ඔහු සියුම් ඉංගිත නිරූ­පණ­­යෙහි විශි­ෂ්ට­යෙක් | සිළුමිණ

ඔහු සියුම් ඉංගිත නිරූ­පණ­­යෙහි විශි­ෂ්ට­යෙක්

මෙරට රිදීතිරය හැඩ කළ පුරෝගාමී කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. සීටී නම් ඒ අතළොස්සක් පමණි. නමුත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයෙහි ශේෂව පවතී. එවන් නිර්මාණ දායාද කළ අධ්‍යක්ෂවරුන්, නළු-නිළියන්, ගායක ගායිකාවන් ගැන තොරතුරු බිඳක් හෝ දැනගැනීමට ඇත්නම්, කොයිතරම් නම් අගේද. සිය අතීත මතක පෙළින් පෙළ අමුණමින් ඒ සිහින මතක ගෙත්තම් කරන ඈ වෙනකෙකු නොව අග්‍රගණ‍ය සිනමා නිළි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාය. ඇය මෙවර ඔබට පවසන්නේ විමල් කුමාර ද කොස්තා නම් අපූර්ව රංගවේදියා පිළිබඳවය.

 

බොහෝ දෙනා විමල් කුමාර ද කොස්තව දන්නේ වේදිකා නාට්‍ය හා චිත්‍රපට නළු­‍ෙවක් විදියට. නමුත් මේ ක්ෂේත්‍රවල නළුවෙක් විදියට ජනප්‍රිය වෙන්න කලිනුයි ඔහු මට හමු වුණේ. ඔහු මගේ සමීපතම පාසල් මිතු­‍ෙරක්; ඒ වගේම අපේ අසල්වැසියෙක්. කැලණියේ තොරණ හන්දියේ තමයි ඔහු ජීවත් වුණේ. ඊට ටික දුරකින් තමයි අපේ ගේ තිබුණේ. කොස්තා අපිට හුඟක් හිතවත් වුණේ අයියල දෙන්න නිසයි. විශේෂයෙන්ම පුංචි අයියා නිසා. එකම පන්තියේ සිටි නිසා ඒ දෙන්නා ඉතා ළඟින් ඇසුරු කළා. අපි ඔක්කොම ඉගෙන ගත්තේ කැලණියේ ගුරුකුල විද්‍යාලයේ‍.

ඒ කාලේ කොස්තයි තවත් කිහිප දෙනකුයි ඉස්කෝලෙ ඇරිලා අපේ ගෙදර නිතර යනව එනවා. කොච්චර කට්ටිය හිටියත් ඒ එන හැම යාළුවෙකුටම අපේ අම්මා සමානව සලකනවා. ඕනම වෙලාවක පාසල් යහළුවන්ට යෙහෙළියන්ට ඇවිත් යන්න අපේ ගෙදර ඉඩ තිබුණා.

අම්මා හරිම ආදරෙන් ඒ හැමෝටම සැලකුවා. කන බොන වෙලාවට වුණත් කිසි වෙනසක් කළේ නැහැ. කොස්තා ගේ තාත්තා වෘත්තියෙන් වෛද්‍යවරයක්. ඒ වුණාට කොස්තා ඉගෙනගන්න එතරම් උනන්දුවක් දක්වපු කෙනෙක් නෙමෙයි.

අපේ ගෙදර ආවත් කරන්නේ දඟකාර වැඩමයි. වෙලාවකට අපේ අම්මගෙන් බැනුම් අහනවා; ගුටිත් කනවා. ඒ මොනව වුණත් ඔහු අපේ අම්මට හරිම ආදරෙයි. අපේ අම්මයි තාත්තයි දෙන්නත් කොස්තට හරිම ආදරෙයි. මොකද ඔහු පොඩි කාලේ ඉඳලම හරිම ප්‍රියජනක කෙ‍ෙනක් ඇසුරු කරන්න ආස හිතෙන පුද්ගලයෙක්. ඕනම කෙනෙක් ඔහුගේ සමාගම පිළිගන්නේ “ආ කොස්තත් ඉන්නවද” කියල අහල; මොකද කොස්ත ඉන්න තැන හරිම විනෝද ජනකයි.

