සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ කළමනාකරණය වෘත්තිකයන්ට බාර දෙමු | සිළුමිණ

සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ කළමනාකරණය වෘත්තිකයන්ට බාර දෙමු

කොළඹ නගරාධිපති වශයෙන් ක්‍රියා කළ වී.ඒ. සුගතදාස මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තනා නිම කළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය තනවන ලද්දේ බ්ලුමැන්ඩල් කුණු කන්ද සමතලා කරමිනි. ට්‍රෑම් රථ මධ්‍යස්ථානය ඉවත් කරමින් ගෘහස්ථ ක්‍රීඩාගාරය තනවන ලදී.

එතැන් සිට දශක දෙකක් තිස්සේ මෙරට පවත්වන ලද ජාතික හා අන්තර්ජාතික තරග ගණනාවකට දායකත්වය දුන් මෙම ක්‍රීඩා සංකීර්ණය 1983 වන විට අබලන් තත්ත්වයක පැවතිණි. මෙය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාවක් නගර සභාවට නොවීය. මෙම තත්ත්වය නිසාත් 1991 දකුණු ආසියාතික තරග සඳහා අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක් අවශ්‍ය නිසාත් නගර සභාව විසින් මෙම කටයුතු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාට භාර කරන ලදී.

ජපන් රටේ ඉං‍ජිනේරු සහාය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය මගින් තනවන ලද මෙම ක්‍රීඩා සංකීර්ණයේ 1991 දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළ පවත්වන ලදී. මෙම ක්‍රීඩා උලෙළින් පසු මෙම සංකීර්ණයේ පාලනය ආපසු නගර සභාවට දුන්නේ වත්, කම්මැළි අමාත්‍යාංශයක් වූ ක්‍රීඩා අමාත්‍යාංශයට වත් දුන්නේ නැත. ඒ සඳහා සුගතදාස ක්‍රීඩාංගණ පාලක මණ්ඩලයක් පත් කර ඔවුන් ලවා මෙම පාලනය ගෙන යන ලදී. මෙම පිටියෙන් ලත් ආදායම් සෙසු ජාතික සංගම්වලට බෙදා දීමට තරම් දියුණුවක් මෙම පාලක මණ්ඩලය විසින් එක්කර ගෙන තිබුණි.

සුගතදාස අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණය විවෘත කළ දිනයේ පැවැති ආචාර පෙළපාළියට ශ්‍රී ලක් මලල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සහභාගී වූ මෙම ලියුම්කරු ඉන් පසු වසර ගණනාවක් එහි පැවැති තරගවලට හා උත්සවවලට සහභාගී විය. එම කාලයේ සමස්ත ක්‍රීඩා සංකීර්ණයම පිරිසිදුව පැවැතුණි. කාක්බෙටි, කාකබෝ, කුණු කසළ දකින්නට වත් නොවීය. ක්‍රීඩා තරග පැවතුනත් නැතත් මෙම පිරිසුදුකම දිනපතා දකින්නට හැකිවිය. එවකට ආරියසේන නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් දැඩි පාලනයකට යටත් කළ මෙම සංකීර්ණය මෙරට ක්‍රීඩා ඉතිහාසයේ දීප්තිමත් යුගයක් සටහන් කළේය.

එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සිටි විවිධ ඉං‍ජිනේරු ශිල්පීන්ගේ දායකත්වය මේ සඳහා නිරන්තරයෙන් ලැබුණි. වරින් වර විදේශ විශේෂඥ උපදෙස් ගනු ලැබුණි.

මෙම සාර්ථක තත්ත්වය කඩා වැටෙන්නට පටන් ගත්තේ 1996 දී ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් පත් වූ එස්.බී.දිසානායක මහතා මෙය 1999 අංක 17 දරන පාර්ලිමේන්තු පනතක් මගින් මෙය අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමේන් පසුවය.

