ඇකඩමික් මාෆියාව නිසා සුගත් අගැයීමට ලක්වුණේ නෑ | සිළුමිණ

ඇකඩමික් මාෆියාව නිසා සුගත් අගැයීමට ලක්වුණේ නෑ

සුගතපාල ද සිල්වා යථාර්ථවාදයේ පුරෝගාමි නාට්‍යකරුවා සේම ඔහුගේ පුද්ගල භාවිතාවද එකී අනන්‍යතාවයේ දර්පණයකි. වේදිකා නාට්‍ය කලාව තාක්‍ෂණික හරඹ වශයෙන් මේ තරම් දියුණු නැති කාල වකවානුවක සුගත් තම නාට්‍ය කලා ව්‍යාපාරය (අපේ කට්ටිය) හරහා භෞතික සමාජවාදී  (Social materialism) චින්තනය ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ආ නමුදු දියුණු තාක්‍ෂණික ලෝකය තුළ තවමත් ඒ දර්ශනය සිංහල නාට්‍ය ක්‍ෂේත්‍රයේ කිසිවකුටත් පහලව නැති බව සුගත්ගේ පෙළ රචනා දෙස් දෙයි.

 

විද්‍යාත්මක ජගත් දෘෂ්ටියක් වශයෙන් පතළ සුගත්ගේ නාට්‍ය කලා භාවිතාවේ ආධ්‍යාත්මික ශ්‍රමය කියවීමටත් වටහා අවබෝධ කරගැනීමටත් ඒ අනුව නිර්මාණකරණයේ නියැළීමටත් අපොහොසත් අය එදා ඔහුගේ නාට්‍යකරණය තුළද අද සමස්ත තරුණ නාට්‍ය පරපුර තුළද සිටිති. ඒ නිසාම සුගත් පුරෝගාමිත්වය දුන් නාට්‍ය කලා ව්‍යාපාරය පෙනී පෙනී සංවාද (ස්වාභාවික) නාට්‍ය භාවිතාවේ එල්ලීගෙන ප්‍රේක්‍ෂකයාගේ මුදල් පසුම්බිය හිස් කරන ජඩ නාට්‍ය ව්‍යාපාරයෙහි ඔවුහු නියැළී සිටිති. තවත් පැත්තකින් සුගත් අනුස්මරණය කරන බව පවසමින් ඔහු සමග සිටියවුන් දක්ෂිණාංශික දේශපාලනයෙහි දංකුඩ වළඳමින් පෙරළා සුගත් ප්‍රශ්න කරමින් සිටිති.

තතු මෙසේ සිදු වෙද්දී මේ සියලු දේ උපේක්ෂාවෙන් විඳ දරා බලා සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධරයකු වන දිමුතු ගලප්පත්ති සුගතපාල ද සිල්වාගේ වැඩිමහලු පුත්‍රයාය. තම පියාගේ කලාව හෝ ජීවිතය පිළිබඳ කිසිදු ප්‍රසිද්ධ මණ්ඩපයක අදහස් දක්වා නැති දිමුතු පළමු වරට මේ සංවාද මණ්ඩපයට එකතු කරගත්තේ වසරක් තිස්සේ දරන ලද අසීරු ප්‍රයත්නයකින් අනතුරුවය.

 

සුගත්ගේ නාට්‍යකරණය/ අභාවය/ පශ්චාත්-සුගත් අවධියේ නාට්‍ය ක්ෂේත්‍රයේ විපරීත තත්ත්වය අපට සුගත්ගේ නාට්‍යමය දෘෂ්ටිය පිළිබඳ නව කථිකාවක් විවර කරනවා. මේ කථිකාවේ පළමු නිමිත්ත නම් ‘යථාර්ථවාදි නාට්‍යකරණයේ සමාජ දේශපාලනික ප්‍රබන්ධය පිළිබඳ හිඩැස’ - The Socio-Political Fictional Gap in the Realistic Theater in Sri Lanka. ඉහත සඳහන් සුගත්ගේ ජීවිත දශාවන් හා ඔහුගේ අභාවයෙන් පසු පශ්චාත් අවධිය අධ්‍යයනය කරමින් ඔබට මීට පිළිතුරු දිය හැකිද?

