දෙවියන්ට කොළේ වැහුවත් විගණනයේ දී හෙළි වුණු රුහුණු මහා කතරගම දේවාලයේ අලජ්ජී අවනඩුව | සිළුමිණ

දෙවියන්ට කොළේ වැහුවත් විගණනයේ දී හෙළි වුණු රුහුණු මහා කතරගම දේවාලයේ අලජ්ජී අවනඩුව

රුහුණු කතරගම දෙවි හාමුදුරුවන්ගේ අනුහස් ගැන ලාංකිකයන්ගේ විශ්වාසය ගැඹුරුය. එහෙත් මේ කියන්න යන කතාව උන්වහන්සේගේ උත්තම අනුහස් ගැන නම් නොවේ. දෙවියන් පාමුලම හිඳිමින් ගසා කන අශීලාචාර මිනිසුන්ගේ කටයුතු පිළිබඳ සාක්ෂි සහිත හෙළිදරව්වක් ගැනය.

- දේවාලය සතු ඉඩම්වල ආදායම බෙත්මේ ලේකම් පෞද්ගලික ගිණුමකට බැර කරගෙන 
- පෞද්ගලික මුදල් බව කියා බස්නායක නිලමේ තුන්කෝටි හැට එක් ලක්ෂයක් දේවාලෙ ගිණුම් හතරකින් අරගෙන 
- කෝටි තුනක ණයක් අරන් ණය මුදලත් අවභාවිත කරලා 
- ඇසළ මහා පෙරහට ගෙන්වූ ඩීසල් ටිකෙනුත් ගසා කලා... 
- බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාත් නීති කඩපු බව හෙළි වෙලා

රුහුණු මහා කතරගම දේවාලය 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 4 (1) විධිවිධාන ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධික්ෂණය යටතේ පාලනයට යටත් වේ. එහි 43 වැනි වගන්තිය අනුව දේවාලයේ පාලන කටයුතු සඳහා බෞද්ධ කටයුතු විෂයභාර ඇමතිවරයාට ව්‍යවස්ථා පැනවිය හැකිය. එමෙන්ම එහි 25, 35 (1) හා 35 (2) වගන්ති ප්‍රකාරව දේවාලයේ මූල්‍ය සහ වත්කම් පාලන කටයුතු සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නියමයන් පැනවිය යුතු වේ.

රුහුණු මහා කතරගම දේවාලයේ 2017 වර්ෂයේ අගෝස්තු මත 22 වැනි දින සිදු වු බව සැලකෙන ප්‍රශ්නගත සිද්ධියක් සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ ඒ නෛතික පසුබිම තුළය. එම ඉල්ලීම ප්‍රකාරව පසුගිය දා විගණකාධිපති දේපාර්තමේන්තුව රුහුණු මහා කතරගම දේවාලයේ කටයුතු පිළිබඳ විගණනයක් කළේය. පරීක්ෂණය සිදු කරනු ලැබුවේ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයකු විසිනි.

පසුව එම වාර්තාව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත යොමුකොට තිබිණි. ඉක්බිති නීතිපතිවරයා එම වාර්තාව සලකා බැලීමෙන් පසු චෝදනා පත්‍රයක් ගොනු කිරීමට පෙර දේවාලයේ සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා තහවුරු කරගැනීම සඳහා, විගණකාධිපතිවරයා විසින් ගිණුම් පිළිබඳ විගණනයක් හෝ වෝහාරික විගණනයක් කිරීම උචිත බවට මතයක් ප්‍රකාශ කළේය.

රුහුණුකතරගම මහා දේවාලයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විගණකාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරන්නේ ඒ අනුවය. එම ඉල්ලීමට අනුව විගණකාධිපතිවරයා විසින් 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥා පනතේ 38(1) වගන්තිය ප්‍රකාරව විශේෂ විගණන පරික්ෂණයක් සිදු කරනු ලැබීය.

