‘දිය සුළි­යෙන්’ මට දැනුණේ ජීවි­තයේ අපූරු රස­යයි | සිළුමිණ

‘දිය සුළි­යෙන්’ මට දැනුණේ ජීවි­තයේ අපූරු රස­යයි

නිල්මිණි තෙන්නකෝන් අපේ රටේ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක්, පුංචි තිරයේත් සිනමාවේත් ඇගේ රංගන කෞශල්‍යය අපි හොඳින්ම දනිමු. මේ දිනවල ටෙලි නාට්‍ය කීපයක හා ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින ඇය මෙවර රස මතක ඔස්සේ තම හදෙහි රැඳී සොඳුරු නිර්මාණයක් පිළිබඳ අප සමඟ මතක ආවර්ජනයක යෙදුණාය.

ඇත්තටම මට හොඳින් මතකයේ රැඳි.. රසවිඳි නිර්මාණයක් විදිහට 1993 වර්ෂය විකාශනය වුණු උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘දියසුළිය’ නාට්‍යය හඳුන්වන්න පුළුවන්. දිය සුළිය මගේ රංගන ජීවිතයේත් අමතක නොවන ටෙලි නාට්‍යයක්. සරෝජනී කියන මම රගපාපු චරිතය තවමත් ප්‍රේක්ෂකයා අතර ජීවමානයි. හැමවෙලාවෙම කලාවෙන් කරන්නේ අපේ ජීවිතේට යමක් එකතු කරන එක කියලයි මම හිතන්නේ දියසුළියත් මගේ මතකයට හා රසවින්දනයට මේ තරම් බලපෑම් කරන්න ඇත්තේ ඒ නිසාම කියල මට හිතෙනවා.

දිය සුළිය කියන නමින්ම එහි තියන නිර්මාණාත්මක සහ අර්ථවත් බව පිළිබඳ ඉඟියක් අපිට කියනව. ටෙලිනාට්‍යක් සිනමා පටයක් වගේ නෙවෙයි. කොටස් වශයෙන් විකාශනය වෙන්නේ. එත් හොඳ ටෙලිනාට්‍යක තියෙන ගුණය තමයි ප්‍රේක්ෂකයාගේ අඛණ්ඩ අවධානය දිනාගැනීම. ඒ වගේම සහසම්බන්ධතාව ආරක්ෂා කිරීම. එතකොට තමයි නිර්මාණයක් හරියට විදින්න පුළුවන්. දියසුළිය මේ ගුණයෙන් යුතු ටෙලි නාටයක්.

මේ ටෙලි නාට්‍යයේ තේමාව හරිම ප්‍රායෝගික තේමාවක්. ජීවිතේ ගෙනියද්දි එක එක වයසේදී මුහුණදෙන්න වෙන ප්‍රායෝගික තත්ත්වයක් තමයි මේ ටෙලි නාට්‍යයට පාදක වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් සුන්දර ආදර කතාවක් තමයි මේ ටෙලි නාට්‍යයට තේමා වෙන්නේ. සරෝජනී සහ ඇගේ පෙම්වතා අතර ඇතිවන පෙම් සබඳතාව නිසා තමයි පවුල් අතර විරසකයක් ඇති වෙන්නේ. ආදරය හරිම සුන්දර දෙයක්නේ. දියසුළිය තුළ ආදරය නිරූපණය කරන අවස්ථා විවිධයි. එත් ඒ ටෙලිනාට්‍යයේ රංගනය ආදරය අතිශය සුන්දර නිර්ව්‍යාජ විදිහට නිරූපණය කරනවා. පෙම් පත් හුවමාරු කරගන්න දැන් කාලේ වගේ තාක්ෂණය ඒ කාලේ නැහැ. ගස් බෙනයක තමයි පෙම්පතක් පවා හුවමාරු කරගන්න යොදාගන්නේ. දෙබස් වචනවලින් පවා ආදරයේ තියන් මිහිර, නැවුම් බව නිරූපණය කරනවා.