සුගත් කියන්නේ මාක්ස්වාදී-සමසමාජවාදී අදහසක් තිබුණු සාංතෘෂ්ටිකවාදියෙක් විදිහට තමයි මං ඔහුව දකින්නේ. ඔහුගේ මූලික පරමාර්ථය වූයේ සමාජය වෙනුවෙන් පෙනී සිටීමයි. ඔහු තම පවුලට වඩා තමන්ගේ ‘LIFE POLITICS’ මුල් කරගත් පුද්ගලයෙක්. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඔහු අපට පියකු විදිහට අවශ්‍ය රැකවරණය හා ආරක්ෂාව දුන්නේ නැහැ කියලා. හැබැයි ඔහුගේ ජීවිතය මධ්‍යම පාන්තික දුප්පතකුගේ ලක්ෂණ කියා පෑවා. ඔහු කිසිදු විටෙක භෞතික එකතු කිරීම් සඳහා යොමු වුණේ නැහැ. ඔහුගේ සමකාලීන නිර්මාණකරුවන් සතු මුල්‍යමය ශක්තිය ඔහු ළඟ තිබුණේ නැහැ. පවුලක් හැටියට අපේ ජීවිත දුෂ්කර එකක්. හැබැයි අපි ඒ ජීවිතය පුහුණු කළා. ඒක මාරයි! පවුලක් ලෙස අවශ්‍ය සතුට තිබුණා.

එයාගේ නාට්‍ය පෙළ බොහොමත්ම නාට්‍ය ගුණ තිබුණා. අද වගේ දෙබස් මත පමණක් නාට්‍යය දිග ඇරුණේ නැහැ. මට නම අද තියෙන්නේ නාට්‍යවලට වඩා ප්‍රකාශන. නාට්‍යයේ මූලික ගුණාංගයක් වන ‘ඝට්ටනය’ දකින්න නැහැ. මං හිතන්නේ ඔබ අර්ථ දක්වන ‘යථාර්ථවාදී නාට්‍යකරණයේ සමාජ දේශපාලනික ප්‍රබන්ධය පිළිබඳ හිඩැස’ පැන නඟින්නේ මේ නිසයි. හතරැස් වේදිකාව තුළ තිබිය යුතු අපූර්වත්වය අද ගිලිහිලා. තරුණ පරපුරේ නාට්‍යකරුවන් ‘දෙබස්’ නාට්‍යයක් කියලා හිතනවා.

සුගත්ගේ නාට්‍ය බිහි වන්නේ සරච්චන්ද්‍රයන්ට එරෙහිවයි. ශෛලිගත නාට්‍යය වෙනුවට තාත්වික නාට්‍ය. මට අනුව සුගත් එරෙහි වුණේ ලංකාවේ ‘ඇකැඩමික්’ මෙහොතකට. සරච්චන්ද්‍ර විශ්වවිද්‍යාල පසුබිමක් සහිතව ඉන්නේ. සුගත් සාමාන්‍ය පුද්ගලයෙක්. ලංකාවේ ප්‍රකාශනය අනුව උගතෙක් නොවෙයි. ඔහුගේ නිර්මාණ සියල්ල සඳහා මේ ‘NON-ACADEMIC’ තත්ත්වය බලපෑවා. මොකද, ලංකාව මට අනුව ‘ඇකැඩමික්’ කුහකයන්ගෙන් පිරුණු රටක්. අනෙක් එකාගේ කකුලෙන් අදින එකේ සීමාවක් නැහැ. ඒ නිසා තමයි වර්තමානයේ ඔහුගේ නිර්මාණ පවත්වා ගෙන යා හැකි පසුබිමක් ගොඩ නොනැඟෙන්නේ. ලංකාවේ ‘මාරයි’ කියලා කියන්න බැරි නිර්මාණකරුවන්ගේ නිර්මාණ අද විෂය පෙළ පොත්වල තියෙනවා. සුගත් කියන්නේ ලංකාවේ තාත්වික නාට්‍ය කලාවේ පියා. එහෙත් ඔහුව රටක් ලෙස අද අමතක කරලා. මොකද ඔහු කිසිදු විශ්වවිද්‍යාලයකට අයිති නැති නිසා. ඔහු ජීවත්ව සිටි කාලයේ අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයකට තිබුණා ඔහු ලාංකේය වේදිකාව වෙනුවෙන් කළ කාර්ය ය අගයන්න. අද නිකමුන්ට විශ්වවිද්‍යාල ඇගයීම ලැබීම දකින කොට සුගත් ගැන දුකක් ඇති වෙනවා.

