සිරිපාදේ යන ගමන් මාක­න්දා­ව­ටත් ඇවිත් යන්න | සිළුමිණ

සිරිපාදේ යන ගමන් මාක­න්දා­ව­ටත් ඇවිත් යන්න

ශ්‍ර‍ී පාදයට යන වඩාත්ම ප්‍රචලිත ගමන් මාර්ගයේ තිබෙන තවමත් මිනිස් පා පහසින් දූෂණය නොවූ සුන්දර සොබාදම් නිමැවුමක් ගැනයි මා අද ඔබට කියන්නට යන්නේ.

සිරීපාදෙ යන සමනල්ලු සිරිපාද කන්ද පාමුලට එන්නේ දීර්ඝ චාරිකාවක නිරත‍ වෙමින්. ඒ දීර්ඝ ගමනේ ඔවුන් යම් යම් ස්ථානවල විවේක ගන්නවා. මා මේ කියන සුන්දර වනපෙතත් පාට පාට සමනලුන් සිරිපා කරුණා කරන්න යද්දී වෙහෙස නිවාගන්න මඳක් නතර වෙලා යන ස්ථානයක්. කොළඹ නගරයේ ඉඳන් සිරිපා කරුණා කරන්න අවිස්සාවේල්ල පැත්තෙන් හැටන් බලා යන ඔබට ඊට බොහෝ මඳකට වන්නට පිහිටා තිබෙන සිහිල් පරිසරය අමතක වෙන්නට විදියක් නෑ. කිතුල්ගල බොහෝ පරිසරකාමීන්ගේ වගේ ම ජල ක්‍රීඩා කරන්න කැමැත්තක් දක්වන්නන්ගේ පාරාදීසයක්. කිතුල්ගල හරියට පුංචි නුවරඑළියක් වගේ සීතලයි.

මාකන්දාව වනාන්තරය පිහිටා තිබෙන්නේ කිතුල්ගල. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලණිවැලි රක්ෂිතයට තමයි මේ වනපෙත අයිති වෙන්නෙ. කිතුල්ගල යන බොහෝ දේශීය සංචාරකයන් උත්සාහ කරන්නේ ත්‍රාසජනක ජල ක්‍රීඩා කරන්නයි.

ඒ නිසාම බොහෝ අයට මේ සුන්දර වනපෙත මගහැරී යනවා. ඒත් පරිසරයට ආදරය කරන්න, කුරුල්ලන්, මසුන් නරඹන්න, දැහැනකට සම වැදෙන්න කැමැති අයට මාකන්දාව කියන්නේ පාරාදීසයක්. මාකන්දාව වනයට ඇතුළුවීම තියන්නේ කිතුල්ගල තානායම අසලින්. ඒ අසල තිබෙන ප්‍රසිද්ධ නාන තොටුපළත් සමඟම මාකන්දාව රක්ෂිතයටත්, ඒ අසල ඇති ගම්මානයටත් යන මාර්ගය වැටී තිබෙන්නේ කැලණි ගඟ හරහා. ගම්වාසීන් වගේ ම සංචාරකයනුත් එගොඩ කරන්න නිරන්තරයෙන් මුව සිනාවෙන් ඔපවත් කරගත් තොටියෙක් උදේ 6 වෙද්දිම තොටුපළට එනවා. ඊට පස්සේ රෑ 7.00 පමණ වනතෙක් ඔහු කරන්නේ රාජකාරියක් නොවෙයි සේවයක්.

ඔරුවෙන් එගොඩ වන සංචාරකයන්ට මාකන්දාව වනාන්තරය කරා යෑමට මීටර් 500ක් පමණ පයින් ඇවිද යෑමට සිදුවෙනවා. මේ වනාන්තරයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර

195ක් පමණ. මෙය අයත්වන්නේ පහත රට සදාහරිත වනාන්තර ගණයට.

මඳක් සිහියට නඟා ගන්න; විභූතිභූෂණ බන්ද්‍යෝපාද්‍ය ගේ ‘අරණකට පෙම් බැඳ’ කෘතිය. මෙය චින්තා ලක්ෂ්මි සිංහආරච්චි විසින් සිංහලයට නඟා තියෙනවා. සත්‍යවරණ නම් මෙහි කතානායකයා තමාගේ රාජකාරිය නිසාම වනපෙතට පෙම් බඳින අපූරුව සේම, සඳ එළිය ඔහුව මන්මත් කරන අපූරුව වැනිම හැඟීමකින් මාකන්දාව වනපෙතට පිවිසෙන විටම හදවත පිරී යනවා‍. මේ ලොව අනේකවිධ නොපහත්කම් දුර්ජන, කුරිරුකම්, පශ්චාත්තාපය ඈ නොයෙක පීඩාකාරී හැ‍ඟීම් යටපත් වී සුන්දරත්වයම පමණක්, සුවදායි බව ම පමණක් හදවතට ආමන්ත්‍රණය කරන්නට පටන් ගන්නේ වනපෙතට ඇතුළු වූ සැණින්ම යි.