ආදරයට එන අභියෝග ඉස්සරහ ජිවිතේ ගෙනියන්න දරන සටනකුත් මේ කතාවේ තියනවා. ආදරේ කියන්නේ ටෙලිනාටයකට සුලබ තේමාවක් වුණාට මේ කතාවේ ඇතුළේ ආදරේ නිරූපණය වෙන්නේ සමාජයේ තියෙන සාධකත් එක්ක. පවුල් අතර පවතින පෞද්ගලික ආරවුල් ආදරයට බලපාන ආකාරයත් ඒ ආරවුල් හේතුවෙන් අතිශය සංකීර්ණ අවස්ථා නිර්මාණය වන ආකාරයත් මේ ටෙලි නාට්‍යය පුරාවටම දැක ගන්න පුළුවන්.

මේක සාමානයෙන් සිද්ධ වෙන දෙයක්. එත් ඒ වගේ අදුරදර්ශී ව කටයුතු කරන අවස්ථා නිසා සිදුවෙන්නේ විනාශයන්. මේ ටෙලිනාට්‍ය එයට හොඳම උදාහරණයක්. සරෝජනිට ජීවිතේ සතුට අහිමි වෙන්නේ පවුලේ අනෙක් අයගේ බලපෑම නිසා. ඇය ඒ නිසා සදාකාලිකව විඳවනවා. ටෙලි නාට්‍ය කොටස් 12ක් වුණාට ජීවිතයට ඒ ටෙලි නාට්‍යයෙන් ලැබෙන පණිවිඩය අති විශාලයි.

කතාවස්තුවේ තියෙන නිර්මාණාත්මක බව හොඳින්ම දැකගන්න පුළුවන් ජීවිතයේ එන සංකීර්ණතා තාත්විකව නිරූපණය කරන නිසා. තරුණියක් කාන්තාවක් වශයෙන් පවුලෙන් ඇතිවන පීඩනය වගේම ආදරය විවාහය වගේ කේන්ද්‍රීය සාධක එක්ක ජීවිතේ දිශානතිවල සිදුවන වෙනස් වීමත් ඒ තුළින් ඇය පත්වන අසරණත්වයත් මේ නිර්මාණය ඇතුළෙ කතාබහට ලක්වෙනව. ආදරය වුණත් හරිම නිර්ව්‍යාජ විදිහට තමයි නිරූපණය කරන්නෙ.

ඒ හැඟීම්වල ඇති නිර්මලත්වය හොඳින්ම පේනවා. ටෙලි නාට්‍යයක් පුද්ගලයෙකුගේ මතකයේ රැදෙන්න ඒ ටෙලි නාට්‍යයේ රංගනය විශේෂයෙන් බලපෑම් කරනවා. ඉතින් දියසුළිය ටෙලි නාට්‍යයේ රංගනය ගැන මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ රංගනය ඇත්තටම රංගනයක්ද කියල හිතන්න බැරි තරමට හරිම තාත්විකයි. ඒ තාත්වික බව ටෙලිනාට්‍යයේ දර්ශන තලයට ගෙන්න පුළුවන් වෙන්නේ දක්ෂ රංගන ශිල්පීන්ට විතරයි. දක්ෂ නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් හැමදෙයක්ම ස්වාභාවික විදියට රූගත කෙරුණ කියලත් කියන්න පුළුවන්. පාලිත සිල්වා, මහේන්ද්‍ර පෙරේරා ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ දක්ෂ අත්දැකීම් සහිත රංගන ශිල්පීන් තමයි මෙම ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණේ.

ලංකාවේ පළමුවැනි වතාවට ටෙලි නාට්‍යයක අවසාන කොටස දෙවරක් විකාශය කළ පළමු ටෙලි නාට්‍යය වුණේ දියසුළිය. එහිත් විශේෂත්වයක් තියෙනවා. මේ ටෙලිනාට්‍යයේ එක් එක් අවස්ථාවල නිරූපණය කරන්න තියන තත්ත්වයන් එකිනෙකට වෙනස් වගේම භාව­ාත්මකව නිරූපණය කල යුතුයි. ප්‍රේක්ෂකයාට එය නිසි පරිදි රසවිඳින්න පුළුවන් වෙන්නේ එතකොට. ඒ දක්ෂතාවය දියසුළියට රංගන දායකත්වය දුන් හැමශිල්පියෙකුටම තිබුණා. මේ තරම් ප්‍රේක්ෂකයාට සමීප වෙන්න හැකි වුණේ ඒ නිසාමයි.