නිතරම රණ්ඩු වෙන, කියන දේ කනකට ගණන් ගන්නෙ නැති මහ දඟකාර ඇට්ටර කොල්ලො ටිකක් අපේ පන්තියේ හිටියා. මාත් ඒකාලෙ කොල්ලොත් එකකමයි රණ්ඩු වෙන්නේ. කොස්තා කොච්චර දඟ වැඩ කළත් සණ්ඩුවට ගියේ නැහැ; කොස්තා සාමකාමීයි. ඔහු ජීවිතය දිහා බැලුවේ සතුටු වෙන්න ලැබුණු අවස්ථාවක් විදියටයි. ආපහු හැරිල ඒ අතීතය දිහා කල්පනා කරල බලද්දි අද ඉන්න ළමයින්ට වඩා කොස්තා කියන්නෙ කොයිතරම් වෙනස් චරිතයක්ද කියල හිතෙනවා.

රංගනයට එන්න පොදුවේ අපි හැමෝටම උදව් වුණේ අපේ පාසල කැලණිය ගුරුකුල විද්‍යාලය. වාර අවසානයේ අපේ නැටුම් ගුරුතුමා එස්. මලල් මහත්මයා නැටුම් අංගයක් පවත්වනවාමයි. ගැහැනු පිරිමි පොදුවේ දෙගොල්ලන්වම ඒ සඳහා යොදා ගන්නවා. ඒ අය අතර කොස්තට විශේෂ තැනක් ලැබී තිබුණා. මොකද ඔහුට ඉතා හොඳ නර්තන හැකියාවක් තිබුණා. ඒ නිසා අනෙක් පිරිමි ළමයි අතරින් කොස්තට නැටුම් සංදර්ශනවලදි විශේෂ තැනක් හිමි වුණා. එක්තරා අවස්ථාවක අපේ පාසලේ ලොකු සන්දර්ශනයක් පැවැත් වුණා. ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ ඝානාවේ තානාපතිවරයා. ඝානාවේ ජාතික ඇඳුම හරියට රෙද්දක් පෙරවගෙන ඉන්නව වගේ එකක්. කළුවට කළුවේ ඔහු ඒ විදියට රෙද්දක් පොරවන් ඉන්නව දකින කොට අපිට හරිම අමුතු හැඟීමක් ඇති වුණේ. එදා මුළු පිට්ටනිය පුරාම පාසල් ළමයින්ගෙන් පිරිලා ලොකු සන්දර්ශනයක්; ගැමි නැටුම්, ලීකෙළි නැටුම්, කලගෙඩි නැටුම්... ඉතිං එදා මේ නැටුම් අතර කොස්තගෙ නැටුමකුත් තිබුණා. ඒ හැම නැටුමකින්ම කොස්තගෙ නැටුම කැපී පෙනුණා. ඔහු ඒතරම්ම හොඳ නැට්ටුවෙක්.

කොස්තා වෙලාවකට හිරි පුදුම වැඩ කරන්නේ; මං ගමේ කැලණි කල්යාණි කියන රූප සුන්දරිය තේරීමේ තරගෙන් දිනල ඉන්න කාලෙ ගමේ අවුරුදු උත්සවයක් තිබුණා. කොස්තල අපේ අයියල එහෙම තමයි ඇඩ්වර්ටීස්මන්ට කියෙව්වේ. ඔය අතරේ කොස්තා ඒකපාරටම “කැලණි කල්යාණිය මෙසේ පවසයි. මා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ඒනිස් අයියාගේ සව් කිචි කිචි බෝල සබන්”. හිනාව නවත්ත ගන්න බැරි වුණා. මොකද ඒ දවස්වල ගමේ හිටියා ඒනිස් අයියා කියල මනුස්සයෙක්; ඒයා බෝල සබන් හදලා විකුණනවා. මම කොහේ ගියත් කඩචෝරු කන්න හරිම ආසයි; ඒක කොස්තා දන්නවා; “ කැලණි කල්යාණිය ආසම අච්චාරු හදන්නේ අහවලා, මුරුකු හදන්නේ අහවලා...” කිය කිය ඒදා ඇඩ්වර්ටයිසින් වැඩේ දිගටම ගියා.

දවසක් මෙයා චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට කියනවා “මාලනිගෙ කෑම ගැන බයවෙන්න දෙයක් නැහැ. එයා නොකන්නෙ බෝල සබනුයි ගල්තාරයි විතරයි. අනික් ඕන දෙයක් කනවා. ඒ නිසා කෑම ගැන ප්‍රශ්නයක් තියාගන්න එපා” කියලා.

