අපි දැන් මහ ඡන්දෙට සූදානම් වෙනවා | සිළුමිණ

අපි දැන් මහ ඡන්දෙට සූදානම් වෙනවා

අලුත් ආණ්ඩුව බලයට පත්වී මාස එක හමාරක් වැනි කෙටි කාලයක් ගෙවී ගිහින්. අලුත් ආණ්ඩුව ගැන ඔබේ අදහස මොකක්ද?

අලුත් ආණ්ඩුව බලයට පත්වුණේ විශාල ජන වරමක් දිනාගෙන. ආණ්ඩුව ජන වරමක් දිනා ගත්තේ ජනතාවට පොරොන්දු සහ සහන රාශියක් ඉදිරිපත් කරලා. නව රජය ඒ පොරොන්දු ඉෂ්ට කරයිද, සහන ලබා දෙයිද කියලා ජනතාව දැන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේ ම රජය ඒවා ඉෂ්ට කරයි ද කියලා බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දීපු පොරොන්දු ඉෂ්ට කර ගැනීම සඳහා අපි අවශ්‍ය තැනදී රජයට සහය දෙනවා. විශේෂයෙන් රජය කරන හොඳ දේවල්වලට සහය දෙනවා. නිදසුනක් හැටියට පොල් සම්බන්ධයෙන් ගැටලු මතු වුණ වෙලාවේ අපි රමේෂ් පතිරණ අමාත්‍යවරයා සමඟ කතා කරලා ඊට අවශ්‍ය සහයෝගය දුන්නා. සහල් මිල ඉහළ යෑම සම්බන්ධනේ අපි කතා කරලා තිබෙනවා. ඒ ගැන තවමත් කටයුතු කරගෙන යනවා. රජයේ හොඳ දේවල්වලට අපි සහය දුන්නාට රජය බලයට පත්වීමේදී ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කරන තෙක් අපි ජනතාවගේ පැත්තෙ සිටිමින් රජයට බලපෑම් කරන බවත් සඳහන් කළ යුතුමයි.

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණේ ඉතා අසතුටුදායක ඡන්ද ප්‍රතිඵලයක්. එය ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට‍ බලපෑමක් වෙයිද?

ජනාධිපතිවරණයක් ගත්තාම තුන් වැනි පාර්ශ්වයකට ඉඩක් නැහැ. ජනතාව තීන්දු තීරණයක් ගන්නේ ප්‍රධාන පක්ෂ දෙක සමඟයි. මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපිව ප්‍රතික්ෂේප කළා කියලා මම කියන්නේ නැහැ. ජනතාව අපිට කැමැතියි. ඒත් ඡන්දෙ දෙන්නේ නැහැ. මෙවර ජනාධිපතිවරණයේ 1 වැනි මනාපය ප්‍රධාන පක්ෂ දෙකින් එකකට ගහලා 2 වැනි මනාපය ජාතික ජන බලවේගයට ගහපු අය ඕනෑ තරම් හිටියා. එයින් පෙනෙන්නේ ජනතාව අපිව ප්‍රතික්ෂේප කළා කියන එක නොවෙයි. අපි දිනයි කියලා හිතන්නේ නැති නිසා ඡන්දය නොදීම. ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙක අතර තරගය තිබුණේ. මහ මැතිවරණයේදී තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් වෙනවා. මහ මැතිවරණය කියන්නේ එක් කෙනෙක් තෝරන ඡන්දයක් නොවෙයි. 225 ක් තෝරන ඡන්දයක්. එහිදී මෙවර ලැබූ ඡන්ද ප්‍රතිඵලය උඩු යටිකුරු වන බව මට විශ්වාසයි.

කොහොමටත් ජනතාව ඡන්දයකින් ඡන්දයකට හිතන විදිහ වෙනස්. උදාහරණයක් හැටියට 99 පැවැත්වුණු ජනාධිපතිවරණයේදී අපිට ගන්න පුළුවන් වුණේ තුන් ලක්ෂ ගණනක්. ඒත් එවර පැවැත්වුණු මහ මැතිවරණයේදී ඡන්ද හයලක්ෂ ගණනක් ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි වුණා. මැතිවරණයකින් මැතිවරණයකට ඡන්දෙ දෙන විදිහ වෙනස් වන නිසා ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට වඩා යහපත්, ඉහළ ප්‍රතිඵලයක් මෙවර ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ වන විට මහ මැතිවරණය සඳහා සූදානම් වෙනවාද?

