දි මුදලක් ඉල්ලා සිටින බව තමන් මුල සිටම දැන ගෙන සිටි බවයි. කෙසේ වෙතත් මේ සඳහා ඇවැසි නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබට නොවන බව ද පවසයි.

 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ තවමත් හතුරසිංහට වන්දියක් ගෙවීමට සූදානම් නමුත් එකී වන්දි ප්‍රමාණය මෙතරම් විශාල නොවන බවයි.

 

හතුරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර පැවැති කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය මීට පෙර ද සාකච්ඡා කළ නමුත් එහිදී එකඟතාවයකට පැමිණීමට නොහැකි විය. එහිදී හතුරු දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ සිය ගිවිසුමේ සඳහන් පරිදි ඉතිරි මාස 18 ක කාලය සඳහා ද ගෙවීම් ඇවැසි බවය. එකී කාලයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් හතුරුට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියනයකට ආසන්න විය. නමුත් ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ මාස හයකට අදාළව ගෙවීම් කිරීමට සූදානම් බවයි. එයට හතුරු එකඟ නොවූ අතර අනතුරුව මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත්තේ ය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2017 ජනවාරි මාසයේ දී සියලුම වරප්‍රසාද සමඟින් හතුරුව ඇමෙරිකානු ඩොලර් 40,000 ක පමණ වැටුපකට බඳවා ගත්තේ ය. කෙසේ වෙතත් හතුරුගේ කොන්ත්‍රාත්තුව අවසන් කරන විට මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් 60,000 කට ආසන්න විය. මේ වසරේ දෙසැම්බර් මාසය දක්වාම ගිවිසුම් කාලය අත්සන් කර තිබුණි.

පසුගිය වසරේ එංගලන්තයේ පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසුව එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පවසා සිටියේ හතුරුසිංහගේ සේවා කාලය සහ ගිවිසුම ගැන නැවත සලකා බලන ලෙසයි. රටවල් 10 ක් එක්වූ එකී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූයේ හයවැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව එහිදී තරග 9 කට ක්‍රීඩා කළ අතර, ඇෆ්ගනිස්තානය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරාජය කිරීමට සමත් විය. පාකිස්තානය සහ බංගලාදේශය අතර තරග වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු විය. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරග පරාජය විය.

 

‍එම ගිවිසුම පිළිබඳ හතුරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර පැවැති සාකච්ඡා දිගින් දිගටම අසාර්ථක වීම නිසා, තාවකාලිකව වැඩ බලන පුහුණුකරු වූ රුමේෂ් රත්නායක ද ඉවත් කර ඒ වෙනුවට දිගුකාලීනව මිකී ආතර් පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේ ය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අතර ප්‍රකාශ කර සිටියේ හතුරුසිංහ වෙත මාසිකව ගෙවූ ඇමෙරිකානු ඩොලර් 60,000 ක මුදලින් දැන් පුහුණුකරුවන් පස් දෙනකුගේ සේවය ලබා ගන්නා බවයි. හතුරු සමඟ සාකච්ඡාවට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය හතුරුගේ කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ ඇගැයීමක් සිදු කෙළේ ය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වශයෙන් ම හඳුනාගත්තේ දකුණු අප්‍රිකාව ඔවුන් ගේ රටේදී ටෙස්ට් තරගාවලියකදී පරාජය කිරී‍මයි. ඒ අනුව ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක්වූයේ දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් තෙවැනි රට ලෙසයි. ඊට පෙර එකී දක්ෂතාව ප්‍රදර්ශනය කර තිබුණේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාවයි.

හතුරුගේ කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ චෝදනා පත්‍රයක් ද මේ අතර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානමින් සිටියි. ඒ හතුරුට ගෙවන ලද වැටුපට සරිලන ආකාරයෙන් දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වීම සම්බන්ධවයි. මෙයට ප්‍රතිචාර දැක්වීමට ද හතුරු සූදානමින් පසුවෙයි.

 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අපකීර්තියට පත් කිරීමට එරෙහිවද ප්‍රබල චෝදනාවක් හතුරුට එරෙහිව එල්ල වී තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට එරෙහිවය. එහිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රධාන පුහුණුකරු, නායකයා මෙන් ම කණ්ඩායම් කළමනාකරුට එරෙහිව ද තරග තහනමක් පැනවීමට කටයුතු කළේ ය.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙසේ හිතුමතේ පුහුණුකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන අතර 2012 දී ජෙෆ් මාර්ෂ් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවකට ද මුහුණදීමට සිදුවිය.

