භෞතික සම්පත් හැමවිටම වාසනාව ගෙනදෙන්නේ නෑ | සිළුමිණ

භෞතික සම්පත් හැමවිටම වාසනාව ගෙනදෙන්නේ නෑ

ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ

කෙනෙක් තමන් සතු දේවල් සන්සන්දනය කරලා එක්තරා ප්‍රමාණයකින් මානය ඇති කර ගන්නවා. එය සිමාව ඉක්මවා ගියාම තමන්ට දැනෙන්නෙ, පෙනෙන්නේ නැතුව යනවා. මේ විදිහට මිනිසුන් සමහර වෙලාවට හැකියාවන්ගෙන් මත්වෙනවා; තමන්ගේ ධනයෙන් බලයෙන් මත්වෙනවා. කුලය නිලය හැඩහුරුකම්වලින් මත්වෙනවා. මේ සම්බන්ධයෙන් විභංගප්‍රකරණයේ සඳහන් වෙනවා. එයින් ධනයෙන් මත්වීම ආදියට එදත් අදත් අතීතයේත් මේ හැම කාරණාවක් සම්බන්ධයෙන් ම මත් වන ආකාරය සමාජය දිහා බැලුවාම සොයා සපයා ගන්නට පුළුවන්.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාල‍යේත්, මෑත ඉතිහාසයේත්, වත්මන් කාලයේත් මේ ආකාරය මෙන් අද කාලයටත් ‍අදාළයි. අපේ නායක හාමුදුරුවෝ කියපු කතාවක් මෙහිදි අපිට මතක් වුණා.

පන්සලට කිට්ටුව හිටපු කෙනෙක් මැණික් වෙ‍ෙළඳ ව්‍යාපාරයක් කරපු පුද්ගලයෙක්ට වැඩිවැඩියෙන් මැණික් ලැබුණා. අනිත් අයත් හිතුවා මෙය මහා භාග්‍යක් කියලා. මෙය පුණ්‍ය බලයක් කියලත් හිතුණා. භෞතික සම්පත් කියන්නේ හැමවෙලාවෙම වාසනාවක් නොවන බව මේ කතාව අවසානයේ පැහැදිලි වෙනවා. මේ පුද්ගලයාට මහා ධන සම්පත්තියක් ලැබුණොත් එයින් මත් වුණා. ඒ නිසා කොහොමද කටයුතු කළේ; ඒ කාලයේ තිබුණෙ ලොකු ම නෝට්ටුව රුපියල් සීයයි. ඒ සීයයේ කොළ ගෝනියක අතුරන්නේ. ඉන් පසුව බිරිය ඇඳ උඩට ඒ තැනැත්තාව ගෙනිහින් දානවා; ඔන්න සැප විඳින්න කියලා; ඒ තැනැත්තට කියනවා. ඔහු කල්පනා කරනවා මෙයයි සැපය කියලා. සිගරැට් පත්තු කරන්නේ රුපියල් සියය කොළ දහය කොළවලින්ලු. මේ තමන්ගේ මහ මානය, අභිමානය පෙන්නන්නයි මෙය කරන්නේ.‍

රුපියල් සියය කොළය රෝල් කරල‍ා මේ ආකාරයට සිගරැට් පත්තු කරන්නේ නූගත්කම වගේම මානය නිසයි. කොහොම හරි වටේ අය මේක දැනගත්තා. මේ තැනැත්තා, මේ මනුස්සයා නුවණ ඇති කෙනෙක් නොවන බව අතට පයට වැඩකාරයෝ මේ කෙනා වටේ එකතු වුණා. මේ සියලු දෙනා වට වෙලා මේ අයට ලැබෙන මුදල් ටික ටික බෙදාගන්න පටන් ගත්තා; බිරියත් පටන් ගත්තා. මේ පුද්ගලයාගේ නාස්තිය නිසා පිරිහෙන බව අවසානයේ ඇය වටහා ගත්තා. ඇගේ නමට භෞතික සම්පත් රැස් කරන්නට පටන්ගත්තා. මේ වගේ කෙනෙක් එක්ක වැඩි කල් මේ භෞතික සම්පත් රැඳෙන්නේ නැහැ කියලා. මේ සල්ලි වලින් පෞද්ගලික නමට ඉඩ කඩම් රැස්කළා; අවසානයේ ඇයත් ගියා; දරුවන් අතහැරියා; මොහු තනි වුණා. වයෝවෘද්ධ අවදියේදී පන්සලට ඇවිත් පන්සලෙ හාමුදුරුවන්ගෙන් බෙහෙත් හේත් කරන්නට මුදල් ඉල්ලාගෙන ගිය බව නායක හාමුදුරුවෝ පවසනවා.