මේ විදියට ඔහු හරිම විනෝදයෙන් ඉන්නේ. ඔහු ඉන්න තැන කාටවත් කිසිම පාළුවක් දැනු‍ෙණ නැහැ; මොනවහරි කියලා හිනස්සනවා.

ඔහොම ඉන්න අතරේ විද්‍යාලංකාර පිරිවෙනේ ඇසුරට කොස්තා යොමු වුණා. ඒ ඉන්න ගමන් විද්‍යාලංකාරයේ නාට්‍ය කණ්ඩායම කරන නිර්මාණවලටත් කොස්තා සම්බන්ධ වෙනවා. ඉස්කොලේ ඉවරවෙච්ච ගමන් මේ වැඩවලට දුවගෙන එන්න කොස්තා පුරුදු වුණා. එතනදි තමයි ඔහුට පතිරාජ එල්.එස් දයානන්ද එඩ්.ඩී ප්‍රෙමරත්න කේ.ඒ විජේරත්න, ඩොනල්ඩ් කරුණාරත්න... වගේ අය ඇසුරු කරන්න ලැබෙන්නේ. මේ ගමන නිසා එවක තරුණ නාට්‍යකරුවන් වුණු සුනන්ද මහේන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාලද සිල්වා, ධම්මජාගොඩ, කරුණාරත්න අමරසිංහ කොස්තට ඇසුරු කරන්න ලැබෙනවා. මෙතනදි කොස්තා ආචාර්ය ජෝ. සෙල්වදොරෙයි ගේ ඇසුරට පත්වීම විශේෂයි. මොකද ආචාර්ය ජෝ. සෙල්වදොරෙයිගෙ විශිෂ්ට පරිවර්තන නාට්‍යයක් වුණු සැමුවෙල් බෙකට් ගේ “ගොඩෝ එනකන්” (Waiting for Godot) නාට්‍යයේ රගපාන්න කොස්තට අවස්ථාව උදාවෙන්නේ මේ ඇසුර නිසා. ඉන් පස්සේ කොස්තාගෙ රංගන ජීවිතයේ විශාල වෙනසක් ඇති වෙනවා.

ඇත්තෙන්ම සෙල්වදොරෙයිගේ මඟපෙන්වීමත් එක්ක විශාල ආලෝකයක් ඔහුගේ ජීවිතයට උදා වුණා. ඒවගේම ගාමිණී හත්තොට්ටුවේගමගේ වීදිනාට්‍ය කණ්ඩායමේ බලපෑමත් කොස්තාගේ රංගන කෞශල්‍ය මුහුකුරා යන්න ප්‍රබල ලෙස බලපෑ බව මෙතනදි මතක් කරන්න ඔන. කොස්තා ස්ව රංගනයේ එහෙම නැත්නම් අභිනය රංගනයේ ලංකාවේ සිටි දැවැන්තයෙක්. කොස්තා හා සමකාලීනයකු ලෙස ආචාර්ය සාලමන් පොන්සේකා පෙන්වාදෙන්න පුළුවන්. මේ ස්වරංගනය වෙනම කලා මාධ්‍යයක් ලෙස ජනගත වන්නේ කොස්තාගේ රංගනයේ තිබූ විශිෂ්ට බව නිසයි. ඔහු එතරම්ම සියුම්ව ඉංගිත (expression) නිරූපනයෙහි සමර්ථයෙක්.

මා වේදිකා නාට්‍ය කරලා “පුංචි බබා” කරන්න එනකොට කොස්තත් අනෙක් පැත්තෙන් වේදිකා නාට්‍ය හරහා සිනමාවට ඇවිත් තිබුණා. අපේ මිතුරන් වුන ධර්මසේන පතිරාජ පතිරාජ, එල්.එස් දයානන්ද එච්.ඩී ප්‍රේමරත්න අපි හැමෝම එකතුවෙලා පතීගේ “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටයට හැකි පමණින් දායක වුණා. ඒ චිත්‍රපටය එදත් අදත් ප්‍රේක්ෂකයො ආදරෙන් වැලඳ ගන්නේ අපි හැමෝගෙම තිබ්බ ඒ කැපකිරීම නිසා.