සුගත්ගේ පළමු වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍යය ‘බෝඩිංකාරයෝ’. ඒක එයාගේ ජීවිත අත්දැකීමක්. එයා කොළඹ ජීවත් වුණේ බෝඩිංකාරයෙක් විදිහට. නාට්‍ය පෙළෙහි අපූර්වත්වය තියෙන්නේ මේ නිසා. එයාගේ ස්වතන්ත්‍ර නාට්‍ය සියල්ලෙහිම වස්තුබීජය වන්නේ එයාගේ ජීවිත අත්දැකීම්. අහසේ තියෙන කතා එයා ස්වතන්ත්‍ර නාට්‍ය විදිහට රචනා කළේ නැහැ. ඒ නිසාම යථාර්ථවාදී නාට්‍යකරණයේ සමාජ දේශපාලනික ප්‍රබන්ධය ඔහු දැනුවත්ව සිදු කළා කියලයි මං හිතන්නේ. ‘GOVERNING POLITICS’ හා ‘LIFE POLITICS’ මේ නිසා ඔහුට තම නාට්‍ය පෙළෙහි ඇති චරිත මගින් හොඳින් හැසිරිය හැකි ශක්‍යතාවක්, නිසඟ හැකියාවක් තිබුණා. මං ඔහු ‘දුන්න දුනුගමුවේ’ නාට්‍යය ප්‍රතිනිර්මාණය කරනවා දැකලා තියෙනවා. ධනපතියා, නිර්දන පන්තිය නියෝජනය කරන විප්ලවවාදියා හා පවුල අතර ඇති වන ගැටුම ඔහුගේ නාට්‍යය වෙනවා. ඒ කියන්නේ යථාර්ථය හා පවතින්නා වූ සමාජ-දේශපාලනය පිළිබඳ ප්‍රබන්ධය ඔහු හොඳින් සිදු කරනවා. ඒ කියන්නේ සත්‍යය පිළිබඳ හෙළිදරවුවක් කරන්න උත්සාහ ගන්නවා කියලා මට හිතෙන්නේ. ඔහුගේ සියලු නිර්මාණ තුළ මේ සත්‍යය දැකගන්න පුළුවන්. අද නාට්‍යයේ නැති සාධකය වන්නේ මේ සත්‍යයයි. ඒවා ප්‍රබන්ධ පමණයි. සුගත්ගේ නිර්මාණ සර්වකාලීන මුහුණුවරක් ගන්නේ මේ නිසයි. මාක්ස්වාදී-සමසමාජවාදී දේශපාලන හැසිරීමක් සහිත සාන්දෘෂ්ටිකවාදී ජීවන චරිත ඔහුගේ නිර්මාණ තුළ දක්නට හැකි වුණා. ‘මරා-සාද්’ එහි අග්‍රඵලය ලෙස මා දකිනවා. විප්ලවවාදියකු හා පරපීඩක කාමාතුරයකු අතර දෙබස හා ගැහැනිය නිසා හැම විට විප්ලවය පවා දීමට සිදු වීම. මං හිතන්නේ මේ වස්තුවිෂය සත්‍යයක්. ලංකාවේ මෙන්ම ලෝකයේ සිටින විප්ලවවාදියාට (මාක්ස්වාදි-සමසමාජවාදි අර්ථයෙන්) අත්ව ඇති ඉරණම මේකයි.