එකිනෙකා හා වෙළී අවසන වියනක් බවට පත්ව ඇති තුරුලතා ගිනිගෙන දැවෙන හිරුගේ දැඩි රශ්මියෙන් අප මුදා ගන්නේ ඇසිල්ලකින්. මාකන්දාව වනයේ පහස ලබන ඔබට එහි පිහිටා ඇති ස්වාභාවික දිය ඇලි, ලෙන් ආදී බොහෝ දේ විඳින්න, ගවේෂණය කරන්න පමණක් නොවෙයි; සිහින් ගී රාව, සුසුම් වැල්, ගස්වැල් එකිනෙකා හා කරන මුනුමුනුව ආදී ‍බොහෝ දේට සවන් දිය හැකියි.

මාකන්දාව ඇතුළු වන ඔබට මුලින් ම හමුවන්නේ මකුලාලයි. මේ දිනවල මකුලාල වර්ෂාව නිසා පොහොසත්. ජලධාරා මඳක් සැඩ බවින් යුතුව, ඒත් මනස්කාන්තව ගලා හැලෙනවා. කඩා හැලෙන ජල ධාරාවේ අපූර්ව නාදය නොයෙක නාද රටා හා එක්ව විශ්වයේ භාෂාව අපට තිළිණ කළා. මකුලාල තරණය කර දැරණියගල කුඩා ගම්මානවලට යන ගම්වැසියන් බොහෝ ගණනක් අපට හමු වුණා. ඒ ගම්වැසියන් තම කුදු මහත් සියලු අවශ්‍යතා ඉටු කරගන්නේ බඩු මලු ඔසවාගෙන මකුලාල තරණය කිරීමෙනුයි. මේ දිනවල නම් සැඩ දිය පහර නිසා එය බෙහෙවින් අවදානම්.

ගල්තලය දිගේ සීරුවට ඉහළට ගිය අපට මකුලැල්ල සුන්දර දිය ලලනාව හමුවුණේ මීටර් 628 ක් පමණ දුරක් ගිය විට. ලොව සුන්දර දෑ මොනවාද; ඒ සියල්ල මකුලැල්ල ඉදිරිපිට පරාජය වන තරමට ඒ ඇල්ල මනස්කාන්තයි.

මාකන්දාව වනයට ඇතුළු වන ඔබට මකුලාල, මකුලැල්ල ජල දහරාවන්ට අමතරව මීටර් 1604.5 ක් ගිය විට ලෙන්තිරි ඇල්ල හමු වෙනවා. ඊට අමතරව ඇඟවැටුණුවල, කිරිබතාකුල, අහස්ලෙන් කන්ද හා පන්සලක් ද මේ වනයට ඇතුළත්.

මාකන්දාව ඒකදේශීය මිරිදිය මසුන්ට ද ප්‍රචලිත හා ආවේණික වනයක්. මෙහි බන්දුල පෙතියා, තල් කොස්සා, ජොන්ක්ලාස් වැලි ගොව්වා, උඩ හඳයා ඇතුළු මත්ස්‍ය වර්ග 13ක් ආවේණිකව වාසය කරනවා.

කුරුල්ලන් නරඹන්න කැමති ඔබටත් මාකන්දාව තෝතැන්නක්. දේශීය හා සංචාරක පක්ෂීන් මෙහි බහුලයි. කෑරලුන්, බ්‍රාහ්මණ උකුස්සන්, නිල් කුරුමිණි කුරුල්ලන්, බට්ටිච්චන්, කොබෙයියන් මෙහිදී නිරන්තරයෙන් හමුවෙනවා. තැනින් තැන පියඹන නේක වර්ණික සමනලුන් නම් ශ්‍රී පාදේ යමින් ගමන් මාකන්දාවට ගොඩ වුණා විය යුතුයි.

සිරිපා කරුණා කරන්නට යන ඔබ කිතුල්ගලින් මාකන්දාවට නොගොස් යෑම ගැන නම් දෙවරක් සිතිය යුතුයි‍. මිනිස් පහසින් දරුණු ලෙස දූෂණය නොවූ මාකන්දාව ඔබේ සියලු වේදනා, පශ්චාත්තාප හා කැලඹිලි තම දෝතට ගෙන ඔබ නිදහස් කරන බව නම් ඒකාන්තයෙන් කිව හැකියි. 

Comments