‍මේ පොළොවෙන් ලැබෙන සම්පත් කියන දේ හැමදාම එක විදිහට ලැබෙන්නේ නැහැ. එක්තරා කාල වකවානුවක යම් වාසනාවක් මතු වුණාම දේවල් ලැබෙනවා; නිවැරදිව පරිහරණය නොකරද්දි පිරිහිලා යන්නත් පුළුවන්. අනිසි විදිහට පරිහරණය කළොත් එය පිරිහිලා යන්නට පුළුවන්. මහපොළොව කාටත් උරුම දෙයක්. ඒ නිසා ඒවා අයථා ලෙස උපයා ගෙන වැඩිකලක් එය යා දෙන්නේ නැහැ. මොනතරම් දුක්ඛිත වෙලාද; මේ පුද්ගලයා අසරණ වුණා ද කිව්වොත් කෙටිදුරක් යන්න රුපියලක් සත පනහක් නැතිව ඉස්පිරිතාලයට යන්න කියක් හරි ඉල්ලපු අවස්ථා තිබුණා ‍කියලා ලොකු හාමුදුරුවන් අපට ප්‍රකාශ කරලා තියෙනවා. ඇයි මේ විදිහට වෙන්නේ; ධනයෙන් මත් වෙලා හිටිය නිසයි.

ධනයෙන් මත්වෙච්ච තැනැත්තාට නීතිය යුක්තිය දහම මුකුත් නැහැ. සමාජය දිහා බැලුවත් අදත් ඒ වගේ දේ දකින්නට ලැබෙනවා. සමහර අය බලය නිසා මත් භාවයට පත්වෙලා. දේශපාලනය නිසා; පිරිවර නිසා; ධනය නිසා ඇතැම් අය මත්වෙලා. ඇතැම් අවස්ථාවලදී මවුපියන් හොඳට දුක්විඳලා ධනය උපයනවා. අපේ දරුවන්ට දුක්විඳින්න දෙන්නට හොඳ නැහැ කියලා දරුවන්ට සැප සම්පත් දෙනවා; මෙයයි දරුවන්ට වරදින තැන. දරුවන් සුවසේ තියන්නට ඕන කියලා හිතනවා. ‍එහෙත් ඒ අය ලබාපු පීඩාව එහි දුක්ඛය ආදීනවය දැක්කෙ නැති නම් ධනය කොයි ආකාරයෙන් ද පරිහරණය කරන්නෙ කියලා දරුවන් දන්නේ නැහැ. මේ ධනය කුමක් සඳහා ද කියලා දන්නේ නැහැ. ඒ අය තමන්ගේ ‍‍‍ඓශ්චර්යය ලෝකයට පේන්නන්න ගිහින් බොහෝ අයට හිංසා පීඩා කරලා බලය හැකියාව පෙන්වීමට හිංසා පීඩා කරලා තමන්ගේ ජිවිත නසාගන්නවා. ඇයි ඒ තැනට පත්වෙන්නේ. මවුපියන් කල්පනා කරන ආකාරය නිසයි; දරුවන්ට යම් ප්‍රමාණයකට ඉඩ දෙන්නට ඕන. අවස්ථා සලසා දෙන්නට ඕන. මේ ධනය ඉපයීම ලෙහෙසියෙන් මහන්සියෙන් කළ හැකි දෙයක් නොවෙයි; වෙහෙස වෙලයි ඉපයිය යුතුවන්නේ කියලා අපි දරුවන්ට වටහා දෙන්නට ඕන. දුක් මහන්සි වෙලයි ඉපයි‍ය යුතු වන්නේ. වගේම ධනය ලෝකයට අයිති සම්පතක් කියලා අපි වටහා දිය යුතුයි. ඒ ලෝකෙට අයිති සම්පත් වලින් තමයි අපි ‍කොටසක් වෙන් කරගන්නේ කියලා අපි දරුවන්ට කියලා දිය යුතුයි.

