හොරණ හෙල්ලූ හොර කල්ලියේ රහස් වධකාගාරය හෙළි වූ හැටි | සිළුමිණ

හොරණ හෙල්ලූ හොර කල්ලියේ රහස් වධකාගාරය හෙළි වූ හැටි

පසුගිය කාලයේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය මූලික ‍කොට තරුණයන් පිරිසක් කලහකාරි ලෙස හැසිරෙන ආකාරයක් දිස්විණි. 'ආවා' කල්ලිය ලෙසින් හැඳින්වූ එම කල්ලිය යතුරුපැදිවල නැඟි කඩු, කිණිසි, පොලු රැගෙන ගොස් තමනට විරුද්ධ වන පිරිස් හට අමානුෂික ‍ලෙස පහර දී කොල්ලකෑම් ආදිය සිදු කෙළේය.

මේ වන විට එම ප්‍රදේශවල 'ආවා' කල්ලිය සිදු කළ අපරාධ මුළුමනින්ම පාහේ අඩපණ කිරීමට පොලිසිය සහ යුද හමුදාව සමත් වී සිටී. 

උතුරු පළාතේ තරුණයන් දමිළ චිත්‍රපටවල එන ඇතැම් ජවනිකා ආභාසයට ගෙන එලෙස හිස එසවූ 'ආවා' කල්ලියට සමාන කල්ලියක් පසුගිය කාලයේ හලාවත, වෙන්නප්පුව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්ද ඉදිරියට එන බවක් දිස්විණි. ශානුක මධුෂාන් හෙවත් ඕලු මරා නමැති සංවිධානාත්මක අපරාධකරුවා එකී කල්ලියට නායකත්වය දුන්නේය.

වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් සිටි ඕලු මරාට හිතෛෂි ගෝලබාලයෝ රැසක්ද වූහ.

වෙන්නප්පුව සිරිගම්පොළ ප්‍රදේශයේ අවිආයුධ අතැතිව මහ දවාලේ ප්‍රසිද්ධියේ යතුරුපැදිවල ගමන් කරමින් ඕලු මරා ඇතුළු කණ්ඩායම, තම කණ්ඩායමට විරුද්ධව යන ඕනෑම තරාතිරමක පුද්ගලයකුට දස වධ දුන්නේය. ඊට ඕලු මරා ඇතුළු කණ්ඩායම සිරිගම්පොළ ප්‍රදේශයේ නිවෙසක වධකාගාරයක්ද පවත්වාගෙන ගොස් තිබූ බව පසුව සැල විණි.

ඕලු මරාගේ එම සාහසික වධකාගාරය ගැන අපරාධකාරයන් පසුපස ලුහුබැඳීමට දක්ෂ පොලිස් නිලධාරියෙකු වන සහකාර පොලිස් අධිකාරි ලෙස උසස්වීමක් ලැබ වෙන්නප්පුව ප්‍රදේශය බාරව ගිය එරික් පෙරේරා මහතාට සැලවිණි. අනතුරුව ඕලු මරාට කිසිදු බුරුලක් නොදුන් සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා ඕලු මරාගේ වධකාගාරය වටලා ඔහු ඇතුළු ගෝලබාලයන් සියලු දෙනාම අත්අඩංගුවට ගත්තේය.

එසේ ඕලු මරා පවත්වාගෙන ගිය වධකාගාරය පොලිසිය වටලා ගත වූයේ මාස දෙකක් වැනි කාලයකි. නැවතත් එවැනි අහිංසක ජනයාට දස වධ දෙමින් ගම්මු භීතියට පත් කරමින් සිටි කොල්ලන් පිරිසක් ගැන වාර්තා වූයේ පසුගියදා හොරණ ප්‍රදේශයෙනි.

හොරණ කිරිගලහේන ප්‍රදේශය මුල් කොට එම පිරිස කප්පම් ගනිමින්, බිය වැද්දීම් කරමින්, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පමණක් නොව සාමාන්‍ය වැසියන්ගෙන් පවා කප්පම් ගනිමින් සැරිසැරුවේ ඔවුනට විරුද්ධව යන ඕනෑම අයෙකුට සිය කණ්ඩායම විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාරයට ගෙනැවිත් දස වධ දෙමිනි. එම කොල්ල කල්ලිය හොරණ, ඉංගිරිය, පාදුක්ක, මොරගහහේන ආදි පෙදෙස්වලද කරක් ගසා ඇත.

නැඟි එන අපරාධ කල්ලියක් වන එම පිරිසේ බොහොමයක් දෙනා ළාබාල තරුණයෝ පිරිසකි. අපරාධකාරයන් පිරිස නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින්, මරණ තර්ජන, බිය වැද්දීම් සිදු කරමින් සිටි බවකි.

දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත බවට සැල වන එකී අපරාධ කල්ලිය යාපනයේ 'ආවා' කල්ලියට සමානව කඩු, කිණිසි, විශාල මන්නා පිහි සහිතව යතුරුපැදිවල ගමන් කරමින් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවටද වාර්තා වේ. මොවුන් බොහෝ විට එලෙස යතුරුපැදිවල නැඟි ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ සැරිසරමින් කොල්ලකෑම් සිදු කරමින් සිටි කණ්ඩායමකි. බොහෝ විට දහවල් කාලයේ නිවෙස්වලට වී නිදියන එම කණ්ඩායම රාත්‍රියට සියලු අපරාධ සිදු කරන බවකි. කලෙක සිටම එසේ එම ප්‍රදේශවල ජනයා බිය වද්දමින් සිටි එම පිරිසේ බොහෝ දෙනා සිය පවුල්වලින්ද අත්හැර දමා ඇත්තේ කරන අපරාධ ක්‍රියා නිසාය. එම කණ්ඩායමේ අපරාධ ගැන කිසිවෙකු වචනයක් හෝ නොකීවේ තිබෙන බයටම නිසා බවට සැල වේ. අඩුම තරමේ කප්පම් ගනිමින් සිටි ජනයා පමණක් නොව වධකාගාරයට රැගෙන ගොස් දසවධ විඳි අය පවා ඔවුනට විරුද්ධව වචනයක් නොකීහ.

පසුගිය දිනෙක එම කණ්ඩායම කිරිගලහේන ගමේම තරුණයන් දෙදෙනෙකු ගස්බැඳ පෙට්‍රල් දමා කකුල් පුච්චා ඇති බවටද සැල වේ. අනතුරුව එම තරුණයන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත්තේද රෝහලට බොරුවක් කියමිනි. එකී කණ්ඩායම ප්‍රදේශයේ ඇතැම් පොලිස් නිලධාරින්ද ළඟින් ඇසුරු කරමින් ඒ 'හයිය'ද අපරාධවලට යොදාගත් බවට සැල වේ. එහෙත් පසුගිය විසිහය වැනිදා මෙකී කල්ලිය ගැන තොරතුරක් ලැබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර පිහිටි සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි කේසර රත්නවීර මහතාටයි.

“මෑතක සිට මේ පළාතේ පිරිසක් ගම්මු බිය වද්දමින් හැසිරෙනවා... කඩු කිණිසි අතේ තියාගෙනමයි පාරේ යන්නෙ... කප්පම් ඉල්ලනවා... මත්ද්‍රව්‍ය බිස්නස් කරනවා... ඒ මදිවට ඔවුනට අවනත නොවන පිරිස අරන් ගිහින් වධ දෙනවා...“

එලෙස ලැබුණු තොරතුර ගැන සහකාර පොලිස් අධිකාරිවරයා විසින් දැනුවත් කළේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතායි. ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ලතීෆ් මහතා එකී අපරාධකරුවන් වැටලීමට අවැසි උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි කේසර රත්නවීර මහතා ඇතුළු කණ්ඩායම සූක්ෂ්ම මෙහෙයුමක් ක්‍රියාත්මක කෙළේය.

තොරතුර ලැබුණු 26 වැනිදා සවසම මෙකී කොල්ල කල්ලියේ නායකයා යැයි කියාගත් ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නමැති විසිදෙහැවිරිදි තරුණයා අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, හොරණ, කිරිගලහේන ප්‍රදේශයේ ඔහුගේ නිවෙසේ සිටියදීයි. විවාහකයකු වන ඔහු අත්අඩංගුවට පත්වූයේ කේරළ ගංජා ග්‍රෑම් 50ක්ද සමඟිනි. ඊට අමතරව නිවෙසේ ඇඳක මෙට්ටය යට සඟවා තිබී කඩුවක්ද සොයා ගැනීමට සමත් විය.

ඔහුගෙන් විශේෂ කාර්ය බළකා නිලධාරිහු දිගින් දිගටම ප්‍රශ්න කළහ. එහිදී අනාවරණය වූයේ එම කල්ලියේ දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් සිටින බවටයි. නීලක නිලධාරින් ඉදිරියේ කළ පාපෝච්චාරණය අනුව ඒ මොහොතේම තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තෙ නීලකගේ නිවෙස ආසන්නයේම පිහිටි තවත් නිවෙසක සැඟවී සිටියදීය. එලෙස අත්අඩංගුවට ගැනුණේ 23 හැවිරිදි හේවගේ අමිල ප්‍රියරංග, 26 හැවිරිදි ලක්හිරු ප්‍රියංකර සහ ළාබාල පාසල් යන වයසේ සිටි 16 හැවිරිදි අවිශ්ක දිල්ෂාන් නමැත්තායි.

