ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට පත් වූ අයිය - මලෝ | Page 2 | සිළුමිණ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට පත් වූ අයිය - මලෝ

රත්නපුර දිසා බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලද පද්මසිරි මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ සොහොයුරාය. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට සොහොයුරන් දෙදෙනකු පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට යැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පද්මසිරි මුණසිංහ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳී ඇත්තේ 1982 වසරේ අප්‍රේල් මාසයේය.

පොලිස් විශේෂ කර්ය බළකායට බැඳුණු පළමු කණ්ඩායමේ සාමාජිකයකුව සිටි පද්මසිරි මුණසිංහ 1984 වසරේ සිට වසර 14ක් එම බළකායේ රාජකාරි කර ඇත.

පද්මසිරි මුණසිංහ හිටපු ජනපතිවරුන් වන ඩී.බී. විජේතුංග, මහින්ද රාජපක්ෂ, හිටපු අගමැතිවරුන් වන දි.මු. ජයරත්න හා රත්නසිරි වික්‍රමනායක යන අයගේ හා අධීක්ෂණ අමාත්‍යවරයකුව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස්ගේෙ ආරක්ෂාව භාරව ද කටයුතු කර තිබේ.

අධීක්ෂණ විනිසුරුවරුන්ගේ ආරක්ෂක දිසාවේ පළමු අධ්‍යක්ෂවරයා වූයේ ද පද්මසිරි මුණසිංහය.

පද්මසිරී මුණසිංහ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූයේ 2016 වසරේදිය. ඔහු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලැබූ පද්මසිරි  උතුරු දිශාව බාරව පත්කර ඇත. පද්මසිරි මහතාගේ සොහොයුරු (මල්ලි) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිසියට බැඳී ඇත්තේ 1987 වසරේදිය.

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර හා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන නන්දන මුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙකි.

කොළඹ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය, රහස් පොලිසිය බාරව සහ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරී කර ඇති ඔහු වර්තමානයේ රාජකාරී කරනුයේ උතුරු මැද පළාත බාරය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය හොබවන මෙම සොහොයුරන්ගේ පියා ටිකිරි බණ්ඩා මුණසිංහ පොලිස් කොස්තාපල්වරයකු ලෙස වසර 35ක පමණ කාලයක් රාජකාරි කර ඇත. ඔවුන්ගේ මව රන්මැණිකේ මුණසිංහ මහත්මියයි.

Comments