ධනය හරියට මේ වායුව වගේ දෙයක්. අපිට හුස්ම ගන්නට මේ අම්ලකර වායුව අපේ නාසයෙන් කටින් ඇදලා ගන්නට පුළුවන්. මේ වායුව අපට විතරක් නොවෙයි ලෝකයට ම පොදු දෙයක්. මට අවශ්‍ය දේ අරගෙන ඉතුරු ටික ලෝකයට පිට කරන්නට ඕන. එය ගහකොළ විසින් උරාගෙන ආපහු ගහකොළ විසින් අම්ලකර වායුව එනම් ඔක්සිජන් වායුව පිටකරනවා. එය සතා සීපාවා ඇදගන්නවා. මම ගත්ත වායුව ආයේ කිසිකෙනකුට ගන්න දෙන්නේ නැහැ වගේ තමයි; ධනයත් මා සතු දේ අන් කිසිවෙකුටවත් අයිති නොවෙයි කියලා එයින් අභිමානයට පත්වෙලා වෙන්න හොඳ නැහැ. ඒ නිසා මෙලොවත් පරලොවත් නසාගන්නවා; ධනය අනිසි ලෙස පරිහරණය කරන්නන්ට වගකිමක් තියෙනවා. වාතය අපවිත්‍ර නොකර පාවිච්චි කරනවා වගේ. ධනයත් කාටත් පොදුයි. මනුෂ්‍යයන්ටත් පොදුයි; සතාසිවුපාවන්ටත් පොදුයි. ඒ නිසා එයින් මත්වෙලා අයථා විදිහට පරිහරණය කරනවා නම් මෙලොව පරලොව විනාසය පිණිස පවතිනවා; කියලා බුදුන්වහන්සේ දේශනා කරනවා. මානය පිළිබද ව බුදුන්වහන්සේ සඳහන් කරනවා. අපි ජාතිය නිසා මානයට පත්වෙනවා.

අපි සිංහල ඉංග්‍රීසි කියලා ජාතියෙන් උසස් වෙනවා. අපි උසස් කියලා අනෙකා පහත් කියලා සලකනවා. මේ අාකාරයට කියද්දී හිතනවා ඇති; ජාතිවාත්ස්‍ය දේශභිමානය කියන කාරණා මේවා හොඳ නැතිද කියලා එ්වා හොදයි. යම් ප්‍රමාණයකට අනෙකා හෙළා දකින්නට නොවෙයි. මත් වීම හොඳ නැහැ. යථාව මානය කියන එක අපි මුලින් සඳහන් කළා වගේ හොද ආකාරයට පරිහරණය කළ හැකියි. අපි‍ හොඳ පරපුරක සිංහලයෝ. අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා කියලා අභිමානයෙන් ඉන්නට පුළුවන්. නමුත් අනෙකා හෙළා දැකීමට නොවෙයි. අපි ජාතිය ගැන රට ගැන පරම්පර‍ාව ගැන අභිමානය හොඳයි තමන්ගේ යහපත සඳහා. අයහපත සඳහා නොවෙයි; මෙතනදි අපි කතා කරන්නේ මදය ගැන. සාමාන්‍ය මානය ගැන නොවෙයි කියන්නේ; මානයෙන් මත්වීමයි. ඔරොත්තු‍ නොදෙන මට්ටමට මෙය ඇති කරගැනීමෙනුයි අයහපත සිදුවන්නේ. මත්ද්‍රව්‍ය ශරීරගත වුණා වගේ තමයි; කුමන කරුණක් සඳහා මෙය ඇතිකරගත්තත් එය එතරම් සුදුසු දෙයක් නොවෙයි. තමන්ගේ දේ ගැන අභිමානයක් ඇති කරගත්තට කමක් නෑ; අනෙකා හෙළා දැකීමයි හොඳ නැත්තේ. පහත් කරලා සලකනවා නම් තමන් අත්තුක්කන්සන, පරමන්සනය කියන මේ ක්ලේෂයෙන් මනස විනාස කරගැනිමට සුදුසු නැහැ.