එම පිරිස සමඟ අපරාධ සඳහා යොදාගත් කඩු තුනක්, විශාල ප්‍රමාණයේ මන්නි පිහි හයක් සමඟ අපරාධ සඳහාම යොදාගත් දුරකතන හයක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිහු අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට පත්වන මොහොත වන විටත් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි පිරිස ප්‍රමාණවත් ඉගෙනීමක් නැති රැකියාවක් හෝ නොකරන පිරිසකි. නිවෙස්වල වැඩිහිටියන්ද ඔවුන් ගෙවන 'මදාවි' ජීවිතය නිසා නිවෙස්වලින් අත්හැර දමා ඇති බවට සැල වේ. එම කණ්ඩායම අත්අඩංගුවට පත්වූයේ 16 හැවිරිදි අවිශ්ක නමැත්තාට අයත් නිවෙසේ සිටියදීයි. අවිශ්ක සිය මවුපියන් විසින් ඔහු කරන මැරකම් නිසා පවුලෙන් ඉවත් කර ඇති අයෙකි. ඔහුට අයත් යැයි කියන එම නිවෙස බාගෙට හදාගෙන එන කාමර දෙකකින් යුත්තකි. එකී නිවෙස මේ අපරාධ කල්ලිය අහිංසක මිනිසුන්ට වධ දුන් වධකාගාරය පවත්වාගෙන ගිය නිවෙස බවට මේ වන විට තහවුරු වී තිබේ. 

එම නිවෙසින් ඔහුගේ වැඩිහිටියන් නික්ම ගොස් ඇත්තේ අවිශ්ක සමඟ වාසය කිරීමට නොහැකි නිසා යැයිද හෙළි වේ.

අත්අඩංගුවට පත් පිරිස පවසන්නට වූයේ ඔවුන් කිසිදු අපරාධමය කටයුත්තක් සිදු නොකරන බවයි. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ඔවුන් සතුව තිබූ දුරකතන පරීක්ෂාවේදී බොහෝ තොරතුරු හෙළි වී තිබේ. දුරකතනවල තිබූ එක් වීඩියෝවක පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් 'රැප්' සින්දු කියන පරිද්දෙන් නන්දොඩවන ආකාරයක් දිස්වන්නෙ බලා සිටින්නවුන්ටද අප්‍රසන්න දසුනක් මවමිනි. ඊට අමතරව තවත් වීඩියෝවක නීලක සඳරුවන්ගේ කල්ලියට විරුද්ධව ඔත්තු දෙමින්, කප්පම් නොගෙවීම ආදි කරුණු මත ඔවුනට එරෙහිවූ නිසා තරුණයන් පිරිසකට දස වධ දෙන ආකාරයක් දිස් වේ.

මේ කල්ලිය පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත් වීමෙන් පසු එම කල්ලියෙන් වධ විඳි ඇතැමෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් වී සිටිති. ඒ අනුව නීලක නමැත්තාගේ එම කල්ලියෙන් බැට කෑ නම කීමට අකැමැති අයෙකු කීවේ මෙවන් කතාවකි.

“මේ අය ගමේ හැමෝටම ප්‍රශ්නයක් වෙමින් සිටියේ. රෑට ප්‍රසිද්ධියේ අවිආයුධ අරගෙන බයිසිකල්වල යන්නෙ. ඔවුන් කියන දේවලට අකැමැති වන අය අරගෙන ගිහින් වධ දෙනවා. ඒත් අපි ඒවා ගැන කිසි කෙනෙකුට කියන්න ගියේ නෑ. ඇත්තටම තිබුණ බයට. මේ පිරිස රැඳි සිටි නිවෙසින් හැමදාම රෑට මරළතෝනි සද්ද ඇහෙන්නෙ. ඒ ඔවුන් කාටහරි වධ දෙන නිසා. මේ පිරිසට පොලිසියේ සමහර අයගෙන් උදවු ලැබුණා. ඇත්තටම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරි මහත්තුරුන් මේ පිරිස අත්අඩංගුවට නොගත්තා නම් ඉදිරියේ මේ ප්‍රදේශවල මොනවා වෙයිද කියා හිතාගන්නවත් බෑ“

ඔහු කියන පරිදි මෑතකදී නැඟි සිටි මෙකී අපරාධ කල්ලිය පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වී අත්අඩංගුවට නොගත්තේ නම් ඉදිරියේදී රටපුරා මහා පරිමාණ පාතාල ක්‍රියාකාරකම්වලට යොමු වෙමින් රටටම පිළිලයක් වන කල්ලියක් ලෙස ඉදිරියට ඒමටද ඉඩ තිබිණි. ඒ නීලක ඇතුළු කණ්ඩායම මේ වන විට කොළඹ සහ අවට සිටින ප්‍රබල පාතාල කල්ලි සමඟද සබඳකම් පවත්වන බවට සැල වන හෙයිනි. පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වී අපරාධ කල්ලිය මැඬපැවැත්වීමට ඉදිරිපත් වීම ගැන ගම්මු මේ වන විට ප්‍රශංසා මුඛයෙන් කතා කරති.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නෙ මෙවැනි අපරාධ කල්ලි සිටී නම් ළඟම තිබෙන පොලිසියට හෝ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවලට දැනුම් දෙන ලෙසයි. එසේම ආරක්ෂක අමාත්‍යාංශයද මෙවැනි අපරාධ කල්ලි ගැන දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Comments