මහල් 16ක නව මූලස්ථානයක් සමඟ වැලිබල් ෆිනෑන්ස් දැවැන්ත පියවරකට | සිළුමිණ

මහල් 16ක නව මූලස්ථානයක් සමඟ වැලිබල් ෆිනෑන්ස් දැවැන්ත පියවරකට

දේශීය මූල්‍ය අංශයේ නොසැලෙන ස්ථාවරත්වයක් ගොඩ නඟාගෙන ඇති වැලිබල් ෆිනෑන්ස් තවත් යෝධ පියවරක් තබමින් මහල් 16 කින් යුත් මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කාර්යයට පසුගියදා ප්‍රවිශ්ට විය.

කොළඹ 03 කේන්ද්‍ර කරගනිමින් ඉදිවෙන මෙම නව මූල්‍ය මධ්‍යස්ථානය සඳහා සුබ නැකතින් මුල්ගල තබනු ලැබූයේ මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පුරා ව්‍යාප්තව ඇති වැලිබල් සමූ‍හයේ සභාපති ධම්මික පෙරේරා ප්‍රධානත්වයෙන්, වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව, අධ්‍යක්ෂක මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් හා සේවක මඬුල්ලෙහි සහභාගිත්වයෙනි.

මෙම නව මූලස්ථානය මඟින් වැලිබල් ෆිනෑන්ස් මෙරට වේගයෙන් වර්ධනය වන මූල්‍ය සමාගම බව තවදුරටත් තහවුරු කරනු ලබන අතර දේශීය ආර්ථිකයේ වඩාත් තීරණාත්මක යුගයක් තුළ ඇතිවූ විශ්වසනීය ප්‍රවර්ධනයක් ලෙස පෙනී යයි. “අද දිනය අපගේ සමාගමට පමණක් නොව මුළු මහත් මූල්‍ය ක්ෂේත්‍රයටම සිහිවටනයක් වන්නා සේම මෙම නව මූලස්ථානය, නිසැකයෙන් ම වැලිබල් සමූහයේ කීර්තිමත් නාමය තව තවත් ඉදිරියටම ගෙන යන සාධකයක්” බව ධම්මික පෙරේරා මහතා පැවසීය.

විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීයත්වයේ මුද්‍රාවක් ලෙසින් දිස්වන මෙම මහල් 16 කින් සමන්විත මහල් ගොඩනැගිල්ල, වැලිබල් ෆිනෑන්ස්හි වසර 12 ක කෙටි, එහෙත් පෙරමුණේම සිටින ගමනක සුවිශේෂී මං සලකුණු විවිධ මානයන් ඔස්සේ පිළිබිඹු කරනු ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීයවූ මූල්‍ය සමාගම ලෙස LMD සඟරාව මඟින් නම් කිරීම මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ හැකි ය. ඒ හැරෙන්නට වඩාත්ම කැපී පෙනෙන්නාවූ සාර්ථකත්ව‍යන් වන්නේ වාර්තාගත කෙටිම කාලයක් තුළදී රුපියල් බිලියනය ඉක්මවූ ලාභාංශයක් වෙත වේගවත්ව ප්‍රවේශවීම හා රුපියල් බිලියන 50 ඉක්මවූ වත්කම්වලින් සමන්විත වීමයි.

Comments