උඩරට හැදුණෙ, පහත රට හැදුණෙ කියලා අපි ‍අනෙකා පහත් කර සලකන්න හොඳ නැහැ. අතීතය, ඉතිහාසය බලද්දි හේතු කාරණා ඇතිව මේ නම් ගොඩනැගිලා තියෙන්නේ. ඔවුන් කරපු රාජකාරි අනුවයි ඒ නම් ගම් හැදිලා තියෙන්නේ. නම් ගම් වලින් මිනිසුන් පහත් කරලා සලකන්නට හොඳ නැහැ‍. නම් ගොත්වලින් මිනිසුන් උස්පහත් කරන්නට සැරසිලා තියෙන්නේ.

ගෝත්‍රය තමන්ට අභිමානයට හේතුවක් කරගෙන තියෙන්නේ ප්‍රඥාව අඩුකම නිසා. ඒනිසා යමෙක් ගෝත්‍රය නිසා අභිමානයට පත් වෙලා, පරිහානියට පත්වෙනවා නම් එය පරිහානියක් කියලා මෙහිදි් සඳහන් කරන්නට පුළුවන්. ඒවගේම තවත් මත්වන කරුණක් නම් නිරෝගිකමින් මත්වීම. මම නම් කිසිම බෙහෙතක් බිලා නැහැ; කසාය ටිකක් බිලා නැහැ කියලා නිරෝගීකමින් මානයට පත්වෙනවා ඇතැම් අය. නිරෝ්ගීකම හොඳයි; එය රැකගත යුතුයි; අනෙකාට ගරහන්න හොඳ නැහැ. ඒ නිරෝගි කමෙන් අපි මොනවද කරගෙන තියෙන්නේ කියලා අපි හිතන්නට ඕන. ඒ නිසා සසරේ කරන ලද කුසලයක් නිසා නිරෝගිව ඉන්නට පුළුවන් නම් එය ඉතා හොඳයි. නමුත් බක්කුල මහා රහතන් වහන්සේට කිවිසුමක් යෑම පමණයි තිබිලා තියෙන්නේ. බුදු පසේබුදුන්ට රෝග පිඩා නසන්නට ඇප උපස්ථාන කිරීමේ පිණින් ඒ වගේ නිරෝගිව ඉපදී තියෙන්නේ.

ඖෂධ ප්‍රතිකාර බුදු පසේ බුදුරජුන්ට‍ පෙර අත්භවවල කිරීම හේතු කරගෙනයි මේ නිරෝගි කම උදා කරගෙන තියෙන්නේ. ඒ කුසලය නිරෝගි වෙන්නට හේතු වුණේ. බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අන් අයට හින්සා පිඩා කිරීමෙන් වැළකුණොත් සත්ත්ව හිංසාවෙන් වැළකුණොත් ඒ අය උපනුපන් ආත්ම වල නිරෝගි වෙනවා කියලා. නමුත් කුසලය වුවත් භුක්ති විඳලා ඉවර කළොත් සල්ලි හොයාගෙන කාලා බීලා ඉවර කලා වගේ වෙනවා. වැදගත් වන්නේ හම්බ කරපු මුදල්වලින් කුමක්ද මා කරගත් යහපත කියන එකයි. මේ ජිීවත්වීමේ නිරෝගිකමින් පිහිටක් ලබන්න නම් මම මේ නිරෝගිකමෙන් ඇති වැදගත්කම කුමක්ද කියලා අපි වටහා ගන්නට ඕන. අපි නම් නිරෝගි සම්පන්නයි; ඒ අය නම් ඉපදුණු දවසේ ඉදලා බෙහෙත් බොනවා; අපි නම් කවදාවත් බෙහෙත් බීලා නැහැ කියලා උඩඟු නොවිය යුතුයි‍‍. එයින් වෙන්නේ ලෙඩක් වුණත් බෙහෙතක් ගන්නේ නැහැ.