 

දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වූයේ පෙරළි රැසක් ඉතිරි කරමින්ය. එංගලන්තය හාපුරා කියා ක්‍රිකට් කිරුළ දිනා ගනිද්දි නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් අනුශූරයන් විය. අවසන් මහා තරගයේ කුමාර් ධර්මසේන ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් ලෝකයේ ම අවධානය යොමු විය. මේ සියල්ල මෙසේ පෙළ ගැසෙන විට එකී තරගාවලියට එක්වූ රටවල ක්‍රිකට් පුහුණුකරුවන්ට ද දැඩි බලපෑම් එල්ල වන්නට විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහට ද ඉන් ගැලවීමක් නොවීය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරු ධුරයෙන් හතුරුව ඉවත් කර රුමේෂ් රත්නායක කටයුතු කළේ එවන් පසුබිමකය. හසල අත්දැකීම් ඇති රුමේෂ් රත්නායක මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඒ අනුව රුමේෂ්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ කටයුතු කිරීම එතරම් ගැටලුවක් නොවිය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල ‍ෙග්‍රැහැම් ෆෝඩ්ගේ ඉවත්ව යාමත් සමඟ මතු වූ ගැටලුකාරි තත්වය හතුරුගේ පැමිණීමත් සමඟ නිමා වනු ඇතැයි බොහෝ දෙනා සිතූ නමුත් එය පැවැති අර්බුද දිග්ගස්සන තැනට පත්වු බව පැහැදිලිය. ග්‍රෙහැම් ෆෝඩ්ගේ ඉවත් යාමත් සමඟ නික් පෝතාස් එකී තනතුරට පත්වූ නමුත් බලධාරින්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් මත එකී කාර්යය අවුල් වූ බව නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යාමට මත්තෙන් කළ ප්‍රකාශයෙන් පැහැදිලි විය. ඒ හා සමානම ප්‍රකාශයක් ‍ෙග්‍රැහැම් ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යාමට පෙර කල බව දනිමු. ෆෝඩ් මෙන් ම පෝතාස් ද නිරන්තරයෙන් ම අවධානය යොමු කළේ ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටින බවත් ඊට ඉහළින් එල්ලවන බලපෑම් මත තම රාජකාරිය හරියාකාරව කර ගෙන යාමට බාධාවක් වී ඇති බවය. ෆෝඩ් මෙන් ම ‍පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යාමෙන් පසු එකම ගැලවුම්කරු ලෙස පිහිටට ආවේ හතුරුය.

 

හතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් විවිධ හැල හැප්පීම් මැද ඉදිරියට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමනට තිරිංග වැටුණාම නොවේ. නමුත් වැටි වැටි නමුත් පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වූ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථක වීමත් සමඟ ම එකී තරගාවලියේ දක්ෂතා අතරට නොයාම සම්බන්ධයෙන් ද ඇඟිල්ල දිගු විය. එකී තත්ත්වය වර්ධනය වීමේ ප්‍රතිඵලය වූයේ හතුරු වෙනුවට රුමේෂ් සිංහ කිවි ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරුවා ලෙස වැඩ බාර ගැනීමය.

 

මේ අතර මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර පවතින ගිවිසුම ගැන යළිත් සලකා බැලීමක් කළ යුතු බවය. ක්‍රීඩකයන්ට කියනවා නම් තරග දිනන විදියට, 50 - 100ක්, ගහන විදියට පඩි ගෙවනවා කියලා, ඒ වගේම පුහුණුකරුටත් ගෙවීම් කෙරන්න ඕනෑ කියන එකයි මම කියන්නේ. හතුරුසිංහට මාසයකට ඩොලර් 40,000/-ක් ගෙවනවා. අමතර කිසිම දෙයක් නැතුව. මේ ඩොලර් හතළිස් දහසෙන් පන්දාහක් - දහදාහක් කවුරු හරි ගන්නවා නම් ඒකට වග කියන්නේ කවුද? එහෙම දේවල් වෙන්න බැරි නැහැනේ. මේ දේවල් හොයා බලන එක වැරැදි දැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පැවසිය. මේ අතර හිටපු අමාත්‍යවරයා පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ හතුරුසිංහ අතර ඇති ගිවිසුම සම්බන්ධයෙන් ද ගැටලු පවතින බවයි. හතුරුසිංහ ඉවත් වෙලා යනවා නම් එයාට ගෙවන්න ඕනෑ මාස තුනක වැටුප විතරයි. අපි එයාව යවනවා නම් අවුරුද්දක වැටුප් ගෙවන්න ඕනෑ. මේක පුදුම ගිවිසුම් ගැහිල්ලක්නේ. මේ ගිවිසුම ගහපු කෙනාට කවුද අවසර දුන්නේ. ඒක ‍කළේ කොහොමද? දැන් හතුරුසිංහගේ ගිවිසුම සම්බන්ධයෙන් වැඩියෙන් ම අඬන්නේ කවුද කියන එක පැහැදිලියි. ඒකෙන්ම තේරෙනවා මේ ගිවිසුම අත්සන් කළේ කවුද කියලා.

