පොඩ්ඩන්ගේ ක්‍රිකට් වසන්තය දකුණු අප්‍රිකාවේදී ඇරැඹේ | සිළුමිණ

පොඩ්ඩන්ගේ ක්‍රිකට් වසන්තය දකුණු අප්‍රිකාවේදී ඇරැඹේ

 

නාගත සුපිරි ක්‍රිකට් තරුවලට අන්තර්ජාතිකව සිය හැකියාව ලොව හමුවේ දැක්වීමට අවස්ථාව ලැබෙන ප්‍රථම ප්‍රධානතම තරගාවලියක් වේ. ඒ වයස අවුරුදු 19 න් පහළ සීමිත ඕවර ලෝක කුසලාන තරගාවලියයි. එය මෙහෙයවනු ලබන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසිනි.

2020 ලෝක කුසලාන තරගාවලිය ජනවාරි 17 සිට පෙබරවාරි 09 දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර එය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේදීය. එරට මෙම තරගාවලියට සත්කාරකත්වය දරනු ලබන්නේ දෙවැනි වතාවටයි. සුපුරුදු පරිදි රටවල් 16ක් තරග කරයි. ඊ‍ට ශ්‍රී ලංකාවත් අයත්ය. ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්ම ඔවුන්ගේ ක්‍රීඩා දිවිය තුළදී සහභාගී වූ ජගත් මට්ටමේ ප්‍රථම ප්‍රධානතම තරගාවලිය ලෙසටත් මෙය හැඳින්විය හැකිය.

සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව), බ්‍රයන් ලාරා, ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), ඉන්සමාම් උල් හක්, බාබර් අසාම් (පාකිස්තානය), විරාත් කෝලි, විරේන්දර් ෂේවාග් (ඉන්දියාව), ඔයින් මෝර්ගන්, ජෝ රූට් (එංගලන්තය), ෂකිබ් අල් හසන් (බංග්ලාදේශය), කේන් විලියම්සන්, රොස් ටේලර් (නවසීලන්තය), ග්‍රෙහැම් ස්මිත්, කාගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව), මයිකල් ක්ලාර්ක් (ඔස්ට්‍රේලියාව) වැනි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙම තරගාවලියට සහභාගී වී තිබේ.

ප්‍රථම වරට මෙය 1988 වසරේදී පැවැත්වූයේ යොවුන් ලෝක කුසලාන තරගාවලිය ලෙසිනි. සෑම දෙවසරකට වරක්ම එය පැවැත්වේ. මෙවර රටවල් 16 ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වේ. එහිදී පැවැත්වෙන මුළු තරග ගණන 48කි. ටෙස්ට් වරම් ලැබූ රටවල් අතරින් අයර්ලන්තය හැර සෙසු සියලුම රටවල් මෙවර තරගාවලියට සහභාගී වනු ඇත. ඔවුන්ට සිදු වූයේ 2018 තරගාවලියේදී හිමිකර ගත් ස්ථානයන් අනුවය. එහිදී අයර්ලන්තයට හිමි වූයේ 13 වැනි ස්ථානයයි.

එම නිසා ඔවුනට මෙවර සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වීමට සිදු විය. එහිදීත් අපේක්ෂා කළ දස්කම් නොදැක්වීම නිසාම පරාජයට පත් විය. මෙවර තරගාවලිය විශේෂත්වයක් ගැනීමට හේතුවක් වේ. එනම් ක්‍රිකට් ක්‍රීඩාවට අප්‍රකට දෙරටක් වන ජපානය සහ නයිජීරියාව ප්‍රථම වරට ඊ‍ට සුදුසුකම් ලබා ගැනීමයි.

මෙම කණ්ඩායම් මුල් වටයේදී ඒ සහ බී ලෙස හැඳින්වෙන කණ්ඩයන් 04කට වර්ග කර ඇත.