ටෙලි නිර්මාණයක් රසවිඳින්න රංගනය විතරක් ප්‍රමාණවත් නැහැ. එහි තාක්ෂණික නිර්මාණාත්මක දායකත්වයත් බලපානවා. ඇත්තටම දියසුළිය ටෙලිනාට්‍යයේ. කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය ගැන කිව්වොත් ස්වාභාවික පසුතල තමයි භාවිතා කළේ නිවෙස්, එළිමහන් පසුතල මේ ඔක්කොම හරිම තාත්වික විදිහට යොදාගෙන තිබුණේ. රංගනය ස්වාභාවික නිසාම පසුතල නිර්මාණ ස්වාභාවික විදිහට භාවිත කළේ සරෝජනී ඇගේ අයියා, පෙම්වතා මේ ටෙලිනාට්‍යය තුළ ප්‍රධාන චරිත. ඒ චරිත නිරූපණයන් එක්ක පසුතලවල. ස්වාභාවිකත්වය හොදින්ම ගැලපුණා.

සමහර අවස්ථා නිරූපණය කරද්දී ඇත්තම බිය, කුතුහලය වගේ දේවල් එක්කම ආදරය, කරුණාව වගේ හැගීම් නිරූපණය කරද්දී තිබුණු උත්කර්ෂයට කලා අධ්‍යක්ෂණය ලොකු සහයක් ලබාදුන්නා. ඇඳුම් පැලඳුම් කතා තේමාවට ගැළපෙන විදිහට රංගනයේ යෙදෙන විට භාවිතා කළා. නමුත් ඒ ස්වභාවිකත්වය නිසා නිර්මාණයට කිසිදු හානියක් සිදු වුණේ නැහැ.

ඇත්තටම කොච්චර හොඳ රසවත් හරවත් නිර්මාණයක් වුනත් ප්‍රේක්ෂකයාට ගෙනියන්නේ කැමරාකරුවා. ඔහුගේ නිර්මාණශීලි හැකියාව විශේෂයෙන් ප්‍රේක්ෂකයාගේ රසවින්දනයට බලපානවා මට කියන්න පුළුවන් මම දියසුළිය අද බැලුවත් එදා තිබුණු රසයම මට අදත් ඒ විදිහටම දැනෙනවා. ඉස්සරහටත් එහෙමයි.කතාවේ තේමාවේ රසය ඒ අර්ථය කොහොමද රැකගන්නේ කියන එක ඒ කැමරාකරණයෙන් පෙනෙනවා. කලා නිර්මාණයක වටිනාකම ආරක්ෂා කරන්න පුළුවන් තරමේ කමරාකරණයක් දියසුළියේ තියනවා. ටෙලිනාට්‍යයෙ කැමරාකරණය විශිෂ්ටයි.

තාක්ෂණය එතරම් දියුණු නොමැති වූ සමයක මෙතරම් ස්වාභාවික ලෙස තාත්වික ලෙස කැමරාකරණය හසුරවල තියෙන විදිහ හරිම නිර්මාණාත්මකයි. තරුණ ජීවිත එක්ක ගනුදෙනුකරද්දී දුරදිග බැලීම වැදගත්. සමාජ තත්ත්වය, මිල මුදල් වගේ දේවල් එක්ක පොරබදින මිනිස්සුන්ගේ ගතිගුණ ගැන මේ නිර්මාණයේ පෙන්වනවා.

ඇත්තටම දියසුළිය ටෙලිනාට්‍යයෙන් ජීවිතයට දෙන පණිවිඩය ගොඩක් වැදගත්. ජීවිතයේ සංකීර්ණ අවස්ථාවලදී හැඟීම සමඟ ගනුදෙනුකරද්දි හරිම පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. ඇත්තටම ආදරය සමග ජීවිතය දකින විදින විට හදවත වගේම බුද්ධියටත් ඉඩ ලබා දෙන්න ඕනේ. සැකය, අවිශ්වාසය වගේ තත්තවයන් හමුවේ විශාල ගැටලුවලට ජීවිතයේ නොයෙක් තැන්වලදි මුහුණ දෙනව. ඉතින් මේ තත්ත්වයන් සියල්ල අවබෝධ කරගෙන ජීවිතය සමබරව ඉදිරියට ගෙන යා යුතුයි. නැතිනම් එයින් සිදුවන්නේ පුද්ගලයා පීඩාවට පත් වීම.

 

Comments