එම පරීක්ෂණයට අනුව මුලින්ම හෙළිදරවු වූයේ කතරගම දේවාලයේ මූල්‍ය පාලනය විධිමත් අයුරින් සිදු නොවන බවය. එමෙන්ම , ඉඩම්, වාහන, රත්‍රන් භාණ්ඩ වැනි වත්කම් සම්බන්ධයෙන් පවත්නා අභ්‍යයන්තර පාලනය ශක්තිමත් නොවන බව පරික්ෂණයේ දී අනාවරණය වූයේය. එපමණක් නොව හිටපු බස්නායක නිලමේවරයා සිදු කර ඇති අතැම් ගනුදෙනු විනිවිදභාවයකින් තොර බව හඳුනාගෙන තිබිණි.

දේවාලය සතු ඉඩම් හා ඉඩම් අයිතිය.

දේවාලයේ ඉඩම් නිලධාරින් විගණනය වෙත ලබාදුන් ලිඛිත තොරතුරුවලට අනුව දේවාලය සතුව ඉඩම් අක්කර 16000ක් පමණ පවතින බව සඳහන් වී ඇත. එහෙත් දේවාලය සතු ඉඩම් පිළිබඳ විධිමත් පරිදි සමික්ෂණයක් සිදු කර ලේඛනගත කොට නොතිබිණි. ඒ නිසා දේවාලය සතු ඉඩම් අක්කර ප්‍රමාණය නිශ්චිත වශයෙන් විගණනයේ දී සනාථ කරගැනීමට නොහැකි විය. අනාවරණය වූ පරිදි දේවාලය සතු ඉඩම්වලින් ලැබෙන ආදායම නිසි පරිදි වාර්තා කොට නොතිබිණි. තවද දේවාලය සතු ඉඩම්වලින් ලැබෙන අදායම මහ බෙත්මේ ලේකම් විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමට රැස් කර පසුව පෞද්ගලික ගිණුමෙන් දේවාලයට අයත් බැංකු ගිණුමට මුදල් බැර කර තිබු බව නිරීක්ෂණය විය. දේවාලය සතු ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීම, ගිවිසුම්ගත නොවී ඉඩම් බදු දීම, බදු ගිවිසුම් යාවත්කාලින නොකිරිම, ඉඩම් තක්සේරු නොකිරීම වැනි තත්වයන් පවතින බව දේවාලයේ වර්තමාන තාවකාලික භාරකරු පරීක්ෂණ කමිටුවට දන්වා තිබිණි. එහෙත් ඊට අදාළ විස්තර කිසිවක් රැස් කර විගණනයට ඉදිරිපත් කර තිබුණේ නැත.

පෞද්ගලික මුදල් දේවාලයේ ගිණුම්වල තැන්පත් කිරීමට හෝ දේවාලයේ මුදල් පෞද්ගලික ගිණුම්වල තැන්පත් කිරීමට ප්‍රතිපාදන සපයන කිසිදු විධිවිධානයක් නැත. එහෙත් හිටපු බස්නායක නිලමේ විසින් 2015 වර්ෂයේ නොවැම්බර් මස 27 වැනි දින සිට 2017 දෙසැම්බර් මස 22 වැනි දින දක්වා කාල පරාසය තුළ දී තමන්ට අයත් පෞද්ගලික මුදල් යැයි දක්වමින් රු.33,017,314ක් දේවාලයට අයත් බැංකු ගිණුම් හතරක තැන්පත් කොට තිබු බව විගණන වාර්තාවේ සඳහන් වේ. එම මුදල් ආපසු ගන්නා බව දක්වමින් වරින් වර රු.36,100,870 ක මුදලක් එනම් තැන්පත් කළ මුදලට වඩා රුපියල් රු.3,083,556 ක මුදලක් දේවාලයේ බැංකු ගිණුම් තුනකින් ලබාගෙන ඇති බව විගණන පරික්ෂණයේ දී අනාවරණය වූයේය. අදාල කාලපරිච්ඡේදය තුළ හිටපු බස්නායක නිලමේවරයා විසින් දේවාලයේ නිල බැංකු ගිණුමක තම පෞද්ගලික මුදල් තැන්පත් කිරීමත් එම මුදල් පෞද්ගලික මුදල් යැයි කරුණු දක්වමින් බැංකුගිණුමෙන් පෞද්ගලික අවශ්‍යතා සඳහා මුදල් ඉවත් කරගැනීමත් සිදු කරගෙන තිබිණි. එය විහාරදේවාලගම් ආඥා පනතේ විධි විධානවලට අනුව වරදක් බව විගණන වාර්තාවේ සඳහන් වේ. තවද එම මුදල් හිටපු බස්නායක නිලමේවරයාගේ ද යන්න නිශ්චිතවම හඳුනාගැනිමට සාක්ෂි නොතිබීම නිසා දේවාලය සතු මුදල් අයථා පරිහරණයට ලක් වී නැතියැයි තහවුරු කරගැනීමට නොහැකිවී යැයි ද විගණන පරික්ෂාවේ දී අනාවරණය වූයේය.