 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හතුරුසිංහට සති දෙකක කාලයක් ලබාදී ඇතැයි මිට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි. මාධ්‍ය කියන කියන විදියට අපි කාවවත් එළවන්නේ නෑ. අපි ඒ අයගේ දක්ෂතා බලලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. අපි අවුරුදු එකහමාරක කාලයක් පුහුණුකරුවාගේ දක්ෂතා දිහා බලලා තමයි මේ තීරණ අරගෙන තියෙන්නේ. තුවාලයට පිළියම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉවත් කිරීම නොවන බව අර්ජුන රණතුංග ද මිටපෙර ප්‍රකාශ කළේය. හතුරුසිංහ ගැටලුවේදී පරිපාලනය වැඩි වගකීමක් ගන්න ඕනෑ. මෙතැනදි ක්‍රීඩකයන්ටත් වගකීමක් තියෙනවා. පුහුණුකරුවාට වගේ ම පුහුණු කාර්යය මණ්ඩලයටත් වගකීමක් තියෙනවා. මේක සාමූහික වගකීමක්. පුහුණුකරුවාට විතරක් මෙතැනදි ඇඟිල්ල දිගු කරන්න බෑ. කොටින් ම මේක තුවාලයට පිළියම නොවෙයි කියන එක පිළිගන්න වෙනවා. මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ චන්දික හතුරුසිංහ අතර ඇති කරගෙන ඇති ගිවිසුම අනුව කල්පිරීමට පෙර ඉවත් කරන්නේ නම් වසරක වැටුපක් වන්දි මුදලක් ලෙස ගෙවිය යුතු බවය. 

 

මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහටත් ප්‍රශ්න තිබුණා. එතුමාගේ කකුලෙන් ඇද්දා. එතුමාට ඕනෑ විදියට වැ‍ෙඩ් කරන්න දුන්නේ නෑ. එහෙම ප්‍රශ්නයකුත් තිබුණා.

 

තමන්ට එල්ලවන චෝදනා පිළිබඳ දැන ගන්නේ ද මාධ්‍ය හරහා බව මීට පෙර ප්‍රකාශ කළ හතුරුසිංහ තමන් කටයුතු කරන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගැටලුවක් නොතිබූ බවද පවසයි. මාධ්‍යවල චෝදනා මට වලංගු නැහැ. මට වලංගු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගැටලුවක් තියෙනවා නම් විතරයි. එහෙම එකක් තියෙනවා නම් මං ඒ අය එක්ක සාකච්ඡා කරනවා.

 

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වන්නේ පෞද්ගලික ගිවිසුමක් හරහා යැයි මීට පෙර හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් සභාපතිවරයකුවු තිලංග සුමතිපාල ප්‍රකාශ කළේය. අපි ආරාධනා කරලයි හතුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් බාර දෙන්නේ. එහෙම කරලා ඉවර වෙලා එයාගේ වැටුප ගැනයි, කරන වැඩ ගැනයි ප්‍රසිද්ධියේ කතා කරන එක සම්පූර්ණයෙන් ම වැරැදියි. ඒ වැඩේ කැතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරම් පහත් මට්ටමකට වැටිලා කතා කරන එක නින්දිතයි.

 

හතුරුසිංහ බලෙන් ආවේ නෑ. එහෙම ආපු කෙනාගේ පඩිය ගැනයි, ගිවිසුම ගැනයි මාධ්‍ය ඉදිරියේ කතා කරන එක පවා ලැජ්ජාවට කරුණක්. අපි තව කෙනෙක්ව ඒ තත්වයට ඇදලා දාලා කතා කරන්න හොඳ නෑ. හතුරුසිංහ කියන්නේ අද ලෝකයේ හොඳ ම පුහුණුකරුවන් 3 - 4 දෙනා අතර ඉදිරියෙන් ම ඉන්න කෙනෙක්. බංග්ලාදේශ කණ්ඩායම උපරිමය තලයකට ගෙනාපු කාලයක තමයි අපේ ආරාධනය පිළිඅරගෙන ඔහු රට වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්නේ. එහෙම කෙනෙකුට රට සලකන්නේ මෙහෙම නම් ඒ මිනිස්සු මොනතරම් පහත් මට්ටමකට වැටිලාද කියලා තේරුම් ගන්න අමාරු නෑ.

 

අද අපි කුමාර් ධර්මසේන, රන්ජන් මඩුගල්ලේ වගේ ම සංගා ගැනත් මහත් ආඩම්බරයකින් කතා කරනවා. එහෙම ලෝකයම පිළිගත් තව කෙනෙක් විදියට තමයි අපි හතුරුසිංහ හඳුනා ගන්නේ. මේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිස ගැන මොන තරම් ආඩම්බර වෙන්න ඕනෑද? ඒත් අපි අද කරන්නේ මොන තරම් තුට්ටු දෙකේ වැඩද කියන එක හතුරුසිංහගේ සිද්ධියේදී පැහැදිලියි. මේවා දිහා ලෝකයම බලා ගෙන ඉන්නවා.යැයි හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් සභාපතිවරයකුවු තිලංග සුමතිපාල අප කළ විමසීමකදී මිට පෙර ප්‍රකාශ කළේය.

 

Comments