මා ගෙන යනු මැන නිවා විලක්කූ! | සිළුමිණ

මා ගෙන යනු මැන නිවා විලක්කූ!

“අපිතරුණ කාලේ අපේ ගමේ සල්පිලක් තියෙනවා. ඔය සල්පිලට ගමේ ගෑනු ළමයි ලේන්සු, කොට්ටඋර මහලා තියනවා. තව එක එක කැවිලි ජාති හදලා තියනවා. නිවේදකයා මේ එක එක දේවල් අලෙවි කරන්නේ හරි ලස්සනට. කවි කියනවා. විවිධ දේ කියනවා. කවුරුත් හරි ආසාවෙන් තමයි මේවා අහගෙන ඉන්නේ. ගමේ තරුණ-තරුණියන් අනිවාර්යයෙන්ම සල්පිල් පොළට එනවා. සමහරු දෙපිලකට බෙදිලා මේවාට ලන්සු තියනවා, නිවේදකයා ඈවරයි දෑවරයි කියනකොට සමහරු ගාන වැඩි කරලා ඉල්ලනවා.

 

“මට මතකයි මගේ යාළුවෙක් මහලා තිබුණ කොට්ටඋර ජෝඩුව නොවටිනා ගානකට අලෙවි වුණා. ඒක වුණේ එයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටිය තරුණයන් දෙදෙනකු අතර තිබුණු තරගය නිසයි. ගමේ නාඩගම් පොළේදී, ගම්මඩු පොළවලදි තමයි කොල්ලෝ කෙල්ලෝ යාළු වුණේ.”

අම්මා ජීවත්ව සිටියදි ඉඳ-හිට ඇගේ ගමේ ගත කළ කාලය පිළිබඳ ඔවැනි කතා කියන්න පුරුදුව සිටියාය. අම්මලාගේ තරුණ විය සොඳුරුයැයි සිතෙන්නේ එවැනි ඕපාදූප කතා අසා සිටින විටය. අපි අපේ බාල කාලයේදී ගම්මඩු පොළවල් දැක ඇත්තෙමු. එවැනි තැන්වලදී හමු වන තරුණ-තරුණියන්ගේ උකුළු-මුකුළු, කෝල බවින් යුතු තරුණියන්ගේ බැලුම් මේ දැන් දැක්කා සේ මතකයට නැගෙයි.

එහෙත් අද වන විට මේ සියල්ල වෙනස් වී ඇත. අද නම් මුහුණුපොතින්ද තරුණ-තරුණියෝ හඳුනාගනිති. කෙනකු දුටු මතින් සෙනෙහසින් බැ‍‍ඳෙන්නේ රූපය කෙරෙහි ආසක්ත වීමෙනි. කතාබහ, සිතිවිලි, ගතිගුණ කෙරෙහි පැහැදෙන්නේ ඉන් අනතුරුවය. යොවුන් ප්‍රේමය‍, ගැහැනු සිතක පිරිමි රුවක් ගැන ඇති වන ආදරණීය බව ගැන මෙතරම් කියන්න සිදු වූයේ අලුතින් ඇසුණු ගීතයක් ගැන කියන්නය.

ඒ ගීතය ගයන්නේ වර්තමානයේ ජන ගී ආරේ, අපූරු හඬ පෞරුෂයක් හිමි නිලක්ෂි හැලපිටියයි. ගීතය සංගීතවත් කර ඇත්තේ එවැනිම හඬ පෞරුෂයකට උරුමකම් කියන, ජන සංගීතය පිළිබද හැදෑරීම් කරන සංගීතවේදි සමන් ලෙනින්ය. අද ඇසෙන ඇතැම් හරසුන් ප්‍රේම අඳෝනා අතුරින් මිදී, වින්දනාත්මක ගීතයක රස පිරි පදවැලක් රචනා කරන්නේ සම්මානනීය නවකතාකාරිනියක වන විරාජිනි තෙන්නකෝන්ය.‍