එමෙන්ම දේවාලය සතු ඉඩම් ප්‍රමාණය සහ වාහන නිසි පරිදි හඳුනාගෙන ලේඛනගත කොට නොතිබිණි. මේ නිසා දේවාලය සතු ඉඩම් හා වාහන අවභාවිතා කිරිම හෝ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීමේ ඉහළ අවදානමක් පවතින බව විගණනයේ දී නිරික්ෂණය වූයේය. එමෙන්ම ඉඩම් ආදායම් නිසිපරිදි ගිණුම්ගත නොකිරීම, හිඟ ආදායම් නිසිපරිදි හඳුනා නොගැනීම, ලැබෙන ආදායම් පෞද්ගලික ගිණුම්වලට බැර කිරීම, ආදී කරුණු හේතුවෙන් දේවාලයේ ඉඩම් සම්බන්ධ අභ්‍යයන්තර පාලනය ඉතාම දුර්වල මට්ටමක පවතින බව නිරික්ෂණය වු බව විගණන වාර්තාව දැක්වූයේ ය.

එමෙන්ම දේවාලයේ අරමුදලින් මුදල් පරිත්‍යාග ලබාදීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගත යුතු වේ. එසේ අවසර ලබාගැනීමකින් තොරව මුල්‍ය දුෂ්කරතා පැවතියදීත් රුපියල් 2,886,878ක මුදලක් පරිත්‍යාග වශයෙන් ලබාදීම දුර්වල සහ අවිධිමත් මුල්‍ය කළමනාකරණයක් බව නිරික්ෂණ වු බව විගණන වාර්තාවේ සඳහන් වේ. විශ්‍රාම ශාලාව නවීකරණය කිරීම සඳහා රුපියල් 30,000,000ක ණය මුදලක් ලබාගෙන තිබේ. එහෙත් එකී ණය මුදල බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අනුමැතියකින් තොරව වෙනත් කාර්යක් සඳහා යොදවා තිබිණි. ණය මුදලින් කරනු ලබන වියදම් ලේඛනගත නොකිරීම හේතුවෙන් අදාළ ණය මුදල විනිවිදභාවයකින් තොරව අපරික්ෂාකාරීව භාවිතාකොට ඇති බව ද විගණන පරික්ෂණයේ දී අනාවරණය වූයේය.

දේවාලයේ ඇතුළත වහලයට ආධාරක වශයෙන් කොන්ක්‍රිට් කණු 08ක් තිබේ. එම කණු 05 සඳහා රිදී ආලේපිත තඹ තහඩු සවි කිරීම සඳහා 2019 වර්ෂයේ දී පෞද්ගලික ආයතනයකට රුපියල් 11,600,000ක් ලබාදීමට එකඟ වී තිබිණි. එහෙත් අදාළ කණුවල රිදී ආලේප කිරීමේ දී එම රිදී ආලේපනය මාස 06ක් ගත වූ පසු දුර්වර්ණ වන බවට අදාළ පෞද්ගලික ආයතනය මඟින් හිටපු බස්නායක නිලමේවරයාට දන්වා තිබිණි. එහෙත් එම කාර්ය ඉටු කිරීම සඳහා රුපියල් 11,600,000ක් සඳහා එකඟ වී රුපියල් 9,500,000 කමුදලක් ගෙවීම හේතුවෙන් දරන ලද සම්පුර්ණ මුදලම නිශ්චාර්ය විදයමක් බව විගණනය විසින් කරන ලද භෞතික පරික්ෂාවේ දී නිරික්ෂණය වි ඇත.