ඔව්. අපි මේ වන විට ජනතාව දිනා ගැනීමේ දින 50 මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. බිම් මට්ටමේ සිට පක්ෂයේ ඉහළම ස්ථාන දක්වාත් පක්ෂයේ ඉහළ සිට පහළ දක්වාත් සියලුම දෙනා එක්වී ජනතාවට කතා කරන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය මට්ටමින් කොට්ඨාස මට්ටමින් සංවිධානය කරමින් අපි මහ මැතිවරණය සඳහා ලොකු වැඩපිළිවෙළකට සූදානම් වෙනවා.

මහ මැතිවරණයේදී තරග වදින්නේ ජාතික ජන බලවේගය නමින් ද? ජනතා විමුක්ති පෙරමුණ නමින් ද?

ජාතික ජන බලවේගය නමින් මාලිමාව ලකුණ යටතේ.‍

පසුගිය ජනාධිපතිවරණයේදී “ජාතික ජන බලවේගය” යන සංකල්පය පොදු ජනතාව හොඳින් ග්‍රහණය කර ගත් බවක් පෙනුණේ නැහැ. ඇතැම් පිරිස් ජනාධිපති අපේක්ෂකයාව හැඳින්වූවේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා විදිහටයි. “ජාතික ජන බ‍ලවේගය” සංකල්පය ග්‍රහණය නොවුණේ ඇයි?

ජනතාව ග්‍රහණය කර ගත්තේ නැහැ කියලා කියන්නම බැහැ. ඒත් ඔබ කිව් විදිහට සමහරුන්ට ජාතික ජන බලවේගය ගැන අදහසක් තිබුණේ නැහැ. ඒකට හේතුව විදිහට මම දකින්නේ ජනතා විමුක්ති පෙරමුණ මිනිසුන්ගේ හදවත් තුළ කිඳා බැස තිබීම. ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැඟුණේ 1965 දී. ඊට පසු 1971 දීත් 1988 – 1989 දීත් දැඩි භීෂණකාරි මර්දනයකට, ව්‍යසනයකට මුහුණ දුන්නා. ඒ සිද්ධි නිසාත් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ මතකයේ රැඳුණා. අනික, ජනතා විමුක්ති පෙරමුණ ගොඩන නඟා ගත් අනන්‍යතාවක් තිබෙනවා. පක්ෂයට නිශ්චිත ප්‍රතිපත්තියක් තිබෙනවා. පක්ෂයට හැඩයක් තිබෙනවා.

ඒ සියල්ල සමඟ මිනිස් හදවත් තුළින් මතු වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. එය එකපාරටම වෙනස් කරන්න අමාරුයි. එය සම්පූර්ණයෙන් අයින් කරන්න බැහැ. මේපාර මහ මැතිවරණයේදි ජාතික ජන බලවේගය ගැන ගිය පාරට වඩා පුළුල්ව දැනුම්වත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.‍‍

සාමාන්‍යයෙන් පක්ෂ ප්‍රතිපත්ති අනුව ජාතික ජන බලවේගය වටා ඒකරාශි විය යුත්තේ කම්කරුවන් ඇතුළු පීඩිත පංතිය. එසේ වුවත් අද ජාතික ජන බලවේගය වටා එක්රොක් වී සිටින්නේ වියත් පිරිසක් බව පෙනෙනවා. එසේ වූයේ කොහොමද?

ජාතික ජන බලවේගය වටා උගත්, මධ්‍යම පාංතික පිරිස් වැඩි වශයෙන් එකතු වී සිටින බවක් පෙනෙනවා. ඔවුන්ගේ වැඩි නැඹුරුතාවක් තිබෙනවා. ඡන්ද ප්‍රතිඵල දිහෑ බලපුවාමත් අපිට ලැබුණු ග්‍රාමීය ඡන්දවලට වඩා නාගරික ඡන්ද ප්‍රමාණය වැඩියි. මෙවර ජනාධිපතිවරණයේදි නම් ග්‍රාමීය මට්ටමේ බොහෝ ඡන්ද ජාතිවාදි හා ආගම්වාදි අන්තවලට ගියේ. එහෙම වුණත් අපේ පක්ෂය ජනප්‍රිය පක්ෂයක්. මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා නම් ජනතා විමුක්ති පෙරමුණට කැමතිත් නැහැ. ඡන්දෙ දුන්නෙත් නැහැ. ඒත් දැන් ජනතාව අපිට කැමතියි.