ඉන්පසු කෙටි කලක් අමාත්‍යවරයාත් අමාත්‍යාංශ ලේකම්වරයාත් මෙහි සභාපති පදවි දැරූ අතර ශ්‍රී.ල.ප.සේ නිලධාරීන්, හමුදා නිලධාරීන්, නිතිඥයන්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩා නිලධාරීන් වශයෙන් විවිධ පිරිසක් මෙහි සභාපති පදවියට පත්වුහ. මොවුන් මේ සංකීර්ණයේ පාලන කටයුතු පිළිබඳ වෘත්තිකයෝ හෝ විශාරදයෝ නොවුහ. මොවුන් හැඳින්විය හැක්කේ දේශපාලන ගන්ධබ්බයන් හැටියටය. මොවුන්ගේ උපරිම අවධානය යොමු වූයේ සුගතදාස කෘත්‍රීම ධාවන පථයෙන් වවාගෙන කන්නටය. මේ නිසා මෙය අයාලේ යන ආයතනයක් බවට පත් වූවේය.

අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගණ නඩත්තුව පිළිබඳ මූලධර්ම අනුව මෙය අවුරුදු 25කට වරක් පූර්ණ අලුත් වැඩියාවකට යොමු කළ යුතුය. එහෙත් මෙයට 2018 දී අවුරුදු 56 ක් පිරුණත් එවැන්නක් කර නැත. ලෝක ප්‍රසිද්ධ මෙල්බර්න් ක්‍රිකට් පිටිය 1956 ඔලිම්පික් තරග සඳහා භාවිතයට ගත්තේය. එය අදත් හොඳ තත්ත්වයකින් පවතින්නේ මෙම ක්‍රමානුකූල නඩත්තුව නිසාය.

මම ජාතික සභාවේ ලේකම් වශයෙන් ක්‍රියාකරද්දී මේ තත්ත්වය පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලිඛිතව දැනුවත් කළෙමි. මේ හැරෙන්නට මෙම ක්‍රීඩාංගණ පරිසරය බලවත් වායු දූෂණයට ලක්ව ඇති බවක් මෙහි කරන ක්‍රීඩා පුහුණුව නිසා සෞඛ්‍ය අවදානමක් ඇති බවත් සඳහන් කර මේ පිළිබඳ පරිසර අධිකාරියෙන් වාර්තාවක් ගන්නා ලෙස ද කියා සිටියෙමි. මෙම වාර්තා කෙළින්ම කුණු කූඩයට යැවීමට ශ්‍රී. ල.ප.සේ බලධාරීහු ක්‍රියා කළහ.

මෙවැනි අප්‍රසන්න පසුබිම් කතාන්තරයක් ඇති මෙම ක්‍රීඩා සංකීර්ණයේ පරිපාලනය දැන්වත් අදාළ වෘත්තිකයන්ට භාර දෙන්න. මෙරට විශ්වවිද්‍යාල තුනකින් බිහි වී ඇති ක්‍රීඩා කළමනාකරණ උපාධිධාරීන්ගේ විෂය ක්ෂේත්‍රයට ක්‍රීඩාංගණ කළමනාකරණය, ක්‍රීඩාගාර හා ක්‍රීඩා නේවාසිකාගාර කළමනාකරණය ක්‍රීඩා තරග කළමනාකරණය ආදී විෂයයන් ගණනාවක් ඇතුළත්ව ඇත. මේ සම්බන්ධව විදේශ රටවලින් පශ්චාත් උපාධි ලබා ඇති මොවුන්ගෙන් ඇතැමෙකු ජාතික ශුරතා දිනා අන්තර්ජාතික තරගවලට ගොස් ඇත. ඔලිම්පික් තරගවලට ගිය තිදෙනෙක් වි‍දේශ රටවල විශ්වවිද්‍යාලවලින් මෙම විෂයට උපාධි ලබා ඇත.

මෙම ලියුම්කරු කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කළමනාකරණ අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ අවධි‍‍යේ මෙම විෂයයන් ඉගෙන ගැනීමට සිසුන් දැක් වූ උනන්දුව අගය කළේය. ඔවුන් ලත් මේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගැනීමට කාලය එළඹ ඇත.

ලලිත් ගුණවර්ධන

හිටපු ලේකම්

ජාතික ක්‍රීඩා සභාව

 

Comments