සුගත් තම නිර්මාණ මගින් සිදු කළ ‘ලිංගික ප්‍රකාශනය’ බොහෝ සියුම් හා බැරෑරැම් ලෙස ඔහු ඉදිරිපත් කළා. විශේෂයෙන් ඔහු විසින් රචිත පොත් තුළ මෙය තදින්ම දැකගන්න පුළුවන්. දැන් වේදිකාවේ කතා කරන ඍජු ලිංගික ප්‍රශ්නවලට වඩා (මට නම් ඒ නාට්‍ය පේන්නේ ලිංගික කියන කාරණය ‘මාකට්’ කරන්න දරන උත්සාහයක් පමණයි. හුදෙකලා සිද්ධි සමාජගත කිරීම මගින් වේදිකාව තුළ සුරතාන්තයට පත් වීම දරන වෑයමක් ලෙසයි. සරලවම කිව්වොත් ලිංගිකත්වය ගැන කතා කිරීමෙන් පොරක් වීමට දරන උත්සාහය) ඔහුගේ නාට්‍යවල තිබුණේ ලිංගිකත්වය සමාජ බලපෑමක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද යන්න විග්‍රහයක යෙදීම. ‘හිතහොඳ අම්මණ්ඩි’ (GOOD WOMAN OF SETZUAN), තුරඟ සන්නිය (THE HORSE), ඇසළ සඳ අවන්හල (THE AUGUST MOON), හරිම බඩු හයක් (THE SIX CHARACTERS), මරාසාද් (MARAT SADE) මේ සම්බන්ධයෙන් පැහැදිලි නිදසුන් (ඉහත නාට්‍යවල චරිත පිළිබඳ විග්‍රහයක යෙදීමෙන් ඔබට මේ තර්කනය වඩාත් තීව්‍රව කිරීමට පුළුවන). ඔහුගේ ස්වතන්ත්‍ර සියල්ල තුළත් මේ ලක්ෂණය දකින්න පුළුවන්. විශේෂයෙන්ම මිනිසුන්ගේ ලිංගික අනන්‍යතාව ඔහු ප්‍රශ්න කළා. අද නාට්‍යවල තියෙන්නේ ‘ඇඳේ’ ප්‍රශ්නයක්. සුගත් යෙදුණු සමාජ විවරණය අද නාට්‍යයේ නැතිකම තමයි ඔබ යෝජනා කරන තත්ත්වය ඇති වීමට මූලික වන්නේ කියල මට හිතෙනවා.

 

දිමුතු ගලප්පත්ති වන ඔබ සුගත්ගේ පුත්‍රයා. එහෙත් මෙරට කලාකරුවන්ගේ පුත්තු තම පියවරුන්ගේ බුද්ධිමය දේපළ අනුකරණය කරනු අප නෙත ගැටෙන ආකාරයෙන් ඔබ අපේ නෙත ගැටෙන්නේ නැහැ. එසේ වන්නේ ඔබට සුගත් අනුකරණය කළ නොහැකි යැයි ඔබ සිතන නිසාද? නැති නම් අනුකරණය නොකළ හැකි දර්ශනයක් ඔහු තුළ තිබේයැයි ඔබ තවමත් සිතන නිසාද? නැති නම් වෙනත් පෞද්ගලික හෝ පොදු කාරණා ඔබට හෝ ඔබ දෙදෙනා අතර තිබෙන නිසාද?

මූලිකවම සුගත් කියන්නේ අනුකරණය කළ නොහැකි පුද්ගලයෙක්. මන්ද යත්: සුගත් ‘UNIQUE CHARACTER’ එකක්. ‘සොඳුරු ආඥාදායකයකු’ වීම පහසු කාරණයන් නෙමෙයි. අනෙක එයා එයාගේ ‘LIFE POLITICS’ ප්‍රධාන මාධ්‍ය තුනක් ඔස්සේ කරනවා. පොත් ලියනවා (නවකතා හා පරිවර්තන). ගුවන් විදුලි නාට්‍ය කරනවා. වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරනවා. එයා තව මාධ්‍ය දෙකක් ඔස්සේ තම අත්හදා බැලීම් කර තිබෙනවා. ඒ කවිය හා සිනමාව. මේ මාධ්‍ය දෙකම එයා අත්හරිනවා. මං හිතන්නේ සිනමාව අත්හරින්නේ ඔහු චිත්‍රපටයක් හදන්න ගිහින් මුහුණ පෑ කාරණා නිසා හා ප්‍රාග්ධන ඌනතාව (නිෂ්පාදකයකු සොයාගැනීමේ අපහසුව) මත විය යුතුයි. කවිය ඔහු කියවන්න ප්‍රිය කළ නමුත් ලියන්න ප්‍රිය කළේ නැහැ. ඒ නිසා වෙන්න ඇති ඔහු අතින් ගී පද මාලා ලියවුණේ නැත්තේ.