ඒ කාණ්ඩය - ඉන්දියාව, ජපානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව

බී කාණ්ඩය - ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නයිජීරියාව, බටහිර ඉන්දීය කොදෙව්

සී කාණ්ඩය - බංග්ලාදේශය, පාකිස්තානය, ස්කොට්ලන්තය, සිම්බා‍බ්වේ

ඩී කාණ්ඩය - ඇෆ්ගනිස්තානය, කැනඩාව, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය

මුල් වටයේදී ඒ ඒ කාණ්ඩයන්හි මුල් ස්ථාන හිමි කර ගනු ලබන රටවල් 02 සුපර් ලීග් වටයට සුදුසුකම් ලබයි. සෙසු රටවල් ප්ලේට් ලීග් වටයට අයත් වේ.

ප්ලේට් ලීග් අවසන් පූර්ව තරග ජනවාරී 30 - 31 පැවැත්වේ. සුපිරි ලීග් අවසන් පූර්ව තරග පෙබරවාරි 04 සහ 06 වැනි දා පවත්වනු ලබයි. අවසන් මහා තරගය පෙබරවාරි 09 පැවැත්වෙන්නේ පොට්චෙෆ්ස්ටෲම් නුවරදීය.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගි වන්නේ නිපුන් ධනංජයගේ නායකත්වය යටතේය. සෙසු ක්‍රීඩකයන් වන්නේ අෂියාන් ඩැනියෙල්, මතීෂ පතිරණ, සොනාල් දිනුෂ, තාවිෂ කහදුවආරච්චි, ඩිල්ෂාන් මධුශානක, කමිල් මිෂාර, කවිඳු නදීශාන්, නවෝද් පරණවිතාන, රවිඳු රෂාන්ත, මොහොමඩ් ෂමාස්, අම්ෂි ද සිල්වා, සුධීර තිලකරත්න, අහාන් වික්‍රමසිංහ, චමිඳු විජේසිංහ.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ මෙවර ලෝක කුසලානයට සහභාගී වන්නේ විශිෂ්ට ලෙස තරගාවලියක් ජය ගැනීමෙන් පසුවය. බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැති තුන්කොන් තරගාවලියේ ශුරතාව ඔවුන් හිමි කර ගත්තේ එංගලන්තය පරාජය කරමිනි. ප්‍රථම යොවුන් ලෝක කුසලාන තරගාවලිය 1988 වසරේදී පැවැත්විණි. මෙවර පැවැත්වෙන්නේ එහි 13 වැනි තරගාවලියයි.

1988

මංගල තරගාවලියට රටවල් 08 ක් සහභාගි විය. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියාව කඩුලු 05ක ජයක් ලැබීය. අනුශුරතාව පාකිස්තානයටයි. එහිදී ශ්‍රී ලංකාවට 05 සහ ඉන්දියාවට 06 වැනි ස්ථාන හිමි විය.

ජගත් තරග පිටියේ විශිෂ්ට දස්කම් දැක් වූ ක්‍රීඩකයෝ රැසක්ම මංගල යොවුන් ලෝක කුසලානයට සහභාගී වූහ. (ශ්‍රී ලංකාව) නායක රොහාන් වීරක්කොඩි, සනත් ජයසූරිය, චන්දික හතුරුසිංහ, රොමේෂ් කළුවිතාරණ, සංජීව රණතුංග, සංජීව වීරසිංහ සහ පසුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ක්‍රීඩා කළ යොහාන් සමරසේකර

(නවසීලන්තය) නායක ලී ජර්මන්, ක්‍රිස් කෙයාන්ස් සහ පසුව එංගලන්තයට ක්‍රීඩා කළ ඇන්ඩි කැඩික්- (පාකිස්තානය) අකිබ් ජාවෙඩ්, ඉන්සමාම් උල්-හක්, මුස්තාක් අහ්මඩ් - (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) නායක බ්‍රයන් ලාරා, ජිමී ඇඩම්ස් - (ඔස්ට්‍රේලියාව) ස්ටුවර්ට් ලෝ සහ පසුව එංගලන්තයට ක්‍රීඩා කළ ඇලන් මුලාලි - (එංගලන්තය) නායක මයිකල් ඇතර්ටන්, නසාර් හුසේන්, මාර්ක් රාම්ප්‍රකාෂ්, ක්‍රිස් ලුවිස් - (ඉන්දියාව) ප්‍රවීන් අම්රේ, නරේන්ද්‍ර හිර්වානි, නයන් මොන්ගියා, වෙන්කටපති රාජු