එමෙන්ම 2016 ඇසළ මහා පෙරහර වෙනුවෙන් ඩීසල් ලීටර් 63902ක් සඳහා රුපියල් 6,079,495ක මුදලක් වැය කොට තිබිණි. 2017 ඇසළ මහා පෙරහර වෙනුවෙන් ඩීසල් ලිටර් 13,200ක් සඳහා රු.1,254,000ක් වැය කොට ඇත. එම ඩීසල් ප්‍රමාණය දේවාලයට ලද බව හෝ එම ඩිසල් පෙරහර කටයුතු සඳහා භාවිතා කළ බව කිසිදු ලිඛිත සාක්ෂියකින් තහවුරු නොවු බැවින් ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලනය ඉතා දුර්වල මට්ටමක පැවතී තිබේ. එම වියදම්වල විශ්වාසනීයභාවය ප්‍රශ්නගත බව විගණන වාර්තාව මඟින් පෙන්වා දී ඇත. හිටපු බස්නායක නිලමේවරයාට අයත් මහනුවර පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම තම පෞද්ගලික ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරගැනීමක් ද යන්න බැහැර කළ නොහැකි බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මහනුවර සිට ඉන්ධන රැගෙන එම සඳහා රුපියල් 146,875ක මුදලක් වැය කර තිබිම අනාර්ථික සහ ප්‍රශ්නකාරී බව විගණනයේ දී පෙන්වා දි ඇත.

ඇසළ පෙරහර මංගල්‍ය සඳහා ලබාගත් අත්තිකාරම් මුදලින් රුපියල් 2,929,380ක මුදලක් විශ්‍රාම ශාලවේ ඉදි කිරීම සඳහා වැය කොට ඇතැයි කියැවේ. එම වැය කිරීම චෙක්පත් මඟින් සිදු නොකොට මුදලින් කිරීම හේතුවෙන් එම මුදල සත්‍ය වශයෙන්ම අදාළ කොන්ත්‍රාත්කරු වෙත ලැබුණේ ද යන්න පිළිබඳ විශ්වාසනීය සාක්ෂි ලබාගත නොහැකි වී තිබේ. ඒ නිසා එ ගනුදෙනු සම්බන්ධයෙන් විනිවිදභාවයක් නැති බව නිරික්ෂණය වු අයුරු විගණන වාර්තාව පෙන්වා දී ඇත. වර්ෂ 2017 දී අගොස්තු 22 වැනි දින බස්නායක නිලමේවරයා සහ කපුමහතුන් අතර ගැටුමක් බස්නායක නිලමේවරයාගේ වලව්වේ දී සිදු වී තිබිණි. එම ගැටුම අවස්ථාවේ දී දේවාලයට ලැබී තිබුණු ග්‍රෑම් 128.79ක් බරැති රන් මුදු, මාල, ත්‍රිශුල, විවිධ අනුරූ, පංචායුධ වැනි රන් ආභරණ 61ක් අස්ථානගත වී තිබිණි. මේ ගැන විගණන වාර්තාවේ සඳහන් වී ඇත්තේ රන් භාණ්ඩ ආරක්ෂිතව තැන්පත් කරතැබීම සඳහා බස්නායක නිලමේවරයා විසින් කටයුතු කර නොතිබිම ද එම භාණ්ඩ අස්ථානගත වීමට ඉවහල් වී ඇති බවය.

එමෙන්ම දෛනිකව දේවාල කාර්යාලයට ලැබෙන ඉඩම් බදු, දෙස් විදෙස් පරිත්‍යාග, ආදි ක්‍රම මඟින් ප්‍රමාණවත් මුදලක් ලැබුණ ද එම මුදල භාරගැනීම, ලදුපත් නිකුත් කිරිම, ලේඛන පවත්වාගෙන යෑම සහ බැංකුගත කිරීම නිශ්චිත කාර්ය මණ්ඩලයකට පවරා නොතිබිම හේතුවෙන් රැස් කරන මුදල් සම්බන්ධව විධිමත් අභ්‍යයන්තර පාලනයක් නැති බව විගණනයේ දී නිරික්ෂණය විය. වර්ෂ 2017 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දේවාලයේ කාර්යාලය වෙත රුපියල් 1,862,203ක මුදලක් ලැබි තිබිණි. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අංක බීටීආර්/එම්/1/විවිධ/(1) දරන 2017 ඔක්තොම්බර් 25 දිනැති ලිපිය මඟින් ලද අනුමැතිය මත එම මුළු මුදලම බැංකුගත කිරීමකින් තොරව දෛනික වියදම් සඳහා යොදාගෙන තිබිණි. ඒ පිළිබඳ විගණන වාර්තාවේ සඳහන් වන්නේ විහාර දේවාලගම් ආඥාපනතේ 24 වගන්තිය ද කඩ කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මුදල් බැංකුගත කිරීමකින් තොරව දෛනික වියදම් සඳහා යොදාගැනිමට අනුමැතිය ලබාදී ඇති බවය.