මානය නිසා තමන් ලෙඩ වුණත් බෙහෙ‍ත් නොගෙන මැරෙනවා. අධික මානයෙන් මත්වෙලා ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ඉන්නවා. මානය නිසා ජිවිතය නැතිකර ගන්නවා. මේ විදිහට මිනිස්සු මත් වුණාම කළ හැකි නොහැකි දේ ගැන හිතන්නේ නැහැ. ආරෝග්‍යයෙන් මත් වුණාම නිරෝගිකම හොඳ දෙයක්. නමුත් එයින් මත්වුණාම රෝගයටවත් ප්‍රතිකාර කරන්නේ නැහැ. එයත් හංගනවා. එයින් අනෙක් තමන්ගේ මිනිසුන්ටත් කරදරයක් වෙන එකයි සිදුවෙන්නේ. අපරාදේ මැරෙන තැනට කටයුතු සිදුවනවා. යොවුන් බවින් මත්විම අනෙක් කාරණාව. තරුණකමින් මත්වීම කියන්නේ ජවයෙන් බලයෙන් හැකියාවෙන් රූප සම්පත්තියෙන් මත්වෙනවා. අමුතු අභිමානයක් ඇතිවෙනවා ඒ මානයෙන් මත්වෙන අවස්ථාවලදි ‍හිතෙන්නේ නැහැ; අපිත් වයසට යනවා; අපේ දත් හැලෙනවා; අපේ කෙස් ඉදෙනවා කියලා. ඒ මොහොතේ හිතෙන්නේ නැහැ. ඒ මත්වීමේ ඇති හානිය තමයි පුළුවන් දේයි බැරිදේයි කරන්නට යනවා. එයින් පිරිහෙනවා. මහත් වූ හිරිහැර කරගන්නවා. එයින් කියන්නේ තරු‍ණයෙක් ලෙස තමන් ගේ තරුණ බව ගැන තෘප්තිය ලැබීම නුසුදුයි කියලා නොවෙයි. යම් කිසි පෞරුෂයකින් තරුණයෙක් ලෙස කළ හැකි දේ කළ යුතුයි. නමුත් එයින් අනෙක‍ාට අපහාස කිරීමට තරම් මත් නොවිය යුතුයි. කළයුතුදේ; නොකළ යුතු දේ සිහිපත් නොවීමයි මෙහි කාරණය. පස්වැනි කාරණය ජිවිත මදයයි. අපි මැරෙනවා කියලා නොසිතිම තුළින් මානයට පත්වෙනවා. එසේ සිතන්නේ නම් එපමණකට ඒ තැනැත්තා මානයට පත්වෙනවා.