1998

සත්කාරක රට වූයේ දකුණු අප්‍රිකාවයි. රටවල් 16 මෙම තරගාවලියට මුල් වරට සහභාගී විය. එංගලන්තය ලෝක ශූරයෝ වූයේ කඩුලු 07 කින් නවසීලන්තය පරාජය කරමින්ය. ශ්‍රී ලංකාවට සුපර් 08 වටයේ බී කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමි විය. ප්‍රදීප් හේවගේ නායකයාය.

එම තරගාවලියට සහභාගී වෙමින් පසුව ජගත් තරග වරම් හිමිකර ගත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙකු මෙසේය. (ශ්‍රී ලංකාව) - මාලිංග බණ්ඩාර, ප්‍රසන්න ජයවර්ධන, තිලිණ කණ්ඩම්බි, චාමර සිල්වා, (ඔස්ට්‍රේලියාව) - ජේම්ස් හෝජ්ස්, මාර්කස් නෝර්ත්,

(බටහිර ඉන්දීය කොදෙව් දූපත්) - ක්‍රිස් ගේල්, ඩැරන් ගංගා, මාලන් සැමුවෙල්ස්, රාම්නරේෂ් සර්වාන් (සිම්බාබ්වේ) නායක මාර්ක් වර්මියුලන්, ඩියොන් ඊබ්‍රාහිම්, ග්‍රේග් ලෑම්බ්, එම්ලු ලෙකි එන්කාලා, (අයර්ලන්තය)- එඩ් ජොයිස්ය. ඔහු එංගලන්තයත් අයර්ලන්තයත් ජගත් තරගවලදී නියෝජනය කළේය.

(පාකිස්තානය) - නායක බෂිඩ් ඛාන්, අබ්දුල් රසාක්, හසන් රාසා, ෂොයිබ් මලික් සහ දකුණු අප්‍රිකාව නියෝජනය කළ ඉම්රාන් තාහිර්. (ඉන්දියාව) - මොහොමඩ් කයිෆ්, විරේන්දර් ෂේවාග්, හර්බජං සිං (කෙන්යාව) - නායක තෝමස් ඔඩෝයෝ, ජිමී කමාන්ඩේ, කොලින්ස් සහ ඩේවිඩ් ඔබුයා (දකුණු අප්‍රිකාව) - රොබින් පීටර්සන්, ජාක්ස් රුඩොල්ෆ්, ග්‍රාන්ට් එලියට් නවසීලන්තය සහ මයිකල් ලම්බ් එංගලන්තය වෙනුවෙන් පසුව ක්‍රීඩා කළහ. (බංග්ලාදේශය) - අල් ෂාහාරියර්, ඊහ්ෂානුල් හක්, මෙහ්රාබ් හොසෙයින්, හනන් සාර්කර්, මුෂ්ෆිකර් රහ්මාන් , මන්ජුරුල් ඉස්ලාම්ය. (එංගලන්තය) නායක ඔවයිස් ෂාහ්, ග්‍රෙහැම් ස්වොන් සහ මේ වන විට ජගත් විනිසුරුවරයෙක් ලෙසට ක්‍රියා කරන මයිකල් ගොෆ් අයත්ය. (නවසීලන්තය) - ජේම්ස් ෆ්‍රෑන්ක්ලින්, හමිෂ් සහ ජේම්ස් මාර්ෂල් නිවුන් සොහොයුරන්, කයිල් මිල්ස්, ලූ වින්සන්ට්.