“මේ ගීය ලියන්න පදනම වැටෙන්නේ මා ලියූ ‘මකරානන්දය‘ නවකතාවේ එන චරිතයක් හා බැඳුණු සිදුවීමක්. නවකතාවේ චරිතයක් වන සෝමා එක් අවස්ථාවක තරුණ බෙරකරුවකු කෙරේ ආසක්ත වී ඔහු කෙරේ ප්‍රේමයෙන් බැ‍ඳෙනවා. එය මල්-පල නොදැරූ ප්‍රේමයක්. එහෙත් එය ශෘංගාරාත්මකයි.

වියෝ දුක දනවන කතාවක් එක. අන්න ඒ සිද්ධිය පදනම් කරගෙන තමයි මේ පද ගැන මගේ හිතේ මුල්ම සිතිවිල්ල පහළ වන්නේ. ඒ වගේම නවකතාව නොකියවූ කෙනකුටත් විඳින්න පුළුවන් ලෙස ගීතය නිර්මාණය කිරීමයි මගේ ඊළඟ වෑයම වුණේ. තරුණියකගේ සිතේ තරුණයකු කෙරෙහි ඇති වන ආදරණීය සිතිවිල්ල, ඔහුගේ රුව වර්ණනා කරන අයුරින් ලිවීමට මා උත්සාහ කළා. අපේ නාඩගම්වල, නාට්‍යවල මෙන්ම සාමාන්‍ය සරල ගීවලත් බොහෝ විට ප්‍රේමය ගැන කතා කරද්දි කාන්තාවගේ රූ සිරිය වර්ණනා කරනවා. ඒත් පිරිමියෙකුගේ රුව වර්ණනා කරනවා අඩුයි. මට ඕනැ වුණා තරුණියක් තම සිත් ගත් තරුණයා දකින අයුරු වර්ණනා කරන්න. පුරුෂයකුට හිමි පුරුෂ ලක්ෂණ වර්ණනා කරමින් තමයි මෙය ලියවුණේ.

“අද නිතර ඇසෙන්නේ ශෝකාලාප ගී. කෙනකු තව කෙනකු සමඟ බැඳෙන විට තරාතිරම උස්-පහත් බේද අදාළම නැහැ. මුලින්ම පෙම් බඳින්නේ රුවට. ආසියාතික රටක් වන අපේ රටවල මේ දේවල් විවෘතව කතා කරන්නේ නැහැ. ඒත් ගීතය ලියද්දි මට මේ හැම දේ ගැනම සිහිපත් වුණා. ගීතය ලියලා ඉවර වුණාට පසුව මට ඕනෑ වුණේ එයට ජන සංගීතය මුසු කරලා වෙනස්ම දෙයක් කරන්න. මම සමන්ට පද ටික දීලා කිව්වේ පහතරට බෙරයත්, බටනලාවත් සමඟ යන නාද මාලාවක් මෙයට එක් කරන්න කියලා. සමන් ඒ කිව්ව විදියට මා ලියූ පදවලට උපරිම සාධාරණය ඉටු කර තිබුණා. ඒ වගේම තමයි නිලක්ෂි. ඇය මගේ යෙහෙළියක්. කලක් තිස්සේ මට ඇය ලවා ගීතයක් ගයවාගැනීමේ වුවමනාවක් තිබුණා. මම මේ පද පෙළ ඇයට දුන්නාම ඇය බොහෝම කැමැත්තෙන් එය භාරගත්තා. සමන්ගේ සංගීතය සමඟ ඇගේ හඬ පෞරුෂය මේ ගීතයට උපරිම සාධාරණය ඉටු කළා කියන හැඟීම මට තිබෙනවා.”

ගීතය පිළිබඳ පද රචිකා විරාජිනිය පවසන්නේ එවැනි කතාවකි. 

Comments