ඔහු නිර්මාණකරණයේ යෙදුණු ප්‍රධාන මාධ්‍ය තුනම ඔහුගේ අනන්‍යතා සලකුණු තියෙන තැන්. එයා එම නිර්මාණ තුළ ජීවත් වුණා. එහෙයින් ඒවා කිසිවිටෙකත් අනුකරණය කළ නොහැකි නිර්මාණ බවට පත් වුණා. පොත් ලිවීමේදී හා පරිවර්තනයේදී ඔහුටම අනන්‍ය වූ භාෂාවක් ඔහු යොදාගත්තා. මෙයට හොඳම නිදර්ශනය ‘ඇටමැස්සා’ පරිවර්තනය. එය ලංකාවේ බොහෝ පාඨකයන් විසින් කියවන ලද පොතක්; විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් කියවන්නට යෙදුණු පොතක්. මං හිතන්නේ දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මේ පිළිබඳ දැනීම අල්ප බවයි. විප්ලවය හා ගැහැනිය පිළිබඳ අපූරු කියවීමකට එම පොත අප ගෙනයනවා. එසේ සිදු වන්නේ මුල් පොතේ ඇති අන්තර්ගතයට කිසිම බාධාවක් නොවන අයුරින් ඒ පරිවර්තනය සිදු වී ඇති බැවින්. එයාගේ පරිවර්තන සියල්ල එහෙමයි. මට නම් ලංකාවේ මේ වන විට බිහිවූ විශිෂ්ටතම පරිවර්තකයා සුගත්. හැබැයි ඒ සම්බන්ධයෙන් ඔහුව විශේෂ සමාජ ඇගයීමකට ලක් වන්නේ නැහැ. ඒ දවස්වල ඉඳන්ම පොත් සම්මාන මාෆියාව සුගත්ව අගයන්නේ නැහැ. මොකද එයා මං ඉස්සෙල්ලා කිව්වා වගේ ‘ඇකැඩමික්’ නැති නිසා. එයා කිසිම විශ්වවිද්‍යාලයක් නියෝජනය කරන්නේ නැහැ. ඒක පොත්වලට විතරක් නෙමෙයි, එයාගේ හැම නිර්මාණයක් සඳහාම බලපෑවා.

අනෙක මුල් නාට්‍යය අලුත් නළුනිළියන් දාලා මුල් නාට්‍යකරුවා විසින් කරන ලද වේදිකා හැසිරීම කළ පමණින් එය ඒ කලාකරුවාගේ නාට්‍යයක් වෙන්නේ නැහැ කියන අදහසේ තමයි මං ඉන්නේ. මොකද ප්‍රතිනිෂ්පාදයේදී මුල් කලාකරුවා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු ‘දර්ශනය’ පවත්වාගැනීමට හැකි වීම වැදගත්. ෂේක්ෂ්පියර්, බ්‍රෙෂ්ට්, ඊස්කිලස්ගේ හෝ වේවා එකී නාට්‍යකරුවාගේ ප්‍රකාශනය පවත්වාගනිමින් නව නිෂ්පාදනය කළ යුතු වෙනවා. එසේ නැති වුණොත් ඒ නිර්මාණය අසමත් වෙනවා. අපි මේ අත්දැකීම විදේශ නාට්‍යකරුවන්ගේ නිර්මාණ ලාංකීය වේදිකාවේ ප්‍රතිනිර්මාණය තුළ දැක තිබෙනවා. මං හිතන්නේ ඒක අද ජීවත් නොවන අපේ නාට්‍යකරුවන්ටත් අදාළයි. අද සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය බලන කොට අර මුල් යුගයේ දැනුණු හැඟීම එන්නේ නැහැ. තවත් නාට්‍ය වාරයක් අවසන් කරන්න හැමෝම ගන්නා උත්සහයක් විතරයි පෙනෙන්නේ. ඒ වගේම බොහෝම යාන්ත්‍රික ලෙස හැසිරෙන නළුනිළි කණ්ඩායමක් දැක ගන්න පුළුවන්. ඒ වගේම නාට්‍යය තවත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් වෙලා. මෙහිදී නාට්‍ය සංවිධායකයන්ගේ මාෆියාව ප්‍රබලයි. මං මේ කතාව කියන්නේ වසර තුනකට පමණ සුගත්ගේ නාට්‍යයක් කරන්න ගිහින් ලද අත්දැකීම් නිසා.