2000

ඉන්දියාව ලෝක ශූරයෝ වූයේ සත්කාරක ශ්‍රී ලංකාව කඩුලු 06 කින් පරාජය කරමිනි. මලින්ත ගජනායක ශ්‍රී ලංකා නායකයාය. මෙම තරගාවලියට සහභාගි වෙමින් පසුව ජගත් තරගවලට සහභාගී වූ ක්‍රීඩකයෝ මතු දැක්වේ.

(ශ්‍රී ලංකාව) - අකලංක ගනේගම, තිලිණ කන්ඩම්බි, කෞෂාල් ලොකු ආරච්චි, ජෙහාන් මුබාරක්, ප්‍රභාත් නිශ්ශංක, මුතුමුදලිගේ පුෂ්පකුමාර, කෞශල්‍ය වීරරත්න,

(ඇමෙරිකානු කලාපීය කණ්ඩායම) නායක අශිෂ් භගායි, ෂුබින් සුර්කාර් (කැනඩාව) - (එංගලන්තය) ඉයන් බෙල් - (බටහිර ඉන්දීය කොදෙව්) නායක රයන් හයින්ඩ්ස්, ජර්මෙයින් ලෝසන්, මාලන් සැමුවෙල්ස් (සිම්බාබ්වේ) - නායක එම්ලුලෙකි එන්කාලා, ෂෝන් අර්වයින්, ට්‍රේවිස් ෆ්‍රෙන්ඩ්, ග්‍රේග් ලෑම්බ්, හැමිල්ටන් මැසකඩ්සා, ටටෙන්ඩා ටයිබු (බංග්ලාදේශය) නායක හනන් සාර්කර්, මොහොමඩ් අශ්රෆුල්, රාජින් සාලේ- (ඉන්දියාව) නායක මොහොමඩ් කයිෆ්, යුවරාජ් සිං - (නවසීලන්තය) නායක ජේම්ස් ෆ්‍රෑන්ක්ලින්, නේදන් සහ බ්‍රෙන්ඩන් මැක්කලම් (පාකිස්තානය) නායක හසන් රාසා, දනිෂ් කනේරියා, ඉම්රාන් නසිර්, ෂොයිබ් මලික්, මොහොමඩ් සාමි - (දකුණු අප්‍රිකාව)- යොහාන් බෝතා, ඇල්බි මෝර්කල්, ග්‍රෙහැම් ස්මිත්, පසුව එංගලන්තයට ක්‍රීඩා කළ ජොනතන් ට්‍රොට් - (ඔස්ට්‍රේලියාව) නායක මයිකල් ක්ලාර්ක්, මිචෙල් ජොන්සන්, ෂෝන් මාර්ෂ්, ෂේන් වොට්සන්.

2002

නවසීලන්තය සත්කාරක රට විය. අසල්වැසි ඔස්ට්‍රේලියාව ලෝක ශුරයෝය. අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 07 කින් පරාජය විය. ධම්මික නිරෝෂණ ශ්‍රී ලංකා නායකයාය. ශ්‍රී ලංකාව සුපර් ලීග් වටයේ තරග 03 ම පරාජයට පත් විය.

පසුකලෙක ජගත් තරග වරම් ලැබූ ක්‍රීඩකයන් පිරිසක් මෙසේය. (ශ්‍රී ලංකාව) ජීවන් මෙන්ඩිස්, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්,ෆර්වීස් මහරුෆ්- (ඔස්ට්‍රේලියාව) කැමරන් වයිට්, ජෝර්ජ් බේලි, ෂෝන් මාර්ෂ් -( බංග්ලාදේශය) මොහොමඩ් අශ්රෆුල්, මෂ්රෆි මෝර්ටසා - (ඉන්දියාව) පාර්තිව් පටෙල්, ඉර්ෆාන් පතාන් - (නවසීලන්තය) රොස් ටේලර්, ජේසී රයිඩර් පසුව නෙදර්ලන්ත නායකයා වූ පීටර් බොරෙන්- (පාකිස්තානය) සල්මන් බට්, උමාර් ගුල් - (දකුණු අප්‍රිකාව) හෂීම් අම්ලා -( බටහිර ඉන්දීය කොදෙව්) ඩ්වේන් බ්‍රාවෝ, ඩැරන් සැමී - (සිම්බාබ්වේ) එල්ටන් චිගුම්බුරා, බ්‍රෙන්ඩන් ටේලර්, හැමිල්ටන් මැසකඩ්සා