පති මේ චිත්‍රපටය කළේ කරුණාරත්න සපුතන්ත්‍රිගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ සහ ‘මනමාලී’ නවකතා“ දෙක පදනම් කරගෙනයි. ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කොස්තා ඉතාම විශිෂ්ට රංගනයක යෙදුණා. සාමාන්‍යයෙන් අපි හිතන්නේ හාස්‍ය නළුවකුට දුෂ්ට චරිතයක් රඟපාන්න බැහැ කියලයි. ඒත් කොස්තා ඒක ඉතා විශිෂ්ට විදියට ජයගත්තා. මේ චිත්‍රපටයේ එක්තරා අවස්ථාවක දියේ ගිල්ලා මරදමා තිබුණ සිරිපාල (කොස්තා) ගේ මළ සිරුර හමුවෙනවා. ඒක ඇත්තටම දියේගිලී මියගිය කෙනෙකුගේ වගේම සංවේදීව දැනුණා. චිත්‍රපටයේ සුසිලාවතී (මාලනී) සිරිපාල (කොස්තා) අතින් දූෂණය වන අවස්ථාවත්; මේ අවස්ථාවත් ඉතාම සංවේදී දර්ශන බවට පත් වුණා.

ඊළඟට අපි සම්බන්ධ වෙන්නේ පතීගේ “බඹරු ඇවිත්” චිත්‍රපටයට. ඒ කාලෙ ෂූටින් යනව කියන්නේ පුදුමාකාර සතුටක් දැනෙන කාරණයක්. ඒ වගේම ෂූටින් ඉවර වෙනවා කියන්නේ හරිම දුක හිතෙන කාරණයක්. චිත්‍රපටයෙ වගේම මම, පතී, ජෝ අයියා, සිරිල්, කලං, විජේ, කොස්තා; ජීවත් වුණේ වෙනම ලෝකෙකට ආව වගේ. කොස්තා කළේම එක එක දේවල් කියමින් කරමින් අපිව හිනස්සන එක. ඉතිං අපිට ෂූටින් ඉවර වුණත් ගෙදර යන්න හිතෙන්නේ නැහැ.

“බඹරු ඇවිත්” චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙදි දූපතට පොලීසියෙන් එනවා. කොස්තා එතනදි උඩකට නැඟල මෙහෙම කියනවා. “ඔහේලට මොනවද මගෙන් දැනගන්න ඕන. වුණේ මොකක්ද කියල? මං දැක්කේ මොකක්ද කියල?; ඒහෙමද? ; මංදැක්කා මං දැක්කා; මට පෙණුනා; ඔයාල විඳන නිදහස; ශක්තිය. මුහුදත් ගොඩබිමත් තනියම අයිති කරගෙන; බෙදාගෙන ඔයාල ඉන්න හැටි. ඔයාලගෙ මතය තමයි නීතිය; තමන්ගෙම නිදහස් ආණ්ඩුවක්. හරියටම ශිෂ්ටාචාරය පටන්ගත්තා වගේ. ප්‍රකෘති කමියුනිස්ට්වාදය. ඒහෙම නේද?; මං දැක්කා වෙන මිනිස්සු ඇවිත් ඔහේලව සූරගෙන කන හැටි; ඔහේලගෙ ශ්‍රමය; අයිතිය; භුක්තිය; ඔහේලගෙම ලේ. ඔහේලට තේරෙන්නෙ නැහැ; ඔහේලට උගන්නල නැහැ මේව තේරුම් ගන්න; ඔහේලව තනිකරලා; අනික් වුන් වෙන ලෝකෙක. ඔහේලව කොන් කරලා. හාහා... හා ..හා හා හු... හු.. හූ.. හා.. මීට පස්සෙ තමුන්නාන්සෙල තනිවෙන් නැහැ; තමුසෙලට ආණ්ඩුවේ ආරක්ෂාව හොඳට ලැබෙයි. ...තමුසෙලගෙ ශක්තිය; නිකං මිනිස්සු කපල කොටල මරන්න; තවමිනිහෙකුට හූරගෙන කන්න ඉඩදෙන්න නෙමෙයි. මොන විදියෙන් හරි සූරා කෑමට විරුද්ධ වෙන්නට”.

එහෙම කියල බලද්දි වටේ හිටිය මිනිස්සු කවුරුවත් පේන්න නැහැ. ගොං කරත්තයක් දක්කගෙන ඒන මනුස්සයෙක් පේනවා. අදත් ඒ මිනිස්සු කටයුතු කරන්නේ ඒ වගේ; මිනිස්සුන්ට ඇත්ත තිත්තයි.

Comments