ජීවිත මදය ඇතිවුණොත් ඒ පමණට ම ඒ තැනැත්තා මරණයටත් බියට පත්වෙනවා. තමන් මරණයට පත්වෙනවා කියලා වයසක කෙනෙක් දැකලා ඒ පිළිබඳ කල්පනා කරනවා. අපිත් මැරෙනවා කියලා මොහොතකටවත් හිතෙන්නේ නැතිනම් ඒ තත්ත්වය තමන්ට ආදේශ කරලා බලන්න යොමුවෙන්නේ නැහැ. ඒ අනුව ජීවිත මදයෙන් මත් වීම සිදුවෙනවා. අනෙක් කාරණය ලාබ මදය. ලැබෙන ලාබ සත්කාර නිසා මදයට පත්වෙනවා. ව්‍යාපාර වල ඉපයිම් වල බහුල විදිහට ලැබෙනවා නම් එයින් මත්වීම සිදුවෙනවා. සත්කාර මදය කියන්නේ තමන්ගේ ගුණයට සීලයට පරම්පරාවට ඒදේවල් වලට උපකාර කරන විට එයින් මදයට පත්වෙනවා. මට ‍බොහෝ සත්කාර ලැබෙනවා කියලා ‍අනෙක් අය හෙළා දැකලා තමන් හුවා දක්වනවා. ලාබ සත්කාරවලින් උන්මාදයට පත්වෙනවා.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා; ලාබ සත්කාර භායානකයි කියලා. එයින් උඩඟු වුණොත් හරියට ආකාසයේ ඉගිළෙන පක්ෂියෙක් සුළඟට හසුවුණොත් වම්පැත්තේ පියාපත් දකුණටත් දකුණු පියාපත වමටත් යනවා; බෙල්ල තව පැත්තකට යනවා; පාලනය කරන්නට බැරිවී කැඩීබිඳී යනවා. භික්ෂුවට වුවත් ලාබ සත්කාර සමබරව පරිහරණය කරන්නට බැරි වුවහොත් උද්දාම වුවහොත් එ් තැනැත්තා පරිහානියට පත්වෙනවා. පැවිදි ගිහි ඕනතරම් උදාහරණ තියනවා ;මේ සත්කාර නිසා මදයනට පත්වී විනාසයට පත්වුණ අයගේ. මම විතරයි දන්නේ; මම විතරයි සියල්ල කරන්නේ; කියලා හිතෙනකොට මිනිසුන් පරිහානියට පත්වෙනවා.

‍යම් කිසි පුණ්‍ය බලයකින් ලැබුණත් අපිට එහි යහපතක් ද අයහපතක් ද සිදුවෙන්නේ කියලා තීරණය වන්නේ අප පරිහරණය කරන අාකරයත් සමඟ. යම් කිසි මිල මුදල් රූපය භෞතික සම්පත් භාග්‍යයක් වන්නේ එය පරිහරණය කරන ආකාරයත් සමඟ. සසරේ පිනකට ලැබුණත් ගුණ නුවණ නැතිනම් සම්පත් ලැබෙනවා කියන්නේ සසරේ මහත් වූ අවාසනාවක්; මහත් වූ පරිහානියක්. ගුණ නුවණ ඇතිව සම්පත් ලැ‍බුණොත් පමණයි මනුස්සයකුට සමබරව පරිහරණය කරන්නට පුළුවන් වෙන්නේ. මනුස්සයකුට පමණක් නොවෙයි දෙවියන් ඇතුළු අවශේෂ සියල්ලට ම එය එසේමයි. ගුණ නුවණ නැති නම් දෙවියන් වුවත් පිරිහෙනවා.

පරනිම්මිත වසවර්ති දිව්‍යලෝකවල ඒ මහා ධනසම්පත්තිය නිසා පිරිහීමට පත්වෙලා මාරයන් ‍හැටියට ක්‍රියාත්මක වෙනවා. ලෝකයේ බොහෝ අපරාද කරන්නට බුදුවරුන් සමඟ පවා ගැටෙන්නට කටයුතු කරනවා. ඇයි මෙහෙම වෙන්නේ; තමන්ගේ සම්පත්වලින් උඩඟු වෙලා එයින් අති ධාවනය කරලා එය සමබරව සිතින් පරිහරණය කරන්නට තරම් ප්‍රඥාව නුවණ නැතිවෙලා එයින් මත්භවයට පත් වෙලා පරිහරණයට පත්වෙනවා.

Comments