2004

සත්කාරක රට බංග්ලාදේශයයි. පාකිස්තානයට ශුරතාවයයි. අවසන් තරගයේදී ලකුණු 25කින් කොදෙව්වෝ පරාජය වූහ. ශ්‍රී ලංකාවට සුපර් ලීග් වටයේ පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානයයි. ෆර්වීස් මහරුෆ් නායකයාය.

(ශ්‍රී ලංකාව) කෝසල කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්, සුරාජ් රන්දිව්, කෞෂල් සිල්වා - (බටහිර ඉන්දීය කොදෙව් දූපත්) නායක දිනේෂ් රම්ඩින්, - ( සිම්බාබ්වේ) ග්‍රෙහැම් ක්‍රීමර්, ප්‍රොස්පර් උට්සෙයා, කොලින් ඩි ග්‍රොන්ඩ්හොම් දැන් නවසීලන්තයට - (ඔස්ට්‍රේලියාව) නායක ටිම් පේන් - ( එංගලන්තය) ඇලස්ටෙයාර් කුක් (ඉන්දියාව) ශිකර් දවාන්, සුරේෂ් රෙයිනා - (පාකිස්තානය) වහාබ් රියාස් - (දකුණු අප්‍රිකාව) වර්නන් ෆිලැන්ඩර් පසුව ජගත් තරග වරම් ලැබූහ.

2006

නැවත වතාවක් සත්කාරකත්වය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි. පිට පිට දෙවතාවක් මෙම ලෝක ශුරතාව හිමිකර ගත් ප්‍රථම රට බවට පාකිස්තානය පත් විය. අවසන් තරගයේදී ඉන්දියාව ලකුණු 38 කින් පරාජය විය. ශ්‍රී ලංකාව සුපර් ලීග් අර්ධ අවසන් වටයට තේරුණි. නායකයින් වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ සමීර සොයිසාය.

මේ තරගාවලියට සහභාගි වෙමින් පසුව ජගත් තරග වරම් ලැබූ ක්‍රීඩකයෝ පිරිසක් මෙසේය. (ශ්‍රී ලංකාව) දිමුත් කරුණාරත්න, සචිත් පතිරණ, තිසර පෙරේරා, අශාන් ප්‍රියංජන්, මලින්ද පුෂ්පකුමාර

(ඔස්ට්‍රේලියාව) එරොන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, උස්මන් කවාජා - ( බංග්ලාදේශය) නායක මුෂ්ෆිකර් රහීම්, ශකිබ් අල් හසන්, තමිම් ඉක්බාල් -( එංගලන්තය) මොයින් අලි - (ඉන්දියාව) රෝහිත් ෂර්මා, රවින්ද්‍ර ජඩේජා, චෙටෙස්වර් පුජාරා, පියුෂ් චවුලා - (අයර්ලන්තය) නායක ඔයින් මෝර්ගන් - (නවසීලන්තය) මාටින් ගප්ටිල්, ටිම් සවුති - (පාකිස්තානය) නායක සෆ්රාස් අහ්මඩ් - (දකුණු අප්‍රිකාව) නායක ඩින් එල්ගාර්, (බටහිර ඉන්දීය කොදෙව්) සුනිල් නාරායන්, කිරන් පොලාර්ඩ්, කෙමාර් රෝච්- ( සිම්බාබ්වේ) ග්‍රෙහැම් ක්‍රීමර්

2008

මැලේසියාවේදී පැවැත්වීය. විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව අවසන් තරගයේදී ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 12කින් දකුණු අප්‍රිකාව පරාජය කළේය. ශ්‍රී ලංකාවට හිමි වූයේ 08 වැනි ස්ථානයයි. නායකයා වූයේ අශාන් ප්‍රියංජන්ය.