රුහුණු මහා කතරගම දේවාලයට පරිත්‍යාග, මිලදී ගැනීම් සහ වෙනත් ආකාරයෙන් ලැබෙන වට්ටෝරු භාණ්ඩ යාවත්කාලීනව ලේඛනගත කොට නොතිබිණි. එක් එක් බස්නායක නිලමේවරයාගේ ධුරකාලය අවසානයේ දී දේවාලයේ භෞතික වශයෙන් ඇති භාණ්ඩ පමණක් ලයිස්තුගත කර නව බස්නායක නිලමේවරයා වෙත භාරදීමේ ක්‍රමවේදයක් අනුගමනය කර තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ. ඒ හේතුවෙන් වට්ටෝරු භාණ්ඩ පරීක්ෂාව පිළිබඳ විගණනයේ විෂය පථය සිමා වීම නිසා දේවාලයට අයත් එක් එක් වත්කම් නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි විය. භාණ්ඩ ලැබීම සහ නිකුත් කිරීම පිළිබඳ තොරතුරු නොතිබිණි. කිසියම් නිශ්චිත දිනකට පැවති වට්ටෝරු භාණ්ඩ ශේෂ පිළිබඳ තහවුරුවක් ලබාගැනීමට නොහැකි විය. ඒ බව විගණන වාර්තාව අනාවරණය කළේය.

දේවාලයේ කපුමහතුන් සිය තේවා මාසය තුළ වතාවත් ඉටු කිරීමේ දී බැතිමතුන් විසින් ලබාදෙන තුටුපඬුරු හෝ පුදපඬුරු මුදලින් මසකට රුපියල් මිලියන 02ක මුදලක් දේවාලය වෙත ලබාදීමට 2018 වර්ෂයේ අප්‍රෙල් මස 20 වැනි දින ලිපිය මඟින් එකඟ වී තිබිණි. එහෙත් එම මුදල් දේවාලය වෙත අය කරගැනීම සඳහා විධිමත් හා අනුමත ක්‍රම වේදයක් හදුන්වා දී තිබුණේ නැත.

1931 අංක19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 25 වගන්තියේ සඳහන් භාරකාරයා විසින් සිදු කරන ගෙවිම් හෝ වියදම් දේවාලයට ලැබෙන සියලුම ලැබීම් සහ ආදායම්වලට අදාළ කටයුතු සම්බන්ධයෙන් සාර්ථක අභ්‍යන්තර පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා එම ආඥාපනතේ 35(1) වගන්තිය ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමාණවත් පරිදි විධි නියම කළ යුතු බැව් විගණන වාර්තාවේ නිර්දේශ කොට ඇත. එමෙන්ම සිදු වී ඇති අවභාවිතා සම්බන්ධයෙන් හිටපු බස්නායක නිලමේවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීත්‍යනුකුල පියවර ගැනීමට කටයුතු කළ යතු බවට ද සිය නිර්දේශ ඉදිරිපත් කරමින් විගණන වාර්තාවේ සඳහන් කොට ඇත.

දේවාලයේ සිදු කරන ඉදි කිරීම් සහ වෙනත් දිගුකාලීන සංවර්ධන කටයුතු දේවාලය සතු මූල්‍ය සීමාව තුළ සිදු කිරීමටත්, ඉදි කිරීම් කටයුතු සහ වැඩි විනාකමක් සහිත මිලදී ගැනීම්වලදී විනිවිද භාවයෙන් කටයුතු කිරීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බැවත් සිය නිර්දේශ ලබාදෙමින් විගණන වාර්තාවේ සදහන් කොට ඇත.

එමෙන්ම එම කටයුතු බුද්ධශාසන අමාත්‍යංශයේ සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව ද විගණන වාර්තාව නිර්දේශ කරයි.

Comments