මෙහිදී වැදගත් වන කාරණයක් තමයි සුගත්ගේ නිර්මාණ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා මුල්‍ය අනුග්‍රහය දැක්වීම සඳහා අර්ථපතීන් ඉදිරිපත් නොවීමයි. මන්ද, සුගත්ගේ නාට්‍යවලින් මුදල් හම්බ කළ නොහැකි නිසා. පවුලක් ලෙසත් සුගත්ගේ නාට්‍ය ප්‍රතිනිර්මාණය සඳහා අවශ්‍ය ප්‍රාග්ධන ශක්තිය නැහැ. ලංකාවේ මේ වන විට සිටින නාට්‍ය අධ්‍යක්ෂකවරුන් සමඟ නාට්‍ය ප්‍රතිනිර්මාණය කරමු යන යෝජනා ලැබුණත් පෞද්ගලිකව මා එයට එකඟ නැහැ. සුගත්ගේ නාට්‍ය නැවත කරන අධ්‍යක්ෂකවරුන් සුගත් විසින් යෝජනා කරන සමාජ මොහොතක ජීවත් විය යුතු යැයි මා පෞද්ගලිකව පිළිගන්නා නිසා. ‘ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට’. අද මට අනුව ලංකාව තුළ කලාව හා කලාකරුවා අහෝසි වෙලා ඉවරයි.

සුගත් ගැන කියවීමක් නැති කිසි කෙනකුට සුගත්ගේ නාට්‍ය ප්‍රතිනිර්මාණය කළ හැකියැයි මා පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි සුගත් කියන ‘සංකේත පියා’. එයාගේ දරුවන් විදිහට සුගත්ව අතික්‍රමණය පහසු කාර්යයක් නොවෙයි. සුගත් තම දරුවන් ස්වාධීන පුද්ගලයන් ලෙස වැඩීමට අවශ්‍ය කටයුත්ත අප ඉපදෙන විටම හදලා දෙනවා. ඒ කියන්නේ ‘ද සිල්වා’ යන පෙළපත් නම වෙනුවට අප ‘ගලප්පත්ති’ ලෙස නාමකරණයේ යොදවනවා. ඔහුගේ පෙළපත් නාමය අපේ වාසගම බවට පත් කරනවා. සුගත්ගේ දරුවන් ලෙස ඇත්තටම අපි නිදහස්. ඒක මාර ජීවන අත්දැකීමක්! අපි ‘ද සිල්වා’ නොවෙයි; ගලප්පත්තිලා. සුගත් සංකේත පියාගෙන් අප මුදනවා.

ශෛලිගත හෝ අර්ධ ශෛලිගත නාට්‍ය ප්‍රතිනිර්මාණයේදී සංගීතය විසින් නිර්මාණකරුවා වසන් කිරීම සිදු කළ හැකි යැයි මා සිතනවා. එහෙත් තාත්වික නාට්‍යයේදී එසේ වන්නේ නැහැ. නාට්‍යයේ ‘දර්ශනය’ බැහැර වූ කළ නාට්‍යය වැඩක් නැහැ. සුගත් තමාගේ අත්දැකීම් එකතු කිරීමට පොත් පරීශීලනය සඳහා තදින්ම කටයුතු කළ අයෙක්. අද සිටින නිර්මාණකරුවන් තුළ මේ සාධකය දක්නට ලැබෙනවා අඩුයි. මා පිළිගන්නා දෙයක් තමයි පරිකල්පන වර්ධනය සඳහා පොත් කියවීම අත්‍යවශ්‍ය බව. අද නිර්මාණවල ‘දර්ශනය’ දක්නට නොලැබෙන්නේ මේ නිසයි කියලා මා සිතනවා.

Comments