පසුව ජගත් තරග වරම් ලැබූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙසේය. (ඔස්ට්‍රේලියාව) ෆිල් හියුස්, ජේම්ස් ෆෝල්ක්නර්, ජොෂ් හේෂල්වුඩ්, ස්ටීව් ස්මිත් (බංග්දේශය) නායක සුහ්රාවාඩි ෂුවෝ, රුබෙල් හොසේන් (එංගලන්තය) ස්ටීවන් ෆින්, ක්‍රිස් වෝක්ස් (ඉන්දියාව) කෝලි, රවින්ද්‍ර ජඩේජා, මනිෂ් පාන්ඩේ (නවසීලන්තය) නායක කේන් විලියම්සන්, ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට්, (පාකිස්තානය) නායක ඉමාඩ් වසිම්, උමාර් අක්මාල් (දකුණු අප්‍රිකාව) නායක වේන් පාර්නෙල් (ශ්‍රි ලංකාව) දිනේෂ් චන්දිමාල්, සචිත් පතිරණ, ඩිල්ෂාන් මුණවීර, ඇන්ජලෝ පෙරේරා, කුසල් පෙරේරා, තිසර පෙරේ‍රා, රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න.

2010

නවසීලන්තය සත්කාරකත්වය දැරීය. ඔස්ට්‍රේලියාව ලෝක ශුරයෝ වූයේ ලකුණු 25කින් පාකිස්තානය පරාජය කරමින්ය. චතුර පිරිස්ගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය හිමි විය.මෙම තරගාවලියට ක්‍රීඩා කරමින් පසු කලෙක ජගත් තරගවලට සහභාගී වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙසේය. (ශ්‍රී ලංකාව) කිත්රුවන් විතානගේ, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ ඇන්ඩ්‍රියි බෙරෙන්ජර්ය. ඔහු එක්සත් අරාබි එමිර් රාජ්‍යය නියෝජනය කළේය.

(සිම්බාබ්වේ) පීටර් මුවර්, ටෙන්ඩායි චාටාරා, - (බංග්ලාදේශය) මොමිනුල් හක්, ෂබිර් රෙහ්මාන්, සුම්‍ය සාර්කර්, (පාකිස්තානය) අහ්මඩ් ශේෂඩ්, බාබර් අසාම් -( බටහිර ඉන්දීය කොදෙව්) ජේසන් හෝල්ඩර් - (එංගලන්තය) ජොෂ් බට්ලර්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස් - (ඉන්දියාව) මයාන්ක් අගාර්වාල්, කේ. එල්. රාහුල් - ( ඔස්ට්‍රේලියාව) නායක මිචෙල් මාර්ෂ්, ජොෂ් හේෂල්වුඩ්, ඇඩම් ෂැම්පා - ( අයර්ලන්තය) පෝල් ස්ටර්ලිංග්, ජෝර්ජ් ඩොක්රෙල් (නවසීලන්තය) ටොම් ලේතම්, ජිමී නීෂම්

2012

ඔස්ට්‍රේලියාව සත්කාරක රට විය.ඉන්දියාව ලෝක ශුරයෝය. ඔවුන් අවසන් තරගය ජය ගත්තේ කඩුලු 06 කිනි. අනුශුරතාව ඔස්ට්‍රේලියාවටයි. ශනිත ද මැල් ශ්‍රී ලංකා නායකයාය. ශ්‍රී ලංකාවට 09 වැනි ස්ථානය හිමි විය.