අපි‍ දේශපාලන කරළියේ ඉන්න ඕනෑ කියනවා. අපි වැඩ කරනවා කියලා කියනවා. අපි එක්ක කතා කරනවා. ඒත් අපිට ඡන්දෙ දෙන්නේ නැහැ. අපි කොයි තරම් ආaකර්ෂණයට ලක් වුණත් දිනනවා කියන මානසිකත්වය නැති නිසා අපිට ඡන්දෙ දෙන්නේ නැහැ. මාත් එක්ක ගොවි ජනතාව දහස් ගණනක් එකතු වෙලා ඉන්නවා. ඒත් ඒ හැමෝම අපිට ඡන්දෙ දෙන්නෙ නැහැ. මම කලින් කිව්වා වගේ අපි දිනනවා කියන මානසිකත්වය ජනතාවට ආවොත් අපිට ඡන්දය දෙයි. අපි වටා මීට වැඩි පිරිසක් ඒකරාශි වේවි.

වත්මන් තරුණ පරම්පරාව ජනතා විමුක්ති පෙරමුණෙන් ඈත් වී සිටිනවා. අද විශ්ව විද්‍යාල තුළ සිදු වන ඇතැම් ක්‍රියා නිසා ජනතා විමුක්ති පෙරමුණ ගැන තරුණ පෙළ විශාල කලකිරීමකින් සිටින්නේ. එය නිවැරදි කරගන්නේ කොහොමද?

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව කියපුගමන් ඔවුන්ට ජනතා විමුක්ති පෙරමුණේ ලේබලය වදිනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නොවුණත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ඇතැම් ක්‍රියා නිසා හංවඩු ගැහෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මෑතකදි රුහුණු විශ්ව විද්‍යාලයේ ළමයින්ට දීලා තිබුණු නවක වදය සිද්ධි ගැන අහලා අපි පුදුම වුණා. අපේ පක්ෂය කවදාවත් හිංසාව, වද දීම් අනුමත කරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කවදත් නවක වදයට විරුද්ධයි. වෙනත් ළමයින් කරන කියන දේවල් වලින් ජනතා විමුක්ති පෙරමුණට අවාසියක් වෙනවා. තරුණ ප්‍රජාව දැනුවත් කරන, තරුණ ප්‍රජාවට අපේ පක්ෂය ගැන අවබෝධයක් ලබා දෙන වැඩසටහන් අපි සැලසුම් කර තිබෙනවා. තරුණ තරුණියන් ඉලක්ක කර ගත් තරුණ සංගමයක් අපි ස්ථාපිත කර තිබෙනවා. තරුණ සංගමය හරහා අපි රටේ තරුණ ප්‍රජාව අවදි කරන්න බලාපොරොත්තු වෙනවා. අද තරුණ පරම්පරාව ගැන අපේ පක්ෂය විතරක් නොවෙයි, රටේ සෑම දේශපාලන පක්ෂයක් ම කතා කළ යුතු වෙනවා. මොකද අද තරුණ පරම්පරාව වෙනත් ප්‍රවණතා එක්ක ඉන්නේ. ෆේස්බුක්, ස්මාට් ෆෝන්, ඉන්ටර්නෙට් එක්ක ඔවුන් තනිවෙලා. මේ ගැන අපි රටක් විදිහට හිතන්න ඕනෑ. අද ඔවුන් වේදිකා නාට්‍යයක් නරඹන්නේ නැහැ. චිත්‍රපටයක් බලන්නේ නැහැ. ඒ නිසා තමයි අපි තරුණ සංගමය හරහා ඔවුන් ආමන්ත්‍රණය කරන්න හිතුවේ.

ජනතා විමුක්ති පෙරමුණ තුළ අපට කාලයක පටන් දකින්න ලැබෙන්නේ එකම පිරිසක්. මෙහි 2 වැනි පෙළක් බිහි නොවු‍ණේ ඇයි?

අපේ පක්ෂය කැපිලි කෙටිලි තියෙන පක්ෂයක් නොවෙයි. කුල ගෝත්‍ර, පංති භේද කිසිවක් අපේ පක්ෂයේ නැහැ. දක්ෂතාව, අවංකභාවය හා කැපවීම තිබෙනවා නම් ඕනෑම කෙනෙකුට ඉදිරියට එන්න පුළුවන්. අපේ පක්ෂයට අනුව මන්ත්‍රීවරුන්ට වැටුප් ගන්න බැහැ. සමහරුන්ට එය පෞද්ගලිකව කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා පක්ෂය වෙනුවෙන් වැඩ කළාට ඡන්දය ඉල්ලන්න අකමැති වෙන්න පුළුවන්. කොහොම වුණත් අපේ පක්ෂයේ අවශ්‍යතාව සමඟ මේ වන විටත් දෙවැනි පෙළක් බිහි කරමින් සිටින්නේ. දේශපාලන ප්‍රවාහය පුළුල් වන විට දෙවැනි පෙළේ චරිත මතු වේවී.

සංවාදය - හර්ෂා සුගතදාස

Comments