මෙම තරගාවලියටත් සහභාගී වූ ක්‍රීඩකයෝ රැසක්ම පසුව ජගත් තරගවලට ක්‍රීඩා කළහ. (ශ්‍රී ලංකාව) අමිල අපොන්සු, නිරෝෂන් දික්වැල්ල, තරිඳු කෞෂාල්, ළහිරු මධුශානක, සඳුන් වීරක්කොඩි- (ඔස්ට්‍රේලියාව) කැමරන් බැන්ක්‍රොෆ්ට්, ට්‍රාවිස් හෙඩ්- (එංගලන්තය) බෙන් ෆෝක්ස් - (අයර්ලන්තය) නායක ජෝර්ජ් ඩොක්රෙල්-(ඇෆ්ගනිස්තානය) නජිබුල්ලා ෂඩ්රාන්- (පාකිස්තානය) නායක බාබර් අසාම්, ඉමාම් උල් හක් _ (ඉන්දියාව) හනුමා විහාරි - (බංග්ලාදේශය) නායක අනාමුල් හක්, ලිටන් දාස්, ටස්කින් අහ්මඩ් - (දකුණු අප්‍රිකාව) කුයින්ටන් ඩි කොක්.

2014

තරගාවලිය පැවැත්වූයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදීය. දකුණු අප්‍රිකාවට ලෝක ශුරතාව හිමි විය. ඔවුන් කඩුලු 06 කින් පාකිස්තානය පරාජය කළේය. කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා නායකත්වය දැරීය. ශ්‍රී ලංකාවට හිමි වූයේ 08 වැනි ස්ථානයයි.

මෙම තරගාවලියට සහභාගී වූ ඇතැම් ක්‍රීඩකයින් මේ වන විටත් අන්තර්ජාතිකව තරග කරති. (ශ්‍රී ලංකාව) මිනෝද් භානුක, බිනුර ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම - (ඉන්දියාව) ශ්‍රීයාස් අයර්, කුල්දීප් යාදෙව්, සංජු සැම්සන් - (ඔස්ට්‍රේලියාව) බිලී ස්ටැන්ලේක් -( බංග්ලාදේශය) නායක මෙහෙඩි හසන්, මුස්තාෆිෂුර් රහ්මාන් - (දකුණු අප්‍රිකාව) නායක එයිඩන් මාර්ක්රම්, කාගිසෝ රබාඩා - (බටහිර ඉන්දීය කොදෙව්) නිකොලස් පුරාන්, ෂිම්රන් හෙට්මායර්.

2016

බංග්ලාදේශයේදී එවර තරගාවලිය පැවැත්වීය. බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට ලෝක ශුරතාවයයි. ඉන්දියාව අවසන් තරගය කඩුලු 05 කින් පරාජය වූයේය. චරිත් අසලංකගේ නායකත්වය මත ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය හිමි විය.

සුපුරුදු පරිදි මෙහිදී තරග කළ සමහර ක්‍රීඩකයන් මේ වන විටත් ජගත් තරගවලට ක්‍රීඩා කරති. (ශ්‍රී ලංකාව) අසිත ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, ළහිරු කුමාර, කමිඳු මෙන්ඩිස් (ඇෆ්ගනිස්තානය) රෂිඩ් ඛාන් - (ඉන්දියාව) රිෂාබ් පාන්ට්, වොෂිංටන් සුන්දාර්

2018

නවසීලන්තයේදී තරගාවලිය පවත්වනු ලැබීය. එවර ලෝක ශුරයෝ ඉන්දියාවයි. අවසන් තරගයේදී කඩුලු 08 ක පරාජයක් ලැබුවේ ඔස්ට්‍රේලියාවයි. ශ්‍රී ලංකාවට හිමි වූයේ 09 වැනි ස්ථානයයි. කමිඳු මෙන්ඩිස් නායකයා විය. (ඉන්දියාව) නායක ප්‍රිත්වි ෂෝ, ෂුබ්මන් ගිල් සහ (පාකිස්තානය) ෂහීන් අ‍ෆ්රිඩි මේ වන විටත් ජගත් තරග වරම් ලබා සිටිති.

Comments